හතර වටෙන් ලෝක සංචාරක දිනය අදයි..

ලෝක සංචාරක දිනය අදයි..

2021 Sep 27

සංචාරය කිරීම කලාවක්. එය අපේ ජීවිතයට අපූරු, සුන්දර මතක එකතු කරනවා. ඒ අත්දැකීම විඳීමට සංචාරය කරන්නම ඕනෙ. ඒත්, කොවිඩ් වසංගතය සංචාරයට තහංචි දාලා. සීමා පනවලා. එවැනි වාතාවරණයක් යටතේ තමයි මෙවරත් ලෝක සංචාරක දිනය සමරන්නෙ.

ලෝක සංචාරක දිනය යෙදී තිබෙන්නේ සැප්තැම්බර් විසි හත් වනදාට. එක්දහස් නවසිය අසූව වසරෙ තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම දිනය ප්‍රකාශයට පත් කළේ. එතැන් සිට විවිධ තේමා ඔස්සේ සෑම වසරකදීම අන්තර්ජාතික වශයෙන් සංචාරක දිනය සමරනවා. මෙවර ලෝක සංචාරක දිනයේ තේමාව වන්නේ ‘අන්තර්කරණීය වර්ධනයක් උදෙසා සංචාරක කර්මාන්තය’ යන්නයි. පසුගිය වසර වගේම මේ වසරෙත් සංචාරක කර්මාන්තයට සුබ වුණේ නැහැ. එහෙත් ඒ අතරින් නැගී සිටීමට සෑම රටකටම සිදු වෙනවා. අපටත් ඒ තත්ත්වය එලෙසමයි. සංචාරය කිරීම තරමටම සංචාරක කර්මාන්තය ද සුන්දරයි. ලෝකයේ රැකියා ලාභීන්ගෙන් සියයට දහයක් පමණ සංචාරක ක්ෂේත්‍රයට අයත් බව සැලකෙනවා. එනිසා සංචාරය වගේම රැකියාවේ සැහැල්ලුවත් බොහෝ දෙනෙකුට මේ කාලයේ දී අහිමි වෙලා.
ඉන්දීය සාගරයේ මුතු ඇටය ලෙස ලොව ප්‍රචලිත අපේ ශ්‍රී ලංකාව සංචාරකයන්ගේ ආකර්ෂණය නොමදව ලබන රටක්. මාකෝ පෝලෝ පැවසුවේ ශ්‍රී ලංකාව ඔහු දුටු සුන්දරම දිවයිනක් බවයි. ස්වභාව සෞන්දර්යය, සුවදායී කාලගුණය වගේම අතීත ශ්‍රී විභූතිය සංචාරකයින් මෙරටට ඇදී බැඳී සිටීමට ප්‍රධාන හේතුවක්. රමණීය මුහුදු තීරය ඒ ආකර්ෂණය තව තවත් වර්ධනය කරනවා. වර්ග කිලෝමීටර හැට පන් දහස් හයසිය දහයක කුඩා භූමියක් හිමි ශ්‍රී ලංකාව දෙස් විදෙස් සංචාරකයන් මවිත කරවීමට සමත්. මේ රට පුරා ඇවිද යන්නෙකුට එකතු වන මතක ඔහු කතාන්දරකරුවකු කිරීම පුදුමයක් වන්නේ නෑ.

Best of Sri Lanka – 10 Nights 11 days | Sonrisa Holidays

කුඩා දිවයිනක් වුණත් අපේ රටේ තියන විවිධත්වය ඉතාම ඉහළයි. කන්ද උඩරටට යනවිට විවිධ කලාශිල්ප සමග මුසුවුණ අපේකම දැකගන්න ලැබෙනවා. විශේෂයෙන්ම ශ්‍රී දළදා මාළිගාව වගේම ඇසළ පෙරහර මංගල්‍යය දෙස් විදෙස් සංචාරකයන්ගේ නොමද ආදරයට, ගෞරවයට පාත්‍ර වනවා. අනුරාධපුර, පොළොන්නරුව අභිමානවත් ඉතිහාසයට වර්තමානයේ සාක්ෂි සපයනවා. වැවයි, දාගැබයි සංකල්පය මත නගර නිර්මාණය වී තිබෙන්නේ අතීතය අපට තිළිණ කළ වටිනාකම් පැහැදිලි කරමින්. ගලින් කර ඇති කැටයම් අදටත් ලෝකයම පුදුම කරවීමට සමත්. සීගිරි – දඹුලු නිර්මාණ ද මෙරට සංචාරක කර්මාන්තයේ සංධිස්ථාන ලෙස සැලකිය හැකියි. සීගිරියේ සිතුවම් පමණක් නොවේ, ගල් පර්වතයක ජලනළ එලීම් මෙන්ම උද්‍යාන නිර්මාණය විස්මය දනවනවා.

Galle, Sri Lanka - Galle Tourism | Galle Travel Guide

ශ්‍රී ලංකාවේ දකුණු පළාත සංචාරක කර්මාන්තයේ සුවිශේෂ අනන්‍යතාවක් දරනවා. ගාලු පුරය වගේම මාතර දක්වා සුන්දර වෙරළ තීරය සංචාරක පාරාදීසයක්. යාල ජාතික වනෝද්‍යානය ද සංචාරය සඳහා කදිමයි. සතුන් නැරඹීම සඳහා සෆාරි චාරිකා නරඹන්නන්ට ගෙනදෙන්නේ අපූරු අත්දැකීමක්. නිලාවේලි, උප්පුවේලි සුන්දර වෙරළ වගේම කින්නියා උණුවතුර ළිං, පරෙවි දූපත, කෝනේශ්වරම් ‍කෝවිල ආදිය හේතුවෙන් ත්‍රිකුණාමලයට ද හිමිවන්නේ ඉහළ සංචාරක වටිනාකමක්. අනෙත් පළාත්වලට වඩා යාපනයේ වෙනස්ම පරිසරයක් දකින්න පුළුවන්. දකුණේ පොල් වගේම උතුරට තල් ගස් මගින් සුවිශේෂ අනන්‍යතාවක් ගෙනෙනවා. නාගදීපය, නල්ලූර් කෝවිල මෙන්ම යාපනය බලකොටුව, දඹකොල පටුන, කීරිමලෙයි පොකුණ ආදී තවත් බොහෝ දේ එහිදී දැකගත හැකියි.

Colombo, Sri Lanka – Adler Tours & Safaris
ශ්‍රී ලංකාවේ වෙළඳ අගනගරය කොළඹ. ගාලු මුවදොර පිටිය පමණක් නොවේ, ජාතික කෞතුකාගාරය, ග්‍රහලෝකාගාරය, සත්වෝද්‍යානයට ද සංචාරක ආකර්ෂණය හිමියි. ඒ වගේම බැද්දගාන සහ මුතුරාජවෙල තෙත් බිම වැනි තවත් රමණීය ස්ථාන කොළඹ දිස්ත්‍රික්කයේ දී නැරඹීමට ඉඩ ලැබෙනවා. මෙරට සතා සීපාවන්, ඇළ දොල නැරඹීමට වගේම ආහාර පාන සහ සිරිත් විරිත්වලටත් බොහෝ සංචාරකයන් ආදරය කරනවා. රටින් රටට ආහාර සංස්කෘතිය වෙනස් වෙනවා. මෙරට තියෙන්නෙත් අපටම ආවේණික ආහාර රටා. එයට දීර්ඝ ඉතිහාසයක් ද හිමියි. ප්‍රධාන වශයෙන් ඉන්දියානු ආභාෂය හිමිවුවත්, පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි සංස්කෘතීන්ගෙන් ද ඇතැම් ආහාර අපට උරුමව තිබෙනවා. පළාතෙන් පළාතට වගේම ජන වර්ග අනුව ද විවිධත්වය තවත් ඉහළ ගොස් තිබෙනවා. සුන්දරත්වය මතුවන්නේ මේ විවිධත්වය නිසාමයි.
සංචාරය කරන්නකු අමතක නොකර රැගෙන යායුතු දෙයක් තිබෙනවා. ඒ, ආදරය. ඔබ සංචාරය කරන හැම පියවරකදීම ආදරය රැගෙන යන්න. ගහ කොළ, ඇළ දොල, සතා සීපාවන්ට පමණක් නොවේ, විවිධ සංස්කෘතීන්ට ඒ ආදරය බෙදන්න. ඒ සියලු දේට ගරු කරන්න. එවිට සංචාරයේ මිහිර හදවතින්ම විඳීමට ඉඩ ලැබෙනවා. ඒ වගේම දෙස් විදෙස් සංචාරක කර්මාන්තය ඉදිරි පරම්පරාව වෙනුවෙන් නොනැසී පවත්වා ගැනීමටත් එය උදව් වේවි. අසීරු කාලයක් පසුකර ටිකෙන් ටික, දිනෙන් දින නැවත නැගී සිටින වේලාවේ අලුතින් හිතමු. නිවැරදිව ක්‍රියා කළොත් දෙස් විදෙස් සංචාරකයන්ගෙන් මේ රට පිරී ඉතිරී යන දිනය තවත් වැඩි ඈතක නෑ. ඒ සඳහා එකම හැඟීමෙන් එකාවන්ව සිතීමට අප අදිටන් කරගැනීම අත්‍යවශ්‍යයි. නව ආරම්භයක් සමග නැවත සියල්ල ජය ගැනීමට හැකි වේවි. මෙවර ලෝක සංචාරක දිනය ඒ සඳහා වන හොඳම හැරවුම් ලක්ෂය බවට පත් කිරීමට අපට පුළුවන්. ඒ වෙනුවෙන් අත්වැල් බැඳගමු.

 

(රෂ්නිකා ලියනගේ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here