හතර වටෙන් ඔයාට හරියටම ගැළපෙන රැවුල් හැඩය තීරණය කරන්නේ කොහොමද..?

ඔයාට හරියටම ගැළපෙන රැවුල් හැඩය තීරණය කරන්නේ කොහොමද..?

2020 Jun 19

 

පිරිමි හුඟක් දෙනෙක් රැවුල වවන්න කැමැත්තක් දක්වනවා. ඒක තමන්ගේ “පිරිකමේ අනන්‍යතාවක්” කියල සමහරුන්ගේ මතයකුත් තියෙනවා. ඒ කතාවේ ප්‍රායෝගික තත්ත්වය මොකක් වුනත්, රැවුල වවන එකේ විශේෂිත හැඩයක්, පෙනුමක් සහ පෞරුෂයක් කෙනෙකුගේ මුහුණට එකතු වෙනවා කියන එකනම් විවාදයකින් තොරව පිළිගන්න පුළුවන් කාරණයක්. නමුත්, ලස්සනයි කියල විශ්වාස කරලා විතරක් රැවුල වවාගන්න එක නිවැරදි ක්‍රමය නම් නොවෙයි. රැවුල වවන එක කෙනෙකුට ගැලපෙනවා උනත් තවත් කෙනෙකුගේ මුහුණේ ස්වභාවයට නොගැලපෙන්න පුළුවන්. එහෙම නොගැලපෙන හැඩයක් සහිත මුහුණක් තියෙන කෙනෙක් ආසාව, කැමැත්ත නිසාම රැවුල වවන්න ගියොත් දකින්න වෙන්නෙ විසුළු පෙනුමක්. ඒ වගේම රැවුල වවන එක ගැලපෙන මුහුණකට උනත් ඒ රැවුල පවත්වා ගන්න හැඩය මුහුණේ හැඩයට ගලපා ගැනීම හරිම වැදගත්. ඉතින්, gasma.lkකියවන කඩවසම් තරුණයින්ට, තමන්ගේ මුහුණට ගැළපෙන රැවුලෙ හැඩය තීරණය කරන්නෙ කොහොමද කියන කාරණය ගැන දැනුමක් ලබාදෙන්නයි අපි මේ උත්සාහ කරන්නෙ.

 

 

රැවුල හැමෝටම ගැළපෙනවද..?

මෙන්න මේ කාරණය ගැන තමයි තරුණයෙක් විදිහට ඔයා මුලින්ම හිතන්න අවශ්‍ය වෙන්නෙ. රැවුල වවන්න ආස වීම විතරක් හේතුවක් කරගෙන රැවුල වවන්න ගියොත් ඒක “ලස්සන” වීමකට වඩා පෞරුෂයට හානියක් වෙන්නත් බැරි නැහැ. මොකද සමහර මුහුණේ හැඩයන් වලට රැවුල වවනවට වඩා Full shave කරන එක ගැලපෙනවා. ඒ නිසා මුලින්ම ඔයා හිතන්න ඕනේ තමන්ගේ මුහුණට රැවුල වවන එක ගැළපෙනවද නැද්ද කියන එකයි. මේකට කාරණා කිහිපයක්ම සලකා බලන්න වෙනවා. ඒ මොනවද කියල එකින් එක අවබෝද කරගත යුතුයි.

සාමාන්‍යෙන් කොන්ඩේ නැති කෙනෙකුට, නැතිනම් කොන්ඩේ අඩු කෙනෙකුට රැවුල නැතිනම් Facial hair වවාගන්න එක වැදගත්. අපේ තරුණ පිරිමි බහුතරයකට මේ කාලයේ තියෙන ගැටළුවක් තමයි කොන්ඩය ගැලවෙන එක. විවිධ හේතු නිසා මේ ගැටලුව ඇතිවෙන්න පුළුවන්. ජානමය හේතුම වගේම දිනපතා වායු සමීකරණය කරන ලද ගොඩනැගිලි වල කාලය ගතකිරීම, විවිධ වැරදි පුරුදු, විවිධ වැරදි රසායනික ආලේපන වර්ග, වැරදි ආහාර පුරුදු වගේම නිවැරදි නඩත්තුව නොමැති වීම නිසාත් මේ කොන්ඩය ගැලවීයාම සිදුවිය හැකියි. ඒ කොහොම වුනත්, එහෙම කොණ්ඩය ගැලවිලා ගිහින් තට්ටය මතුවුන කෙනෙකුට ඉතා හොඳ විසඳුමක් තමයි රැවුල වවන එක. ඔබේ හිසකෙස් අඩුවීම කියන ගැටළුව නිසා පෙනුමට සහ පෞරුෂයට වුන හානිය යම් තරමකින් වහගන්න ඒක එක විකල්පයක්. සමහර මුහුණු හැඩයට වැඩිපුරම ගැළපෙන්නේ රැවුල සම්පුර්ණයෙන් කැපීම බව ඔබට දැනෙනවා නම් ඒ වඩාත්ම ගැළපෙන විදිහ අනුගමනය කළ යුතුයි. එතැනදී ඔබ ආසයි කියන කරුණට වඩා ගැළපෙනවද කියන කාරණය සැලකිල්ලට අරගෙන රැවුල නොවවා සිටීමේ තීරණය ගන්න එක වඩා හොඳයි.

රැවුල වවන එක ඔබේ මුහුණට ගැළපෙනවා සහ ඒකෙන් ඔබේ මුහුණට හොඳ පෙනුමක් ලැබෙනවා කියල තීරණය කළාට පස්සේ මොකද කරන්නෙ..? රැවුල ගැළපෙන නිසා වවන්න තීරණය කළා නම් ඒක කරන්න අවශ්‍ය වෙන්නේ ඔබේ මුහුණට ගැලපෙන විදිහටයි. ඔබේ මුහුණේ හැඩයට අනුව ඔබේ රැවුල පවත්වා ගත යුතුයි කියන දේ ගැන ඔබ මුලින්ම දැනුවත් වෙන්න අවශ්‍යයි. රැවුල තියාගත යුතු ප්‍රමාණය මොකක්ද, රැවුලේ හැඩය කොහොම විය යුතුද කියන දේ තීරණය කළ යුත්තේ ඔබේ මුහුණේ හකු හැඩයට සාපේක්ෂවයි. ඔබට තියෙන්නේ හතරැස් හැඩයක හකු යුගලක් නම් ඔබේ රැවුල හතරැස් හැඩයට පවත්වා ගැනීම ඔබට ගැලපෙන්නේ නැහැ. රැවුල වැවීමෙන් ඔබේ මුහුණට වෙනස් ඕවලාකාර හැඩයක් එකතු කරගැනීමයි අවශ්‍ය වෙන්නෙ. ඒ නිසා හතරැස් හැඩයක මුහුණක් සහිත ඔබ රැවුලේ හැඩය තරමක් ඕවලාකාර වෙන විදිහට පවත්වා ගැනීම කළ යුතුයි. දියමන්තියක හැඩයක් මතකයට නගාගත්තොත්, ඔබට මේ හැඩය නිවැරදිව වැටහේවි. ඕවලාකාර සහ දියමන්තියක හැඩයකට සමාන හැඩයකින් රැවුල පවත්වා ගැනීම වඩාත් සුදුසුයි. මුහුණු හැඩය විවිධ වුනත් ඒ බොහොමයකට මේ කියන හැඩය ගැළපෙන බව grooming විෂය සම්බන්ධ වෘත්තීයවේදීන්ගේ අදහස වනවා. ඒ නිසා ඔබේ හකුවල හැඩයට ගැළපෙන විදිහට රැවුල කපන්න අවශ්‍යයි කියන කරුණ මතක තබාගන්න.

ඊළඟට වැදගත්ම දේ මුහුණේ හැඩය අනුව ගැළපෙන රැවුලේ හැඩය මොකක්ද කියල තීරණය කරගන්නේ කොහොමද කියන එකයි. පොදුවේ ගත්තහම පිරිමි මුහුණේ විශේෂ හැඩ පහක් ගැන සඳහන් වෙනවා.

 

 

  • පුළුල් හකු සහ හතරැස් නිකටක් සහිත මුහුණු.

 

සාමාන්‍යෙන් මෙවැනි පුද්ගලයින්ට පුළුල් නළලක් සහිතයි.

arnold-schwarzenegger-9476355-1-402.jpg
5e2b1454ab49fd388e2b5573.jpg
මෙවැනි පුද්ගලයකුට රැවුල වැවීම හොඳ පෙනුමක් ගෙනදෙන්නක් වෙන්න පුළුවන්. නමුත් රැවුල දෙපසින් තරමක් කෙටිකර කැපීම වඩාත් යෝග්‍යයි. නිකටෙහි රැවුල හකු ප්‍රදේශයට වඩා තරමක් වැවුනු ස්වභාවයෙන් පවත්වා ගැනීමෙන් වඩාත් ආකර්ෂණිය පෙනුමක් ලබාගැනීමට හැකිවේවි.

 

 

  • වඩාත් ක්‍රමවත්ව පිහිටන වටකුරු නිකටක් සහිත වටකුරු හැඩයේ මුහුණ

kanye-west-leak.jpg
Justin-Timberlake-Grooming-Idol-2008.jpg

මෙවැනි වටකුරු මුහුණක් සහිත පුද්ගලයකුට රැවුල පවත්වා ගැනීමේදී වඩාත්ම සුදුසු වන්නේ ඕවලාකාර නැතිනම් දියමන්තියක ආකාරයේ හැඩයක්. නිකට ආශ්‍රිතව රැවුල කෙටිව තබා ගනිමින් හකු ප්‍රදේශයේ රැවුල නිකට ප්‍රදේශයේ රැවුල තරම් දික්වන තුරු පවත්වා ගැනීමෙන් රැවුලේ හැඩය ඕවලාකාර හැඩයක් ලැබෙන විදිහට කපාගැනීම කළ හැකියි.

 

 

  • දියමන්තියක හැඩයෙන් යුතු මුහුණු, සිහින් වගේම තියුණු නිකටක් සහිත මුහුණ

Ben-Affleck-2007.jpg
20120611_124006_ryangoslingfor1p.jpg
මෙවැනි හැඩයක මුහුණක් තිබෙන කෙනෙකුට හකු ප්‍රදේශයේ රැවුල තරමක් වැවෙන විදිහට පවත්වා ගනිමින් නිකට ප්‍රදේශයේ රැවුල සැමට ආසන්න වනතෙක් කෙටි කර ගැනීමෙන් මුහුණට වෙනස් පෙනුමක් එක් කරගත හැකියි. එහෙමත් නැතිනම් රැවුල තරමක් දිගට වවාගැනිමෙනුත් මුහුණට වෙනස් හැඩයක් එක්කර ගත හැකියි.

 

 

  • හකුවල හැඩය යටපත් කරන තියුණු උල් නිකටක් සහිත මුහුණු

Jay-Leno-500.jpg
තියුණු නිකටක් සහිත මුහුණකට සාමාන්‍යෙන් ඕනෑම හැඩයක රැවුලක් පවත්වා ගැනීමට හැකියාවක් තිබෙනවා. නමුත් වඩාත් රවුම් වෙන විදිහට රැවුල කපාගැනීම නම් නොකළ යුතුයි. එහෙම උනොත් මුහුණේ තියන තියුණු පෙනුම නැතිවන්නත් පුළුවන්.

 

 

  • දුර්වල සහ නිශ්චිත හැඩයක් නැති නිකටක් සහිත මුහුණ

මේ හැඩයේ මුහුණු තියන කෙනෙකුගේ මුහුණට වඩා හොඳ පෙනුමක් එක් කරන්න ඕනෑම හැඩයක රැවුලකින් පුළුවන්. ඒ නිසා තමාට වඩාත් ගැළපෙනවා කියල හිතෙන හැඩයකට රැවුල පවත්වා ගැනීමට එවැනි කෙනෙකුට හැකියාවක් තියෙනවා. ඔබේ මුහුණට අමතර අලංකාරයක් සහ හැඩයක් එකතු කරනවට අමතරව ගැළපෙන රවුල් විලාසිතාවකින් ඔබේ මුහුණේ පවතින සමහර අඩුපාඩු වසාගනිමටත් හැකියාවක් තිබෙනවා. නමුත් වැදගත්ම දේ ගැළපෙන හැඩයකින් රැවුල පවත්වා ගැනීමයි.

කලින් අපි සඳහන් කරා වගේ දුර්වල පෙනුමකින් යුතු නිසි හැඩයක් නැති හකු ප්‍රදේශයක් ඔබේ මුහුණේ තියෙනවා නම් ඔබට හොඳම විසඳුම තමයි රැවුල වැවෙන්නට ඉඩහැරීම. මේ රැවුල අඟල් දෙකක් පමණ දිගු වනතෙක් වැවීමෙන් පස්සේ එහි පහල කෙළවර නිසි හැඩයකට සකස් කරගැනීම වඩාත් යෝග්‍යයි. ඒ වගේම ඔබට අවශ්‍ය නම් සම්පුර්ණ රැවුල වැවිමකින් තොරව Goatee එක පමණක් වැවීමටත් හැකියාව තිබෙනවා. එමගිනුත් එවැනි මුහුණකට වෙනස් නැවුම් සහ තියුණු පෙනුමක් එක්කරගත හැකියි.

ඒ වගේම ශරීර ප්‍රමාණය මහත්වන කෙනෙකුට එන මුලිකම ගැටළුවක් තමයි Double chin කියන්නෙ. නිකට පහල මේද තට්ටුවක් තැන්පත් වීමෙන් තල්ල ප්‍රදේශය මහත්ව පෙනීම මගින් එවැනි මුහුණක නිසි හැඩය නොපෙනී යා හැකියි. එවැනි කෙනෙකුට රැවුල වැවීම කියන්නෙ ඉතාම හොඳ විසඳුමක් වෙන්නත් පුළුවන්. ඉදිරිපස නිකට ප්‍රදේශයෙන් තරමක් දිගු වනලෙස රැවුල වවා අනික් ප්‍රදේශ වලින් සැමට ආසන්න වන තරමට කෙටිව රැවුල පවත්වා ගැනීමෙන් ඔබේ තල්ල ප්‍රදේශයේ ඇති අනවශ්‍ය මේදය සඟවා මුහුණට ලස්සන හැඩයක් එක්කරගත හැකියි.

ප්‍රධානම දේ ඔබ පළමු වරට රැවුල වැවීම අපේක්ෂා කරනවා නම් ඉතා ඉක්මනින් සම්පුර්ණ රැවුල වැවී අවශ්‍ය හැඩයට සකස් කරගැනීමට හැකි වෙයි කියල හිතන්නත් එපා. ඒ වෙනුවෙන් තරමක් ඉවසීමෙන් ඉන්න ඔබට සිදුවෙයි. කිහිප වරක් රැවුල සකසමින් එය හොඳින් වැවෙන්නට ඉඩ හරිමින් සහ නිවැරදිව නඩත්තු කරමින් ඔබට අවශ්‍ය ආකාරයේ සම්පූර්ණ පෙනුමක් සහිතව වැඩුනු රැවුලක් ලැබෙනතුරු ඔබට ඉවසා ඉන්නටත් සිදුවනවා.

මේ විදිහට ඔබට වඩාත් ගැළපෙන රැවුල් හැඩය තෝරාගෙන ඒ හැඩයෙන් රැවුල සකසා ගත්තත් ඔබ දැඩි අවදානයෙන් කළයුතු වැදගත්ම දේ තමයි මේ රැවුල නඩත්තු කිරීම. ඔබේ රැවුල නිවැරදිව නඩත්තු කරන්නෙ කොහොමද.? ඒ වෙනුවෙන් ඔබ කළ යුතු වන්නේ මොනවද කියන කරුණු ගැන අපි ඊළඟ ලිපියෙන් ඔබව දැනුවත් කරන්න සූදානම්.

 

-එන්. වෙහෙරදූව-

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here