හතර වටෙන් අතරමං නොවී දැනගෙන රට යන්න ටිප්ස් ටිකක්….

අතරමං නොවී දැනගෙන රට යන්න ටිප්ස් ටිකක්….

2023 May 17

රැකියා සඳහා විදෙස් ගතවීම අලුත් දෙයක් නොවුණත් මෑතකාලීනව ලංකාවේ පවතින ආර්ථික ගැටලු නිසාම බොහෝ දෙනෙක් රැකියා සඳහා විදෙස් ගත වීමට වැඩි වශයෙන් යොමු වන ප්‍රවණතාවයක් දක්නට ලැබෙනවා. මේ ප්‍රවණතාවය නිසාම බොහෝ දෙනෙක් හරිහැටි අවබෝධයක් නැතුව රට යන්න උත්සාහ කිරීමෙන් අමාරුවෙ වැටෙන ආකාරයත් අපට අසන්නට දකින්නට ලැබෙනවා. ඔබ රැකියාවකට විදෙස් ගතවනවා නම් ඒ පිළිබඳ සියලු විස්තර සොයා බලා දැනුවත් වීම ඉතාම වැදගත්.

සාමාන්‍යයෙන් රැකියාවක් සඳහා විදෙස් ගතවන අයෙක් පළමුවෙන්ම විදෙස් ගමන් බලපත්‍රයක් සාදාගත යුතුබව ඔබ දන්නවා. ඉතින් මේ විදෙස් ගමන් බලපත්‍රය නිසි පරිදි දෝෂ රහිතව සකසා ගැනීම වැදගත්. මීළඟට ඔබ යම් ආයතනයක් හරහා විදෙස් ගතවන්නේ නම් අදාළ රැකියා වීසා බලපත්‍රය ලබා ගැනීමට කටයුතු කරන්න. ඒ වගේම ඔබ සේවාව ලබා ගන්නා ආයතනය විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වූවක් ද යන්න ද සොයා බැලීමට සැලකිලිමත් වන්න.

ඔබේ රැකියාවේ ස්වභාවය පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා ගන්න. වැඩ කිරීමට ඇති පැය ගණන, නිවාඩු දින සහ ඔබේ කාර්‍යභාර්යය කුමක් යන්න පිළිබඳව ඔබට එරටට යෑමට පෙර අවබෝධ කරගත යුතුයි.

ඔබ ගමන් කිරීමට බලාපොරොත්තු වන රට තුළ ඔබට නවාතැන් ගැනීමට සුදුසු ස්ථානයක් පිළිබඳව සොයා බලන්න. රැකියා ස්ථානයෙන්ම නවාතැන් පහසුකම් සපයන අවස්ථා මෙන්ම ඔබට නවාතැන් පහසුකම් සපයා ගැනීමට සිදුවන අවස්ථාවන් තිබෙනවා. ඒ වගේම ගමනා ගමන පහසුකම් සහ ඒවා භාවිත කරන ආකාරය රටින් රටට වෙනස් විය හැකියි. ඒ පිළිබඳවත් සොයා බලන්න.

ආගන්තුක රටක ජීවත් වීමේදී දේශගුණය හා ආහාර රටා නිසා ඔබට විවිධ සෞඛ්‍ය ගැටලු අතිවීමට ඉඩ ප්‍රස්ථාව වැඩියි. රට තුළ ඔබට සෞඛ්‍ය පහසුකම් ලබාගත හැකි ආකාරය පිළිබඳව සොයා බලා දැනුවත් වන්න. විදෙස් ශ්‍රමිකයන්ට එම රට තුළ ලබා දෙන සෞඛ්‍ය පහසුකම්, රක්ෂාණාවරණ පිළිබඳව සොයා බැලීම ඔබට ඉතාමත් වැදගත් වනවා.

විදෙස් රැකියාවකට බොහෝ දෙනා පිටත් වන්නේ යම් මුදලක් ඉතිරි කර ගැනීමට සහ අනාගතය සුරක්ෂිත කර ගැනීමටයි. එම නිසා මීළගට ඔබ ගමන් කරන රට තුළ ජීවත් වීමට මාසිකව වියදම් වන මුදල කොපමණ ද යන්න සොයා බලන්න. ඔබ බලාපොරොත්තු වන රැකියාවේ වැටුප, එම වියදම සමඟ සසදන්න. ඔබට ඉතිරි කළ හැකි මුදල පිළිබඳව දළ අදහසක් ලබා ගන්න.

ඔබ ගමන් කරන රට තුළ සම්බන්ධතා ජාලයක් ඇති කරගැනීමට උත්සාහ ගන්න. එම රට තුළ ඔබේ රැකියා ක්ෂේත්‍රයේ සිටින ලාංකිකයන් මෙන්ම තවත් පුද්ගලයන් හඳුනා ගන්න. මේ සඳහා ඔබට Twitter සහ Linkedin යන සමාජ මාධ්‍ය ජාලා යොදා ගන්න පුළුවන්. ඒවායේ වෘත්තීයමය ස්වභාවය නිසා ඒවා වඩාත් සුදුසුයි.

ඒ වගේම එම රටේ සංස්කෘතිය පිළිබඳව ද සොයා දැන ගන්න. එය ඔබට අලුත් පරිසරයකට හුරු වීම පහසු කරයි. එමෙන්ම එම රටේ පවතින නීති පද්ධතිය පිළිබඳව ද සොයා බලන්න. මේවා පිළිබඳව ඔබට එරට සිටින පුද්ගලයන් මඟින් හෝ ගූගල් සෙවුම් මඟින් සොයා ගැනීමට පුළුවන්.

මේ ආකාරයට ඔබ සෑම දෙයක් පිළිබඳවම සොයා බලා විදෙස් රැකියාවකට අයදුම් කර විදෙස් ගතවීම තුළින් ඔබගේ වටිනා මුදල් සහ කාලය රැක ගත හැකියි. ඒ වගේම ඔබට නුපුරුදු රටක ජීවත් වීම තරමක කාලයක් යනතුරු අපහසු අත්දැකීමක් වුවත් මේ සියලු කරුණු සොයා බලා විදෙස් ගත වීම තුළ ඔබේ අපහසුතා අවම කරගැනීමට හැකියාව ලැබෙයි.

කුශාන්ති අනුරාධා බණ්ඩාර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here