හතර වටෙන් ඔයත් විනෝදෙට සිගරට් බොන කෙනෙක්ද? යාළුවෝ එක්ක එකතු වුණාම ෂීෂා වගේ දේවල්...

ඔයත් විනෝදෙට සිගරට් බොන කෙනෙක්ද? යාළුවෝ එක්ක එකතු වුණාම ෂීෂා වගේ දේවල් ට්‍රයි කරනවාද?

2019 Jul 3

පසුගිය වසරවල මෙන්ම වර්තමානය වන විටත් දුම්පානය ජනප්‍රිය මාතෘකාවක් බවට පත්වෙලා තියෙනවා. තමන්ගේ මිතුරන් සමග සිටින විට මෙන්ම රාජකාරී ස්ථානයේ හෝ වේවා සිය නිවසේදී හෝ වේවා මේ දුම්පානය ප්‍රියතම විනෝදයක් බවට පත්වෙලා තියෙනවා. එහෙත් දුම්පානය සහ මෙමගින් සිදුවන හානිය කොතෙක්ද යන්න බොහෝ දෙනෙක්ට අමතක වී ගිහින්. විශේෂයෙන් තරුණ පරම්පරාවන් අතර මෙම ජනප්‍රිය පුරුද්ද වැඩි වශයෙන් දැකගන්නට ලැබෙනවා.

මෙම දුම්පානය සෞඛ්‍යට අහිතකර වන්නේ කොහොමද? අවම වශයෙන් අපේ රටේ තරුණ පරම්පරාව මෙම දුම්පානය මගින් සිය ශරීරය තුළට දුමක් විදියට ඇතුළුවන්නේ කුමක්ද යන්න හෝ දැන සිටිය යුතුයි. ඉතින් මේ පිළිබඳව වැඩිදුර තොරතුරු විමසා බලන්නට අප, උපදේශන ශ්වසන වෛද්‍ය සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය යමුනා රාජපක්ෂ මහත්මිය සමග කතා කළා. මේ ඇය මේ ගැන කියූ කරුණුයි.

දුම්පානය පිටුපස ඇති ජීව විද්‍යාව

වෛද්‍ය රාජපක්ෂ මහත්මිය අවධාරණය කරන පරිදි දුම්පානය මගින් ඇතැම් විෂ ද්‍රව්‍ය ශ්වසන පද්ධතියට ඇතුළු වීම මගින් පෙනහළුවලට හානි සිදුවනවා. එය ක්‍රම කිහිපයකින් සිදුවන අතර පළමු ක්‍රමය නම් ශ්වසන මාර්ගය ඇතුලත ඇති සිහින් ආරක්ෂිත ව්‍යුහයන් හානි කිරීමයි. එය සිලියා යන නමින්ද හඳුන්වනවා. මෙම සිලියා මගින් සාමාන්‍යයෙන් සිදු කෙරෙන්නේ විෂ හා දූවිලි පද්ධතියෙන් ඉවතට ගෙන යාමයි. නමුත් දුම්පානය මගින් අපගේ පෙනහලුවලට ඇතුළුවන දුමාරයේ සංඝටක මගින් මෙම සිලියා විනාශ වන අතර එමගින් අපේ ශ්වසන පද්ධතිය සුළු දෙයකන් පවා (උදාහරණ ලෙස දූවිලි, පරාග, සත්ත්ව ලොම්, ආසාදන) අවදානමකට ලක්විය හැකියි.

දුම් පානය, පෙනහළු පිළිකා සහ වෙනත් තත්වයන්

දුම් පානය කරන්නන් සහ පෙනහළු පිළිකා අතර සැලකිය යුතු සම්බන්ධයක් තියෙනවා. පෙනහළු පිළිකාවෙන් මියයන පිරිස අතර වැඩි පිරිසක් පිරිමි පාර්ශවයයි. දුම්පානය හා සම්බන්ධ ඊළඟ ප්‍රධාන තත්වය වන්නේ පෙණහල්ල පිළිබඳ නිදන්ගත රෝගයි (Chronic Obstructive Pulmonary Disease (COPD). මෙය ආරම්භ වන්නේ දුම් පානය කරන කෙනෙකුට දිගු කාලයක් තිස්සේ තිබුන කැස්සකින්. වාමඟ ප්‍රදාහය වීමෙන් සහ පෙනහළු වල ඇති ආරක්‍ෂිත පක්ෂ්මයට හානි වීමෙන් මේ රෝගය ඇති වේ. එයින් පෙනහළු වල සෙම එකතු වේ. මේ නිසා හුස්ම හිරවීම සහ හුස්ම ගැනීමේ අපහසුතාවයන් ඇතිවෙන්න පුළුවන්. මේ නිසා දුම්පානයෙන් පෙනහළු රෝග සහ වෙනත් ශ්වසන රෝග සඳහාද ගොදුරු විය හැකියි.

දුම්පානයෙන් ඇති විය හැකි බලපෑම් වලට යොවුන් වියේ අය ගොදුරු වෙනවාද?

අපිට මේක කුඩා දරුවන් හා තරුණ වැඩිහිටියන් ලෙස බෙදා දක්වන්න පුළුවන්. කුඩා දරුවන් ඉදිරියේ දුම්පානය කරන පුද්ගලයින්ට එම දරුවන්ගේ පෙනහළුවලට බලපෑමක් එල්ල කරන්න පුළුවන්. විශේෂයෙන් එම දරුවන් ඇඳුම රෝගයෙන් පෙලෙනවානම් මෙමගින් අවදානමක් ඇතිවෙන්න තියෙන අවස්ථා වැඩියි. එමෙන්ම ගර්භනී කාන්තාවන් දිගින් දිගටම දුම් පානය කරනවානම් එම දුමාරයේ සංඝටක දරුවාගේ රුධිරයට ඇතුළු වී පෙනහළුවල වර්ධනය නතර කළ හැකියි. එමගින් දරුවා වැඩිහිටියෙකු බවට පත්වන විට ඔහුගේ පෙනහළු සම්බන්ධයෙන් ප්‍රශ්න මතුවනු ඇත.

තරුණ වැඩිහිටියන් දුම් පානය කිරීම ගැන කතා කරන විට, එය සමුච්චිත බලපෑමක් විදියට හඳුන්වන්න පුළුවන්. නිදසුනක් වශයෙන්, වයස අවුරුදු 40 දී දුම් පානය ආරම්භ කර දැන් 70 වන වියේ පසුවන අයෙක් අවුරුදු 30 ක් දුම්පානය කර ඇති නමුත්, ඔහුට 18 හැවිරිදි වියේ දී දුම්පානය ආරම්භ කළ එම වයසේම අයෙකුට වඩා හොඳ පෙනහළු යුගලයක් තිබෙන්නට පුළුවන. ලාබාල වයසේදීම දුම් පානය ආරම්භ කිරීම තුලින් ඔබගේ පෙනහළු වඩාත් නරක අතට හැරෙනවා. එම අර්ථයෙන් ගත්තොත්, දුම්පානයේ අනිසි ප්‍රතිපල වලට තරුණ වැඩිහිටියන් වඩාත් ගොදුරු වෙන්න පුළුවන්.

අක්‍රීය දුම්පානය ශරීරයට කෙතරම් අහිතකරද?

බොහෝ දෙනෙක් දුම්පානය නොකරත් වෙනත් අයෙක් පානය කරන සිගරට් එකක දුම ආශ්වාස වීම සාමාන්‍ය කාරණයක්. මේ තත්වය පෙණහළු පිළිකා වැනි ලෙඩ රෝග වලට හේතුවක් වනවාද කියන එක බෙහෝ දෙනෙකුට ගැටලුවක්. පිළිතුර ඔව්. බොහෝ විට මේ අක්‍රීය දුම්පානය සෘජුව පුද්ගලයෙකුට වන හානියට වඩා හානිකර වෙන්න පුළුවන්. මීට හේතුව අක්‍රීය දුම්පානයට ලක්වන කෙනෙකුට ක්‍රම දෙකකට දුම් ශරීරගත වීමයි. සිගරට්ටුව දැල්වෙද්දී පිටවන දුමත් ඔබ ළඟ සිටින දුම්පානය කරන පුද්ගලයා ප්‍රාශ්වාසයෙන් පිටකරන දුම කියන ක්‍රම දෙකෙන්ම ඔබට දුම ශරීර ගත විය හැකියි. ඒ අනුව මේ ක්‍රම දෙකෙන්ම පිටවන දුම පිළිකාකාරක ද්‍රව්‍ය විදියට හඳුන්වාදෙන්න පුළුවන්.

ෂීෂා එතරම් නරක නැද්ද?

සිගරට් එකක් මෙන් නරක නොවන බව පවසමින් බොහෝ දෙනෙක් ෂීෂා වෙත යොමුවෙන අවස්ථා දැන් බොහෝ විට දැකගන්න පුළුවන්. හැබැයි කවුරුත් නොදන්න දේ තමයි මෙය සිගරැට්ටුවකට වඩා නරක බව. සමහරෙක් කියා සිටින්නේ පයිප්පයේ භාවිතා කරන ජලයෙන් නිකොටින් අවශෝෂණය කර දුම් පානය කිරීම හානිකර වෙන්නේ නෑ කියලායි. මිනිසුන් ඔවුන්ගේ උපකරණ ගැන සැලකිලිමත් නොවන්නේ නම් සහ එය නිසි ලෙස පිරිසිදු නොකරන්නේ නම් මීට භාවිතා කරන ජල මාධ්‍යය බැක්ටීරියා සහ දිලීර වැඩීමට සුදුසුම ස්ථානය බවට හඳුන්වන්න පුළුවන්. මෙම උපකරණය භාවිත කරන්නේ කණ්ඩායම් ක්‍රියාකාරකමක් හරහායි. එබැවින් මෙය ආසාදන හෝ බැක්ටීරියා බෝවන උපකරණයක් බවට හඳුන්වාදෙන්න පුළුවන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here