හතර වටෙන් සුවබර දිවියකයට ජලය පානයේ වැදගත්කම

සුවබර දිවියකයට ජලය පානයේ වැදගත්කම

2020 Jun 1

ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් සියල්ලටම අවශ්‍ය කරන පෝෂණය සැපයෙන්නේ ජලය මගින් වන අතර ඔක්සිජන් සහ පෝෂක ද්‍රව්‍ය සිරුර පුරා බෙදාහැරීමට ජලය වැදගත් වෙනවා.
ආහාර දිරවීමටවගේම සමස්ථ බහිස්‍රාවීය පද්ධතියේම ක්‍රියාකාරීත්වයට, අපද්‍රව්‍ය ඉවත් කිරීමට, සිරුරෙන් ඉවත්වන මුත්‍රා, දහදිය, කෙළ වැනි බාහිර නිකුතු නිකුත් වන්නේ ජලය මාර්ගයෙන්ය.
සුවපත් දිවියකට ජලය පානයේ වැදගත්කම

මනුෂ්‍ය සිරුර පවත්වාගත යුතු නියමිත උෂ්ණත්වය නියමිත මට්ටමක පවත්වාගැනීමට උෂ්ණත්වය දරා ගැනීමේ හැකියාව ඇති වෙන්න ජලය උපකාරී වෙනවා.
ඇස් කන් නාසය වැනි විවරයන් හි ආරක්ෂාවට තෙතමනය ආරක්ෂා කරගැනීමට, මොළයේ ක්‍රියාකාරීත්වයට සහ මලබද්ධය වැනි ක්‍රියා රැසකට ජලය වැදගත් සාධකයක් වෙනවා. සාමාන්‍යයෙන් කිලෝ හැටක් බර මනුෂ්‍යයෙකු දිනකට ජලය ලීටර දෙකක් පමණ පානය කළ යුතුය. පාරිසරික සාධක, වෛද්‍යමය හේතුන්, රෝගී තත්වයන්, සිරුර වෙහෙසීම ආදී කටයුතු නිසා පානය කළ යුතු ජල ප්‍රමාණය සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩිවිය හැකිය.

නූතනයේ බොහෝ කාර්යාල ස්ථාන පංකා හෝ වායුසමන පද්ධති මගින් වාතය සපයනු ලැබේ. වායුසමන පද්ධතියේන නිකුත්වන වාතය සාමාන්‍ය වාතයට වඩා ජලවාශ්ප වලින් හිගයි. විදුලි පංකා වල එන සුළඟින් අපේ සිරුරේ දහදිය ඉක්මනින්ම සිදී යයි. එබැවින් වායුසමන හෝ පංකා සවිකළ පරිසරයක සිටින විට පානය කළ යුතු ජල ප්‍රමාණය වැඩිය. උණුසුම වැඩි දිනවලදී සහ එළිමහනේ අව්වට නිරාවරණය වෙමින් සිටින විට පානය කළ යුතු ජලය ප්‍රමාණය වැඩිය. එවිට දහදිය ලෙස සිරුරෙන් ජලය ඉවත්වීම ඉක්මණින් සිදුවේ. ව්‍යායාම වල නිරත වන විටදී සහ සිරුර වෙහෙසා වැඩ කරන අවස්ථාවලදී අප සිරුරෙන් නිකුත්වන ජලය ප්‍රමාණය වැඩිය. එවන් අවස්ථාවලදීද සාමාන්‍ය පාවිච්චියට වඩා ජල ප්‍රමාණයක් සිරුරට ලබාදිය යුතුය. ඩෙංගු උණ, පාචනය වැනි රෝගාබාධ වලදී ජලය පානය කරන්නැයි වෛද්‍ය උපදෙස් ලබාදෙනු ලැබේ. එවන් අවස්ථාවලදීද නිර්දේශ පමණට වැඩිපුර ජලය පානය කළ යුතුයි .ඇඟ මහන්සි වී එළිමහනේ කරන ක්‍රීඩාවකදී හෝ වැඩකදී වැඩ කරන්නට ප්‍රථමයෙන් ජලය මිලි ලීටර 500ක් පානය කිරීමත් ඉන් පසු හැකි පමණ මිනිත්තු 15කට වතාවක් වත් ජලය මිලි ලීටර 250ක් පානය කිරීමත් කළ යුතුයි. එවිට සිරුර විජලනයට ඉඩක් ලැබෙන්නේ නැහැ.ජලය පානය කරන්නට අවශ්‍ය විට විවිධ ආකාරයේ පැණි බිම වර්ග පානයට වර්ථමානයේ පිරිස් උනන්දු වි තිබෙනවා. ඒ අතර ශක්තිජනක පානයන්ද නැතුවම නෙවෙයි. ශක්තිජනය පානයන් යනු ජලය අඩංගු සීනි සහ වෙනත් රසායන අඩංගු ද්‍රාවනයක්. විසිතුරු පැණි බීම රසායනික අඩංගු ශක්තිජනක නිතර පානයට හුරුවීමෙන් කැලරි අධික, සීනි අධික, කෘත්‍රීම රසායන සිරුරට ඇතුලුවීම නිසා වෙනත් රෝග ඇතිවීමේ අවධානමද ඉහල යන්න පුළුවන්. ඒ නිසා හැකි සෑම විටම ජලයත්; ජලයට ආසන්න සමාන තැඹිලි වතුර කුරුම්බා වතුර වැනි ස්වාභාවික බීමකට යොමුවීම වැදගත්.

වර්තමානයේ ප්ලාස්ටික් ජල බෝතල් සෞඛ්‍ය තර්ජනයක් ඇතිකරනවා වගේම එම ජලය බී හමාර කළ ජල බෝතල් දැඩි පාරිසරික හානියක් ඇති කරනවා. එබැවින් මීට දශකයකට දෙකකට එපිට අපි හුරුව සිටි පරිද්දෙන් නිවසෙන් එලියට බහින විට නටවා නිවාගත් ජල බෝතලයක් මල්ලේ රුවා රැගෙන යෑමට පුරුදු වීම හොඳ පුරුද්දකි. එවිට අපි නිවසින්ම රැගෙන යන බෝතලය නිසා රසේ වෙනසක් නැතිව විශ්වාසයෙන් ජලය පානය කළ හැකිය. කාර්යාලයක වැනි පරිසරයකදී නම් ජලය පානය කිරීමට වීදුරු ජල බෝතලයක් තබාගත හැකියාව තිබෙනවා.

කොමඩු ගස්ලබු වැනි පළතුරු ජලය සහිත පළතුරු වන අතර කුරුම්බා වතුර සහ ඖෂධීය පානයන් වර්ග පානය කිරීමෙන් ජල අවශ්‍යතාවය යම්තරමකින් සම්පූර්ණ කරගත හැකියාව තිබෙනවා. ජලය අඩංගු වුවද සීනි කැලරි වැනි අහිතකර සංඝටකයෝ අඩු බෙලිමල්, රණවරා, පොල්පලා, එරමුසු වැනි පානයෝද කැඳ වර්ගද සෞඛ්‍යයට හිතකර වේ.එදිනෙදා ජීවිතයේ කාර්යබහුලතාවය නිසා අප සිරුරට අවශ්‍යය ජලය ලබාගැනීමට මැලි වන අවස්ථා වේ. ඇතැම්විටක කාන්තාවන් නම් මග තොට අතරමග මුත්‍රා කරන්නට සිදුවේයැ යන ලැජ්ජාවෙන් නිසි අයුරින් ජලය පානය කිරිම කල්දමන අවස්ථාද වෙති. මුත්‍රා කිරීම යනු සිරුරේ අවශ්‍යතාවයකි. එබැවින් එවැනි දේට ලැජ්ජා වී සිරුරට අවශ්‍ය ජල සැපයුම ලබා නොදී කල්දැමීම නිවැරදි ක්‍රියාවක් නොවේ. ජලය පානය ගැන අවබෝධයෙන් වැඩිපුර ජලය භාවිතයට ගත යුතු අවස්ථා ගැන අවධියෙන් ජලය පානය කිරීම සෞඛ්‍යසම්පන්න ජීවිතයකට මූලික පියවරක්ද වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here