හතර වටෙන් පළමු වතාවටද රටකට යන්නෙ? ගුවන් ගමන් නීති වලට අනුව Baggage එක හදමු...

පළමු වතාවටද රටකට යන්නෙ? ගුවන් ගමන් නීති වලට අනුව Baggage එක හදමු …

2023 Mar 19

මේ දිනවල බොහෝ දෙනෙක් රැකියා සඳහා විදෙස් ගත වෙන බව අපි හැමෝම දන්න කාරණාවක්. ඔබත් ළඟදී රට යන්න බලා සිටින කෙනෙක් නම් මේ ලිපිය ඔබට වැදගත් වෙයි. විදෙස් ගත වෙන්න සූදානම් වන බොහෝ දෙනෙක්ට ඇතිවන ගැටලුවක් තමයි කොහොමද හරියටම තමන්ගෙ ගමන් මලු සූදානම් කරගන්නේ කියන එක. ඒ නිසාම අපි හිතුවා ඒ ගැන ඔබව දැනුවත් කරන්න.

ගුවන් ගමන් සඳහා වන ගමන් මලු නීති රෙගුලාසි නිතර වෙනස් වන නිසා ඔබ ගුවන් ගමනක් සඳහා සූදානම් වනවා නම්, ඔබ ගුවන් ගමන් සේවාව ලබා ගන්නා සමාගමේ වෙබ් අඩවිය පරීක්ෂා කර බැලීම වඩාත් සුදුසුයි. මොකද ඔබ ගමන් කරන ගුවන් සමාගම සහ ඔබේ ගුවන් ප්‍රවේශ පත අනුව ඔබට ගෙන යා හැකි බර ප්‍රමාණයන් ඇතැම් විට වෙනස් විය හැකි නිසා. එසේත් නොමැතිව ඔබ ගමන් මලු සූදානම් කළොත් ඔබ ගෙන යන වැඩිපුර බර ප්‍රමාණයට අමතර ගාස්තුවක් ගෙවීමට සිදුවේවි.

ගුවන් ගමන් සඳහා සූදානම් වීමේදී ඔබට අතේ ගෙන යා හැකි බෑගයක් සහ ගුවන් යානයේ භාණ්ඩ ප්‍රවාහනය කරන කොටසේ තැන්පත් කර ගෙන යා හැකි ගමන් මලු වශයෙන් වර්ග දෙකක් ගෙන යා හැකියි. මේවායේ ගෙන යා හැකි බර ප්‍රමාණයන් එකින් එකට වෙනස් විය හැකි බව අපි පෙර සඳහන් කළා.

 

 

ඔබ ගුවන් ගමනකට සූදානම් වෙනවා නම් පිහි හෝ කතුරු වැනි තියුණු වස්තූන්, ලෝහවලින් නිෂ්පාදිත භාණ්ඩ, ක්‍රීඩා භාණ්ඩ ආදිය ඔබට අතේ ගෙන යන ගමන් මල්ලේ ගෙන යා නොහැකියි. ඒවා ඔබ ගෙන යන අනෙක් ගමන් මල්ල තුළ අසුරා ගත යුතුයි.

විවිධ දියර වර්ග, ජෙල් වර්ග, ඩියෝඩ්‍රන්ට් වැනි ද්‍රව්‍ය, කුඩු වර්ග ද අතේ ගෙන යා හැකි ගමන් මල්ලේ ගෙන යා නොහැකි අතර විනිවිද පෙනෙන ප්ලාස්ටික් බෑගයක වෙන වෙනම අසුරා ගත යුතුයි. ඒ වගේම මෙම ද්‍රව්‍ය ගෙන යා හැකි ප්‍රමාණවල සීමාවන් පවතිනවා. ඒවා ගැන සැලකිලිමත් වීමද ඔබට වැදගත් වෙයි. ඒ වගේම ළදරු ආහාර, ඖෂධ සහ විශේෂ ආහාර අවශ්‍යතා සඳහා මෙම සීමාවන් ලිහිල් කර තිබෙනවා.

ඔබ ඉන්සියුලින් වැනි ඖෂධ භාවිත කරන කෙනෙක් නම් ඒ සඳහා වන සිරින්ජර් වැනි වෛද්‍ය උපකරණ ගෙන යාමට වෛද්‍ය නිර්දේශය ලිඛිතව ලබා ගෙන ඉදිරිපත් කළ යුතු වෙනවා. ඒ වගේම ඒවා නිසි ලෙස ඇසුරුම් සහිතව ලේබල් කර තිබිය යුතුයි නැත්නම් පරීක්ෂාවේදී ඒවා ඉවත් කිරීමට සිදු වෙනවා.

 

 

ඔබ ගෙන යන අතේ ගෙන යා හැකි ඉලෙක්ට්‍රොනික උපකරණ (ලැප් ටොප්, ජංගම දුරකථන, ටැබ්ලට්) ආරකෂක මුරපොලවල්වලදී වෙන වෙනම ඉදිරිපත් කිරීමට සිදුවිය හැකි නිසා අතේ ගෙන යා හැකි ගමන් මල්ලේ තබා ගත යුතුයි.

ඔබේ අනෙක් ගමන් මලු නැතිවුවහොත් ඔබට අවම වශයෙන් ජීවත් වීමට අත්‍යාවශ්‍ය දෑ ඔබ අතේ ගෙන යන ගමන් බෑගය තුළ තබා ගැනීම නුවණට හුරුයි. එය දිගු ගුවන් ගමනක් නම් යට ඇදුම්, සාමාන්‍ය ඇදුමක්, ඖෂධ, සනීපාරක්ෂක ද්‍රව්‍ය ආදිය එහි තිබීම ඔබට ප්‍රයෝජනවත් විය හැකියි. ඒ වගේම ඔබගේ වටිනා කියන දේවල් ද මේ තුළ තබා ගැනීම සුදුසුයි. ඒ වගේම ඔබගේ වැදගත් ලේඛන (හැදුනුම්පත, ගමන් බලපත්‍රය ආදිය) ද මේ තුළ තබා ගත යුතුයි. ඔබට අවශ්‍ය විය හැකි ප්‍රථමාධාර කට්ටලයක් ද ඒ තුළ තිබීම වැදගත්. උදාහරණ ලෙස වේදනා නාශක පෙති, වෙළුම් පටි, ටිෂූ, ආසාත්මිකතා සඳහා ඖෂධයක්.

ඔබ ඇඳගෙන යන ඇඳුම් පැළදුම් සහ සපත්තුවල බර ගණනය නොකරන නිසා ඔබට ඇඳුම් කිහිපයක් ඇඳගෙන යා හැකියි. උදාහරණ ලෙස ටී ෂර්ට් එකක් ඇද ඊට උඩින් ඝනකමින් යුතු ජැකට් එකක් ඇඳීම, ඩෙනිම් ඇඳීම, සපත්තු පැළඳීම දැක්විය හැකියි. ඔබේ ගමන් මල්ල සූදනම් කරන විට ඇඳුම් රෝල් කර අසුරන්න එය ඔබට ඉඩ ඉතිරි කරන ක්‍රමයක් වෙයි. ඒ වගේම බර වැඩි දේවල් යටින් අසුරන්නත් මතක තබා ගන්න. ඔබ ගෙන යන ලිපි ද්‍රව්‍යවල පිටපත් මෙම ගමන් මල්ලේ අසුරන්න. එය ඔබව වඩාත් සුරක්ෂිත කිරීමට උපකාරී වෙයි.

 

මේ සියල්ලම දෙවරක් පරීක්ෂා කරමින් සූදානම් කර ගැනීම වඩාත් සුදුසුයි. ඒ වගේම අමතර ප්ලාස්ටික් බෑගයක් හෝ දෙකක් ඔබේ ගමන්මල්ලට එක් කරගන්න අමතක කරන්න එපා. එය ඔබට හදිසි අවාස්ථාවකදී ප්‍රයෝජනවත් විය හැකියි. මේ සියලු කාරණා ගැන සැලකිලිමත් වීමෙන් ඔබට වඩාත් ආරක්ෂිත සුව පහසු ගුවන් ගමනක් ලබා ගත හැකිවනවා නොඅනුමානයි.

 

 

කුශාන්ති අනුරාධා බණ්ඩාර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here