හතර වටෙන් එලියට යනවානම් මේ දේවල් වලින් පරිස්සම් වෙන්න…

එලියට යනවානම් මේ දේවල් වලින් පරිස්සම් වෙන්න…

2021 Jun 23

COVID – 19 වසංගත තත්ත්වය ව්‍යාප්තියත් එක්ක රජය විසින් සංචරණ සීමා පැනවූයේ වසංගත තත්ත්වය පාලනය කිරීමේ පියවරක් වශයෙනුයි. කොහොම වුනත් සති හයක පමණ කාලයක් නිවෙස් වලටම වෙලා හිටපු බොහෝ දෙනෙක් සංචරණ සීමා ලිහිල් කිරීමත් සමගම තම තමන්ගේ කටයුතු වලට බැහැරට යන්න පටන් අරගෙන තිබෙනවා. මහාමාර්ග වල සාමාන්‍ය දිනවල වගේම රථ වාහන තදබදයකුත් තිබෙන බව තැනින් තැන අහන්න දකින්න ලැබෙනවා. මේ තත්ත්වය ගැන විවිධ පුද්ගලයින් විවිධ මත ප්‍රකාශ කරා වුනත්, නිශ්චිතවම මේ තත්ත්වය හරි හෝ වැරදි කියල ප්‍රකාශ කරන්නත් කිසිවෙකුට හැකියාවක් නැහැ. එකිනෙකාගේ අවශ්‍යතා සහ ජීවන විලාශය එකිනෙකට වෙනස් නිසා. කොහොම වුනත්, සංචරණ සීමා ඉවත් කළ පසු, අත්‍යවශ්‍ය කාරණා සහ වෘවත්තීය අවශ්‍යතා වෙනුවෙන් පිටතට යන ඔබ අනිවාර්යෙන්ම පිළිපැදිය යුතු දේවල් කිහිපයක් ගැන නැවත වරක් ඔබව දැනුවත් කරන්න අපි තීරණය කළා. මේ බොහොමයක් දේවල් ඔබ දැනටමත් හොඳින් දන්නවා වන්නටත් පුළුවන්. නමුත් නැවත නැවතත්, අපි ඔබව දැනුවත් කරන්නේ මේ සියල්ල පිළිපැදීම අත්‍යවශ්‍ය නිසාමයි. මේ වසංගත තත්වයෙන් රටක් වශයෙන් ආරක්ෂා වන්න නම් මේ කරුණු අනුගමනය කළ යුතුමයි.

ඔබ කිසියම් කාරණයක් වෙනුවෙන් පිටතට යනවා නම්, ඒ හැම අවස්ථාවකදීම ඔබේ දෑත් පිරිසිදු කරගැනීම මගහරින්න එපා. දෑත් සෝදා ගැනීමේ පහසුකම් නොමැති අවස්ථාවක් ආවොත් පාවිච්චිය වෙනුවෙන් සැනිටයිසර් බෝතලයක් අරගෙන යන්න අමතක කරන්නත් එපා. ඒ වගේම හැකි සෑම අවස්ථාවකම එකිනෙකා අතර මීටරයක පරතරය පවත්වා ගන්න වගබලා ගන්න. අත්‍යවශ්‍ය නොවන කාරණයක් නම් හැකි තරම් නිවසින් බැහැර යාමෙන් වැලකී සිටින්න කියන දේත් නැවත වරක් ඔබට සිහිපත් කළ යුතුමයි. ඒ වගේම නිවසින් පිටතට යන සෑම අවස්ථාවකම නිවැරදි මුහුණු ආවරණයක් පැළඳ ගන්න අමතක කරන්න එපා.

මොකක්ද මේ නිවැරදි මුහුණු ආවරණ පැළඳීම කියන්නෙ..? සමහර විට මේ ගැන ඔබට ගැටළුවක් තිබිය හැකියි. ඒ වගේම මුහුණු ආවරණ දෙකක් පැළඳිය යුතුයි කියන අදහසකුත් පැතිර ගියා ඔබට මතක ඇති. මේ කතාව ඇත්තක්ද..? මුහුණු ආවරණ දෙකක් පැළඳීමෙන් අමතර ආරක්ෂාවක් ලැබෙනවාද..? මේ ගැටළුවට පිළිතුරු දීමට අපි ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිළ වෙබ් අඩවියේ සඳහන් තොරතුරු සහ රජයේ සෞඛ්‍ය නිර්දේශ පදනම් කරගන්නම්. ඔබ සාමාන්‍ය Surgical mask එකක් පළඳින කෙනෙක් නම් මෙතැනදී mask දෙකක් පැළඳීම කියන දේ ඔබට වැදගත් විය හැකියි. Surgical mask භාවිතයේ දී වෙන්න පුළුවන් ගැටලුවක් තමයි පිටත දාරය දිගේ ඇතැම් තැන්වල මුහුණත්, මුව ආවරණයත් අතර හිඩසක් තිබීම. Surgical mask එකක් භාවිතා කිරීමේදී, එයට පිටතින්, අමතර රෙදි මුව ආවරණයක් පැළඳීමෙන්, මේ විදිහට ඇතිවන හිඩැස් අවම කරගන්න පුළුවන් නිසා ඇතැම් අය එසේ කරනවා. මේ ක්‍රමය වසංගත තත්ත්ව පාලනයට කෙතරම් දුරකට උපකාරී වනවාද කියන දේ ගැන විද්‍යාත්මක සාක්ෂි තවමත් මුල් අවස්ථාවේ පවතිනවා. නමුත් ලෝකයේ ඇතැම් මහජන සෞඛ්‍ය ආයතන මගින් මෙම උපක්‍රමය පහුගිය කාලවල දී නිර්දේශ කරනු දකින්න ලැබුනා. මේ විදිහට රෙදි මුව ආවරණයක් පමණක් පැළඳීමත්, කිසිදු මුව ආවරණයක් නොපළඳිනවාට වඩා ඉතා ආරක්ෂාකාරී ක්‍රමයක්. රෙදි මුව ආවරණයකින් ලැබෙන ආරක්ෂාව එහි තිබෙන ස්තර ගණන වගේම සාදා ඇති අමුද්‍රව්‍ය මතත් තීරණය වෙනවා. ඉතා වැඩි අවදානමක් ඇති අවස්ථාවක, වැඩිපුර ආරක්ෂාවක් අවශ්‍ය විටෙක ඉහත සඳහන් කළ ආකාරයට surgical mask එකක් පැළද ඊට පිටතින් රෙදි මුව ආවරණයක් පැළඳිය හැක.

Cloth vs. Surgical Masks: Which Is Best? | Do Double Masks Work?

ඒ වගේම ඔබ දන්නවා වෛද්‍ය අංශයේ සේවය කරන පුද්ගලයින් පාවිච්චි කරන මේ වනවිට පොදුවේ බොහෝ දෙනෙක් පාවිච්චි කරන KN95 කියන මුව ආවරණය ගැන. ඔබේ මුහුණේ නාසය සහ මුඛය ආශ්‍රිත ප්‍රදේශය සම්පූර්ණයෙන්ම ආවරණය කරගැනීමට මේ මුව ආවරණයට හැකියාව තිබෙනවා. ඒ නිසා මෙය පැළඳීම වඩාත් පහසු සහ ආරක්ෂාකාරී ක්‍රමවේදය බව තහවුරු කොට තිබෙනවා. KN 95 මුහුණු ආවරණයක් පළඳින විට තවත් මුව ආවරණයක් පැළඳීමේ අවශ්‍යතාවක් ඇතිවන්නේ නැහැ. එය සම්පුර්ණයෙන්ම ආරාක්ෂාකාරියි. ඒ නිසා අමතර අපහසුවකින් තොරව නිවැරදි මුහුණු ආවරණය තෝරාගෙන පළඳින්න වගබලා ගන්න. ඒ වගේම ඔබට ඇතිවන අපහසුතාවකදී මුහුණු ආවරණය ලිහිල් කිරීමට අවශ්‍ය වුවහොත්, ඔබ ඉතා හොඳින් මතක තබාගත යුතුයි මිනිසුන්ගේ ඉවතට ගිහින් මදක් මුහුණු ආවරණය ලිහිල් කරගැනීමටත්. ඒ වගේම කිසිදු විටෙක මුහුණු ආවරණයේ මැදින් ඇල්ලීම සිදු නොකළ යුතුයි. කණ සමග සම්බන්ධ වන ආධාරක පටියේ එක පසකින් පමණක් අල්ලා එය ලිහිල් කිරීම කළ යුතුයි. ඒ වගේම Mask එක පැළඳීමට පෙර සහ ගලවා ඉවත් කළ පසුත් හොඳින් සබන් යොදා ඇත සේදීම කළ යුතුමයි. Surgical mask එකක් නම් වරක් භාවිතයෙන් පසු විනාශ කරන්නත්, රෙදි එකක් නම් හොඳින් සෝදා නැවත භාවිතා කිරීමත් කළ යුතුයි. Mask එක පැළඳි පසු ඔබේ නාසය, කට සහ නිකට යන සියල්ලම ආවරණය වී ඇතිදැයි හොඳින් පරික්ෂා කර බලා තහවුරු කරගන්නත් අමතක කරන්න එපා.

A Quick And Easy Guide to Face Steaming For Acne Prone Skin | Make Plus

ඔබ නිතර දෑත් සෝදනවා වගේම ඇස් සහ මුහුණේ නිරාවරණය වී ඇති ප්‍රදේශ ඇල්ලිමෙනුත් වැලකීම අත්‍යවශ්‍යයි. ඒ වගේම පොදුවේ කිහිප දෙනෙක් භාවිතා කරන කාර්යාලයීය උපකරණ, මේස ආදියත් නිතර නිතර විෂබීජ හරණය කිරීමට සැළකිලිමත් වන්න. සනිටයිසර් ස්ප්‍රේ බෝතලයක් භාවිතයෙන් මෙලෙස විෂබීජ හරණය සිදුකරගත හැකියි. ඒ වගේම මේ දවස් වල හැකි තරම් පෝෂ්‍යදායි ආහාර වලට යොමුවන්න. ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වඩා ශක්තිමත්ව පවත්වා ගැනීම අත්‍යවශ්‍යයි. ඒ වගේම නිසි ව්‍යායාම් කරන්න අමතක කරන්නත් එපා. නිතර උණුසුම් ජලය පානය කිරීම උණුවෙන් පාවිච්චි කිරීම හැකි සෑම විටකම කරන්න. ඔබ පිටතට ගොස් පැමිණියේ නම් සෙල්සියස් අංශක 70කට වඩා වැඩි උණුසුම් වතුරින් හුමාලය ඇල්ලීම කළ යුතුයි. මේ පියවර අනුගමනය කිරීම ඔබ වගේම ඔබේ පවුලේ ආදරණීයයන් ආරක්ෂා කරගැනීමට උපකාරී වනවා.

මේ වනවිට කොරෝනා වෛරසයේ නව ප්‍රභේද ලංකාවෙන් හමුවී ඇති බව ඔබ හොඳින් දන්නවා ඇති. ඔබ එන්නත් ලබාගත් පුද්ගලයෙක් වුනත්, එන්නත හේතුවෙන් වෛරසය ආසාදනය නොවනවා යැයි නොසිතා හැකි උපරිමයෙන් ආරක්ෂාකාරී වන්න. නිසි සෞඛ්‍ය උපදෙස් නිවැරදිව පිළිපදිමින් ඔබේ දෛනික කටයුතු කරගන්නා ලෙස අපි ඔබට මතක් කරනවා. මේ වෛද්‍ය නිර්දේශ දිගින් දිගටම යාවත්කාලීන කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු අනිකුත් සෞඛ්‍ය බලධාරීන් කටයුතු කරන නිසා, අලුත් තොරතුරු නිකුත් වන විට ඒ පිළිබඳව ඔබව දැනුවත් කිරීමට අපි කටයුතු කරනවා. එතෙක්, මතක තබාගන්න. එළියට යන්න, නමුත් සියලු ආරක්‍ෂිත උපක්‍රම අනුගමනය කරන්න.

 

-එන්. වෙහෙරදූව-

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here