Blog Page 5

ඔබත් ගැස්ට්‍රයිටීස් රෝගයෙන් පීඩාවට පත්වෙලා ද?

සමාජයේ නිතර කතාබහට ලක්වන ‍රෝග තත්ත්වයක් තමයි ගෑස්ටික් නැත්නම් ගැස්ට්‍රයිටීස් කියලා කියන්නේ. මේ මොහොතේ ලිපිය කියවන ඔබත් කවදාක හෝ ගැස්ට්‍රයිටීස් සඳහා ප්‍රතිකාර ගෙන තිබෙන්න පුළුවන්. එහෙම නැති වුණත් ගැස්ට්‍රයිටීස් හැදෙන්නේ කොහොමද? රෝග ලක්ෂණ මොනවාද? ගැස්ට්‍රයිටීස් සුව කරගන්නේ කොහොමද? ගැස්ට්‍රයිටීස් තියෙන කෙනෙක්ට කන්න හොඳ කෑම වගේම කන්න හොඳ නැති කෑම ගැන ඔබ දැනුවත්ව තිබුණොත් එය රෝග පාලනයට වගේම ඇතිවන සංකූලතා වළක්වා ගන්නත් උපකාරී වනවා. මේ ලිපිය ඔබව ඒ පිළිබඳව දැනුවත් කිරීමටයි.

ගැස්ට්‍රයිටීස් හැදෙන්නේ කොහොමද?

Gastritis (Chronic, Atrophic, or Acute): Treatment & Diet - SelfDecode Health

අපගේ ආමාශය තුළට ස්‍රාවය වන අධික ආම්ලතාවයකින් යුත් HCL (හයිඩ්‍රොක්ලෝරික්) අම්ලය මගින් ආමාශයේ ඇතුළු ස්ථරයන් ආරක්ෂා කරගන්න භාෂ්මික ශ්ලේෂ්මල තරලයක් පිහිටා තිබෙනවා. විවිධ හේතු නිසා ආමාශය ආරක්ෂා කරන මේ භාෂ්මික ශ්ලේෂ්මල තරලයට හානි වෙන්න පුළුවන්. එවිට ආමාශ බිත්තිය ඉදිමීම, රතුවීම හා තුවාල වීම සිදු වෙනවා. මේ තත්ත්වය තමයි අපි ගැස්ට්‍රයිටීස් කියලා හඳුන්වන්නේ. එහිදී කෙටි කාලයක් තුළ පවතින Acute Gastritis සහ දීර්ඝ කාලයක් පවතින Chronic Gastritis යන තත්ත්ව හඳුනා ගන්න පුළුවන්.

රෝග ලක්ෂණ

බඩ පපුව දැවිල්ල (උදරයේ ඉහළ කොටසේ හා පපුවේ ඇතිවන දැවිල්ල)
උගුරේ දැවිල්ල
කෑමෙන් පසු බඩ පුරවා දැමීම
පපුවේ තද වේදනාවක් ඇති වීම

ඉහත රෝග ලක්ෂණ හා සමානවම හෘදයාබාධයකදී වුණත් ඇති වෙන්න ඉඩකඩ තිබෙනවා. එම නිසා රෝග ලක්ෂණ ගැන සුළුවෙන් නොතකා ඉක්මණින් පර්යේෂණ හා ප්‍රතිකාර වෙත යොමු වීම ඔබගේ ජීවිත අවදානම අවම කරනවා.

Gastritis - Gastroenterology San Antonio

 

අවදානම් සාධක

Helicobacter pylori බැක්ටීරියා වර්ගය
දීර්ඝකාලීනව ලබා ගන්නා වේදනාශක වර්ග (කොන්දේ වේදනාව, හන්දිපත් අමාරු, ආතරයිටිස් වැනි රෝගවලට)
මත්පැන් සහ දුම්පානය
මානසික ආතතිය

ඒ වගේම සමාජයේ පවතින මතයක් තමයි, මිරිස් හා තෙල් බහුල ආහාර වර්ග ගැස්ට්‍රයිටිස් වලට හේතුවක් වන බව. නමුත් මෙම ආහාර මගින් සිදු වන්නේ ගැස්ට්‍රයිටිස් තිබෙන කෙනෙක්ගේ රෝග ලක්ෂණ වැඩි කිරීම බව සිහි තබා ගත යුතුයි.

ගැස්ට්‍රයිටීස් රෝගය සඳහා හිතකර වගේම අහිතකර ආහාර වර්ගත් තිබෙනවා. තන්තුමය ආහාර වර්ග, ධාන්‍යමය ආහාර වර්ග (රතු හාල් බත්, ඕට්ස්), එළවළු වර්ග, ආම්ලිකතාව අඩු පළතුරු වර්ග සහ යෝගට් ගැස්ට්‍රයිටීස් රෝගය පාලනය කරන්න සමත් වනවා වගේම අන්නාසි, ඇඹුල් අඹ, තක්කාලි වැනි ආම්ලික ආහාර වර්ග, තෙල් සහ මිරිස් බහුල ආහාර, තේ, කෝපි සහ චොක්ලට් රෝගී තත්ත්වය වැඩි කරනවා.

Gastritis Diet: Foods to Eat and Avoid to Manage Symptoms

බොහෝ ගැස්ට්‍රයිටිස් රෝගීන් රෝග ලක්ෂණ උත්සන්න වූ අවස්ථා වලදී කිරි වීදුරුවක් පානය කරන්න පුරුදු වෙලා තිබෙනවා. නමුත් නවතම පර්යේෂණ අනුව කිරි මගින් අපේ ආමාශයේ නිකුත් කරන අම්ල වැඩි කරන බවත් කිරි පානයෙන් රෝග ලක්ෂණ තාවකාලිකව යටපත් කිරීමක් පමණක් සිදු වන බවත් සොයාගෙන තිබෙනවා. එම නිසා නිතර නිතර කිරි පානය ගැස්ට්‍රයිටිස් සඳහා හිතකර නොවේ.

ගැස්ට්‍රයිටීස් සඳහා ප්‍රතිකාර ලෙස ලබා දෙන ප්‍රතිජීවක මගින් සිදු කරනු ලබන්නේ, බැක්ටීරීයාව අඩපණ කිරීම, ආමාශයේ අම්ල ස්‍රාවය අඩු කිරීම හෝ රෝගියාගේ රෝග ලක්ෂණ යටපත් කිරීමයි. ප්‍රතිකාර ගැනීමේ අවධිය තෙක් නොසිට රෝගය වළක්වා ගැනීම කෙරෙහි අවධානය යොමු කිරීම සියලු දෙනාගේ යහපැවැත්ම සඳහා හේතුවනු නොඅනුමානයි. එම නිසා අධික තෙල්, ලුණු හා බැදුම් සහිත ආහාර රටාවෙන් මිදී නිවසේ පිළියෙළ කරගත් සාම්ප්‍රදායික ආහාර රටාවකට හුරු වෙමින් අවදානම් සාධක අවම කර ගැනීමට පුරුදු වන්න.

ඔබත් අඩි උස පාවහන් පළඳින කෙනෙක්ද? …

කාන්තා විලාසිතා අතර ජනප්‍රිය තේරීමක් වන අඩි උස සපත්තු ශරීරයට ආකර්ෂණීය බවක් ගෙන එනවා. අඩි උස පාවහන් පැළඳගෙන ඉන්න එක අසීරු වැඩක් වුණත් ඒවායින් සිරුරට ලබා දෙන ලාලිත්‍ය බව නිසා විශේෂ‍යෙන්ම රැකියා වල නිරතව වන කාන්තාවන් මෙම පාවහන් පැළඳීමට පෙළඹෙනවා. නමුත් අඩි උස පාවහන් ඔබේ ශරීර සෞඛ්‍ය කෙරෙහි ඇති කරන අහිතකර බලපෑම් පිළිබඳව ඔබ දැනුවත්ද?

BBC Radio 4 - Radio 4 in Four - Nine show-stopping facts about high heels

අඩි උස සපත්තු වලින් සිදුවන්නේ කුමක්ද?

අඩි උස සපත්තු පළඳින විට පාදයේ ඇඟිලි එකට එක් කර ශරීරයේ බර, පාදයේ ඇඟිලි වලට පෙර පිහිටන පතුලේ කොටසට යොමු කරමින් ශරීරයේ පෙලගැස්ම බිඳ හෙලනවා. එම නිසා අපේ ශරීරය විවිධ ආකාරයේ අතුරු ආබාධ වලට ලක් වෙනවා.

රුධිර සංසරණයට බලපෑම් ඇති කිරීම

අඩි උස සපත්තු බොහෝ වේලාවක් පැළඳ ගෙන සිටින විට කෙණ්ඩා ප්‍රදේශයේ මාංශපේශී තද වෙලා රුධිර ගමනාගමනයට බාධා ඇති කරනවා. ඒ වගේම නිතරම මේ පාවහන් පැළඳීමෙන් නහර ගැට ගැසීමේ අවදානමක් ද පවතිනවා.

high heels pressure Hot Sale - OFF 51%

 

ඔස්ටියෝ ආතරයිටිස් තත්ත්වයන් ඇති වීම

දිගුකාලීනව උස අඩි පාවහන් පැළඳීම නිසා සන්ධි වටා ඇති කාටිලේජ බිඳවැටී ඔස්ටියෝ ආතරයිටිස් ඇති වෙන්න පුළුවන්. උස අඩි සපත්තු මගින් සන්ධි මත ඇති කරන අනවශ්‍ය පීඩනය නිසා හටගන්නා මේ වේදනාව ඔබේ දෛනික වැඩ කටයුතු කෙරෙහිද බලපෑම් ඇති කරනවා. දිගුකාලීනව පවතින කොන්දේ වේදනාව, දණහිස් ආබාධ වැනි තත්ත්වයන්ද අඩි උස සපත්තු පැළඳීමේ අතුරු ප්‍රතිඵලයන් වනවා.

කකුලේ හැඩය වෙනස් වීම

අපි හැමෝගේම දෙපා වලට ආවේනික වූ හැඩයක් තියෙනවා. උස අඩි සපත්තු පළඳින විට විලුඹ පාදයේ අනෙක් කොටස් වලට වඩා උසින් පිහිටන නිසා ශරීරයේ බර පාදයේ ඉදිරිපසට හා ඇඟිලිවලට ගමන් කරනවා. මේ නිසා ශරීරයේ සමතුලිතතාවය බිඳී ගිහින් සිරුර ඉදිරිපසට ඇලවීමට පටන් ගන්නවා. එවිට කකුලේ හැඩය සපත්තුවේ හැඩයට අනුව වෙනස් වෙලා කකුල ඉදිමෙනවා.

Causes of Chronic Leg Pain - Texas Pain Experts

 

ඇවිදීමේ අපහසුතා ඇති වීම

අඩි උස සපත්තු දාගෙන ගොඩක් වෙලා හිටගෙන සිටීම නිසා කකුලේ කෙන්ද ප්‍රදේශයේ තිබෙන මස්පිඩු ඇදීමට ලක්වෙලා කකුලේ වේදනාවක් ඇති වෙනවා. ඒ වගේම පසුකාලීනව ඔබට ඇවිදීමේ අපහසුතා වගේම කෙන්ද පෙරලීම වගේ තත්ත්වයන්ට ද මුහුණ දෙන්න සිදුවෙනවා.

පාදයේ නියපොතු වලට හානි සිදුවීම

උස අඩි පාවහන් පැළඳීම නිසා පාදයේ නියපොතු වර්ධනය බාල කරනවා. ඒ විතරක් නෙමෙයි නියපොතු තදින් තෙරපිමට ලක්වීම නිසා විශාල නියපොතු සම තුලට වර්ධනය වෙලා විවිධ බැක්ටීරියා ආසාත්මිකතා ඇති කරනවා.

How to Fix a Cracked Toenail | Red Mountain Footcare

වෛද්‍යවරුන්ගේ මතය වන්නේ, අඟල් 2ක උසින් යුතු පාවහන් යුගළක් පැළඳීම සෞඛ්‍යයට හිතකර බවයි. කෙසේනමුත්, දිනකට පැය 4,5 කට වඩා අඩි උස සපත්තු පැළඳ සිටීම ශරීරයට හිතකර වෙන්නේ නෑ. අඩි උස සපත්තු පැළඳීමේදී හටගන්නා වේදනා වළක්වා ගන්න ඔබට පහත පියවර අනුගමනය කරන්න පුළුවන්.

* දිගු වේලාවක් අඩි උස සපත්තු පැළඳ සිටීමෙන් වළකින්න.
* පුළුල් අඩියක් සහිත අඩි උස සපත්තු පළඳින්න.
* සපත්තු පැළඳිමට පෙර හා පසු කකුලේ මාංශ පේශී ඇදීමකට ලක් කරන්න.

කේරල ක්‍රමයට මාළු …

 

අවශ්‍ය ද්‍රව්‍ය :

තෙල් මේස හැඳි 02
ළූණු ගෙඩි 10
ලොකු තක්කාලි ගෙඩි 02
ඉඟුරු + සුදු ළූණු මේස හැඳි 01
අබ 1/2
Será කහ කුඩු මේස හැඳි 1/2
තුනපහ මේස හැඳි 01
මිරිස් කුඩු මේස හැඳි 02
ගරම් මසාලා මේස හැඳි 1/2
සූදුරු මේස හැඳි 1/2
වතුර කෝප්ප 1/2
ලුණු මේස හැඳි 1
සියඹලා ඉස්ම කෝප්ප 1/2
කුම්බලා මාළු 4
Será පොල්කිරි කෝප්ප 1 1/2

සාදන ක්‍රමය :

පෑන් එකකට තෙල් දමා එයට ළූණු සහ තක්කාලි එක්කර හොඳින් තෙම්පරාදු කර ගන්න.

ඉන්පසු එම මිශ්‍රණය අඹරා ගන්න.

වෙනම භාජනයක් ගෙන එයට ඉඟුරු, සුදුළූණු, උළුහාල් සහ අබ ඇට දමා බැද ගන්න.

පෑන් එකට සේරා කහ කුඩු එකතු කර හොඳින් මිශ්‍ර කර අඹරන ලද පේස්ට් එකතු කරන්න.

එම භාජනයටම කරපිංචා, මිරිස් කුඩු, ගරම් මසාලා සහ සූදුරු කුඩු එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.

මිශ්‍රණයට වතුර එකතු කර ටික වේලාවක් පිසෙන්නට හරින්න, පසුව එයට ලුණු සහ සියඹලා යුෂ එකතු කරන්න.

කුම්බලා මාළු ටික ළිප තබා මද වේලාවක් පිසෙන්නට හරින්න, ඉන්පසු සේරා පොල් කිරි එකතු කරන්න.

මාළු හොඳින් තැම්බුණු පසු ලිපෙන් බා උණු උණුවෙන්ම පිළිගන්වන්න!

කිරිබත් I Cooking with Aunty D …

 

අමුද්‍රව්‍ය :

අමු හාල් කෝප්ප 2

වතුර කෝප්ප 2

Serà පොල් කිරි කෝප්ප 1 ½

Serà ලුණු කුඩු මේස හැඳි 1 ½

සාදන ක්‍රමය:

සෝදාගත් සුදු සහල් කෝප්ප 2 ට වතුර කෝප්ප 2 ක් එකතු කර භාජනයකට දමන්න.

ලිප දල්වා, භාජනය පියනකින් වසා එය පිසෙන්නට ඉඩ හරින්න.

වැඩි වතුර ප්‍රමාණයක් හිදුණ පසු හාල් අවශ්‍ය ප්‍රමාණයට තැම්බී ඇතිදැයි බලන්න. අවශ්‍ය නම් ලිපේ ගින්දර අඩු කර හාල් අවශ්‍ය ප්‍රමාණයට වඩා තැම්බීම වළක්වා ගන්න.

නැවත පියන වසා එය හොඳින් පිසෙන්නට හරින්න.

බත බඳුනේ අඩියට නොඇලීමට හොඳින් කළවම් කරන්න.

අවසානයේ, ලිප වසා Serà පොල් කිරි සහ Serà ලුණු එකතු කරන්න

සියල්ල හොඳින් කළවම් කර රස විඳින්න!

ඔබගේ නින්ද මානසික සෞඛ්‍යයට බලපානවාද? …

නින්ද කියන්නේ පොදුවේ ඔබ අප කාටත් අත්‍යාවශ්‍ය දෙයක්. දවසේ වැඩි කාලයක් අවදිව සිටිමින් අපේ මොළය සහ ශරීරය හරියට යන්ත්‍රයක් වගේ ක්‍රියාකරනවා. ඉතින් මේ යන්ත්‍රයට විවේකයක් ලැබෙන්නේ නින්දේ දී යි. එපමණක් නොවෙයි දවසේ වැය කරන ශක්තිය නැවත එකතු කරගන්නත් නින්ද අපිට උදව් ‍වෙනවා. නින්ද කියන්නේ ආහාර වගේම මිනිසාට අත්‍යාවශ්‍ය දෙයක්. ඉතින් මේ නින්ද හරිහැටි නොලැබුනොත් එය අපේ මොළයේ ක්‍රියාකාරීත්වයට බලපානවා. මේ ලිපියෙන් අප සාකච්ඡා කරන්නේ නින්ද අඩු වීම මානසික සෞඛ්‍යයට බලපාන ආකාරය ගැනයි.

• හොද නින්දක් ලබා ගැනීම

වර්තමානයේ අප හැමෝම ගෙවන්නේ කාර්‍යබහුල ජීවිතයක්. අපේ දෛනික ජීවන රටාව නිසා ඇත්තටම බොහෝ දෙනෙක්ට ප්‍රමාණවත් ගුණාත්මක නින්දක් ලබා ගන්නවා කියන එක අපහසු කාරණාවක්. නමුත් අපේ කායික මානසික සෞඛ්‍ය රැක ගන්න නම් අවම වශයෙන්,

අවුරුදු 3ත් 5ත් අතර දරුවෙක් පැය 10 – 13 අතර
අවුරුදු 6ත් 12ත් අතර දරුවෙක් පැය 9 -12 අතර
අවුරුදු 13ත් 18ත් අතර දරුවෙක් පැය 8-10 අතර
වැඩිහිටි පුද්ගලයෙක් පැය 7ක නින්දක් ලබා ගත යුතුයි. නව යොවුන් විය දක්වා විවිධ අවධිවලදී දරුවන්ගේ බුද්ධිය ක්‍රමිකව වර්ධනය වනවා. එම නිසා ප්‍රමාණවත් සහ ගුණාත්මක නින්දක් ලැබීම දරුවන්ගේ බුද්ධි වර්ධනයට බලපාන වැදගත් සාධකයක්.

• අඩු නින්ද මානසික සෞඛ්‍යයට බලපාන්නෙ කොහොමද?

නින්ද සහ මානසික සෞඛ්‍ය අතර තිබෙන්නේ සංකීර්ණ සම්බන්ධයක්. නින්ද අඩුවීම සහ නින්ද අහිමිවීම නිසා මානසික ගැටලු ඇති වෙනවා වගේම දැනටමත් පවතින මානසික රෝගී තත්ත්වයන් තවත් උග්‍ර වීමත් සිදු වෙනවා. අපේ මොළයට පූර්ණ ධාරිතාවයෙන් යුතුව ක්‍රියා කිරීමට නින්ද අතාවශ්‍ය සාධකයක්. අඩු නින්දක් ලබන පුද්ගලයෙකුට බොහෝ විට තමන්ගේ කාර්‍යයන්ට අවධානය යොමු කිරීමේ අපහසුතාවයක් ඇතිවීමට පුළුවන්. ඒ වගේම ඔබේ මතකයේ තිබෙන දේවල් සිහිපත් කිරීම්ට අපහසු වීම, ඔබට පැවසීමට අවශ්‍ය කාරණාව සඳහා සුදුසු වචන සොයා ගැනීම අපහසු වීම වගේ ගැටලු ඇති වීමට පුළුවන්. ඒ වගේම ප්‍රමාණවත් හා ගුණාත්මක නින්දක් නොලැබීම නිසා වැඩිපුර කෝප ගැනීම, නුරුස්සනා ස්වභාවය වැනි මනෝභාවයන්හි වෙනස්කම් වගේම ආවේගශීලී බව, අධි ක්‍රියාකාරීත්වය, පුද්ගල සම්බන්ධතාවල ගැටලු ඇතිවීම වගේ චර්යාවල වෙනස්කම් ද ඇති වෙන්න පුළුවන්.

• අඩු නින්ද නිසා ඇති විය හැකි මානසික ආබාධ

ආතතිය (stress)

101429

බොහෝ විට අප එදිනෙදා සැලසුම් කරන වැඩ කටයුතු කර ගැනීමට කාල වේලාව මදි වූ විට අප අපේ නින්ද ඒ වැඩ සඳහා කැප කරනවා. නමුත් ඒක දිගුකාලීනව සිදු කිරීම නිසා අපේ මොළය ඉක්මනින් වෙහෙසට පත් වීම නිසා ඔබ ආතතියට ලක් වෙන්න පුළුවන්. ගුණාත්මක නින්දක් නොලැබීම නිසා ඔබේ සිරුරේ ආතති හෝර්මෝන මට්ටම ඉහළ යා හැකි අතර එම නිසා ඔබ ආතතියට පත්විය හැකියි. හොද නින්දක් ලබා ගැනීම සිරුරේ ආතති හෝර්මෝන මට්ටම අඩු කිරීමට උපකාරී වෙනවා.

කාංසාව (Anxiety)

Study: People with anxiety tend to make more logical decisions • Earth.com

කාංසාව විවිධ බලපෑම් නිසා ඇතිවිය හැකි තත්ත්වයකි. හොද නින්දක් ලබා ගන්නා පුද්ගලයකුට සාපේක්ෂව අක්‍රමවත් නින්දක් ලබන පුද්ගලයෙකුට කාංසා සහගත අත්දැකීමකට මුහුණ දීම සහ ඒ සමග ගනුදෙනු කිරීම අපහසු වනු ඇත. එම නිසා අඩු නින්ද කාංසාව වර්ධනය කරන අවදානම් සාධකයක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්.

ඩිමෙන්ශියාව (Dementia)

Memory loss: it may not be Alzheimer's disease or dementia - Access Healthcare Services Inc

අඩු නින්දක් ලැබීම ඩිමෙන්ශියා රෝගය ඇතිවීමට බලපාන අවදානම් සාධකවලින් එකකි. පැය 6කට වඩා වැඩි නින්දක් ලබන පුද්ගලයින්ට වඩා පැය 5කට වඩා අඩු නින්දක් ලබන පුද්ගලයින්ට ඩිමෙන්ශියාව වැළඳීමේ වැඩි ප්‍රවණතාවයක් පවතින බව පර්‍යේෂණවලින් හෙළි වී තිබෙනවා.

මානසික අවපීඩනය (Depression)

What Is Depression? Symptoms and Overview

දිගු කාලීනව නින්ද අහිමි වීම මොළයේ ස්නායු හා රසායනික වෙනස්කම්වලට හේතු විය හැකි බවත්, එය මානසික අවපීඩනය වර්ධනය වීමට බලපාන සාධකයක් විය හැකි බවත් පර්යේෂණවලින් හෙළි වී තිබෙනවා.

මේ නිසා මානසික රෝග ඇතිවීම වළක්වා ගැනීමටත්, නිරවුල් මනසක් සහ හොඳ මතක ශක්තියක් පවත්වා ගැනීමටත් වගේම තර්කනය, තීරණ ගැනීමේ ශක්තිය වැඩි දියුණු කර ගැනීමටත්, බුද්ධි වර්ධනයටත් ගුණාත්මක නින්දක් ලැබීම අනිවාර්ය සාධකයක් බව මතක තබා ගන්න.

කුශාන්ති අනුරාධා බණ්ඩාර

Cafe Felicita | Restaurant Review …

Cafe Felicita ඔයාට නිදහසේ කාලය ගෙවන්න හොඳම තැනක්

කොළඹ නගර මධ්‍යයේ පිහිටි Flower Road හි පිහිටා ඇති කැෆේ ෆෙලිසිටා කියන්නේ Instagrammable කැෆේ ලැයිස්තුවට එකතු වුණු අලුත්ම cafe එකක් කිවුවොත් හරි.

උදේ 7 සිට රාත්‍රී 8:30 දක්වා විවෘතව තියෙන (එයාලගේ විවෘත වේලාවන් රාත්‍රී 11 දක්වා දීර්ඝ කරන්න සැලසුම් කරලා තියෙනවා), Cafe Felicita දවස පුරා උදේ ආහාරය සිට බර්ගර් දක්වා, Paninis මෙන්ම කොත්තු , Hotdogs සහ තවත් දේ සපයනවා! හොඳම දේ තමයි එයාලගේ මේ ලොකු menu එකේ තියෙන සියළුම රසවත් කෑම ඔයා හිතන තරම් මිළ අධික නොවීම. රුපියල් 2000ක් වගේ මුදලකින් ඔයාගේ ඔක්කොම cravings කොළඹ නගර මධ්‍යයේ තියෙන cafe එකකින් සපුරා ගන්න පුළුවන් කියන්නේ … ඒක ඇත්තටම අපූරු කාරණයක්.

Appertisers

Baked Pumpkin Bowl — LKR 1,000 (4/5)

මේක ඇත්තටම “සලාදයක් රස විඳීම” කියන සංකල්පය සම්පූර්ණයෙන්ම අළුත් මට්ටමකට ඔසවා තියනවා. තාම menu එකට එකතු කරලා නැති වුණත් එයාලගෙන් මේක අහලා ගත්තත් ඔයා පසු තැවෙන්නේ නම් නැහැ. soft එකට තම්බා ගත් වට්ටක්කා තිබුණු මේ salad එකේ හැම කටකම අමුතුම රසයක් තිබුණා. මේකට එකතු කරලා තිබුණ රන්වන් සහ හැපෙනසුළු croutons නිසා ගැළපෙන ලුණු රසයක් මේ salad එකට ලැබුණා. මේකට එකතු කරලා තිබුණ greens වලින් නැවුම් රසයක් මේකට ලැබුණා.
සාමාන්‍ය දේවල් වලින් හදලා තිබුණත් ගොඩක් ලොකු රසයක් තිබ්බ මේ dish එක අමුද්‍රව්‍ය කිහිපයක් එකතු කරලා මොන තරම් රස dish එකක් හදන්න පුළුවන්ද කියන එකට කදිම උදාහරණයක්.

NOTE: රුපියල් 500 කට feta cheese මේකට එකතු කරගන්නත් ඔයාට පුළුවන්.

Mains

Crispy Chicken Burger — LKR 1,690 (4/5)

මේ Crispy Chicken Burger එකට නම් මම ගොඩක් කැමති වුණා. එතකොට fries….. ඒවගේ රස නම් කියලා ඉවර කරන්න බැහැ. රන්වන් පාට වෙනකන් හරි ගානට බැදලා ගොඩක් crunchy රසට තිබුණා. soft bun දෙකක් මැදට juicy කුකුල් මස් සහ තවත් දේ එකතු කරලා මේ burger එක හදලා තිබුණා. සැර ගානට තිබුණ වගේම කටට කෙල උනන රසක් තිබුණ නිසාම මේ crispy burger එක ඇත්තටම රසවත් කිවුවොත් හරියටම හරි.

Note – crispy chicken වෙනුවට ඔයා කැමති නම් grilled chicken ලබාගන්නත් පුළුවන්.

Cheesy Pol Sambol Panini — LKR 950 (5/5)

මේ Cheesy පොල් සම්බෝල panini එකේ තිබුණේ වෙනස්ම රසක්. පොල් සම්බෝලේ සැර රස සහ පොල් නිසා එකතු වුණු පොඩි පැණි රසක් තිබුණා. toast කරලා තිබුණු panini එකේ තිබුණ butter රසයත් එක්ක melt කරපු චීස් මේ පොල් සම්බෝලෙට හොඳටම පැහුණා. මේක පොඩ්ඩක් oily ගතියට බර වුණත් ඒක මේ dish එකේ රසට නම් බාධාවක් වුණේ නැහැ.

Couscous with Kebab — LKR 1,750 (3/5)

මේ කුස්කුස් එක නම් මගේ කටට දැනුණේ හරිම සැහැල්ලු වලාකුළක් පාවෙනවා වගේ. පොඩි සැර රසකුත් එක්කම වියළි මිදි වලින් පොඩි පැණි රසක් මේ dish එකට ලැබුණා. chicken kebab වල තිබුණේ වෙනමම රසයක්. හොඳට season කරලා juicy kebab hummus එක්ක හොඳටම ගැලපුණා. Creamy, buttery හරිම smooth විදිහට තිබුණ මේ dish එකේ අපිට නම් කියන්න කිසිම වරදක් තිබ්බේ නැහැ.

Seattle Hot Dog — LKR 1,250 (5/5)

මේ bun එක ගොඩක් නැවුම් වගේම fluffy. මේ bun එක ගැන කියද්දී නම් ඒක උඩට දාලා තිබුණ mustard රසත් එක්ක ආපු චීස් සෝස් එක නම් අමතක කරන්න බැහැ. ටිකක් සැර tangy ,රස කිහිපයකම එකතුවක් මේ සෝස් එකෙන් දැනුණා. Hotdog එකත් ගොඩක් මෘදු, රසයෙන් වැඩි නිසා අපිට සෑහීමකට පත් වෙන්න පුළුවන් වුණා. මේකට එකතු කරලා තිබුණ jalapeños නිසා hotdog එකේ රසය දෙගුණ වුණා. මෙතැනට ගියොත් අනිවාර්යයෙන් Seattle Hot Dog එක කාල බලන්න නම් අමතක කරන්න එපා.

Desserts

Chocolate Brownie — LKR 780 (4/5)

චොකලට් සහ වැනිලා එකතු වුණාම එන්නේ අමුතුම රසයක්. Brownie එක ගොඩක් fudgy. ඒක creamy වැනිලා අයිස්ක්‍රීම් එක්ක කනකොට දිවට දැනෙන රස ගැන නම් අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ.

Strawberry Cheesecake — LKR 1,000 (4/5)

වැහෙන්න සීනී syrup දාපු නැවුම් strawberry අතුරපු මේ Cheesecake එක නම් ගොඩක් රසට තිබුණා. Base එක buttery නිසාම මේකේ තිබුණේ අපුරු රසක්. හැබැයි ගාණේ හැටියට මේකේ ප්‍රමාණය තව ටිකක් වැඩි වුණා නම් හොඳයි කියලා අපිට හිතුනා.

Churros — LKR 750 (5/5)

රුපියල් 750 කට මේ තරම් හොඳ churros ?.. මේ Churros ගොඩක් soft වගේම chewy ඕනෑවට වඩා පැණි රස නැති මේ churros වල හැම කටක් අවසානයේම දැනුණ පොඩි ලුණු රස නිසා පදම හරි ගානට තිබුණා. chocolate sauce එක උකු සහ රසයෙන් පිරිලා නිසාම Churros එක්ක ඒක හොඳටම පෑහුනා. ඔයාටත් ආයෙත් පැණි රස snack එකක් කන්න හිතුනොත් මේ Churros නම් අමතක කරන්න එපා.

Drinks

Hot Chocolate — LKR 1,350 (4/5)

සීතල වැසි දවසකට නම් මේ Hot Chocolate එක කියාපු බීම. හොඳම කාරණාවා තමයි එයාලා මේකට පාවිච්චි කරන්නේ Starbucks Hot Chocolate. සීතල දවසකට විතරක් නෙමෙයි ඕනෙම වේලාවක මේක නම් බොන්න පුළුවන්.

The Green Juice — LKR 950 (5/5)

Green Juice කියද්දී අපිට තියෙන්නේ ඒ තරම් මිහිරි අත්දැකීමක් නම් නෙවෙයි. ඒත් සාමාන්‍ය Green Juice එකකට වඩා මේක වෙනස් කිවුවොත් ඔයාලට විශ්වාස කරන්න පුලුවන්ද ? ඒක ගොඩක් නැවුම් වගේම සෞඛ්‍ය සම්පන්න පොඩි Detox drink එකක් කිවුවොත් හරියටම හරි. නිවිති, පිපිඤ්ඤා, ඇපල්, සැල්දිරි, ඉගුරු, දෙහි වගේ ගොඩක් දේවල් එකතු කරලා රසට හදලා තිබුන මේ drink එක හොඳ palate cleanser එකක් විදිහට සලකන්නත් පුළුවන්. ඉතින් මේක බිලා අපිට ස්තුති කරන්නත් අමතක කරන්න එපා.

Got Beet? — LKR 950 (2/5)

මේකත් නරකම නැහැ. නමුත් මේක මගේ රසට නම් වැඩිය ගැලපුනේ නැහැ. බීට් රූට්,කැරට්, ඉගුරු, සැල්දිරි, සහ රතු ඇපල් එකතු කරලා හදපු මේ drink එක අපිට දුන්නේ අලුත්ම අත්දැකීමක්. සමහර උගුරකින් wow මේකත් නරකම නැහැ කියලා අපිට හිතුණත් තවත් උගුරකින් ඒ මොකද්ද ඒ වුණේ කියලා අපිට හිතුනා.. ඉතින් ඔයත් අලුත් දේවල් try කරන්න, අලුත් කෑම කාලා බලන්න කැමැති කෙනෙක් නම් මේ drink එක බීලා බලන්න.

Ambience

මම මුළදීම කිවුවා වගේම Cafe Felicita කියන්නේ Instagram වලට ලස්සනට photo ගන්න ගැළපෙනම තැනක්. ඒ වගේම මේ cafe එකට ඔයාට සුරතල් සතුන් අරන් යන්න පුළුවන්. විශේෂ අවස්ථාවක් සඳහා ආසන ගණනාවක්ම තියෙන outdoor seating area එකකුත් මෙතන තියෙනවා. යාළුවොත් එක්ක කාලය ගත කරන්න, group discussions වලට මෙතන කියාපු තැනක් නිසා ඔයා විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු වුණත්, ස්වේච්ඡා සංවිධානයක සාමාජිකයෙක් වුණත් එහෙමත් නැතිනම් co-working space එකක් හොයනවා නම් මෙතන ඔයාට හොඳටම ගැළපෙනවා. වැඩිපුර ගෙවීමක් නොකර meetings,presentations වලට TV වගේ පහසුකම් මෙතැනදී ලබාගන්න ඔයාට පුළුවන්.

ඉතින් ඔයාගේ සුරතලුන් එක්ක යන්න, ලස්සන පින්තූර ගන්න, ඔයාගේ වැඩ කරන්න, සහ අපූරු වටපිටාවක කාලය ගෙවන්න Cafe Felicita තමයි කියාපු තැන.

ඔබ දන්නවාද ?

  • මේ Cafe එක BYOB සහ BYOW කියලා.

The Citrus Roti Mania at Citrus Hikkaduwa | Restaurant Review …

“THE place to be — for all things Hikka roti!”

හික්කඩුව කිව්වම හැමෝටම මතක් වෙන්නේ සුන්දර වෙරළ තීරය හෝ Surfing ක්‍රීඩාව තමයි. හැබැයි ඔන්න මේ කියන්න යන්නේ නම් එහෙම දෙයක් ගැන නෙවෙයි. මේ සැරේ අපිට ඔයාලට කියන්න තියෙන්නේ ඊටත් වඩා වැඩියෙන් ප්‍රසිද්ධ, රොටීවලට කැමැත්තක් දක්වන අය නිතරම යන “හික්කා රොටි මේනියාව” ගැනයි.

ඉතින් Citrus Hikkaduwa විසින් මෑතකදී රසවත් රොටි වර්ගයන් සහිත නවතම ‘roti wrap’ මෙනුවක් හඳුන්වාදී තිබෙනවා.

එය සෑම රාත්‍රියකම විවෘතව පවතින බැවින් ඔබ කවදා හෝ හික්කඩුව දෙසට ගමන් කරනවා නම් එය අත්විඳීමට අමතක කරන්න එපා!

MAINS

Creamy Prawn Roti — LKR 690 (5/5)

ක්‍රීමි, ඉස්සන් පිරවුමකින් පිරුණු රොටියක් මම කවදාවත් අත්හදා බලන්න හිතපු දෙයක් නෙමෙයි. මෙම සුවිශේෂ රසයන්ගෙන් යුත් අලුත් සංකලනය ඇත්තෙන්ම රොටි සංස්කෘතිය අලුත් මානයකට ඔසවා තබනවා. ඒක ඇත්තටම මම මුලින්ම කනකොට රස නහර පිනාගියා කිව්වොත් හරියටම හරි. රන්වන් දුඹුරු පැහැයෙන් යුත් රොටී, සියුම් ලෙස නැවී, ඇතුළත ඉස්සන් සහිත පිරවුමක් මෙහි තිබෙනවා. මේකට ලොකු ඉස්සෝ භාවිතා කරලා තියෙනවා. මේකේ තිබ්බ සියුම් රස අපට තවත් Creamy Prawn රොටි රස විඳීමේ අවශ්‍යතාවය වැඩි වැඩියෙන් ඇති කළා.

 

Black Pork Curry Roti — LKR 690 (4/5)

මේක නම් ශ්‍රී ලාංකික අපිට අමුතු දෙයක් නෙමෙයි. උණු උණු රොටී සමග Black Pork ව්‍යංජනයකට වඩා තව වෙන මොනවද? මේ කෑම දෙක වෙන් වෙන් වශයෙන් හුරුපුරුදු වූවත් එය wrap එකක් ලෙස පැමිණීම එම සංයෝජනයට අලුත් මුහුණුවරක් ලබා දුන්නා. Black Pork Curry එක රසවත් වූ අතර කුළුබඩුවලින් බහුල වූ නිසා ඒ සම්බන්ධයෙන් කියන්න කිසිම චෝදනාවක් නෑ. එහෙත් අනිවාර්යෙන්ම කියන්න ඕනම දෙයක් තමයි, Black Pork Curry එක ටිකක් වැඩිපුර තිබිලා රොටි ටිකක් අඩුවෙන් රස විඳින්න තිබුනානම් හොඳයි කියන එක.

 

Roast Chicken Roti — LKR 480 (2.5/5)

රෝස්ට් චිකන් රොටි නම් අපි කලින් කෑමට ගත්ත රොටි වල රසට වඩා රස ටිකක් අඩුයි. මෙහි පිරවුම රසවත් වුනත් එහි තව කුකුල් මස් තියෙයි කියලා අපි බලාපොරොත්තු වුණා. ඒ වගේම තමයි රෝස්ට් කුකුල් මස්වල අපි සාමාන්‍යයෙන් සොයන පිළුස්සුණු රසය අපට ලැබුනේ නැහැ.

 

Roast Beef Roti — LKR 680 (3/5)

බැදපු හරක් මස්, හතු සමග රොටී පිරවුමකින් සමන්විතව තිබූ මෙය රසවත් බවින් යුතු කෑමක් වුණා. නමුත් පිරවුමේ හරක් මස් වෙනුවට වැඩිපුර බිම්මල් යොදා තිබුණා. සමස්තයක් වශයෙන් ගත් විට රොටී එතුම පිරී තිබුණත් පිරවුමේ හරක් මස් සඳහා වැඩි අවධානයක් ලබා දුන්නා නම් අපි ගොඩක් කැමතියි.

 

DESSERTS

Coconut & Passion Fruit Roti — LKR 450 (5/5)

හික්කඩුවේ Citrus හිදී අප ගත කළ කාලය තුළ අප රස බැලු හැම දෙයකින්ම අපට තිබූ සුවිශේෂීම ආහාරය වුනේ පොල් සහ පැෂන් ෆෘට් රොටි. රොටිවලින් පැනි පොල් සහ පැෂන් ෆෘට් වල යුෂ ගලා යන අතර, රස දෙකේ සංයෝජනය අපිව පුදුමයට පත් කළා කිව්වොත් නිවැරැදියි. පොල්වල ඇති පැණිරස හා පැෂන් ෆෘට් රස එකිනෙක හා රොටී එතුම සමග හොඳින් මිශ්‍ර වෙලා තියෙනවා. රොටි එතුම තුළ ඇති පැෂන් ඇට හැපෙන සුළු බව මෙහිදී අපට අමතර සතුටක් ඇති කළා.

 

Chocolate Ice Cream Roti — LKR 560 (4/5)

මේ රොටි එක නම් පැණි රසට කැමති අය වෙනුවෙන්ම තියෙන එකක්. Chocolate Ice Cream වලට ගොඩදෙනෙක් කැමතියිනේ. ඒ අය වෙනුවෙන්ම රොටි පිරවුමේ හැම තැනකම රසවත් චොකලට් අයිස් ක්‍රීම් පුරවලා තියෙනවා.

 

AMBIENCE

Citrus Hikkaduwa ප්‍රවේශය අසලම පිහිටා ඇති Citrus Hikka Roti Mania යනු අමුතුම ප්‍රබෝධයක් ගෙන දෙන ස්ථානයක්. ඉදිරිපස ඇති open area එකේ එළිමහන් භෝජනාගාරය හිරු බැස යන විට ඉතාමත් මනරම් ස්ථානයක් වනවා. මෙහි කාර්ය මණ්ඩලය ද අතිශයින් මිත්‍රශීලී වූ නමුත් හෝටල් සංකීර්ණයේ සෙසු කොටස්වලින් භෝජනාගාරය මදක් ඉවත් කර ඇති නිසා කාර්ය මණ්ඩලය සමග සම්බන්ධ වීමට අපට තරමක් අපහසු වුණා.

කොහොමවුනත් “හික්කා රොටි” ඇත්ත වශයෙන්ම අපිට සුන්දර අත්දැකීමක් වුණා. සමස්තයක් විදියට ගත්තම Citrus Hikkaduwa හි ඇති Hikka Roti Mania කියන්නේ, විවිධ වර්ගයේ රසයන්ගෙන් යුත් රොටි ආහාරයට ගෙන නවමු අත්දැකීමක් ගන්න ඔබට යන්න පුළුවන් සුදුසුම ස්ථානයක්.

ඔබත් හිතු මනාපෙට කෑම පාලනය කරන කෙනෙක්ද? …

ලෝකයේ සෑම රටකම පාහේ මිනිසුන් තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් වීම ඉතාම වැදගත් කාරණාවක්. නිවැරදි ආහාර පුරුදු සහ නිවැරදි ජීවන රටාවක් අනුගමනය කිරීම සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් වීමේ මූලික පියවරයන්. නමුත් අද වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගැනීමට වඩා ශරීරයේ හැඩය පවත්වා ගැනීමට එසේත් නැත්නම් කෙට්ටු වීමට බොහෝ දෙනෙක් උත්සාහ ගන්නවා. මේ සඳහා පෙළෙඹෙන වැඩි ප්‍රතිශතය කාන්තාවන්.

තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත්වීම වගේම තමන්ගේ ශරීරයේ හැඩය පවත්වා ගැනීමත් වැදගත්. නමුත් අප ශරීරයේ බර අඩු කර ගැනීමට ගන්නා ක්‍රියා මාර්ග අතුරු ආබාධවලින් තොර ඒවා ද කියන එක ගැනත් අපි විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුයි. අප එකිනෙකාගේ ශරීරයන් සහ ශරීරයන්වල ක්‍රියාකාරීත්වය එකිනෙකට වෙනස්. එම නිසා කොහෙන් හෝ අසා දැනගත් හෝ හිතු මනාපෙට කරන කෑම පාලන ක්‍රම අවදානම් වීමට පුළුවන්.

හිතු මනාපෙට කරන කෑම පාලනය මගින් සිදුවෙන්න පුළුවන් අන්තරායකර අතුරු ආබාධ ගැනයි මේ කියන්න සූදානම් වන්නේ.

කාංසාව ඇතිවීම

Anxiety: MedlinePlus

කෙට්ටු වීම සඳහා ආහාර ගැනීම මඟ හැරීම හෝ සාමාන්‍යයෙන් ආහාර නොගෙන වැඩි වේලාවක් සිටීම ඔබගේ මානසික සෞඛ්‍යයට බරපතල බලපෑමක් ඇති කළ හැකියි. පාරිසරික පර්යේෂණ සහ මහජන සෞඛ්‍ය පිළිබඳ ජාත්‍යන්තර සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද 2018 අධ්‍යයනයකින් හෙළි වූයේ නිතිපතා උදෑසන ආහාරය ගන්නා අයට වඩා උදෑසන ආහාරය මඟහරින නව යොවුන් වියේ පසුවන්නන් මානසික ආතතිය හා මානසික අවපීඩනය අත්විඳීමට ඉඩ ඇති බවයි. එයට හේතුව ඔබ ආහාර නොගෙන බොහෝ වේලාවක් ගත කරන විට, ඔබේ රුධිරයේ සීනි මට්ටම අඩු වන අතර, ඔබේ ශරීරය කෝටිසෝල් නිපදවීමට පටන් ගනී. “ආතති හෝමෝනය” ලෙස පොදුවේ හඳුන්වන කෝටිසෝල්, රුධිරයේ සීනි අඩුවීම නියාමනය කිරීමට උපකාර කිරීමට මුදා හරින නමුත් එය ශරීරය තුළ ආතතිමය ප්‍රතිචාරයක් ද ඇති කරයි. මෙය ඔබව කනස්සල්ලට හෝ මානසික අවපීඩනයට පත් කරනවා පමණක් නොව මනෝභාවයේ ව්‍යාකූලතා ඇති කරයි. මෙම රෝග තත්ත්වයන් දිනෙන් දින වැඩි වීම ඔබේ සෞඛ්‍යයට අහිතකර ලෙස බලපාන්න හැකියාව තිබෙනවා.

ශරීර ශක්තිය අඩුවීම හා මාංශ පේශී ක්ෂය වීම

Muscle Atrophy: Causes, Treatment and Prevention – The Amino Company

අක්‍රමවත් ලෙස අහාර පාලනය කිරීම මගින් ඔබේ ශරීරයට අත්‍යාවශ්‍ය පෝෂක නොමැති වීම නිසා ඔබේ ශරීර ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ශක්තිය නිපදවීම අඩාල වීම සිදු වෙනවා. ඒ වගේම ශරීරයට අවශ්‍ය ශක්තිය නැතිවෙන විට ශරීරය ශක්තිය තැන්පත් වෙලා තිබෙන මාංශ පේශී තුළින් ඒවා ලබා ගන්නවා. එවිට මාංශ පේශී ක්ෂය වීම නිසා ඔබ වැහැරුණු ස්වභාවයේ කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම ඔබ ශරීරය හෝ මොළය වෙහෙසවා කටයුතු කිරීමට අපහසු දුබල කෙනෙක් බවට පත් වෙනවා.

පෝෂක ඌනතා ඇතිවීම

 

4 Ways to Prevent Nutritional Deficiencies - Muscle & Fitness

හිතුමනාපෙට කරන ආහාර පාලනය නිසා ඔබේ ශරීරයට අවශ්‍ය පෝෂණය අහිමි වීමෙන් ඔබට පෝෂණ ඌනතා ඇතිවිය හැකියි. කොණ්ඩය අධික ලෙස ගැලවී යාම, නිය කැඩී යාම, දත් දිරායාමට ලක් වීම ආදී බරපතල ගැටලු ඇතිවිය හැකියි. දරුවන් සිටින මව්වරුන්, ගර්භනීත්වය අපේක්ෂා කරන කාන්තාවන් වගේම ශරීරය වෙහෙසීමේ රැකියාවන්වල නිරත වන අය වගේම නව යෞවන වියේ පසුවන දරුවන් මේ ආකාරයට ආහාර පාලනය කිරීම බොහොම අවදානම්.

 

අක්‍රමවත් ආහාර දිරවීම

 

TCM guide to common digestive issues | Oriental Remedies Group

අනවශ්‍ය ලෙස ආහාර පාලනය කිරීම එහෙමත් නැත්නම් ආහාර නොගෙන සිටීම නිසා ඔක්කාරය හා පාචනය යන තත්ත්වයන් මෙන්ම මළබද්ධය ද ඇති විය හැකියි. ඇමරිකානු මනෝවිද්‍යා සංගමයට අනුව ඔබ කනස්සල්ලට පත්වන විට මෙන්ම, ආහාර වේල් අතර වැඩි වේලාවක් යන විට ශරීරයෙන් නිකුත් වන ආතති ප්‍රතිචාරය ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරීත්වයට බාධා ඇති කරයි. තවද ඔබ ආහාර වේලක් මගහැර පසුව අධික ලෙස ආහාර ගැනීම කරයි නම් එය ඔබගේ ආහාර දිරවීම තවදුරටත් අඩාල කරයි. අහාර ජීරණ පද්ධතියේ ඇතිවන මෙම සංකූලතා දිගු කාලීනව වර්ධනය වීම නිසා බඩවැල් ආශ්‍රිතව විවිධ රෝගාබාධ ඇති වන්නට පුළුවන්.

 

Anorexia Bulimia

 

Anorexia in Teenagers | Eating Disorder Treatment in ID

මෙය ආහාර අක්‍රමතාවක් ලෙස හඳුන්වනවා. මෙය මානසිකව ඇතිවන තත්ත්වයක්. තමන්ගෙ ශරීරයේ ස්ථූලතාවය වැඩි යැයි සිතමින් ආහාර පාලනය කිරීම අන්තයට ගොස් තමන් ආහාරයක් ගත් සැනින් අනෙක් පැත්තට වමනය කිරීම හෝ මළපහ කිරීමට පෙළඹීම මේ රෝගී තත්ත්වයේදී සිදු වෙනවා. මෙම රෝගී තත්ත්වය හදුනා නොගෙන දිගු කාලීනව පැවතීම නිසා මරණීය තත්වයට පත් වෙන්න පුළුවන්.

මේ රෝගාබාධ දිගු කාලීනව පැවතීම තුළින් ඔබට තවත් අවදානම් තත්ත්වයේ රෝගාබාධවලට මුහුණ පෑමට සිදු වේවි. එම නිසා ස්ථූලතාවය මට්ටු කරන්න කෑම පාලනය කරන විට අනිවාර්යයෙන්ම ඒ පිළිබඳව විශේෂඥයෙකුගෙන් උපදෙස් ලබා ගැනීම ඉතාම වැදගත්.

කුශාන්ති අනුරාධා බණ්ඩාර

The Messy Crumbler | Restaurant Review …

Dare to make a sweet mess – The Messy Crumbler knows best!

The Messy Crumbler 2020 ජුනි මාසයේදී ආරම්භ කර තිබෙනවා. ඒ වගේම බොහෝ කාලයක් තිස්සේ සෑම කෙනෙක්ම කන්න ආසම කෑමක් තමයි Messy Crumbler කියලා කියන්නේ.

ක්‍රීම් චීස් සමග කැරට් කේක් වැනි බේක් කරන ලද සමහර රස කැවිලි බොහොමයක්, පාරම්පරික කෑම වට්ටෝරු වැඩි දියුණුකර සකසා තිබෙනවා. ඒ වගේම Messy Crumbler බොහොමයකට භාවිත කර ඇති toppings වර්ග The Messy Crumbler වලට ආවේනික වුවක් වනවා.

Gooey Chocolate Cake (5/5)

 

The Messy Crumbler’s Gooey Chocolate Cake මෙහි නමට ගැලපෙන්නේ ‘gooeyness’ යන නාමයයි. මෙය මතුපිට කොකෝවා කුඩු ඉසින ලද තුනී ලේයර් තට්ටු දෙකක් සහිත dark chocolate කේක් එකක්. එය ඉතා රසවත් වනවා වගේම ඇසට ප්‍රියමනාප පෙනුමකින් යුක්ත වනවා. ඒ වගේම තමයි නිවැරදි ප්‍රමාණයේ රස සංකලනයෙන් යුතු වන නිසා ඉතා ප්‍රණීත රසයක් ගෙන දෙනවා. මේ නිසාම එක පාරකින් රස විදීම නතර වෙන්නේ නැහැ. ඔබ අනිවාර්යයෙන්ම දෙවන වතාවටත් මෙහි රසය විඳින බව නොඅනුමානයි.The Messy Crumbler හි රසය නිසාම ඒ සදහා හොඳ ඉල්ලුමක් ඇති බවද පුදුමයක් නැහැ. ඒ වගේම මෙහි flourless සහ gluten රහිත නිසා බොහෝ දෙනෙක් මෙය කිසිදු බියකින් තොරව ආහාරයට ගන්නවා.

Gooey Chocolate Cake 670 g (LKR 4,900), 840 g (LKR 5,500) සහ 1 kg (LKR 6,200) ප්‍රමාණයක් ඔබට පෙර ඇණවුම් පදනම මත මේවා ලබා ගත හැකියි.

Apple Crumble Tart (4/5)

 

මෙම Apple Crumble Tart කුරුඳු මිශ්‍ර කළ ඇපල් මිශ්‍රණයෙන් පුරවා එයට බටර් සහ හැපෙනසුළු crumble topping එකතු කර සාදා තිබෙනවා. රසවත් ආකාරයෙන් ඉදිරිපත් කර ඇති නිසා බොහෝ පාරිභෝගිකයන් මේ සදහා ප්‍රිය කරනවා. නියම ප්‍රමාණයට පැණි රසය එකතු කර ඇති මෙහි tart ද හොඳින් කුඩු කර එකතු කර තිබෙනවා. මෙහි සියළුම අමුද්‍රව්‍ය නිසි පදමට එකතු කර මෘදු පැණි රසයක් එන ආකාරයෙන් සාදා ඇති නිසා අතුරුපසට අමතරව සැහැල්ලු සුළු කෑමක් විදියට හෝ උදෑසන ආහාරයක් ලෙසද භාවිතයට ගන්න පුළුවන්.

6 (LKR 3,500) ඇසුරුම් සහිතව ඇත. 12 (LKR 5,500) ඇසුරුම් සහිතව ඇත.

Carrot Cake with Cream Cheese (5/5)

 

මෙය අපගේ ප්‍රියතම එකක්! බොහෝ දෙනෙක් ප්‍රිය කෑම වට්ටෝරුවක් සහිත මෙම කේක් එක නැවුම් කැරට්, මුද්දරස්පලම් සහ තවත් කුළුබඩු කිහිපයක් එකතු කර සාදා තිබෙනවා. ඒ වගේම topped එක සඳහා cream cheese frosting සහ Messy Crumbler’s own honey oat crumble සහිතව මෙය රසවත් ලෙස සකසා තිබෙනවා.මෙහි baker කියන විදියට ගොඩක් customersලා කියන්නේ මේ කේක් එකක් නත්තල් කාලය සඳහා වඩාත් සුදුසුයි කියලා. අපි ඒකට සම්පුර්ණයෙන්ම එකඟ වෙනවා.

750 g (LKR 5,100) වලින් ලබා ගත හැක.

Victoria Sponge Cake (4/5)

 

මෙය වැනිලා බටර් ක්‍රීම් සහ ස්ට්‍රෝබෙරි ජෑම් තට්ටුවක් සහිත සැහැල්ලු බවින් යුත් ස්පොන්ජ් කේක් එකක්. මේ කේක් එක classic සහ nostalgic වීම නිසා එහි රසය විඳින වැඩිහිටි පුද්ගලයන්ට ඔවුන්ගේ ළමා කාලය සිහිපත් කරවන තරම් රසින් යුක්ත වෙනවා. ජෑම් සහ බටර් ක්‍රීම් පිරවීමෙන් ලබා දෙන පැණි රසය නිසා මේ කේක් එක මගේ ප්‍රියතම එකක් වනවා. අනෙකුත් කේක් වලට අභියෝගයක් ඇති කිරීමට තරම් මෙය රසයෙන් අනූන වීම මෙහි විශේෂත්වයක් වනවා.

දළ වශයෙන් ග්‍රෑම් 690 ක් සහ පාර්සල් කර (LKR 3,800) ඇසුරුම් පෙට්ටියක් ලෙසද (LKR 4,100) මිලදී ගත හැක.

Banana Chocolate Chip Crumble (5/5)

 

The Messy Crumbler’s twist on the usual banana bread or banana cake; මෙම Banana Chocolate Chip Crumble එක Messy Crumbler එකටක පැමිණෙන පාරිභෝගිකයන්ගේ තවත් එක් ප්‍රියතම ආහාරයක් වනවා. මෙහි Topped එක හැපෙනසුළු සහ buttery crumble යොදා රසවත් කර තිබෙනවා. මෙහි ඇතුළත චොකලට් යොදා ඇති අතර එය කෙසෙල් වල රසය සමග හොඳින් මිශ්‍ර වීමෙන් මෙහි රසය වැඩි කර තිබෙනවා.

500 g (LKR 2,500) සහ 1 kg (LKR 4,100) වලින් ලබා ගත හැක.

අවසාන සිතුවිලි

මව්වරුන්ගේ දිනය වෙනුවෙන්, The Messy Crumbler විසින් වෙන් වෙන්ව වර්ගීකරණය කරන ලද කේක් පෙට්ටියක් නිර්මාණය කර තිබෙනවා. එය මෙනුවේ ඇති අයිතම පහෙන් දෙකක් (මුළු අයිතම දහයක්) අඩංගු කර ඔවුන්ගේ කැමැත්ත මත සකස් කළ රුපියල් 6,700 ක පැකේජයක් වනවා. ඔබ විශේෂ දිනයක ඔබේ ආදරණීයන් පුදුම කරවීමට , සතුටු කිරීමට බලාපොරොත්තු වන්නේ නම්, The Messy Crumbler’s ඔබට ඒ සදහා අවශ්‍ය සියලු දේ සපයා දෙනු ලබනවා.

The home bakers’ හි රසවත් කෑම පෙර-ඇණවුම් පදනමක් මත ලබා ගන්න පුළුවන්. ඔවුන්ගේ bake දින සාමාන්‍යයෙන් බදාදා සිට ඉරිදා දක්වා වනවා. නමුත් ඒවා ලැබෙන ඇණවුම් ප්‍රමාණය අනුව අඩු වැඩි වශයෙන් වෙනස් විය හැක. Instagram, WhatsApp හෝ සෘජු ඇමතුම් හරහා බෙදා හැරීමට අවම වශයෙන් පැය 24 කට පෙර සියලුම ඇණවුම් සිදු කර තහවුරු කළ යුතු වනවා.

ඇණවුම් මත ගෙවීම් බැංකු හුවමාරුව හරහා පිළිගනු ලබන අතර ඒවා පැලවත්තෙන් ලබා ගත හැකිය. නැතහොත් PickMe Flash හරහා කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල බෙදා හැරීම කළ හැකිය. කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල බෙදා හැරීමේ ගාස්තු දළ වශයෙන් රුපියල් 300 ක්.

ඔබට Instagram හි Messy Crumbler (@themessycrumbler) follow කිරීමෙන්, ඔවුන් දිනෙන් දින හඳුන්වා දෙන ප්‍රණීත ආහාර ගැන විමසිල්ලෙන් සිට ඒවායේ රස මගනොහැරම විඳගන්න පුළුවන්.

 

ඔබ දන්නවාද ?

  • නිෂ්පාදන හලාල් වන අතර, විශේෂ උත්සව අවස්ථා වලදී (නත්තල් දීමනා වැනි) නිෂ්පාදනවල ඇතැම් විට alcohol අඩංගු විය හැක.

 

Crepe Runner | Restaurant Review …

Crepes That Strike a Balance: Filling Yet Perfectly Snack-Sized!

 

ඔබ කැමතිම සහ රසවත් ක්‍රේප් සහ බීම වර්ග ඔබට පහසුවෙන් ලබා ගැනීම සදහා Crepe Runner දැන් ශාඛා හතක් දක්වා ව්‍යාප්ත කරමින් Colombo City Center හි දී අළුත් ශාඛාවක් ඔබේ පහසුව වෙනුවෙන්ම විවෘත කර තිබෙනවා.

සුවපහසු දවසක් ගත කිරීමට කැමති ඔබ වෙනුවෙන් පමණක් නොව සුන්දර මතකයන් රාශියක් එකතු කර ගැනීමට කැමති ඔබ වෙනුවෙන්ම මෙම ස්ථානය ඉතාමත් උචිතයි. Crepe Runner වෙතින් ක්‍රිස්පි රසට හැපෙන පැණි රස ක්‍රේප් වර්ග රාශියක් සහ රසවත් බීම වර්ග ඔබ වෙනුවෙන්ම ඉදිරිපත් කර තිබෙනවා.

 

Strawberry Maniac with Nutella Base – LKR 910 (4/5)

 

Nutella Base එකකින් සමන්විත පැණිරස ක්‍රේප් මත පෙති කපන ලද ස්ට්‍රෝබෙරි සහ හැපෙනසුළු crunchy cornflakes එක්කර තිබෙන Strawberry Maniac with Nutella Base ඔබට පිළිගන්වනු ලබනවා. සියලුම පැණිරස Crepes, milk chocolate, white chocolate සහ Nutella සමග වඩාත් රසවත් රසයන්ගෙන් යුත් Base එකක් සමග පිළිගැන්වීම සිදුකරනවා. එසේම ඔබගේ රසයට ගැපපෙන පරිදි ඔබ කැමති ආකාරයෙන් Crepes රස විඳීමට ඔබට මෙහිදී ඉඩ සලසා දෙනු ලබනවා.

 

Peanut Butter + Banana with Milk Chocolate Base – LKR 650 (5/5)

 

Peanut Butter සමග චොකලට් කිරි මිශ්‍ර කෙසෙල් අපි කවුරුත් දන්නා රස සංයෝජන එකතුවක්. Peanut Butter සමග එකතු වන චොකලට් කිරි මිශ්‍ර කෙසෙල් , පැණි රසයෙන් අනූන රස ද්විත්වයක් ගෙන ‍දෙනු ලබනවා. එමෙන්ම රටකජු කුඩා කැබලි හැපෙන විට ලබා දෙන මිහිරි රසය ඉතා ප්‍රණිත බවක් ගෙන දෙනවා.

 

Runner Beef Steak – LKR 930 (3/5)

 

රනර් බීෆ් ස්ටීක් කියන්නේ beef steak සමග cheese සහ herbs පිරවූ හැපෙනසුළු Crepe වර්ගයක්. මෙය සියලුම අමුද්‍රව්‍ය එකම ප්‍රමාණයෙන්ම පුරවා තිබෙනවා. හොඳ beef රසයක් ඇති මෙම Crepe එක තරමක් අධික ලෙස පිසුණු සහ වියලි බවක් ගත් අතර, එය මා තෝරාගත් දෙවල් අතර මං අඩුවෙන්ම කැමති වුණ එකක්. කොහොමවුණත් මං තවත් දවසක මේක try කරලා බලනවා කියලා හිතුවා.

 

Strawberry Red Bull Mojito – LKR 1,410 (5/5)

 

ඉතාමත් රසවත් පැණිරස crepes කෑමෙන් පසු මගහැරිය නොහැකි ඉතා රසවත් පානයක් තමයි Strawberry Red Bull Mojito කියන්නේ. මේ මොජිටෝ එක සම්භාව්‍ය මොජිටෝ එහෙකට වැඩි වෙනසක් සිදුකර තිබෙනවා. ඒ තමයි මෙයට ස්ට්‍රෝබෙරි රසය තවත් රසවත් ලෙස වැඩි වීමට මින්චි සහ දෙහි යුෂ ස්වල්පයක් එක්කර තිබීම. ඒ වගේම නමේ සඳහන් වන පරිදි Red Bull පානයෙන් ලැබෙන ජව සම්පන්න බව අත්විඳින්න ඔබට පුළුවන්. ඔබ Red Bull රස විඳින අයෙක් නම් මෙය අනිවාර්යෙන්ම රස විඳින බව නොඅනුමානයි.

 

Coffee Milkshake – LKR 500 (3/5)

 

ඔබ ව්‍යාකූල මනසකින් සිටී නම් ඒ සදහා Coffee Milkshake ඔබට වඩාත් සුදුසු වනවා. කෙසේවෙතත්, මෙම මිල්ක්ෂේක් වල කෝපි රසය මදක් අඩු ස්වාභාවයක් ගන්නවා. ඔබ කෝපි රසය වැඩි වශයෙන් බලාපොරොත්තු වන අයෙක් නම් මෙය ඔබට ගැලපෙන්නේ නැහැ. මුලදී මෙය ඉතා ප්‍රියජනක රසයක් ගෙන දුන්නද දිගු වේලාවක් එම රසය පැවතියේ නැහැ.

 

Ambiance (4/5)

 

Colombo City Centre හි පවතින මෙම ආපනශාලාව පිහිටි ස්ථානය හා ඒ සම්බන්ධ වැඩි විස්තර Instagram වෙත පිවිසීමෙන් ඔබට ලබා ගැනීමට හැකි වනවා. සිත් ඇදගන්නා සුළු බිත්ති සිතුවම් සහ ආලෝකයන්ගෙන් සකසා ඇති මෙහි ඇතුලත පරිසරය ඔබටත් ඔබේ පවුලේ සැමටත් ඉතා සුදුසු වනවා. එසේම ඔබේ මිතුරන් සමග හා ඔබේ සහකරු සහකාරිය සමග කෙටි විවේකයක් ගත කිරීමටද මෙය හොද ස්ථානයක්. මෙහි කුඩා ඉඩකඩක් පැවතියද ඇතුලත උණුසුම් සුවපහසු බවකින් සමන්විත වනවා. සුන්දර මතකයන් එකතු කර ගැනීමට කැමති ඕනෑම කෙනෙකුට මෙය හොද පරිසරයක් වන අතරම ඔබ කාර්යබහුල කෙනෙකු නම් ඉක්මනින් ආහාර ලබා ගැනීමට මෙය කදිම ස්ථානයක්. ඔබත් මෙහි පැමිණ ඔබේ ආදරවන්තයින් සමග සුන්දර මතක රැසක් එකතු කර ගන්න.

 

Service (5/5)

 

 

මෙම ස්ථානයේදී සෑම පාරිභෝගිකයෙකුටම සිනහවකින් ආචාර කරමින් උණුසුම් පිළිගැනීමක් ලබා දෙනවා. ඔබගේ සිත් සතුටු කිරීමට මෙහි කාර්ය මණ්ඩලය බොහෝ වෙහෙසක් දරන අතර ඔවුන් තම එක් එක් පාරිභෝගිකයින් කෙරෙහි අවධානය යොමු කරන්නේ ඔවුන් ඉල්ලා සිටින දෙයට සවන් දීමට මෙන්ම ඔවුන්ගේ කැමැත්ත අනුව ඔවුන්ට අවශ්‍ය මොනවාද යන්න නිර්දේශ කිරීමෙන්. මෙහි වැදගත්ම දෙය නම් සේවකයන්ගේ වේගවත් සේවාවයි. කුසගින්නෙන් තමන් වෙත පැමිණෙන පාරිභෝගිකයන් පිලිබදව මෙහි සේවක මණ්ඩලය ඉතා අවධානයෙන් කටයුතු කරනවා.

ගෙදරදී වාහනයක් wash කරන කොට සැලකිලිමත් විය යුතු කරුණු …

වර්තමානයේ අපි හැමෝම ගෙවන්නේ කාර්ය බහුලදින චර්යාවක්. ඉතින් අපේ එදිනෙදා වැඩ කටයුතු පහසුවෙන් වගේම නිවැරදිව සිදු කරගන්නේ කොහොමද කියන එක ගැන අපි සැලකිලිමත් වෙනවා. ඔබ වාහනයක හිමිකරුවෙක් නම් කොපමණ කාර්යබහුල වුවත් තමන්ගේ වාහනය පිරිසිදුව ලස්සනට තබා ගන්න එක ගැන සැලකිලිමත් විය යුතුමයි. තමන්ගෙ වාහනය හොදින් නඩත්තු කරන කෙනෙකුට ඇති වන ගැටලුවක් තමයි වාහනය නිවැරදිව නිවසේදීම සෝදාගන්නේ කොහොමද කියන එක. ඉතින් අපි සිතුවා නිවසේදී වාහනයක් නිවැරදිව සෝදාගැනීමේ දී සැලකිලිමත් විය යුතු කරුණු ගැන ඔබව දැනුවත් කරන්න.

 

 

වාහනය සේදීම සඳහා ඔබට හෝස් පයිප්පයක් (ජල බටයක්) හෝ පීඩන සෝදන යන්ත්‍රයක් භාවිත කිරීමට පුළුවන්. පීඩන සෝදන යන්ත්‍රයක් භාවිත කිරීමෙන් ඇතැම් විට දැඩි පීඩනය ඔබේ වාහනයට හානි දායක විය හැකියි. එමනිසා ප්ලාස්ටික් – බම්පර්, එන්ජිම වටා සහ බොනට් එක පෙදෙස සේදීමට පීඩන සෝදන යන්ත්‍රය භාවිත නොකළ යුතුයි.

 

සේදුම්කාරකය ලෙස සබන් හෝ සේදුම් ඉටි භාවිත කරන්න පුළුවන්. ඒ වගේම සාමන්‍ය සබන් වෙනුවට ජලය රහිත වාහන සේදුම්කාරක භාවිත කිරීමටත් ඔබට පුළුවන්. මේ සඳහා වාහනය පිරිමැදීමට ස්පොන්ජ් එකක් යොදාගන්න පුළුවන්.

වාහනය සෝදන විට ඉහළ කොටස්වලින් අරඹා පහළ කොටස් වෙත යෑම වඩාත් සුදුසුයි. මෙලෙස කොටස් වශයෙන් වාහනය සේදීමේ දී එක් කොටසක සබන් ගා සෝදා හැර ඊගාව කොටසේ සබන් ගාන්න. එවිට වාහනය වඩාත් හොද නිමාවකින් යුතුව පිරිසිදු කර ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා.

 

 

ඒ වගේම වාහනය සේදීමෙන් පසු පිසදැමීම සඳහා මයික්‍රොෆයිබර් ‍රෙදි හෝ තුවායක් භාවිත කිරීම වඩාත් සුදුසුයි. ඔබේ වාහනය රෙදිකඩක් ආධාරයෙන් අතින් පිසදැමීම මගින් කිසිදු සලකුණක් ඉතිරි නොකර හොදින් පිසදාගැනීමට හැකියාව ලැබෙනවා.

වාහනය පිටතින් සෝදා වියළුණු පසු දොරවල් විවෘත කර දොරවල් අතර තෙත රෙදි කඩකින් පිසඳමන්න. ඒ වගේම වෙනම රෙද්දක්, බුරුසුවක් හෝ ස්පොන්ජ් එකක් යොදාගෙන රෝද කොටස් සෝදා පිරිසිදු කර ගැනීම සිදු කරන්න.

 

වාහනයක් සෝදා ගැනීමට සුදුසුම කාලය හිරු එළිය තදින් පවතින දහවල් කාලය බව ඔබ සිතුවත්. අධික හිරු එළියක් තිබෙන විට ඔබ වාහනය සෝදා පිසදැමීමට පෙර වතුර වේලීම මගින් වාහනයේ සබන් සලකුණු ඉතිරි වීමට පුළුවන්. එම නිසා උදෑසන කාලය වාහනයක් සේදීමට වඩාත් සුදුසුයි. මෙලෙස අවම වශයෙන් සති දෙකකට වරක් ඔබේ වාහනය සෝදා පිරිසිදු කර ගැනීම ඔබගේ වාහනයේ පෙනුම රැක ගැනීමටත් දිගුකල් පැවැත්මටත් උපකාරී වෙයි.

 

 

කුශාන්ති අනුරාධා බණ්ඩාර

ඉන්දියානු විදියට රසම රස බිරියානි කන්න Biryaniwaala යන්න …

Biryaniwaala – ඉන්දියානු සහ පකිස්ථානු රසැති ආහාර

බිරියානි වලට කැමති සියලුම දෙනාටම වගේම රසවත් ඉන්දු-පකිස්ථානු කෑම රස විදින ඔබට මෙය සුදුසුම ස්ථානයක්. මේ Biryaniwaala Resturant එක වැල්ලවත්තේ පිහිටා තිබෙනවා. පළපුරුදු සූපවේදීන් විසින් ඉන්දියානු කුළුබඩු එක් කර සාදන ඉන්දියානු සහ පකිස්ථානු රසැති මෙම ආහාර, ඔබට නියම බිරියානි රස ලබා දෙන බව අපට විශ්වාසයි.

මෙම Biryaniwaala Resturant හිදී ඉන්දු-පකිස්ථානු බිරියානි පිළිබඳ විශේෂ අවානයක් යොමු කරනවා. ඒ වගේම ප්‍රථම වතාවට ඉන්දියානු සහ පකිස්ථානු රසැති ආහාර Biryaniwaala Resturant මගින් මහජනතාවට පිළිගන්වනවා.

අපි මේ Resturant එකේ හොඳම ආහාර මෙනු එක බලමු.

පානි පූරි  – LKR 500 (4/5)


ඉන්දියානු වීදි ආහාරවල ගොඩක් දෙනෙක් රස බලන ප්‍රණීතම කෑමක් තමයි පානි පූරී. මෙම ප්‍රණීත ආහාරය අර්තාපල්, කඩල, ළූණු සහ කොත්තමල්ලි චට්නි සමඟ ක්‍රිස්පි රසට හැපෙන සුළු shell එකක් තුළ පුරවා ඇති අතර, ඊට ඉහළින් සියඹලා චට්නි සහ ඇඹුල් වතුර (මින්චි, කොත්තමල්ලි සහ වෙනත් කුළුබඩු) වලින් සමන්විතයි.

දායි පූරි – LKR 600 (5/5)


පානි පූරි රසය දන්න කෙනෙක් පානි පූරි වලින් පමණක් නතර වෙන්නේ නෑ . එය dahi (curd) pori දක්වා ම යනවා. මිරිස් කුඩු කලවම් කරපු කිරි එකතු කරලා උඩින් ඉසින චාට් මසාලා එකත් එක්කම හදන මේ පූරි එකත් හරිම රසයි.

ප්‍රධාන ආහාර

එළුමස් බිරියානි – LKR 1,900 (5/5)


එළුමස් බිරියානි කියන්නේ ප්‍රණීත ආහාරයක්. මෙය කුංකුම කිරි මිශ්‍ර කළ බත්, එළුමස්, අර්තාපල් සහ මසාලා සමග පිරිනමනු ලබන අතර එළුමස් මෘදු සහ රසවත් ලෙස පිසිනු ලබනවා. Raita (රයිටා) සමග කන විට ළූණු, මිරිස් සහ වෙනත් විවිධ කුළුබඩු රසය එකතු වීමෙන් මේ එළුමස් බිරියාන් එකේ රසය තවත් වැඩි කරනවා.

තන්දූරි චිකන් බිරියානි – LKR 1,600 (5/5)


බත් මත තබා ලබා දෙන තන්දූරි කුකුල් මස් ආහාර වට්ටෝරුවේ සැර වගේම රසයෙන් පිරි කෑමක් වනවා. කෑම පිඟානේ සුවඳ වගේම රසයත් ඔබ බලාපොරොත්තු වෙන විදියට එක වගේම තියෙනවා. මේ බිරියානි එකට යොදා ඇති අමුද්‍රව්‍ය, එළුමස් බිරියානි සමග සමාන වුවත් මෙයට යොදා ඇති කුකුල් මස් මෙහි වැඩි රසයක් ගන්නවා. ඒ වගේම තන්දූරි චිකන් බිරියානි එක බිරියානි වලට වැඩි කැමැත්තක් දක්වන අයට අනිවාර්යයෙන්ම ගැලපෙන දෙයක්.

 

තන්දූරි කඩා  (Quail) – LKR 1,100 (4/5 )

බොහෝ දෙනෙක් රස විදීමට කැමති ආහාරයක් තමයි “Tandoori Kada” කියන්නේ. යෝගට් සහ අච්චාරු දැමූ මෙම ආහාරය සම්පූර්ණ කුළුබඩු යෙදීමෙන් අපූරු රසයක් ලබා දෙනවා. මෙය ඉස්ම සහිත ස්වරූපයක් ගන්නා අතර ගෙදර සාදන බැදපු කුකුල් මස් වලට සමානයි. මින්ට් චට්නි සමග මෙම “Tandoori Kada” වඩාත් ගැලපෙන රසවත් කෑමක් වනවා.

පනීර් ටික්කා – LKR 800 (3/5)

පනීර් කියන්නේනම් ප්‍රසිද්ධ නිර්මාංශ ආහාරයක් බව අපි හැමෝම දන්නවානේ. තන්දූරි මසාලා හා කිරි පදම් කර ගත් මෙම පනීර් ටික්කා අඟුරු මත හොඳින් පිස තිබුණත් මෙය තවත් රස ගන්වා තිබුණානම් හොඳයි කියලා හිතුනා. කොහොමවුනත් මෙය නිර්මාංශ අය සඳහා හොඳ ආහාරයක්.

 

අතුරුපස

ජලේබි – LKR 250 (5/5)


උණුසුම් හා හැපෙනසුළු ලෙස මට ලැබුණු මේ අතුරුපස ප්‍රියතම රසයක් එක් කළා. සිරප් වල පෙඟවීමෙන් පසු තිරිඟු පිටි බැටරය සමග මිශ්‍ර කර ගැඹුරු ‌තෙලේ බැදීමෙන් පසු සාදන ලද මෙය ඔයත් අත්හදා බලන්න අමතක කරන්න එපා.

 

කැරට් හල්වා – LKR 450 (5/5)

කැරට් හල්වා යනු උකු කිරි, ගිතෙල් සහ කුළුබඩු කිහිපයකින් පිසූ කැරට් වලින් සාදන ලද ජනප්‍රිය ඉන්දියානු ප්‍රණීත ආහාරයක්. ඇදහිය නොහැකි තරම් creamy සහ සිනිඳු බවක් ගත් මේ කැරට් හල්වා එක ඇට වර්ග එකතු කිරීමත් එක්ක හැපෙනසුළු බවක් දැනුනා.

බීම වර්ග

Nimbu Paani (දෙහි යුෂ) – LKR 400 (4/5)


විසිතුරු අලංකාර වීදුරු වල ඉදිරිපත් කෙරූ මෙය ඉතාමත් ආකර්ශනීය බවක් ඇති කළා. විදුලි බුබුලක හැඩැති වීදුරුවක දමා ඉදිරිපත් කරන මෙම බීම වර්ගය පැණිරස දෙහි යුෂ වලින් සමන්විත වනවා. මෙම පානය ඔබට වඩාත් අවශ්‍ය වන්නේ උණුසුම් හා අව්ව සහිත දිනයකයි.

ලුණු දැමූ ලැසි – LKR 600 (5/5)

ඔබ බොහෝ විට පැණි රස ලැසී බීලා තිබුණත් කවදාකහරි ලුණු දැමූ ලැසී එකක් බීලා තියෙනවාද? ඔයාට එහෙම අත්දැකීමක් අරගෙන නැත්නම් බිරියානිවාලා Restaurant එක තමයි ඒකට හොඳම තැන. යෝගට් වලට ලුණු දමා සෑදූ මෙම පානය ඔබේ oder එකට ගැලපෙන්නේ නෑ කියලා හිතනවානම් ඔයත් ගිහින් Try කරලා බලන්න.

මසාලා චායි – LKR 350 (5/5)


වැසි දින වලදී මෙම පානය වඩාත් සුදුසුයි. මෙම “මසාලා චායි” කුළුබඩු හා පැණිරසයෙන් අනූන හේතුවෙන් මෙම පානය බොහෝ දෙනාගේ සිත් දිනා ගන්නා සුළු පානයක් වනවා. සාදික්කා, කුරුඳු, කරදමුංගු සහ තවත් බොහෝ විශේෂ කුළුබඩු වලින් සාදන ලද මෙය වඩාත් රසවත් පානයක්.

පරිසරය

බිත්තිවල පින්තාරු කරන ලද බිතුසිතුවම් මෙන්ම අනෙකුත් අලංකරණ බොහෝ දෙනාගේ සිත් ගන්නා ස්ථානයක් වන අතරම ඔවුන්ගේ සිත් ගන්නා සුළු පිළිගැනීම නිසා ඔයාට හොඳ අත්දැකීමක් එකතු කරනවා. කෙසේවෙතත්, අවන්හල තරමක් කුඩා ඉඩකින් සමන්විත වන නිසා මෙහි ආසන ධාරිතාව නම් සීමා සහිත වනවා. සමස්තයක් ලෙස ගත් කල, බිරියානිවාලා යනු දේශීය කෑමට ආදරය කරන අප වැනි අයට කදිම ස්ථානයකි

ඔබ දන්නවාද ?

  •  අවන්හලේ සීමිත ධාරිතාව හේතුවෙන්, සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා වෙන් කිරීම් සිදු කරන්න පුළුවන්. නමුත් සිකුරාදා සිට ඉරිදා දක්වා වෙන් කිරීම් සිදු කරන්න බැහැ.