හතර වටෙන් හැඳි ගෑරුප්පු පාවිච්චි කරන විදිහ ගැන හරියටම දන්නවාද?

හැඳි ගෑරුප්පු පාවිච්චි කරන විදිහ ගැන හරියටම දන්නවාද?

2020 Feb 27

ලංකාවේ අපේ සාම්ප්‍රදායික කෑම රටාවට අනුව නම් අපි බත්, එළවළු වගේ කෑම වර්ග තමයි ගොඩක් වෙලාවට කෑමට ගන්නේ. බත් සහ එළවළු සහිත එහෙම කෑමක් කන්නෙ අපේ විදිහට අතින් වෙන්න පුළුවන්. ඊට වඩා වෙනස් විදිහකට කෑම ගන්න සිදුවන සමහර විශේෂ අවස්ථා අපට උදා වනවා. විශේෂ උත්සව අවස්ථාවක්, රෑ කෑමකට ලැබෙන ආරාධනයක් එහෙමත් නැත්නම් විශේෂ හමුවක් වගේ අවස්ථාවකට සහභාගී වෙන්න ලැබුනොත් ඒ අවස්ථාවේ කෑම ගන්නෙ කොහොමද කියල දැනගෙන ඉන්න එක ඉතාම වැදගත්. විශේෂ කෑමකට වගේ අවස්ථාවකට තවත් පිරිසක් එක්ක සම්බන්ධ වුන වෙලාවක ඔයා මේ කියන Table manners ගැන හරියට දැනගෙන හිටියේ නැතිනම් ඔයා අපහසුතාවයට පත් වෙන්න බැරි නැහැ.

සාමාන්‍යෙන් මේ විදිහේ කෑමකට ගිය වෙලාවකට ඔයාට ඒ මේසයේ සැකැස්ම දකින්න පුළුවන් වෙන්නේ මේ විදිහට. කෑම බටහිර පන්නයේ එකක් නම්, ඒ විදිහේ කෑමකට අවශ්‍ය කරන සැකැස්මක් ඔයාගේ මේසයේ හදල තියෙයි. සුප්එක එහෙම කෑම වේලක ආරම්භක පියවර. ඒ නිසා සුප් එක බොන්න ගැලපෙන විදිහේ භාජන සහ ප්‍රධාන කෑම වේලට පෙර ලැබෙන සුළු කෑම වර්ග (appetizer) ගන්න අවශ්‍ය වෙන dishes ඔයාගේ මේසයේ පිළිවෙලට තබා තියේවි. ඒ දේවල් එක්කම නැප්කින් එකත් පිළිවෙලට සකස් කරලා මේසය උඩ තබා තියෙනවා ඔබට පෙනේවි. කෑමට පුටුවේ වාඩි වුනහම ඔයා ඒ නැප්කින් එක ඔයාගේ උකුල උඩ එලාගැනීම අවශ්‍යයි. ඒ වගේම සාමාන්‍ය මතය තමයි කෑම මේසයේ අත් දෙක වැලමිටෙන් මේසයේ රඳවාගෙන ඉන්න ඕන කියන එක. නමුත් ඒක වැරදි මතයක්. කෑමට පෙර නැතිනම් කෑමෙන් පසු මේසයේ ඉන්න අය එක්ක සංවාදයක ඉන්නවා වගේ නම් ඒ ක්‍රමයේ වරදක් නැහැ. නමුත් කෑම ගන්න අතරතුර ඒක කරන්න යන්න එපා. එක අතක විතරක් හැන්ද හෝ ගෑරුප්පුව පාවිච්චි කරනවා නම් අනික් ඇත නිදහසේ උකුල මත තමාගැනීමයි වඩා සුදුසු ක්‍රමය. ඒ වගේමයි පිරිසක් එක්ක කෑමට වාඩි වුනානම්, අනික් අයට කෑම පිළිගන්වන තුරු ඉවසන්නත් අමතක කරන්න එපා.

සාමාන්‍යෙන් මේස සැකැස්මේදී ඔයාගේ වම් අත පැත්තේ ගෑරුප්පු වර්ග තියෙනවා. දකුණු පැත්තේ තියෙන්නේ හැඳි සහ පිහි. මේ අතර මස් සහ මාළු කෑමේදී පාවිච්චි වන විශේෂ පිහි වර්ග සහ ගෑරුප්පු වර්ග තියෙනවා. ඒ වගේම සුප් බොන හැන්දක් ඒ අතර තියෙයි. කෑම වේලට සුප් එක ඇතුළත් නම් ඒක ඔයාට මුලින්ම ලැබෙනවා. ඒකට සකස් වුනු රවුම් තරමක් බොකුටු හැන්ද දකුණු අතින් අරගෙන ඔයාගේ ඇඟ පැත්තේ ඉඳන් මේසයේ ඉස්සරහ පැත්තට යන විදිහට හැන්ද සුප් භාජනය ඇතුලෙන් තල්ලු කරන විදිහට තමයි සුප් එක බොන්න ඕනෙ. මේසයේ පිටත ඉඳන් ඔයාගේ පැත්තට හැන්ද ගෙනෙන එක පහසු නමුත් ඒක වැරදියි. ඔයා සුප් එක බීල ඉවර වුනා නම්, හැන්ද ඔරලෝසුවේ වෙලාව සවස 6 දැක්වෙන විදිහට භාජනයෙන් තියන එක තමා හරි විදිහ.

ඊළඟට ඔයාගේ ප්‍රධාන කෑම වේල ලැබෙනවා. ඒක බටහිර පන්නයේ කෑම එකක් නම් මාළු, මස් වර්ග සහ එළවළු වෙන වෙනම ඔයාගේ කෑම පිඟානට ලැබෙනවා. ඒ මස් සහ මාළු වර්ග කැබලි කරගන්න අවශ්‍ය පිහිය ඔයාගේ දකුණු පැත්තේ තියෙයි. ඒ පිහිය දකුණු අතටත් ගෑරුප්පුව වම් අතටත් ගැනීම අවශ්‍යයි. ඔයා කෑම කන අතර කැමති නම් පිහියත් ගෑරුප්පුවත් අත් දෙකේ දිගටම තියාගන්නත් පුළුවන්. නමුත් පහසු විදිහ නම්, මස් හෝ මාළු කැබලි කරගත්තට පස්සේ පිහිය ඔයාගේ පිඟානේ ඉස්සරහ පැත්තේ අයිනෙන් දිග හැඩයට තියන එක. පිහිය ආපහු අවශ්‍ය වුනහම අතට ගන්න පුළුවන්. මතක තියාගන්න ඔයා ගෑරුප්පුව වම් අතින් අල්ලන්න ඕනේ වගේම දබර ඇඟිල්ල ගෑරුප්පු මිටට සමාන්තරව තියෙන්නත්, අනික් ඇඟිලි යට පැත්තට තියෙන්නත් රඳවා ගන්න. ඒ වගේම පිහිය ගෑරුප්පුව දෙකම නිදහසේ අතේ රඳවාගෙන ඉන්න වෙලාවට පිඟානට සමාන්තරව තියාගන්න. ඉහළට ඔසවමින් එහා මෙහා කිරීම ගැලපෙන්නේ නැහැ.

ඔයා කෑම ගනිමින් ඉන්න අතරතුර මද වෙලාවකට නතර කළොත්, ඔයා පාවිච්චි කරමින් හිටපු හැන්ද, ගෑරුප්පුව හෝ පිහිය (මේවායින් දෙකක් විතරයි එක වරක පාවිච්චි වෙන්නේ) ඔරලෝසුවේ 3.40 වෙලාව දැක්වෙන කටු තියන හැඩයට පිඟාන උඩින් තියන්න. එතකොට ඔයාට සේවය සපයන අය දන්නවා ඔයා කෑම කාල ඉවර නැති බව. ඔයා සම්පුර්ණයෙන් කෑම කාල ඉවරනම්, ගෑරුප්පුව සහ පිහිය හෝ හැන්ද එකිනෙකට සමාන්තරව දික් අතට තියන්න. මේක ඇමරිකානු ක්‍රමයේදී සහ යුරෝපිය ක්‍රමයේදී තරමක් වෙනස්. මේ දෙක සමාන්තරව ඔරලෝසුවේ 4.20 දැක්වෙන විදිහට හෝ 3.15 දැක්වෙන විදිහට තියන එක ඒ ක්‍රම දෙකේදී සිදුවනවා. නමුත් වැදගත්ම දේ එක උඩ එක නොතියා එකිනෙකට සමාන්තරව තැබීම. එතකොට ඔයාට ආහාර පිළිගන්වන සේවක මහතා දන්නවා ඔයා කෑම අරගෙන ඉවර බව.

මෙන්න මේ පුංචි කරණා ටික හොඳින් මතකයේ තියා ගත්තොත් ඕනෑම තැනක තියෙන ඕනෑම වර්ගයේ භෝජන සංග්‍රහයකට යන්න ඔයාට චකිතයක් තියාගන්න අවශ්‍ය නැහැ. බොහෝ දෙනෙකුට මේ සරළ කාරණා ගැන නිසි දැනුමක් නැහැ. නමුත් ඒ දේවල් දැනගෙන සිටීම ඉතාම වැදගත්. විශේෂයෙන් තරු පන්තියේ හෝටලයක මංගල උත්සවයක් හෝ කුමන ආකාරයේ උත්සවයකට ගියත් චකිතයක් නැතුව යුරෝපීය ක්‍රමයට කෑම ගන්න ඔයාටත් පුළුවන් වේවි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here