හතර වටෙන් ඇඳිරි නීතීය ලිහිල් වුණාට පස්සේ එළියට යන්න හිතාගෙන ඉන්නවද..? එහෙනම් මේ දේවල්...

ඇඳිරි නීතීය ලිහිල් වුණාට පස්සේ එළියට යන්න හිතාගෙන ඉන්නවද..? එහෙනම් මේ දේවල් ගැනත් හිතන්න..

2020 Mar 23

රටම එකවර නැවතිලා වගෙයි. රටක් විදිහට අපි මේ මොහොතේ ලෝක බලවතුන් පවා අසරණ කළ, ගෝලීය වසංගතයක් එක්ක සටන් වදිමින් තමයි ඉන්නෙ. ඒක ඒ තරම් පහසු කටයුත්තක් නෙමෙයි. රැකියා ව්‍යාපාර මේ සියල්ලම ඇණහිටලා, කෑම බීමට එකතු කරගත් දේවලුත් ටිකෙන් ටික ඉවර වෙමින් යන අතර අපි නිවසටම කොටුවෙලා ඉන්න මොහොතක් තමයි මේ ගෙවෙන්නේ. මේ මොහොතේ පවතින ඇඳිරි නීතිය 23 වැනිදා සහ 24 වැනිදා පැය කිහිපයකට ලිහිල් කරන්න රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව, කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්ක වල 24 වැනිදා උදේ 6 සිටත් අනිකුත් ප්‍රදේශ වල 23 වැනිදා උදේ 6 සිටත් පැය කිහිපයකට ඇඳිරි නීතිය ඉවත් කරන්න රජය තීරණය කරලා තිබෙනවා. මේ තාවකාලිකව ඉවත් කිරීමේ කාලයේදී ගෙදරට අත්‍යවශ්‍ය දේවල් මිලදී ගන්න නගරයට, සුපිරි වෙළඳසැලට, යන්න ඔබ හිතාගෙන ඉන්නවා නම්, ඒ ගමනට පෙර මේ කරණු ගැන අවදානය යොමුකරන ලෙස gasma.lk කණ්ඩායමේ අපි ඔබෙන් ඉල්ලීමක් කරනවා. ඒ, ඔබේ මෙන්ම රටේ පොදු යහපත වෙනුවෙන්.

මෙතැනදී නිවැරදිම නිරෝධායන ක්‍රමය නම් සති දෙකක් ඔබගේ නිවසටම වෙලා කාලය ගත කිරීම වන නමුත් මිනිසුන්ගේ ආහාර අවශ්‍යතා සැලකිල්ලට අරගෙන මෙම පැය කීපයක විරාමය ලබාදෙන බව තරයේ හිතට ගන්න. මේ විරාමයේදීත් corona වයිරසයේ ව්‍යාප්තිය සිදුවිය හැකි බව ඔබ දැනුවත් විය යුතුමයි. ඒ නිසා ඉතා සැළකිල්ලෙන් කටයුතු කරන්න.

මේ ඇඳිරි නීතිය ලිහිල් කලේ අත්‍යවශ්‍ය අවශ්‍යතා සඳහා බව හොඳින් සිහිතබා ගන්න. ඔබේ ගෙදර තවත් දින 4-5ක් සඳහා පාවිච්චි කරන්න තරමට අවශ්‍ය දේවල් තිබෙනවා නම්, මේ මොහොතේ තවත් දේවල් එකතු කරගන්න හිතාගෙන නගරයට යන්න එපා. ඒක ඔබත්, ඔබේ පවුලත් නිකරුනේ අනතුරේ දැමීමක් බව මතක තබාගන්න. ඔබට වෙළඳසැලකට යාමට අත්‍යවශ්‍ය නම් සහ මුදල් කළමනාකරණය කරගැනීමේ හැකියාවක් තිබේ නම්, ඉදිරි සතියකට හෝ ප්‍රමාණවත් තරමට අත්‍යවශ්‍ය දේවල් මිලදී ගත්තාට කමක් නැහැ. මොකද ඊළඟ ඇඳිරි නිතිය ලිහිල් කිරීමේ අවස්ථාවේදීත් නිකරුනේ කඩසාප්පු ගානේ ඇවිදින්න එතකොට ඔබට අවශ්‍ය වන්නේ නැහැ. ඒ නිසා සැළසුම් සහගත වීම මේ මොහොතේ අත්‍යවශ්‍යයි. ඒ වගේම නිවසේ ඉන්න පිරිසෙන් එක අයෙක් පමණක් පිටතට යන්නත් වගබලා ගන්න. අප පසු කරමින් සිටින්නේ පවුලේ කිහිප දෙනෙක් එකතු කරගෙන ෂොපින් යන මොහොතක් නොවන බවත් හොඳින් මතක තබාගන්න. වැඩිහිටි අය හෝ කුඩා ළමුන් පිටතට රැගෙන යාමෙන් හැකිතාක් වළකින්න. ඒ වගේම තමයි, ඔබට හෙම්බිරිසාවක්, කැස්සක්, උණක්, කිවිසුම් යාමක්, උගුරේ වේදනාවක් හෝ වෙනයම් ආසාදන තත්වයක් තිබේ නම්, මොනම හේතුවක් නිසාවත් පිටතට යන්න එපා.

ඔබ නිවසෙන් පිටතට යන්නට පෙර අත්‍යවශ්‍යම භාණ්ඩ ලැයිස්තුවක් හදාගන්න. ඒවා මිළදීගත හැකි වෙළඳසල් මොනවාද කියලත් ලැයිස්තුවට එකතු කරගන්න. ඊළඟට ඔබ යායුතු පිළිවෙල සකස් කරගන්න. මේ විදිහට සැලසුම් සහගතව පිටතට ගියොත්, ඔබට ඉතා ඉක්මනින් අවශ්‍ය කාරණා ඉටුකරගෙන නැවත නිවසට පැමිණිමට හැකියාව තිබෙනවා.

වෙළඳසල තුළදී,

හැම විටම ඔබ සහ අනිකා අතර දුර මීටරයක් පවත්වා ගැනීමට වගබලා ගන්න. ඒ බව නොසලකා හරින්නන්ට ඒ බව කියන්නත් ඔවුන් දැනුවත් කරන්නත් වගබලා ගන්න. මතක තබාගන්න අප සිටින්නේ ජාතියක් ලෙස එක්ව මුහුණදිය යුතු ව්‍යසනයක් ඉස්සරහ බව. මේ මොහොතේ නොදැනුවත් කමින් හෝ නිසි උපදෙස් නොපිළිපදින පුද්ගලයින්ට දැනුම ලබාදීමත් පුරවැසියෙක් ලෙස ඔබේ වගකීමක්. ඒ නිසා මේ මොහොතේ නායකත්වය ගන්න. නිසි උපදෙස් පිළිපදින ලෙස ඔවුන්ව දැනුවත් කරන්න. එය ඔබේ අයිතියක් බවත් මතක තබා ගන්න.

වෙළඳසලට යනවිට මුහුණු ආවරණයක් පළඳින්න. එය ඔබේ ආරක්ෂාවට වඩා වැදගත් වේවි. අසනීප තත්වයක් නොමැති නම් එය පැළඳීම “අත්‍යවශ්‍ය” නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරනවා. ඔබේ ආරක්ෂාව පිලිබඳ ඔබ සැලකිලිමත් විය යුතුමයි. ඒ නිසා හැකිනම්, මුහුණු ආවරණයක් සහිතව පිටතට යන්න වගබලා ගන්න.
ඔබ වෙළඳසලක ගතකරන කාලය හැකිතාක් අවම කරගැනීමට වගබලා ගන්න. හැකි සෑම කෙනෙකුම ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් භාවිතා කරන්න. මුදල් භාවිතය හැකිතාක් අවම කරන්න. එසේ මුදල් භාවිතා කරනවා නම්, නියමිත ගණනම ගෙවීමට හැකිවන පරිදි මාරු සල්ලි රැගෙන යාමට සැලකිලිමත් ‌වෙන්න.

නිවසින් පිටත ගොස් පැමිණි විගස, හොඳින් අත්සෝදා ගැනීමට කටයුතු කරන්න. හොඳින් සබන් යොදා අතේ වැලමිටේ සිට පහලට විනාඩියක් තරම්වත් සෝදාගන්න. එසේම නිවසට පැමිණ අත් සෝදාගන්නා තෙක් ඔබේ බෙල්ලෙන් උඩ ප්‍රදේශය නොඅල්ලා සිටීමටත් විමසිලිමත් වන්න.

ඔබ ඇඳගෙන ගිය ඇඳුම් හොඳින් සෝදා තද අවුවේ වේලෙන්නට දමන්න. ඔබේ මුළු සිරුරම හොඳින් පිරිසිදු කර ස්නානය කරගන්න තෙක් පවුලේ අයගෙන් ඈත්ව සිටිය හැකිනම් වඩාත් සුදුසුයි. මේ ඔබ පසුකරමින් සිටින්නේ ලෝකයම ගෝලීය වසංගතයක් සමග සටන් කරමින් සිටින ඉතා අසීරු අවදියක් බව හොඳින් සිහිතබා ගන්න. රටක් ලෙස ඊට මුහුණ දීමට රජයට ඔබේ සහය ලබාදෙන්න. ඔබ මෙන්ම අනිකාගේද ආරක්ෂාව සඳහා සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් නිවැරදිව පිළිපදින්න.

අපි තනි තනිව අපේ යුතුකම් ඉටු කරමු. ගෝලීය වසංගතයෙන් අපේ රට මුදවාගැනීමට සහයවෙමු.

– වෛද්‍ය උපදෙස් ඇසුරින් –

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here