Blog Page 36

කලබලකාරී බවින් මිදිලා නිවීසැනසිල්ලේ කෑම කන්න ආසනම් යන්නම ඕන තැන A Minute by Tuk Tuk

One Galle Face සාප්පු සංකීර්ණයේ පිහිටලා තියෙන A Minute by Tuk Tuk අවන්හලට අපි ගියේ එකේ තියෙන කෑම බීම try කරලා අලුත් රස අත්දැකීමක් ලබා ගන්න. ගාල්ලේ තියෙන A Minute by Tuk Tuk අවන්හලට වඩා වෙනස් ම විදියේ අත්දැකීමක් කොළඹ තියෙන අවන්හලෙන් ලබා ගන්න පුළුවන්. සංස්කෘතීන් දෙකක් හෝ කීපයක් එකට එකතු කරලා හදන කෑම බීම රස විඳින්න ඕනේ නම් ඕගොල්ලන්ට යන්න පුළුවන් හොඳම අවන්හල් වලින් එකක් තමයි මේක.

 

බීම වර්ග

The Health Nut (LKR 750)

තිබහ නිවන මේ රසම රස Health Nut mocktail එක වැඩිපුරම ගැළපෙන්නේ alcohol පාවිච්චි කරන්නේ නැති කෙනෙක්ට. මේ mocktail එක බිව්වට පස්සෙත් ඔයාලගේ දිවට තරමක් පැණි රස ගතියක් දැනේවි. නැවුම් බැවින් අනූන Health Nut mocktail එක සෞඛ්‍ය සම්පන්න බව ගැන හිතන, ඒ වගේම comfort food වලටත් කැමති කෙනෙක්ට හොඳටම ගැළපෙනවා.

 

 

Smirkin’ Gimlet (LKR 950)

Smirkin’ Gimlet කියන්නේ ජින් (gin) වල සැර ගතිය එකතු වුණ lychee (මේක රඹුටන් වගේ පලතුරක්) වලින් රස ගැන්වුණ drink එකක්. හරිම සරල විදියට පිළිගැන්වුණු මේ drink එකේ තියෙන දිව පිනා යන සැර රසයට ඔයාලත් අනිවාර්යයෙන් කැමති වේවි…

 

 

Jack to a King (LKR 950)

අපි ඊළඟට try කරපු drink එක අරක්කු වල රසය සමග mix වුණු drink එකක්. ශ්‍රී ලාංකික අපිට හුරුපුරුදු රස මුසු වුණු බීමක් try කරන්න කැමති කෙනෙක්ටම තමයි මේ drink එක හරියන්නේ. මේ drink එක පිළිගන්වන්නේ ලස්සනට මැදපු පොල්කටුවක වීම තමයි මේකේ විශේෂත්වය. තැඹිලි වතුර එක්ක අරක්කු මිශ්‍ර වුණු මේ drink එකෙන් අපිට ටිකක් හුරුපුරුදු වගේම වෙනස් ම විදියේ රස අත්දැකීමක් ලැබුණා. ඒ කොහොම වුණත් මේ drink එක විවිධාකාර රස වල මිශ්‍රණයක් වුණා නම් තවත් හොඳයි කියල අපිට හිතුණා.

 

 

Starters

Aunty Aida’s Mutton Soup (LKR 950)

ඔයාලා අසනීප වුණු වෙලාවක ගෙදර හදපු bone soup එකක් බීලා තියෙනව ද? ඒක බිව්වම දැනුණේ කොහොමද කියලා මතකද? මේ සුප් එක try කළාම අපට දැනුණෙත් ගෙදර හදපු සුප් එකක් බොනවා වගේ හැඟීමක්. රෝස්ට් පාන් එක්ක පිළිගන්වන මේ සුප් එක කුළුබඩු වල රසය යහමින් දැනෙන, හොඳට තම්බපු එළු මස් සහ පරිප්පු දාලා තමයි හදලා තියෙන්නේ.

 

Mains

Taka Taka (Crab) (LKR 1400)

අපි ඊළඟට try කළේ කකුළු කොත්තුවක් (crab koththu)! Oven එකේ bake කරලා හොඳට sesason කරපු මේ කකුළු කොත්තුව හැමෝම ප්‍රිය කරන කෑමක් නොවෙන්න පුළුවන් මොකද කකුළු මස් වල තෙල් ගතිය තරමක් වැඩි නිසා. ඒ වගේම මේ dish එකේ spicy ගතියත් ටිකක් වැඩියි.

 

 

It’s a Wrap (1200)

Vegetarian කෙනෙකුට කියාපු dish එකක් තමයි මේක. Pulled pork කියන ඇමරිකානු barbecue dish එක මූලික කරගෙන හදලා තියෙන මේ wrap එකේ pork වෙනුවට තියෙන්නේ කොස්! දේශීය කුළුබඩු දාල රසට හදපු කොස් ව්‍යාංජනයක් tortilla wrap එකක දාල guacamole කියන අලිගැටපේර වලින් හදපු dip එකත් එක්ක තමයි මේක serve කරන්නේ.

 

 

Dessert

Mangoficient (LKR 800)

Mangoficient කියන්නේ dessert එකක් වුණාට පැණි රස ගතියට වඩා savoury ගතිය තමයි වැඩිපුර දැනෙන්නේ. සාමාන්‍යයෙන් sorbet dessert හදන්නේ frozen fruit වලින්. හැබැයි තරමක් ඉදුණ අඹ grill කරලා හදපු මේ sorbet dessert එක නම් හරිම smooth.

 

Ambience

A Minute by Tuk Tuk අවන්හලේ ස්වභාවික පරිසරය පාදක කරගෙන ඇඳපු චිත්‍ර සහ විසිතුරු පැළ තියල සරසලා තිබුණට එක ඇතුලට ගියහම trendy feeling එකක් තමයි දැනෙන්නේ. One Galle Face සාප්පු සංකීර්ණයේ කලබලකාරී ගතියෙන් මිදිලා නිවීසැනසිල්ලේ ආහාර වේලක් රසවිඳින්න පුළුවන් ලස්සන තැනක් තමයි මේක.

ඔයාගේ සුරතලාවත් අරන් යන්න පුළුවන් කොළඹ තිබෙන Cafes මෙන්න

අපි ගොඩක් දෙනෙක් සුරතල් සතුන්ට ප්‍රිය කරන අයනේ. ඉතින් අපි ගොඩක් වෙලාවට කැමති අපේ සුරතලාව අපි ලගින්ම තියාගන්න. හැබැයි ඉතින් ඒක අපිට හැමවේලේම කරන්න බැරි වැඩක්. අපි cafe එකකට වගේ යනවා නම් අපිට අපේ සුරතලාව එක්ක යන්න බැහැනේ . හැබැයි ඔන්න animal loversලාට සුබ ආරංචියක් තියෙනවා. ඒ තමයි Colombo වල අපිට අපේ සුරතලාව රැගෙන යන්න පුළුවන් cafes කිහිපයක් විවෘත වෙලා තියෙනවා. ඉතින් ගැස්ම අපි අද ඒ cafes වල විස්තර ඔන්න ඔයාලා වෙනුවෙන්ම අරන් ආවා.

 

 

1.Tayo Bear

ඔබ Tayo Bear ගැන නම් අහලා තියෙනවා ඇති . 2019 ඔක්තෝම්බර් මාසයේදී Gregory’s Road වල ආරම්භ කරපු මේ Tayo Bear සුරතලුන්ට සහ සුරතලුන්ගේ අයිතිකරුවන්ට නියම ස්ථානයක් වුණා. සුරතලුන්ට මුල්තැන දෙන මේ cafe එකේ සෞඛ්‍ය සම්පන්න විවිධ ආහාර menus දෙකක් තියෙනවා. එක menu එකක් අපිට අනිත් menu එක අපේ සුරතලා වෙනුවෙන් වෙන්කරලා තියෙනවා. ඔයාට මේ සම්බන්ධයෙන් උනන්දුවක් තියෙනවා නම් Instagram @tayobear page එකට ගිහින් වැඩි විස්තර බලන්න පුළුවන් .

Opening hours: 10.30AM – 9.30PM (Closed on Thursdays)

Contact: 0771 992 907

 

 

2.Peppermint Cafe


Colombo 07 තියෙන Peppermint Cafe එක පැය 24 ම විවෘතයි. අපේ cafe list එකේ pet-friendly cafe අතර මූලික ස්ථානයක් ගන්නවා මේ Peppermint Cafe එක . අපිට හොඳට කන්න පුළුවන් හොඳ menu එකක් මෙයාලගේ තියෙනවා වගේම අපේ සුරතලාට ගැළපෙන තොරාගත් ආහාර අඩංගු menu එකක් Peppermint Cafe විසින් සකස් කරලා තියෙනවා.

Open 24 hours.

Contact: 0756 320 420

 

 

3.Plus Nine Four

Colombo වල තියෙන තවත් pet-friendly cafe එකක් තමයි Plus Nine Four. 2018 මැයි මාසයේදී Cafe Kumbuk හි සහෝදර cafe එකක් ලෙස විවෘත කරපු Plus Nine Four දේශීය අමුද්‍රව්‍ය යොදාගන හදන ගුණාත්මක ආහාර තමයි පිළිගන්වන්නේ. එළිමහනේ පිහිටා තිබෙන මේ Cafe එක අපේ සුරතලාට නම් ගොඩක් සුවපහසු තැනක් වුණා.

Open hours: 9AM – 5PM (Monday – Sunday)

Contact: 0112 554 225

 

 

4.Sugar Beach

රසනහර පිනායන ආහාර , පුදුමාකාර cocktails සහ විශිෂ්ට සේවාවක් සපයන beachside dining cafe එක විදිහට Sugar Beach හඳුන්වා දෙන්න පුළුවන් .ඇත්තටම මේ cafe එක සුරතල් සතුන් සදහා හිතකර තැනක්. ඉතින් ඔයා හොයන්නේ ඔයාගේ සුරතලා එක්ක beach එකේ ඇවිදලා enjoy කරන්න නම් මේක තමයි ඒකට ගැළපෙනම place එක.

Open hours: 10AM – 12AM (Monday – Friday), 9AM – 12AM (Saturday – Sunday)

Contact: 0117 035 135

 

 

5.Black Cat Cafe

මෙයාලනම් සුරතලාව ඇතුලට ගෙනියන්න දෙන්නේ නැහැ. එයාලව එළිමහනේ තියලා තමයි එන්න වෙන්නේ.නමුත් තවමත් මේ ස්ථානය pet-friendly cafe එකක් කියලා තමයි හඳුන්වන්නේ.
ඔවුන් තෝරාගත්ත menu එකකට මනාව සකස් කරගත්ත sandwiches සහ උණු උණු කෝපි කෝප්පයක් පිළිගන්වනවා. ඔයාගේ සුරතලා ළඟ පාතක ඉන්න ගමන් ඔයාට මේ ආහාර රස විදින්න හැකියාව තියෙනවා.

Open hours: 8AM – 10PM (Monday – Sunday)

Contact: 0112 675 111

 

 

6.Spinner Cafe

බොහෝ විට පාපැදි කරුවෙකුගේ පාරාදීසයක් ලෙස හැඳින්වෙන Spinner Cafe එක සුරතලුන්ට ගොඩක් හිතකාමී තැනක්. ඔවුන්ගේ එළිමහන් භෝජනාගාරය ඔයාට ඔයාගේ සුරතලා සමඟ සුන්දර ආහාර වේලක් භුක්ති විඳීමට නියමට ගැළපෙනවා.

Open hours: 6AM – 10PM (Monday – Sunday)

Contact: 0768 716 266

 

 

7.Cafe Sociale

පුළුල් පරාසයක ආහාරපාන සපයන Cafe Sociale කියන්නේ සුරතල් සතුන් සඳහා හිතකර Cafe එකක්.ඔයාට පුළුවන් Cafe Sociale ගිහින් ඔයාගේ සුරතලා එක්කම හොඳ ආහාර වේලක් රස විඳින්න.

Open hours: 8AM – 10PM (Monday – Sunday)

Contact: 0774 445 788

හැඳි ගෑරුප්පු පාවිච්චි කරන විදිහ ගැන හරියටම දන්නවාද?

ලංකාවේ අපේ සාම්ප්‍රදායික කෑම රටාවට අනුව නම් අපි බත්, එළවළු වගේ කෑම වර්ග තමයි ගොඩක් වෙලාවට කෑමට ගන්නේ. බත් සහ එළවළු සහිත එහෙම කෑමක් කන්නෙ අපේ විදිහට අතින් වෙන්න පුළුවන්. ඊට වඩා වෙනස් විදිහකට කෑම ගන්න සිදුවන සමහර විශේෂ අවස්ථා අපට උදා වනවා. විශේෂ උත්සව අවස්ථාවක්, රෑ කෑමකට ලැබෙන ආරාධනයක් එහෙමත් නැත්නම් විශේෂ හමුවක් වගේ අවස්ථාවකට සහභාගී වෙන්න ලැබුනොත් ඒ අවස්ථාවේ කෑම ගන්නෙ කොහොමද කියල දැනගෙන ඉන්න එක ඉතාම වැදගත්. විශේෂ කෑමකට වගේ අවස්ථාවකට තවත් පිරිසක් එක්ක සම්බන්ධ වුන වෙලාවක ඔයා මේ කියන Table manners ගැන හරියට දැනගෙන හිටියේ නැතිනම් ඔයා අපහසුතාවයට පත් වෙන්න බැරි නැහැ.

සාමාන්‍යෙන් මේ විදිහේ කෑමකට ගිය වෙලාවකට ඔයාට ඒ මේසයේ සැකැස්ම දකින්න පුළුවන් වෙන්නේ මේ විදිහට. කෑම බටහිර පන්නයේ එකක් නම්, ඒ විදිහේ කෑමකට අවශ්‍ය කරන සැකැස්මක් ඔයාගේ මේසයේ හදල තියෙයි. සුප්එක එහෙම කෑම වේලක ආරම්භක පියවර. ඒ නිසා සුප් එක බොන්න ගැලපෙන විදිහේ භාජන සහ ප්‍රධාන කෑම වේලට පෙර ලැබෙන සුළු කෑම වර්ග (appetizer) ගන්න අවශ්‍ය වෙන dishes ඔයාගේ මේසයේ පිළිවෙලට තබා තියේවි. ඒ දේවල් එක්කම නැප්කින් එකත් පිළිවෙලට සකස් කරලා මේසය උඩ තබා තියෙනවා ඔබට පෙනේවි. කෑමට පුටුවේ වාඩි වුනහම ඔයා ඒ නැප්කින් එක ඔයාගේ උකුල උඩ එලාගැනීම අවශ්‍යයි. ඒ වගේම සාමාන්‍ය මතය තමයි කෑම මේසයේ අත් දෙක වැලමිටෙන් මේසයේ රඳවාගෙන ඉන්න ඕන කියන එක. නමුත් ඒක වැරදි මතයක්. කෑමට පෙර නැතිනම් කෑමෙන් පසු මේසයේ ඉන්න අය එක්ක සංවාදයක ඉන්නවා වගේ නම් ඒ ක්‍රමයේ වරදක් නැහැ. නමුත් කෑම ගන්න අතරතුර ඒක කරන්න යන්න එපා. එක අතක විතරක් හැන්ද හෝ ගෑරුප්පුව පාවිච්චි කරනවා නම් අනික් ඇත නිදහසේ උකුල මත තමාගැනීමයි වඩා සුදුසු ක්‍රමය. ඒ වගේමයි පිරිසක් එක්ක කෑමට වාඩි වුනානම්, අනික් අයට කෑම පිළිගන්වන තුරු ඉවසන්නත් අමතක කරන්න එපා.

සාමාන්‍යෙන් මේස සැකැස්මේදී ඔයාගේ වම් අත පැත්තේ ගෑරුප්පු වර්ග තියෙනවා. දකුණු පැත්තේ තියෙන්නේ හැඳි සහ පිහි. මේ අතර මස් සහ මාළු කෑමේදී පාවිච්චි වන විශේෂ පිහි වර්ග සහ ගෑරුප්පු වර්ග තියෙනවා. ඒ වගේම සුප් බොන හැන්දක් ඒ අතර තියෙයි. කෑම වේලට සුප් එක ඇතුළත් නම් ඒක ඔයාට මුලින්ම ලැබෙනවා. ඒකට සකස් වුනු රවුම් තරමක් බොකුටු හැන්ද දකුණු අතින් අරගෙන ඔයාගේ ඇඟ පැත්තේ ඉඳන් මේසයේ ඉස්සරහ පැත්තට යන විදිහට හැන්ද සුප් භාජනය ඇතුලෙන් තල්ලු කරන විදිහට තමයි සුප් එක බොන්න ඕනෙ. මේසයේ පිටත ඉඳන් ඔයාගේ පැත්තට හැන්ද ගෙනෙන එක පහසු නමුත් ඒක වැරදියි. ඔයා සුප් එක බීල ඉවර වුනා නම්, හැන්ද ඔරලෝසුවේ වෙලාව සවස 6 දැක්වෙන විදිහට භාජනයෙන් තියන එක තමා හරි විදිහ.

ඊළඟට ඔයාගේ ප්‍රධාන කෑම වේල ලැබෙනවා. ඒක බටහිර පන්නයේ කෑම එකක් නම් මාළු, මස් වර්ග සහ එළවළු වෙන වෙනම ඔයාගේ කෑම පිඟානට ලැබෙනවා. ඒ මස් සහ මාළු වර්ග කැබලි කරගන්න අවශ්‍ය පිහිය ඔයාගේ දකුණු පැත්තේ තියෙයි. ඒ පිහිය දකුණු අතටත් ගෑරුප්පුව වම් අතටත් ගැනීම අවශ්‍යයි. ඔයා කෑම කන අතර කැමති නම් පිහියත් ගෑරුප්පුවත් අත් දෙකේ දිගටම තියාගන්නත් පුළුවන්. නමුත් පහසු විදිහ නම්, මස් හෝ මාළු කැබලි කරගත්තට පස්සේ පිහිය ඔයාගේ පිඟානේ ඉස්සරහ පැත්තේ අයිනෙන් දිග හැඩයට තියන එක. පිහිය ආපහු අවශ්‍ය වුනහම අතට ගන්න පුළුවන්. මතක තියාගන්න ඔයා ගෑරුප්පුව වම් අතින් අල්ලන්න ඕනේ වගේම දබර ඇඟිල්ල ගෑරුප්පු මිටට සමාන්තරව තියෙන්නත්, අනික් ඇඟිලි යට පැත්තට තියෙන්නත් රඳවා ගන්න. ඒ වගේම පිහිය ගෑරුප්පුව දෙකම නිදහසේ අතේ රඳවාගෙන ඉන්න වෙලාවට පිඟානට සමාන්තරව තියාගන්න. ඉහළට ඔසවමින් එහා මෙහා කිරීම ගැලපෙන්නේ නැහැ.

ඔයා කෑම ගනිමින් ඉන්න අතරතුර මද වෙලාවකට නතර කළොත්, ඔයා පාවිච්චි කරමින් හිටපු හැන්ද, ගෑරුප්පුව හෝ පිහිය (මේවායින් දෙකක් විතරයි එක වරක පාවිච්චි වෙන්නේ) ඔරලෝසුවේ 3.40 වෙලාව දැක්වෙන කටු තියන හැඩයට පිඟාන උඩින් තියන්න. එතකොට ඔයාට සේවය සපයන අය දන්නවා ඔයා කෑම කාල ඉවර නැති බව. ඔයා සම්පුර්ණයෙන් කෑම කාල ඉවරනම්, ගෑරුප්පුව සහ පිහිය හෝ හැන්ද එකිනෙකට සමාන්තරව දික් අතට තියන්න. මේක ඇමරිකානු ක්‍රමයේදී සහ යුරෝපිය ක්‍රමයේදී තරමක් වෙනස්. මේ දෙක සමාන්තරව ඔරලෝසුවේ 4.20 දැක්වෙන විදිහට හෝ 3.15 දැක්වෙන විදිහට තියන එක ඒ ක්‍රම දෙකේදී සිදුවනවා. නමුත් වැදගත්ම දේ එක උඩ එක නොතියා එකිනෙකට සමාන්තරව තැබීම. එතකොට ඔයාට ආහාර පිළිගන්වන සේවක මහතා දන්නවා ඔයා කෑම අරගෙන ඉවර බව.

මෙන්න මේ පුංචි කරණා ටික හොඳින් මතකයේ තියා ගත්තොත් ඕනෑම තැනක තියෙන ඕනෑම වර්ගයේ භෝජන සංග්‍රහයකට යන්න ඔයාට චකිතයක් තියාගන්න අවශ්‍ය නැහැ. බොහෝ දෙනෙකුට මේ සරළ කාරණා ගැන නිසි දැනුමක් නැහැ. නමුත් ඒ දේවල් දැනගෙන සිටීම ඉතාම වැදගත්. විශේෂයෙන් තරු පන්තියේ හෝටලයක මංගල උත්සවයක් හෝ කුමන ආකාරයේ උත්සවයකට ගියත් චකිතයක් නැතුව යුරෝපීය ක්‍රමයට කෑම ගන්න ඔයාටත් පුළුවන් වේවි.

රොමෑන්ටික් විදිහට ඉතාලි කෑමක් රස විඳින්න 3Brothers Italian Bistro

මේ අළුත් ඉතාලි restaurant එක දෙසැම්බර් මාසයේදී විවෘත කරපු ලස්සන වටපිටාවක් තියෙන, මේ වෙනකොට කා අතරත් ජනප්‍රිය වෙලා තියෙන තැනක්. ඇතුළත වගේම එළිමහනෙත් ආසන තියෙන මේ restaurant එක දවල්ට විතරක් නෙමෙයි රෑටත් ගැලපෙන තැනක්. දර වලින් පුළුස්සන උඳුනක් තියෙන මේ restaurant එකේ ගඩොල් වලින් සාදා ඇති බිත්තියටම, සවි කරලා තිබුණ vine බෝතල් තියෙන පොඩි bar එකකුත් තිබුණා. එළිමහන් ආසන තිබුණ තැන Fairy lights වලින් සරසා තිබීම නිසා අමුතු ලස්සනක් එක් කළා. vine වලට හෝ කෑම කන්න ඔයා හොයන්නෙත් හරිම සරල romantic තැනක් නම් මෙතන ඔයාට හරියනම තැන කියලා කියන්න පුළුවන්.

 

 

Appetizers

 

 

 

Aranchini (LKR 480)

මෘදු සහ ටිකක් පිම්බුණු ස්වභාවයක් තිබුණු ප්‍රමාණවත් කැබලි 4 ලැබෙන මේ starter එක නැවුම් තක්කාලි හා බැසිල් සෝස් සමග මිශ්‍ර රසක් එකතු කළා. කොහොම වුණත් මේ dish එකට තව කුකුළු මස්, බිම්මල් හා seasoning සමග චීස් ටිකක් එකතු කළානම් හොඳයි කියලා අපිට හිතුණා.නමුත් sause එක නිසා රසේ අඩුපාඩුව මකාගන්න පොඩි උදවුවක් වුණා.

 

 

Minestrone (LKR 420)

ඇත්තටම Minestrone ලංකාවේ හරිම කලාතුරකින් හමුවෙන කෑමක් නිසා අපිට මේක රස බලන්න ඕනේ වුණා. රසවත් තක්කාලි සුප් එකක් වන මේක සීතල දවසකට නම් ගොඩක් සුදුසුයි. බත්,කැරට්, ගම්මිරිස්, සැල්දිරි සහ බෝංචි වැනි එළවළු වර්ග සමඟ මිශ්‍ර කරලා තිබුණ මේ සුප් එක ගොඩක් සෞඛ්‍ය සම්පන්න වගේම අපේ බඩ පිරෙන්න ඇතිවෙන්නම තිබුණා. හරිම නැවුම් රසයක් තිබුණ මේ සුප් එකේ තක්කාලි රසය ගොඩක් දැනුණා.

 

 

Mains

Homemade Roasted Pumpkin Ravioli with Gorgonzola Sauce (LKR 1300)

කැබලි 5 ක් වැනි ප්‍රමාණයෙන් පොඩි portion එකක් වුණත් හරිම මෘදු pasta සීනී දමා නැති pumpkin pie එකක රස මතක් කරලා දුන්නා. Gorgonzola Sauce පොඩි ප්‍රමාණයක් ලැබුණත් ඒක මේ රසවත් පිරවුමට හරිම අමුතු රසයක් එකතු කළා. ඒ වගේම හරිම රසයන් කිහිපයක එකතුවක් වුණ මේ Ravioli dish එකනම් කන්න කන්න ආස හිතුන බව කියන්නම ඕනේ. ඒ වුණාට බඩගිනි වේලාවකදී නම් මේ dish එක ඔයාට ගැලපෙන්නේ නැහැ.

 

 

Pizza

 

අපි pizza ඇණවුම් කළාම thin crust සහ ඉතාලි crust එකක් වන Neapolitan crust යන crust වර්ග දෙකක් අතරින් අපිට ඕනේ crust එක තෝරාගන්න අපිට අවස්ථාවක් ලැබුණා. ඉතින් අපි මේ crust දෙකම රස බලන්න ඕනේ කියලා තීරණය කළා.

 

NEOPOLITAN STYLE CRUST

Neapolitan (LKR 1150)/Margherita (LKR 1450)

 

 

ඉතාලියේ Naples වල සම්භවයක් තියෙන මේ pizza එකේ තිබුණේ මෘදු, පිළිස්සුණු crust එකක්. තිබුණ රසවත් පෙනුම නිසාම අපි half and half විදිහට මේ pizza එක Margherita සහ Neapolitan යන වර්ග දෙකෙන්ම ඇණවුම් කරන්න අපි තීරණය කළා. Neapolitan pizza එකට සිහින්ව කැපූ ළුෑනූ ,anchovy,juicy capers,නැවුම් oregano කැබලි එකතු කලේ හරි අපුරු රසයක්. තද රසයක් තිබුණ මේ pizza එකට ඇදෙන සුළු mozzarella cheese හොඳට ගැලපුනා. නැවුම් තක්කාලි,mozzarella සහ basil එකතු කරලා තිබුණ Margherita pizza එක නම් හරිම සරල pizza එකක්. නැවුම් මොසැරැල්ලා සෑහෙන ප්‍රමාණයට දමා තිබු නිසාම හොඳ ඇදෙන සුළු ස්වභාවයක් තිබුණා වාගේම බැසිල් සහ තක්කාලි මේ පීසා එකට නැවුම් බවක් සහ හොඳ එළියක් ලබාදීලා සෞඛ්‍ය සම්පන්න සහ සැහැල්ලු බවක් ඇතිකළා. හොඳට හැපෙන සුළු ක්‍රස්ට් එකකින් සහ ඇදෙන සුළු, මෘදුව තිබුණු මේ pizza එකනම් ඇත්තටම හරිම රසවත්.

 

 

THIN CRUST

Homemade Pork Sausage, Roasted Peppers, Mozzarella, Grana Padano (LKR1790)/Spicy Italian Chorizo (LKR 1890)

 

තරමක් හැපෙන සුළු ස්වභාවයේ crust එකක් වුණත් වැඩිය ලොකු crust එකක් තිබුනේ නැති මේ pizza එකෙත් හොඳ රසයක් තිබුණා. මේ ක්‍රස්ට් එක toppings වල බර හොඳින් රදවාගෙන වගේම cheese සහ sauce වලින් හොඳින් වසා තිබුණා. ඉතින් අපිට හිතුනා pork sausage සහ chorizo යන වර්ග දෙකෙන්ම Half and Half විදිහට මේ පීසා එකත් තෝරාගන්න. එයාලම හදාගෙන තිබුණ Pork Sausage සෑම කටකටම සෑහෙන ප්‍රමාණයක් තිබුණා වගේම හොඳ පදමට තිබුණා. grana padano මේ පීසා එකට දුන්නු තියුණු රසය වගේම බැදපු ගම්මිරිස් මෘදු සහ පැණි රසක් සමග හරි අපූරු රසයක් මේ පීසා එකට එකතු කළා. සැර ඉතාලියානු chorizo ලුණු රසයක් සහ පැණි රසක් එකතු කළා වගේම හොඳ තත්වයේ මස් කැබලි සෑහෙන ප්‍රමාණයක් මේ පීසා එකට එකතු කරලා තිබුණා. හොඳින් ඇතිරූ චීස් තට්ටුවකින් යුතු වු මේ chorizo අපේ දිව පිනා යන රසයකින් යුතු වුණා. ඔයා මස් සහිත pizza වලට කැමති කෙනෙක් නම් මේක හොඳ තේරීමක් වෙන්න පුළුවන්. එහෙම නැතිනම් ඔයාට අපි තෝරාගත් විදිහට ජාති දෙකකින් වුණත් තෝරාගන්න පුළුවන්.

 

 

Dessert

Tiramisu (LKR 660)

Tiramisu කියන්නේ ඉතාලි භාෂාවෙන් pick me up – මාව ගන්න කියන තේරුමට. පළවෙනි කටේදීම custardy mascarpone cream සහ espresso එක නැවුම් බවක් තිබුණා. මේක ගැන අපි කැමති හිතුන හේතුව වුණේ මේකේ තිබුණ creamy ගතිය සහ ඕනෑවට වැඩිය පැණි රසක් නොතිබුණු නිසයි. තිත්ත espresso රසයත් මේකට හොඳට ගැලපුණ බව නම් අපිට හොඳට තේරුණා.

 

 

Ambience

හොඳට ඉඩකඩ තියෙන සරල, නිදහස් තැනක්. උණුසුම් ආලෝකකරණය, සරල සුදු ලිනන් මේස රෙදි, නිරාවරණය වූ ගඩොල් බිත්ති සහ ලී ගෘහ භාණ්ඩ, මේ ස්ථානයට අලංකාරයක් වගේම හරිම ආකර්ශනීය බවක් එකතු කළා. අවන්හලේ කෙළවරේ එයාලගේ විශාල දැව ගිනි පීසා උදුනක් තිබෙන නිසාම ඔයාට ඔයාගේ පීසා එක ඔයාගේ ඇස් ඉදිරියේම හදන විදිහත් බලාගන්න පුළුවන්. ඒ වගේම මේ bistro එකේ එයාලගේ මස් සහ චීස් වර්ග පෙනෙන්නම වීදුරු ආවරණ වල දාලා තිබුණා. ඒ වගේම රාක්ක වල රටින් ගෙන්වන ලද ඉතාලි වියළි පැස්ටා, ඇට වර්ග, තෙල් සහ සෝස් වගේ දේවල් සාධාරණ මිලකට විකුණන්න තිබුණා.

 

 

Service

 

 

මේකේ සේවාව ඉතාමත් මිත්‍රශීලීයි. ඒ වගේම කාර්ය මණ්ඩලය ඔවුන්ගේ menu එක ගැන හොඳින් දැන සිටිය බවත් අපිට තේරුණා. ඒ වගේම ඔවුන් ඉතා ඉවසිලිවන්තව හා විශ්වාසයෙන් යුතුව තමන්ගේ රාජකාරිය ඉටු කළා. අපි ගිය වේලාවේදී එයාල ගොඩක් කාර්යබහුල වෙලා සිටියත් විනාඩි 20ක පමණ වෙලාවකින් පස්සේ ලස්සනට සරසපු සහ උණුසුම්ව අපේ කෑම වේල ලබාගන්න පුළුවන් වුණා.

Tip – ඔයා තෝරාගන්නේ මොන flavor එකක් වුණත් pizza මෙහි හොඳම තෝරාගැනීම කියන්න පුළුවන්. අපේ නම් හිතට ගොඩක්ම ඇල්ලුවේ Spicy Italian Chorizo

ශ්‍රී ලංකාවේ ළමා ගණිකා ජාවාරම ගැන ඔබ දන්නවාද?

ලෝකය පුරා හැම වසරකම දරුවන් විශාල සංඛ්‍යාවක් මිනිස් ජාවාරම්කරුවන්ගේ ගොදුරු බවට පත්වෙනවා. දරුවන්ව බලහත්කාරයෙන් ගණිකා වෘත්තියේ යොදවනවා. ළමුන් ජාවාරම් කිරීම සහ ගණිකා වෘත්තියේ යෙදවීම ශ්‍රී ලංකාවේ නීතියෙන් තහනම් කර තිබුණත් අපේ රට කෞමාර කාමාතුරයන්ගේ (බාලවයස්කාර දරුවන් ලිංගික අපයොජනයට ලක් කරන්නන් හෙවත් pedophiles) ‘පාරාදීසයක්’ ලෙස මිනිස් ජාවාරම්කරුවන් අතර ප්‍රසිද්ධියක් උසුලනවා.

ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියේ (CRC) ළමයින් මුදලට විකිණීම, ළමා ගණිකා වෘත්තිය සහ ළමයින් පිළිබඳ අසභ්‍ය අශීලාචාර ප්‍රකාශන සඳහා වන විකල්ප සම්මුතියේ (Optional Protocol) දෙවන වගන්තියට අනුව ළමා ගණිකා වෘත්තිය යනු ලිංගික සන්තර්පණයන් සඳහා මුදල් හෝ වෙනත් ආකාරයක

ගෙවීමක් වෙනුවෙන් ළමයෙකු යොදවා ගැනීම යි. මෙම අර්ථ දැක්වීමට අනුව මුදල් සම්බන්ධ හෝ මුදල් සම්බන්ධ නොවන ප්‍රතිලාභ ලබා ගැනීම (තෑගී, ආහාර, ඇඳුම්…) සඳහා ළමයෙකු ලිංගික සේවනයේ යෙදවීම ළමා ගණිකා වෘත්තිය ලෙස හඳුන්වනවා.

ළමා කාමුක දර්ශන පිළිබඳ වීඩියෝ පිටපත් මිලියන 250 කට වැඩි ප්‍රමාණයක් ලොව පුරා සංසරණය වන බව අධ්‍යනයකින් ගණන් බලා තිබෙන අතර ඒවායින් වැඩි ප්‍රමාණයක් රූගත කර ඇත්තේ පිලිපීනය, තායිලන්තය සහ ශ්‍රී ලංකාව යන රටවල බව අනාවරණය වෙලා තියෙනවා.

1992 වර්ෂයේ දී, ස්වීඩනයේ ස්ටොක්හෝම් නගරයේ නිවසක දී සිදු කළ වැටලීමකින්, කාමාතුරයන් පිරිසක් කුඩා දරුවන්ගේ ලිංගික අවයව විස්තර කරන ලිපි තොගයක් අත්අඩංගුවට ගැනුණා. එහිදී ළමුන් යොදවා රූගත කළ පැය 300ක කාමුක වීඩියෝ දර්ශන ද සොයා ගත්තා. බොහොමයක් රූගත කර තිබුනේ ලංකාවේදීයි. “Boy Love in Negombo and Hikkaduwa – the Child Sex Paradise” විදියට තමයි ඒවා නම් කරලා තිබ්බේ.

ශ්‍රී ලංකාවේ බාලවයස්කාර දරුවන් ගණිකා වෘත්තීයට යොදවා ගැනීම වැඩිපුරම සිදුවන්නේ කෞමාර කාමය මූලික අරමුණ කරගෙන දිවයිනට පැමිණෙන විදේශීය සංචාරකයන් නිසයි. මෙවැනි කාමාතුරයන් බොහෝ අවස්ථාවල තෝරාගන්නේ මේ සම්බන්ධයෙන් හරිහමන් නීති පනවා නැති රටවල්. එසේ සංචාරය කරන රටවල් වලින් අතරමැදියෙකු සොයාගෙන ඒ හරහා ඔවුන් තම අස්වාභාවික ලිංගික ආශාවන් ඉටුකර ගන්නවා. කොහොම වුණත් දේශීය සංචාරකයන් නිසා කුඩා දරුවන් ගණිකා වෘත්තියේ ගොදුරු බවට පත්වන අවස්ථා බහුල වෙලා තියෙනවා. සමහර ඇස්තමේන්තු වලට අනුව ශ්‍රී ලංකාවේ ළමා ලිංගික ශ්‍රමිකයන් 40,000 ක් සිටින අතර ඔවුන්ගෙන් 5,000 – 30,000 ක් පමණ සංඛ්‍යාවක් කෞමාර කාමය සොයා පැමිණෙන විදේශීය සංචාරකයන් මගින් අපයෝජනයට ලක්වී තිබෙනවා.

දුප්පත්කම, නිසි අධ්‍යාපනයක් නොලැබීම, දෙමව්පියන් විසින් නොසලකා හරිනු ලැබීම, විසිරුණු පවුලක ජීවත් වීම සහ නිවසේදී කායික, මානසික, ලිංගික අපයෝජනයන්ට ලක්වීම යන කරුණු බාලවයස්කාර දරුවන් ගණිකා වෘත්තිය වෙත ඇද දමන හේතු සාධකවී තිබෙනවා. මෙම වෙළඳාමේ ලාභදායී ස්වභාවය නිසා බොහෝ දරුවන්, දෙමව්පියන්ගේ අනුමැතිය හෝ බලපෑම ඇතිව, ගණිකා වෘත්තියේ යෙදෙනවා. ශ්‍රී ලංකාව තුළ පිරිමි සහ ගැහැණු දරුවන් යන දෙකොටසම ගණිකා වෘත්තියේ ගොදුරු බවට පත්වෙලා තිබෙනවා. කොහොම වුණත්, සංචාරකයන් වෙනුවෙන් ගණිකා වෘත්තියේ යොදවනු ලබන බාලවයස්කාර දරුවන්ගෙන් බහුතරයක් සංවිධානාත්මක කල්ලි වලින් මේ සඳහා යොමු කරන ලද පිරිමි දරුවන් වෙනවා. ‘Beach boys’ යනුවෙන් හැඳින්වෙන මේ දරුවන් කාමාතුරයන්ගේ පහසු ගොදුරක් බවට පත්වෙන්නේ ඔවුන් ස්වභාවයෙන්ම මිත්‍රශීලී නිසා මෙන්ම, දරිද්‍රතාවයෙන් පිඩාවට පත්වී මුදල් අවශ්‍යතාවයන් වලින් පෙළෙන නිසයි.

සංචාරකයන්ගේ ලිංගික ආශෘවන් සඳහා ළමුන් ගණිකා වෘත්තියේ යෙදවීම අප රටේ සදාචාරාත්මක අඛණ්ඩතාව බිඳ වැටීමට හේතුවක් වෙලා තියෙනවා. මෙහි ගොදුරු බවට පත්වන අහිංසක දරුවන්ගේ කඳුළු කතාව ලෝකයාට දැනගන්නට ලැබෙන්නේ ඉතාම කලාතුරකින්. මේ දරුවන්ට විඳින්නට සිදුවන අමිහිරි අත්දැකීම් නිසා ඇතිවන චිත්තවේගී, මානසික සහ ශාරීරික බලපෑම ඔවුන් තනිවම විඳ දරා ගත යුතුයි. ලිංගාශ්‍රිත රෝග වලටද ඔවුන් ගොදුරු වන අතර සමාජය තුල කොන්කිරීමකට ද ලක්වෙනවා. නිසි අධ්‍යාපනයක් ලබා ගැනීමට අවස්ථා නොමැති ප්‍රදේශ වල ජීවත් වන මිනිසුන්ට, ලිංගික සූරාකෑමට ලක්වන දරුවන්ට විඳින්නට වන දිගු කාලීන මානසික පීඩාව සහ සෞඛ්‍යමය අවදානම පිළිබඳව හරිහැටි දැනුමක් නැහැ.

කනගාටුදායක කරුණ නම් බොහෝ දරුවන් ගණිකා වෘත්තියට ඇද දමන්නේ ඔවුන්ගේ පවුලේ සාමාජිකයෙක් හෝ ඔවුන් හොඳින් දැන හඳුනන, විශ්වාස කරන කෙනෙකු විසින් වීමයි. ලංකාවේ සංචාරක කර්මාන්තය ආශ්‍රිතව සිදුවන ළමා ගණිකා වෘත්තීය සහ ලිංගික සූරාකෑම පිළිබඳ ව පූර්ණ ලේඛනගත කිරීමක් සිදුකිරීම දුෂ්කර කාර්යයක් වන්නේ එහි අතිශය රහසිගත භාවය නිසයි. දරුවන් ලිංගික ගොදුරු බවට පත්වීමේ අවදානම නැති කර ගන්නේ කොහොමද යන්න සහ දැනටමත් ලිංගික සූරාකෑමට ලක්වුණු ළමුන්ට උපකාර කළ හැකි ආකාරය පිළිබඳව දරුවන් තුළ ඇති අවබෝධය පිළිබඳව මැන බැලීම සඳහා අවුරුදු 13-17 අතර වයසේ පසුවන පාසල් ළමුන් 145 දෙනෙකු යොදගෙන නියමු අධ්‍යනයක් සිදු කර තිබෙනවා .ළමුන් ලිංගික සූරාකෑමට ලක්වීමට වැඩි අවධානමක් ඇති වෙරළබඩ පාසල් 4ක ළමුන් මේ සඳහා තෝරා ගෙන තිබුණා. මේ පාසල් දරුවන් අතරින් 10%ක් කියා සිටියේ ඔවුන් ලිංගික ක්‍රියාකාරකම් වල යෙදී ඇති බවයි. ඊට අමතරව 8%ක ළමුන් සංඛ්‍යාවක් සමවයසේ පසුවන වෙනත් ළමුන් සමග ද, තවත් 5%ක් වැඩිහිටියන් සමග ද, 6%ක් මුදල් සඳහා වැඩිහිටියන් සමග ද ලිංගික ක්‍රියාකාරකම් වල යෙදී ඇති බව අනාවරණය වුණා. (8% ළමයින් පිරිසක් මෙම ප්‍රශ්නයට පිළිතුරු දීමෙන් වැළකී සිටියා)

මේ සම්බන්ධයෙන් ගෙන ඇති පියවර මොනවාද?

ඕනෑම රාජ්‍ය නිලධාරියෙකු පවසන ආකාරයට ශ්‍රී ලංකාවේ කාන්තාවන් සහ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පරිපූර්ණ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කර තිබෙනවා. ජාති ක ළමා ආරක්ෂණ අධිකාරිය (NCPA), ළමා ආරක්ෂාව පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය සහ කාන්තා හා ළමා කාර්යාංශය මෙයට ඇතුළත්. මේ සෑම ආයතනයක්ම පිහිටුවා ඇත්තේ ළමුන්ට හිතකාමී සහ සුරක්ෂිත පරිසරයක් ගොඩනැගීම හා පවත්වාගෙන යාම සහ ස්ත්‍රීභාවය නිසා කාන්තාවන්ට විඳින්නට වන පීඩාවන් මඟහරවා ගැනීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ වෙනත් අරමුණු මතයි.

මීට අමතරව ශ්‍රී ලංකාවේ ළමා අපයෝජන හා ළමුන් නොසලකා හැරීම කළමනාකරණය සඳහා වූ ජාතික මාර්ගෝපදේශයක් ද ස්ථාපිත කර තිබෙනවා. මෙය විවිධ අපයෝජනයන්ට ගොදුරු වූ සහ නීති පද්ධතියට ඇතුළු වන දරුවන් රැකබලා ගන්නේ කෙසේද යන්න පිළිබඳ මාර්ගෝපදේශයකි. මෙම ආයතන වෙනත් ඕනෑම රාජ්‍යය සංවිධානයක් තරම් ම කාර්යක්ෂම විය යුතුයි. මෙම මාතෘකාව පිළිබඳ ගවේෂණය කරන අතරතුර දී කාන්තා හා ළමා හිංසනයන් පිළිබඳව ක්ෂණිකව ක්‍රියාත්මක වීම සඳහා වන විශේෂ දුරකතන අංකය ඇමතු නමුත් එය පොලිස් ස්ථානයකට අයත් දුරකථන අංකයක් මිස කාන්තා හා ළමා හිංසනයන් පිළිබඳ ව දැනුම් දීමට වෙන් කර ඇති විශේෂ අංකයක් නොවන බව හඳුනාගන්න ලැබී තිබෙනවා.

අපේ දරුවන්ට ආරක්ෂාව තහවුරු කළ යුතුයි. එහෙත් මේ සම්බන්ධයෙන් පූර්ණ වශයෙන් සකස් කර නැති නීති සහ ප්‍රතිපත්ති රාමු මගින් ඔවුන් අපයෝජනයන්ට ලක් නොවන බවට පූර්ණ සහතිකයක් ලබා දෙන්නේ නැහැ.

තවත් ජීවිතයක් ජීවත් කරවන අවයව පරිත්‍යාගය

කෙනෙක් ජීවත්ව ඉන්නකොට හෝ මරණයෙන් පසුව වුණත් තවත් කෙනෙක්ගේ ජීවිතයක් බේරාගන්න හිතලා තමන්ගේ අවයව පරිත්‍යාග කරන්න ගන්න තීරණය ලේසි පහසු තීරණයක් නම් නෙමෙයි. සංඛ්‍යාලේඛන දත්ත වලට අනුව නම් අවයව පරිත්‍යාග කරන්නෙක්ට පුළුවන් තමන්ගේ අවයව වලින් තව ජීවිත 9 ක් බේරාගන්න. පටක පරිත්‍යාග කරන කෙනෙක්ටනම් ඊටත් වඩා වැඩි ජීවිත ප්‍රමාණයක් බේරගන්න පුළුවන්. ඉතින් අපි අද ඔයාලට කියන්නේ ශ්‍රී ලංකාවේ අවයව පරිත්‍යාග කරන එක ගැන නිවරැදි මාර්ගෝපදේශයක්.

 

මොකද්ද මේ අවයව පරිත්‍යාගයක් කියන්නේ ?

අවයව පරිත්‍යාගයක් කියන්නේ කිසිම මුදලක් අය කරන්නේ නැතුව තමන්ගේ අවයවයක් හෝ අවයව කොටස් කිහිපයක් තවත් කෙනෙකුගේ ශරීරයට බද්ධ කරන්න ලබාදෙන හරිම පරාර්ථකාමී ක්‍රියාවක්. අතීතයේදී නම් නීතිමය, සමාජීය, සංස්කෘතික හා ආචාරධාර්මික විදිහටත් මේ ගැන බැලුවට වර්තමානයේ නම් පණ ගැටගහගන්න උත්සහ කරන මිලියන ගණනක මිනිස්සුන්ගේ ජීවිත බේරගන්න මෙය අත්‍යවශ්‍ය ක්‍රියාවක් වෙලා තියෙනවා.කොහොමවුණත් මේ පිළිබඳ හුඟක් ගැටළු තියෙන නිසා ගොඩක් රටවල් වල මේ ක්‍රියාව සම්මතිකව, සදාචාරාත්මකව සහ වඩාත් ඵලදායීව පවත්වාගෙන යාමට නීතිමය විධි විධාන ක්‍රියාත්මක කරලා තියෙනවා.

සාමාන්‍යයෙන්, මේ අවයව පරිත්‍යාග කිරීමේ ක්‍රියාවලියේදී හදවත, බඩවැල්, වකුගඩු, අක්මාව, පෙනහළු සහ අග්න්‍යාශය (උදා.the islets of Langerhans) පරිත්‍යාග කිරීම සහ බද්ධ කිරීම සිද්ධ කරනවා. ඒ විතරක්ම නෙමෙයි ජීවත් වෙලා ඉන්න පරිත්‍යාගශීලීන්ට පුළුවන් අග්න්‍යාශය, පෙනහළු, අක්මාව, බඩවැල් හෝ වකුගඩු වලින් කොටසක් වුණත් පරිත්‍යාග කරන්න.

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවසන්නේ, ලෝකය පුරාම බද්ධ කරපු අවයව වලින් බහුතරයක්ම ජීවත්ව සිටින පරිත්‍යාගශීලීන්ගේ අවයව බවටයි.

සාමාන්‍යයෙන්, රෝග තත්ත්වයන් නැති ඕනෑම වයසක පුද්ගලයෙක්ට තමන්ගේ අවයව පරිත්‍යාග කරන්න සුදුසුකම් තියෙනවා. ඒ කියන්නේ පිළිකා,එච්.අයි.වී අසාධන,අවයව වලට සම්බන්ධ ආසාදන,රක්තහීනතාවය වාගේ රෝග අසාදනය වෙලා නැත්තම් මේ අවයව පරිත්‍යාගය සිදු කරන්න පුළුවන්.

 

 

ලංකාවේ  තත්ත්වය

සංවර්ධනය වෙමින් පවතින අනිත් රටවල් වල වගේම ශ්‍රී ලංකාවේ ගොඩක් අවයව පරිත්‍යාගයන් සිදු කරන්නේ ජීවත්ව සිටින පරිත්‍යාගශිලීන් විසින්. 2017 අවුරුද්දේදී ශ්‍රී ලංකාවේ වකුගඩු බද්ධ කිරීම් 400 ක් සිදු කරලා තියෙනවා වගේම බද්ධ කිරීමක් බලාපොරොත්තුවෙන් සිටියදී වකුගඩු අකර්මණ්‍ය වෙලා රෝගීන් 2000 කට වැඩි ගණනක් මියගිහින් තියෙනවා. 2018 අවුරුද්දේ ගණනය කිරීම් වලට අනුව නම් ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයකට ඉන්ද්‍රියයන් බද්ධ කිරීමේ ආසන්න අනුපාතය 1: 52, 477 ක් පමණ වෙනවා. ඒ වාගේ ශ්‍රී ලංකාවේ වැඩි ජීවිත ප්‍රමාණයක් බේරා ගැනීමට නම් වැඩි අවයව ප්‍රමාණයක් පරිත්‍යාග කිරීමේ දැඩි අවශ්‍යතාවය මේ වාගේ සංඛ්‍යාලේඛන වලින් නිරූපණය කිරීම නම් හරිම වැදගත් කාරණයක්. ඉතින් අවයව සැපයුම සහ ඉල්ලුම අතර තියෙන මේ පරතරය නිසාම බද්ධ කිරීම් වලට දීර්ඝ කාලයක් බලා සිටින්න සිදු වෙන ලැයිස්තුවකුත් ලැබිලා තියෙනවා. ශ්‍රී ලංකාවේ ඉන්ද්‍රියයන් බද්ධ කරන එක කාර්යක්ෂමව හසුරවන්න හරිහමන් සම්බන්ධීකරණ මණ්ඩලයක් නැතිකම අවයව වලට තියෙන ඉල්ලුම සපුරන්න සහ රටේ ජාතික බද්ධ කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න තියෙන ලොකු බාධාවක් වෙලා තියෙනවා. මේ වෙනකොට ජාතික රෝහල් වල වකුගඩු බද්ධ කිරීමේ මධ්‍යස්ථාන අටක් සවි කරලා තියෙනවා වගේම හැම අවුරුද්දකම බද්ධ කිරීම් 400 කට ආසන්න ප්‍රමාණයක් සිද්ධ කරනවා. අක්මාව බද්ධ කිරීම් වලට වැඩසටහන් දෙකක් නම් මේ වෙද්දී කොළඹ ජාතික රෝහලේ සහ කොළඹ උතුරු ශික්ෂණ රෝහලේ සිද්ධ කරමින් පවතිනවා. පරිත්‍යාග කිරීම් වලින් වැඩි ප්‍රමාණයක් ජීවත්වෙලා ඉන්න පරිත්‍යාගශිලීන් සිද්ධ කරනවා වගේම මරණයෙන් පස්සේ ගන්න අවයව වලින් 95% ක් විතර මොළය මියගිය පරිත්‍යාගශිලීන්ගේ.

 

ශ්‍රී ලංකාවේ මේ සදහා කළ යුතු දේවල්

1987 මානව පටක බද්ධ කිරීමේ පනතේ විදිහට නම් වයස අවුරුදු විසි එකකට වැඩි ඕනෑම පුද්ගලයෙකුට මේ පරිත්‍යාගය එයාලගේ මරණයෙන් පස්සේ සිද්ධ කරන්න කියලා ලිඛිතව කැමැත්ත පළ කරන්න පුළුවන්. මේකට එයාලගේ ශරීරය හෝ ශරීරයේ යම් කොටසක් හෝ පටක හෝ ඇතුළත් වෙන්න පුළුවන්. හැබැයි අනිවාර්යයෙන්ම දැනගන්න ඕන දෙයක් තමයි එහෙම කැමැත්ත ලබාදුන්නායින් පස්සේ එක අවලංගු කරගන්න නම් බැහැ. මියගිය පුද්ගලයා අවයව පරිත්‍යාග කරන්න කලින් අවසර ලබා දීලා නැත්නම්, වයස අවුරුදු 21කට වඩා වැඩි ඥාතියෙකුට ඔහු/ඇය පරිත්‍යාගයට විරුද්ධ නැති බව කොන්දේසි වලට අනුව කියලා නීත්‍යානුකුලව කැමැත්ත ලබා දෙන්න පුළුවන්. මිනීමැරුමකදී මියගිය පුද්ගලයන්ගේ හුගක් අවස්ථාවලදී තුවාල වෙන ප්‍රදේශ වන හිසට සහ පපුවට බලපෑම් සිද්ධ වෙලා තිබුණත් ඔහුගේ අක්මාව, වකුගඩු, බඩවැල් සහ අග්න්‍යාශය පරිත්‍යාග කරන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම මරණය අස්වාභාවික මරණයක් නම් ඒ කියන්නේ තුවාල සිදුවෙලා හෝ විෂ ශරීරගත වෙලා මරණය සිදු වෙලා තියෙනවනම් ශ්‍රී ලංකාවේ අපරාධ නීති සංග්‍රහයට අනුව මරණ පරීක්ෂණයකින් පස්සේ සිරුර නිදහස් කිරීම සිදු කරනවා. මියගිය තැනැත්තා කැමැත්ත ලබා දීලා තියෙනවා නම් හෝ ඥාතියෙකු අවසර ලබාදීලා තියෙනවනම් පශ්චාත් මරණ පරීක්ෂණය අවසන් වුණාම වගකිවයුතු වෛද්‍යවරයා අවයව පරිත්‍යාග කිරීමේ හැකියාව පරීක්ෂා කරලා බලනවා. මේකේ තියෙන ප්‍රධාන අහියෝගය තමයි පරිත්‍යාගශීලීන්ගෙන් අවයව ලබා ගැනීමේ ක්‍රියාවලිය ඉක්මණින් සිදු කරන්න පරිත්‍යාගශීලීන් ගැන පිළිගත් දත්ත ගබඩාවක් හෝ ආධාර කාඩ්පත් පද්ධතියක් නොමැති වීම. මේක ලංකාවේ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ බරපතල අවධානයට ලක්විය යුතු කාරණාවක් කියන්න පුළුවන්. ඒ වගේම ජනමාධ්‍යවලටත් අවයව පරිත්‍යාග කිරීමේ වැදගත්කම ගැන මහජනතාව දැනුවත් කිරීමේ ලොකු කාර්යභාරයක් තියෙනවා.

 

අවයව සහ පටක පරිත්‍යාගය

මරණයෙන් පස්සේ ඇස් සහ පටක පරිත්‍යාග කිරීම ශ්‍රී ලංකාවේ අක්ෂි පරිත්‍යාග කිරීමේ සංගමය විසින් සිදු කරනවා. ඒ වගේම ශ්‍රී ලංකා අක්ෂි පරිත්‍යාග සංගමයෙන් සපයා තියෙන මාර්ගෝපදේශය අනුවනම් මේ ඇස් සහ පටක පිළිවෙලින් පැය 4 ක් සහ පැය 12 ක් ඇතුළත පරිත්‍යාග කරන්නත් ඕනේ.

1. ඇස් දන් දීම සිදු කිරීමට වයස් මට්ටමක් නැති අතර පටක දන් දීමට නම් වයස 70 වඩා අඩු විය යුතුයි.

2.ශරීරයේ තුවාල තියෙන අය හෝ බෝවන රෝගයක් හේතුවෙන් මියගිය අයට ඇස් හෝ පටක පරිත්‍යාග කරන්න හැකියාවක් නැහැ.

3.පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වුවහොත් මරණ පරීක්ෂකගේ අවසරය සහ මරණ සහතිකයක් නිකුත් කළ යුතුයි.

4.මරණය සිදු වූ දිනය සඳහන් කල යුතුයි.

5. ඇස් සහ පටක පරිත්‍යාග කරන්න පුළුවන් මියගිය තැනැත්තාගේ පූර්ව අනුමැතියෙන් හෝ පරිත්‍යාගශීලියාගේ මරණයෙන් පස්සේ ඥාතියෙක්ගේ අනුමැතියකින් පමණයි.

6.ඉන්ද්‍රීය ලබාගැනීමේ ප්‍රමුඛතාවය ලැබෙන්නේ ශ්‍රී ලාංකාවේ රෝගීන්ටයි.

ශ්‍රී ලංකා අක්ෂිදාන සමිතිය ඒ වගේ පරිත්‍යාග පිළිගන්න පැය 24 පුරාම කටයුතු කරනවා වගේම පුහුණුවලත් කාර්මික ශිල්පීන් පණිවිඩය ලැබුණු පසු එම ස්ථානවලට පැමිණ අවශ්‍ය කටයුතු සිදු කරනවා.

අක්ෂි හා පටක පරිත්‍යාග කරන්නන්ට htb.mobitel.lk හි ලියාපදිංචි වෙන්න පුළුවන්. ඒ වගේම වැඩි විස්තර www.eyedonation.lk ඔවුන්ගේ වෙබ් අඩවියෙන් ලබාගන්න පුළුවන්. ඔයා වකුගඩු පරිත්‍යාග කිරීමට කැමති නම් වැඩි විස්තර මෙතැනින් ලබා ගන්න www.ktsf.lk.

 

බිඳ දැමිය යුතු මිත්‍යාවන්

අවයව පරිත්‍යාග කිරීම සදහා හොඳ සෞඛ්‍යය තත්වයකින් ඉන්න ඕන කියන කාරණය වැරදියි.

පොදු වැරදි වැටහීමක් තමයි අවයවයක් පරිත්‍යාග කරන්න පරිත්‍යාගශීලීන් සම්පුර්ණ හොඳ සෞඛ්‍යයකින් ඉන්න ඕනේ බව. පරිත්‍යාගශීලියෙකු විදිහට සුදුසුකම් ලබන්න නම් ඔයා පරිත්‍යාග කරන අවයවය සෞඛ්‍ය සම්පන්නව තියෙන තාක් කල් අනෙක් රෝගී තත්ත්ව එච්චර ප්‍රශ්නයක් නොවන බව මතක තබා ගන්න.

අවයව පරිත්‍යාග කිරීම ඉතා මිළ අධිකයි යනුවෙන් සිතීමත් වැරදියි.
ශ්‍රී ලංකාවේ අවයව පරිත්‍යාග කරන්න පුළුවන් වෙන්නේ ස්වේච්ඡා පදනම මත පමණයි. ශ්‍රී ලංකාවේ නීතියට අනුව අවයව විකිණීම හෝ මිලදී ගැනීම සිදු කරන්නත් බැහැ.

ජීවත්ව සිටියදී අවයව පරිත්‍යාග කිරීම ඔබව තෘප්තිමත් කරයි
සාර්ථක බද්ධ කිරීමකින් පස්සේ ගොඩක් ජීවත්ව සිටින පරිත්‍යාගශීලීන්ට තමන් ජීවිතයක් බේරා ගත්තා යැයි සිතා ඇත්තටම සතුටු වෙන්න පුළුවන්.

සියළුම ප්‍රධාන ආගම් අවයව පරිත්‍යාග කිරීම පිලිබඳ විරුද්ධත්වයක් නොදක්වයි
ක්‍රිස්තියානි ධර්මය, ඉස්ලාම්, බුද්ධාගම සහ හින්දු ආගම් වැනි බොහෝ ආගම් අවයව පරිත්‍යාග කිරීමට දිරිමත් කරන අතර එය පුද්ගලයාට තීරණය කිරීමට ඉඩ ලබාදීම සිදු කරනවා. ඔයා අවයව පරිත්‍යාග කිරීමට ආගමික පුජකවරයෙකුගෙන් උපදෙස් ලබාගැනීමට සිටිනවා නම් මේ කරුණ ඔයාට වැදගත් වේවි.

නිසි සම්බන්ධීකරණ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරලා, අවයව පරිත්‍යාගයෙන් තව කෙනෙකුගේ ජීවිතයක් බේරා ගන්නා එකේ තියෙන වටිනාකම ගැන අපේ රටේ මිනිස්සුව තව තවත් දැනුවත් කලොත් නම් අවයව ඉල්ලුමට අනුව සපයාගන්න බැරිවෙන එකක් නැතිවෙයි.

තවත් අයෙක්ට ජීවය දෙන්න ඔයත් කැමතිනම් අදම අවයව පරිත්‍යාග කරන්නෙක් විදිහට ලියාපදිංචි වෙන්න.

හදවත් රෝග වළක්වා ගන්න මුළුතැන්ගෙයින් විසදුම්

ශ්‍රී ලංකාවේ සියවස් ගණනාවකට පෙර සිටම හදවත් රෝග දිනෙන් දින වැඩි වෙන්න පටන්ගත්ත එක කවුරුත් හොඳින්ම දන්න කාරණයක්. තරුණ පරම්පරාව අතරද හදවත් රෝග ඇතිවෙන එක දැන් සුලබ කාරණයක් වෙලා තිබෙනවා. හදවත නීරෝගිමත්ව තියාගන්න එක අනිවාර්යයෙන් කළයුතු දෙයක්. හැබැයි මේක එච්චර අමාරු දෙයකුත් නෙවෙයි.

ආහාර කියන්නේ ප්‍රධාන වශයෙන්ම අපේ ශරීර සෞඛ්‍යයට බලපාන මූලිකම දෙයක්. අපේ එදිනදා diet plan එක හරියට maintain කරගෙන නීරෝගිමත් හදවතක් පවත්වාගෙන යන්න අපිට හැකියාව තිබෙනවා.ඉතින් අපි හිතුවා ආහාර වේලකදි අපිට අපේ සෞඛ්‍යයට හිතකර simple දේවල් ටිකක් ගැන හොයලා බලන්න . ඇත්තටම මේ දේවල් අපේ මුලුතැන්ගෙයි අනිවාර්යයෙන් තිබෙන දේවල් ටිකක්. මේ දේවල් බොහෝමයක් ස්වාභාවික ඔසු.

 

1.ගොරකා

ගොරකා ගැන නොදන්න කෙනෙක් නැහැනේ නේද?ඉවුම් පිහුම් වලට අපේ අම්මලා අනිවාර්යයෙන් ගොරකා පාවිච්චි කරනවා .ව්‍යාංජන රස කරන්න දැම්මට ගොරකා කියන්නේ ගොඩක් ගුණ දෙයක්. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ දීර්ඝ කාලයක ඉඳන් ගොරකා භාවිතා කරනවා ලෙඩරෝග සුව කරන්න. High blood pressure සහ cholesterol පාලනය කරන්න ගොරකා ගොඩක් උපකාරී වෙනවා කියලා තමයි සදහන් වෙන්නේ . ඉතින් අපේ එදි‍නෙදා ආහාර වලට ගොරකා පොඩ්ඩක් එකතු කරගත්තනම් ඒක ඔයාගේ ශරීරයට ඇත්තටම හොඳ වේවි.

 

 

2.කරපිංචා

කරපිංචා කියන්නේ ලංකාවේ හදන කෑම වලට එක්කරන ප්‍රධානම අමුද්‍රව්‍යක්. කරපිංචා එකතු කලහම කෑම ගොඩක් රසයි. කරපිංචා කියන්නේ cholesterol පාලනය කරන්න පුළුවන් හොඳ බෙහෙතක්.කරපිංචා සම්බෝලයක් හදාගෙන ප්‍රධාන ආහාර වේලත් සමග කන්න පුළුවන්නම් ඒක ඔයාගේ diet plan එකට ලොකු උපකාරයක් වේවි.

 

 

3.පොල්තෙල්

පොල්තෙල් කියන්නේ අපි කෑම හදනකොට නැතිවම බැරි දෙයක්නේ. cholesterol අඩුකරගන්න , ශරීරයේ බර අඩුකරගන්න , skin එකේ Moisturizer එක වැඩි කරන්න ,දත්වල නීරෝගිමත් භාවය වැඩි කරන්න, brain function එක වැඩි කරන්න පොල්තෙල් ගොඩක් උපකාරී වෙනවා. හැබැයි පොල්තෙල් කියලා “vegetable” oil නම් අරගන තේරුමක් නැහැ.

 

 

4.කුරුඳු

ශ්‍රී ලංකාව ලොව පුරා ප්‍රසිද්ධ වෙන්න කුරුඳු ගොඩක් උපකාරී වෙලා තිබෙනවා. මොකද කුරුඳු කියන්නේ අපේ රටෙන් ආනයනය කරන ප්‍රධාන බෝගයක්. මේ කුළුබඩුව ගොඩක් වෙලාවට අපේ අම්මලා කෑම රසවෙන්න යොදාන්නවා. රස වගේම නෙවේ අපේ හදවත් රෝග අවම කරන්න මේ කුළුබඩුව සෑහෙන උපකාරී වෙනවා. ඒ වගේම cholesterol අඩුකරගන්නත් මේ කුරුඳු ගොඩක් වැදගත් වෙනවා.

කොහොම වුණත් අපි මේ කිව්ව හැමදේකින්ම වෙන්නේ cholesterol අඩුවෙන එක. හැබැයි හදවත ශක්තිමත්ව තියාගන්න cardiovascular exercise වලට පුරුදු වෙනවනම් ගොඩක් හොඳයි. මේකට gym එකට යන්නම අවශ්‍ය නැහැ.ඒකට ඔයාට පුළුවන් හැකිතරම් ක්‍රියාශීලී වෙන්න. උදාහරණයක් වශයෙන් ඔයාට lift එකේ යන්නේ නැතිව පඩිපෙළ භාවිතා කරන්න පුළුවන්, කඩේට යනවනම් පයින්ම ගිහින් බඩු අරන් එන්න පුළුවන්. මේ වගේ සරල දේවල් වලින් පුළුවන් ඔයාට ඔයාගේ හදවතේ ඇතිවෙන රෝග වලක්වාගන්න.

ගෙදරට අවශ්‍ය බඩුවලට යන වියදම අඩු කරගන්න tips 10ක්

අපි හැමදාම වගේ හිතනවා තව සල්ලි තිබ්බනම් හොඳයි වියදම් කරන්න කියලා .ඒ වගේම අපිට කොච්චර ගන්න වුවමනා දේවල් තිබුණත් කොහෙද ඉතින් ඒ තරම් සල්ලි කියලත් හිතනවා.අපි ගොඩක් දෙනෙක් හැමදාම වගේ මෙහෙම තමයි හිතන්නේ. මාසේ තමන්ට ලැබෙන පඩියෙන් එදිනෙදා වුවමනාවන් සපුරාගන්නෙත් ගොඩක් අමාරුවෙන්. ඉතින් තව වැඩිපුර සල්ලි තිබුණනම් කියලා හිතන එකත් හීනයක් තමයි. ඒ වුණාට අපිගාව ති‍යෙන සල්ලි හරියට පිරිමහගන්න එකනම් කරන්න පුළුවන් වැඩක්. ඉතුරු කරන්න ලේසිම විදිය තමයි අපි වියදම් කරන එක අවම කරගන්න එක.

Grocery කියන්නේ අපිට වැඩියෙන්ම වියදම් වෙන දේ. අපේ මාසික ආදායමෙන් 30% වගේ grocery වලට වියදම් වෙනවා.මේ දේ පොඩ්ඩක් Manage කරගත්තොත් අපිට පුළුවන් වැඩිපුර කීයක් හරි ඉතුරු කරගන්න. අද ගැස්ම හරහා අපි ඔයාලට කියලා දෙන්නේ ලේහෙසියෙන්ම කොහොමද මේ grocery වලට යන වියදම අඩුකරගන්නේ කියලා .

1.Shopping යන්න කලින් මුලින්ම grocery Budget එක හදාගන්න.

අපිට මාසෙකට ජීවත්වෙන්න අත්‍යාවශ්‍යම දේවල් මොනවද කියලා අපි හොඳටම දන්නවනේ .ඉතින් Shoping යන්න කලින් grocery Budget එක අනිවාර්යයෙන් හදාගන්න. එතකොට අපිට පුළුවන් grocery Budget එකේ ඒ මුදලට තියන දේවල් පමණක් මිළදී අර‍ගෙන එන්න. කිසිම plan එකක් නැතිව ගියහම තමයි අනං මනං ගන්න හිතෙන්නේ. අවශ්‍යම නැතිදේවල් වලට වියදම් කරන නිසා තමයි අපිට ඉතුරුවක් කරගන්න බැරි. Budget එකක් ඇතිව ගියහම පුළුවන් සල්ලි ඉතිරි කරගෙන තමන්ට අවශ්‍ය තවත් දේකට ඒ සල්ලි වියදම් කරන්න.

 

 

2.Shopping යන්න කලින් අනිවාර්යයෙන් අවශ්‍ය බඩු list එකක් හදාගන්න වගේම ඒ දේවල් විතරක් මිලදී ගන්න .

Shopping යන්න කලින් list එකක් හදාගත්තහම අපිට පුළුවන් යම් කාල සීමාවක් සඳහා අපිට අවශ්‍ය දේවල් පිළිබඳව අදහසක් ලබාගන්න. මේ list එකට නියමිත කාල සීමාවක් සදහා අපිට අවශ්‍ය නිෂ්පාදන හා ප්‍රමාණ ඇතුළත් කිරීම අනිවාර්යයෙන් කරන්න අවශ්‍ය දෙයක්. ඔයාටයි පවුලේ අනිත් අයටයි මේ list එකට එකතු කරන්න මොනවහරි තිබෙනවනම් එකත් හොයලා බලන්න අමතක කරන්න එපා. Shopping ගියහම list එකේ නැති කිසිම දෙයක් මිලදී ගන්න එපා.

 

 

3.සැරින් සැරේ Shopping යන එක නතර කරන්න.

හොඳම දේ තමයි මාසයකට 4 පාරක් විතරක් grocery වලට Shopping යන්න හැඩගැහෙන එක. ඒ වගේම සතියට අවශ්‍ය දේවල් සති අන්තයේ මිලදී ගන්න කටයුතු කරන්න.

 

 

4.සිල්ලර කඩවලින් ග්‍රොසරි ගන්න එක අවම කරන්න.

Grocery වලට Shopping කරන්න හොඳම market එකට යන එක .නැත්තම් තොග වෙළඳසැල් හෝ supermarket යන එක. ඒ අපි හිතනවට වඩා සිල්ලර කඩවල බඩු මිල අධිකයි.

 

 

5. අනිවාර්යයෙන් භාණ්ඩවල මිල පරීක්ෂා කරන්න.

ගොඩක් මිලදී ගන්නවනම් හොඳයි කියලා තමයි අපි ගොඩක් වෙලාවට හිතන්නේ.හැබැයි අපිට අවශ්‍ය කාල සීමාව සදහා අවශ්‍ය තරම් මිලදී ගන්නවනම් තමයි හොඳ. උදාහරණයක් වශයෙන් සතියකට කැරට් මිලදී ගන්නවනම් විශාල ප්‍රමාණයක් මිලදී ගන්න එපා.මොකද අපි හැමදාම හැම වේලකටම කැරට් කන්නේ නැහැනේ.ඉතින් මිලදී ගන්න දේ මිල පරීක්ෂා කරලා අවශ්‍ය දේ අවශ්‍ය ප්‍රමාණයට මිලදී ගන්න පුරුදු වෙන්න.හැබැයි ලේබල් කරලා ඇසුරුම් කරලා රාක්කවල අසුරලා තිබෙන පරිමාවකින් වැඩි භාණ්ඩ සාදාරණ මිලකට විකුණනවනම් ඒ භාණ්ඩ මිලදී ගන්න එක ඔයාට වාසීයි.

 

 

6.විවිධ නිෂ්පාදන වලින් කුඩා ප්‍රමාණයක් මිලදී ගන්න

මිල අධික සහ මිල අඩු දේවල් තෝරගන්න වගේම මිලදී ගන්න, විවිධ ආකාරයේ නිශ්පාදන වලින් කුඩා ප්‍රමාණයක් මිලදී ගන්න එක හොඳ විසදුමක්.

 

 

7. ඔබ යන වෙළඳසැලේ නාමය ඇති භාණ්ඩ මිලදී ගන්න

අපි දැකලා තිබෙනවා වෙළදසැල් වල වෙළදසැලේ නමින්ම විකුණන භාණ්ඩ තිබෙනවා මිලට ගන්න.මේ grocery වල මිල අනිත් grocery brands වලට වඩා අඩුයි. ඒ advertising වලටයි retail margins වලටයි වියදමක් නැති නිසා. මිල අඩු වුණාට quality එකේ කිසිම අඩුවක් නැහැ. ඒ නිසා මේ භාණ්ඩ මිලදී ගන්න පැකිලෙන්න එපා.

 

 

8. මිල ලේබල් කරලා නැති භාණ්ඩ සහ මිල ලේබල් කරලා තිබෙන භාණ්ඩ අනිවාර්යයෙන් සංසන්දනය කරලා බලන්න.

හාල් ,සීනි,ධාන්‍ය වගේ දේවල් මිලදී ගන්නකොට ලේබල් කරලා නැති එවා මිලදී ගන්නවනම් තමයි හොඳ . අපි කියන්නේ කිරලා ගන්නවා කියලා. ඒ විදිහට කිරලා ගන්න එක අපිට මුදල් අතින් හොඳයි. ගොඩක් අය හිතනවා කිරලා ගන්න දේවල් වල තත්වය බාලයි කියලා . ඇත්තටම එහෙම දෙයක් නැහැ. ලේබල් කරලා තිබෙන grocery වල මිල ටිකක් වැඩි එක ලේබල් කරන්න වගේම එකේ packing එකට වගේ ගිය වියදමත් එකතු කරලා නිසා.

 

 

9. Offers තිබෙන භාණ්ඩ මිලදී ගන්න.

Offers තිබෙන භාණ්ඩ මිලදී ගන්න එක ඇත්තටම ඔයාට ගොඩක් වාසීයි. තමන්ගේ credit , debit card වලට මේ වගේ Offers හම්බවෙනවා. ඒ වගේම stock එක ඉවර කරන්න අවශ්‍ය වුනහම මේ විදිහය Offers දෙනවා.

 

 

10.අනවශ්‍ය දේවල් මිලදී ගැනීමෙන් වලකින්න.

supermarkets වල තියන අනං මනං කෑම ජාති දැක්කහම අපිට ඉතින් ඒවා ගන්න හිතෙනවා. එහෙම ගන්න ගියහම අපි අතින් දනනේම නැතිව ලොකු මුදලක් වියදම් වෙනවා. මේ නිසා අනවශ්‍ය දේවල් මිලදී ගන්න එක පුළුවන් තරම් අවම කරගන්න වගබලා ගන්න.

මේ tips ටික අනිවාර්යයෙන් අනුගමනය කරලා බලන්න . එතකොට ඔයාට පුළුවන්, අනවශ්‍ය වියදම් මග හැරගන තමන්ගේ මුදල් ඉතිරි කරගන්න .

හොඳ mood එකකින් ඉන්න ඔයාගේ ආහාර රටාව වෙනස් කරන්න

ඇඟට හොඳනැති කෑමක් කාලා කවදාහරි දවසක දුකක් දැනිලා තියෙනවද ? පසුතැවිලි වෙලා තියෙනවාද?හැබැයි ඒක ඔයාගේ හිතේ ඇතිවුණ නිකන්ම නිකන් සිතුවිල්ලක් විතරක්ම නෙමෙයි.අපි ගන්න කෑම කෙනෙක්ගේ මානසිකත්වයට බලපෑමක් කරන බව විද්‍යාත්මකව හොයාගෙන තියෙනවා. හයිපොමේනියාව සහ මානසික අවපීඩනය වගේ ලෙඩවලට හේතුව බඩවැල් මගින් අපේ mood එක හැසිරවීමයි. ඒකට හේතුව මොළය සහ බඩවැල් අතර තියෙන සම්බන්ධතාවයක් බව පරීක්ෂණ කරලා විද්‍යාඥයින් හොයාගෙන තියෙනවා. ඉතින් අද අපි බලමු කෑම, කෙනෙකුගේ mood එකට බලපාන්නේ කොහොමද කියලා. ඒ වගේම හොඳ mood එකක් තියාගන්න නම් අපි මොන වගේ කෑමද ගන්න ඕනේ කියලා.

මුලින්ම බලමු අපි mood එක කියන්නේ මොකද්ද කියලා ? ඒක පාලනය කරන්නේ කවුද කියලා ?

සතුට,කාංසාව,තරහව සහ නුරුස්සනා බව වැනි හිතේ ඇතිවන ක්ෂණික වෙනස්වීම් moods ලෙස හඳුන්වනවා. Moods පාලනය කරන්නේ අපේ මොලය මගින්. mood එකේ වෙනස්වීම් කියන්නේ ශරීරය ආහාර සහ පෝෂණය ගැන දක්වන ජීව විද්‍යාත්මක පෙන්නුම් කිරිමක්.

 

ගන්නා සීනි ප්‍රමාණය අඩු කරන්න.

 

ඔව්, මේ දේ නම් අපි හැමෝම නැවත නැවතත් අහලා තියෙන දෙයක්.නමුත් ඔයා හිතනවානම් ඔයා ගන්න සීනි ප්‍රමාණය බලපාන්නේ ඔයාගේ ඉනට සහ ශරීරයේ පෙනුමට විතරක් කියලානම් ඔයා වැරදියී. ඔයාගේ mood එකට කෙලින්ම බලපාන්නේ සීනිම නෙමෙයි. mood එකට බලපාන්නේ ඉන්සියුලින් හෝමෝන.අපි පරිභෝජනය කරන සීනී දහනය කිරීමට ඉන්සියුලින් අපේ ශරීරයෙන් දහනය වෙනවා.මොලය සහ බඩවැල් අතර තියෙන සම්බන්ධතාවයේදී මේ ඉන්සියුලින් ඉතා වැදගත් කාර්යයක් කරනවා. ඉතින් අපි හැමදාම ඕනවට වඩා සීනි ගත්තොත් මේ ඉන්සියුලින් වලට අපේ ශරීරයේ සෛලවලින් දෙන සාමාන්‍ය ප්‍රතිචාරය නැති වෙලා යනවා.ඉන්සියුලින් ප්‍රතිරෝධය කියලා කියන මේ බාධාව මානසික අවපීඩනයට හේතු වන බව විද්‍යාඥයින් පෙන්නලා දීලා තියෙනවා.අපේ කෑම වේලේ තන්තු අඩු ‍වෙන කොට මේ ප්‍රශ්නය තව වැඩි වෙන්නත් ඉඩ තියෙනවා.පරීක්ෂණ වලින් කියලා තියෙන විදිහට තන්තු ආහාර වැඩිපුර ආහාරයට ගන්නා අයගේ මානසික අවපීඩනයේ අවදානම අඩු වන අතර විශේෂයෙන් පලතුරු හා එළවළු වලින් හොඳ mood එකක් තියාගන්න පුළුවන්.

පිළියම් :එළවළු සහ පලතුරු ගැනීමෙන් ඔයා ශරීරයට ගන්න තන්තු ප්‍රමාණය වැඩි කරන්න.කොහිල,රතු හාල්,කසා කසා ඇට,අලිගැට පේර, කෙසෙල්, පරිප්පු,බතල තන්තු වැඩි අහාර කිහිපයක්.

 

 

Take care of your gut flora

Gut flora or gut microbiota කියන්නේ අපේ ආහාර ජීර්ණ පද්ධතියේ ජීවත්වන ක්ෂුද්‍ර ජීවීන් (වැඩිපුරම බැක්ටීරියා) හදුන්වන්න පාවිච්චි කරන වචනයක්.නිරෝගී gut flora එකක් නඩත්තු කරන්න කෑම ප්‍රධාන සාධකයක්. එත් මේවට mood එකත් එක්ක තියෙන සම්බන්ධය ගැන නම් ගොඩක් පරීක්ෂණ කරලා නැති වුණත් පොඩි පොඩි විද්‍යාත්මක සාක්ෂි වලට අනුව නම් mood වෙනස්වීම් සහ Gut flora එක අතර සම්බන්ධයක් තියෙනවා.හරියටම හොයාගෙන නැති වුණත් විටමින් කේ, සහ විටමින් බී 1, බී 2, බී 3, බී 5, බී 6, බී 7, බී 9 සහ බී 12 වැනි විටමින් නිපදවීමට gut flora වගකියන්න ඕනේ. බී විටමින් ස්නායු පද්ධතියේ මුල් ගල කියලා කියන්න පුළුවන්.මොකද ඒවා ස්නායු සම්ප්‍රේෂක නිපදවන්න උදව් වෙන කොටස් නිසා.ඒ නිසා අසමතුලිත,අක්‍රිය gut microbiota විටමින් අඩුවීමට හේතුවක් වෙන්න පුළුවන්.ඉතින් මේ විටමින් අඩුවීමෙන් mood එකේ වෙනස්වීම් වෙන්න පුළුවන්.

පිළියම් : prebiotics සහ probiotics ගන්න එක gut flora නැවත නගා සිටුවන්න උදවු කරනවා.prebiotics සහ probiotics යන දෙකම එක සමානයි වගේ පෙනුනට ඒවා ගොඩක් වෙලාවට එකිනෙකට වෙනස් ලෙස භාවිතා කරනවා.මේ දෙකම වෙනස් වර්ග දෙකක්.prebiotics කියන්නේ තන්තු වැඩි gut microbes වැඩි කරන ළූණු, සුදුළූණු, ලීක්ස්, කෙසෙල්, අලිගැට පේර සහ වෙනත් ඉහළ තන්තු සහිත ආහාර වර්ග.probiotics කියන්නේ බැක්ටීරියා වල සජීවී සංස්කෘතීන් අඩංගු ආහාර.යෝගට්, කිරි, ඉට්ලි සහ දෝසා probiotics අඩංගු අහාර. ඒ වගේම අපිට අමතක වෙලා තියෙන දිය බත් කියන්නෙත් probiotics අඩංගු ආහාරයක්.සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික උදේ ආහාරයක් වන ඉතුරුවුණු පිසූ බත් එක රැයක් වතුරේ දාලා තියලා දිය බත් හදාගන්න පුළුවන්. පොල් කිරි, මිරිස් කරල් සහ අමු මිරිස් ද ගැලපෙන තරම් දාගන්න පුළුවන්.ඉස්සර කාලේනම් මේක ප්‍රධාන කෑමක් වුණත් දැන් නම් හැමොටම අමතක වෙලා ගිහින් තියෙනවා

 

 

Stimulation of the vagus nerve

ඔව්, මේකනම් ටිකක් හිතාගන්න අමාරු දෙයක්. අපි තේරුම් කරන්නම්.vagus nerve එක කියන්නේ මොලයේ තියෙන medulla oblongata ඉදන් බෙල්ල දිගට පෙනහළු සහ බඩ දක්වා තියෙන නහර යුගලයක්. mood එකේ වෙනස්වීම් සහ චිත්තවේග පාලනය කරන්න පුළුවන් නිසා මේක දෙවන මොලය කියලත් හඳුන්වන්න පුළුවන්.අධ්‍යයනවලින් කියලා තියෙන විදිහටනම් මේ නහරය උත්තේජනය කරලා මානසික රෝගත් අඩු කරන්න පුළුවන්. ඉතින් මේ ස්නායුව උත්තේජනය කරන්න පුළුවන් දෙවිදියකට. ඒ ප්‍රෝබියොටික් මගින් සහ නිරාහාරව සිටීමෙන්.

පිළියම් : ඉහත 2 කොටසේ තියෙන විදිහට probiotics මෙය සිදු කරන්න පුළුවන්.

නිරාහාරව සිටීම මගින් උත්සහ කරනවා කියන්නේ අමාරුවෙන් බඩගින්නේ සිටීම නම් නෙමෙයි.
නිරාහාරව ඉදලා.ප.ව. 6.00 ට පමණ රාත්‍රී කෑම ගන්න.ඒ වගේම උදේ 8.00 ට විතර උදේ කෑම ගන්න. ඒ කියන්නේ ඔයා පැය 14ක් නිරාහාරව ඉඳලා. ඒ වගේම නිරාහාරව සිටින වෙලාවේදී වතුර සහ කැලරි නැති සීනි සහ ක්‍රීම් දාලා නැති තේ, කෝපි වගේ දේවල් බොන්නත් පුළුවන්.ඒ වගේම තමයි ඔයා රක්තහීනතාවය, දියවැඩියාව, ගැස්ට්‍රයිටිස්, ආමාශික තුවාල වලින් පෙළෙනවා නම් ඔයාගේ වෛද්‍යවරයා එක්ක කතාකරල ඔයාට හරියන විදිහට නිරාහාර ව සිටීම සිදු කරන්න.

ලන්ඩන් ගියා වගේ හැගීමක් එක්ක drink එකක් අරන් පොඩ්ඩක් enjoy කරන්න කැමතිනම් යන්නම ඕන තැන

One Galle Face එකේ තිබෙන The British Pub and Fish N’ Chips bar එක British-themed bar එකක් වන අතර ඇත්තටම ලන්ඩන් ගියා වගේ හැගීමක් අපිට ඇති කරනවා. ඒ වගේම customersලට මුහුදු සුළං වදින්නත් පුළුවන් වෙන්න ආසන සකසා තිබෙනවා. අපි බදාදා හවස් වරුවේ ගියා මේ අපුරු bar එකේ drink එකක් අරන් පෙඩ්ඩක් enjoy කරන්න.

 

 

 

Drinks

My Ceylon (LKR 750)

මේ arrack based cocktail එක හොඳට හිතලා නම් කරපු cocktail එකක් . British Pub and Fish N’ Chips bar එකේ තිබෙන cocktail හැම එකකම භාවිතා කරන alchohol වර්ගය සදහන් කරලා තියෙනවා. නමුත් ඒ පිළිබඳව වැඩිදුර විස්තරයක් නම් සදහන් කරලා නැහැ.මේ drink එකේ එන පැෂන් ෆෘට් රසය වගේම arrack රසය නිසා අපි ගොඩක් enjoy කලා.

 

 

The Londoner (LKR 750)

හවසට ඉර බහින වෙලාවට මේ drink එක enjoy කරන්න තමයි මං වැඩියෙන්ම කැමති .මේ drink එක try කරපු ගමන්ම එන ඒ ප්‍රබෝධමත් බව වගේම ඇඹුල් රසය සහ alcohol, Gin වලට ප්‍රිය කරන ඕනම කෙනෙක් අනිවාර්යයෙන් කැමති වෙනවා.

 

 

Drunk In Love (LKR 750)

orange වල රසය හොඳට තියෙන මේ cocktail එක tequila එකක් වගේමයි . කොහොම වුණත් cocktail එකේ තියන alcohol වර්ගය මොකක්ද කියලා හදුනගන්න බැරිවුණා වගේම මේ drink එක එච්චර strong වුණේත් නැහැ.

 

 

Virgin Mojito (LKR 500)

mojito drink එක අපි හිතපු තරම් හොඳ වුණේ නැහැ. mojito වලට ගොඩක් දෙනෙක් කැමති දෙහි සහ මින්ට් හොඳට සමබරව තිබෙනකොට. ඒත් අපිට mojito එක පිළිගන්වනකොට වතුර රසය විතරයි‍ දැනුන‍ෙ ඒ නිසා මේ drink එක සාර්ථක එකක් වුණේ නැහැ.

 

 

Starters

Black Pepper Chicken (Rs 990)

මේකනම් ඔයාගේ post-work beer එකත් එක්ක යන නියම කෑමක්. හොඳට පිසින ලද සහ සෝයා සෝස් mix කරලා හදලා තිබෙන මේ chicken plate එක එළවළුත් එක්ක mix කරලා තිබෙන නිසා ඇත්තටම රසයි .ගම්මිරිස් වලට වැඩිය කැමති නැති වුණත් කුළුබඩු ගානට දලා තිබුණ නිසා මම මේකට කැමති වුණා.ඒ වුණාට මගේ යාළුවොනම් මේ starter එකට කැමති වුණේ නැහැ.

 

 

British Pub Platter (Rs 2500)

මේ platter එක buffalo wings, onion rings, chicken sausages සහ fries වලින් පිරිලා තිබුණා .ඒ වගේම දෙන්නෙක්ට ඇතිවෙන්න කන්න මේ potion එක ඇත්තටම ප්‍රමාණවත්. British Pub Platter එකට අපි පිස්සු වැටුණා කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ.සුදුළුූණු හොඳට දලා හදලා තියෙන මේ potion එකේ තිබෙන sausage එකත් නියමයි.හරිම මෘදුයි. වෙළඳපලේ ගන්න තිබෙන sausage වලට වඩා මේක ඇත්තටම රසයි.

 

 

Mains

Fish N’ Chips (LKR 1200)

මම Colombo වලදි try කරපු හොඳම Fish සහ Chips තමයි මේ.හොඳට හදලා තිබුණ Barramundi සහ fries එකට එකක් නියමට ගැළපෙනවා.ඇත්තටම මේ ආහාරයත් මම ගොඩක් රසවින්දා.

 

Ambiance

ඇතුළත වගේම එළියෙත් විශාල ආසන ප්‍රමාණයක් තිබුණ මේ ශාලාව ඉඩකඩ සහිත වන අතර සාමාන්‍යයෙන් දිවා ආහාර වෙලාවට ගොඩක් කාර්ය බහුලයි කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ. කාර්යය මණ්ඩලයත් ආචාරශීලී වගේම මේ ස්ථානය ගෝෂාකාරී නැති නිසා නිදහසේ කතාබහ කරන්නනම් නියම තැන . හැබැයි ඉතින් කන්න තිබුණ එකම අතුරුපස වුණේ Baskin Robbins ice cream විතරයි.

Fitness ගැන හිතන අයට ගෙදරටම ගෙන්වාග‍ෙන බොන්න පුළුවන් smoothies

Fuel කියන්නේ කොළඹ නගරයට අලුතෙන් එකතු වුණු fitness ගැන සැලකිලිමත්, සෞඛ්‍ය සම්පන්න බීම වලට කැමති ඔයාලටම හරියන තැනක් කිවුවොත් හරියටම හරි. දැනට pick me සහ uber eats වලින් Fuel smoothies ඔයාලගේ ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්.
ඉතින් අපිටත් රසවත් smoothies කිහිපයකම රස බලන්න අවස්ථාව ලැබුණා. මේ තමයි ඒ smoothies ගැන අපිට හිතුන දේ.

විශේෂම දේ තමයි එයාලගේ තියෙන පරිසර හිතකාමී බව. මේ drinks දාලා තිබුනේ නැවත පාවිච්චි කරන්න පුළුවන් වීදුරු බෝතල් වල. ඒ වගේම cool එකත් එක්ක තමයි මේ smoothies වල ගොඩක්ම රස රඳා පවතින්නේ කියලා අපිට දැනගන්න ලැබුණා. අපිට ඒවා ලැබෙන වේලාවේත් ඒවා ගොඩක් සීතලට තිබුණ බව නම් කියන්නම ඕනේ. එයාලගේ හැම smoothie එකකටම කෙසෙල් ( ඉහල මට්ටමක sodium සහ අඩු මට්ටමක potassium අඩංගු නිසා ) සහ Protein powder එකතු කරලා තිබුණා.

 

 

1.Peanut Butter Berry Power (LKR 650)

මේ smoothie එක අපි හිතපු නැති තරම් උකු වුණත් බඩ පිරෙන්න ප්‍රමාණවත් තරම් තිබුණා. හොඳ peanut butter රසයක් සමගම කෙසෙල් රසයකුත් ගෙන දුන්නු මේ smoothie එක තද පැණි රසක් නැති වුණත් පොඩි පැණි රසක් සහ savoury රසයක් ගෙන දුන්නා. මේ drink එකේ ඉහල මට්ටමේ ප්‍රෝටීන් ප්‍රමාණයක් අඩංගු වන නිසාම fit ඇඟක් හදාගන්න මහන්සි වෙන අයට නම් ගොඩක්ම ගැලපෙනවා.

 

 

2.Non Dairy Fuel (LKR 650)

මේ smoothie එක ගැන අපේ පළවෙනි අත්දැකීම වුණේ මේකේ තිබුණ ස්ට්‍රෝබෙරි සුවඳ. අපි රස බලපු අනිත් smoothie වලට වැඩිය අඩු උකු බවක් සහ මෘදු බවක් මේකේ තිබුණා. වැඩිපුර බෙරි රසයක් තිබුණත් පොඩි කෙසෙල් රසයකුත් මේකේ තිබුණා. හැපෙන සුළු ගතියක් නැති මේ smoothie එක පැණි රසට කැමැති කෙනෙක්ට නම් ගොඩක් ගැලපෙනවා. අපි රස බලපු smoothies අතරින් මේක ගොඩක් සැහැල්ලු බවක් ගෙන දීපු නිසාම මේ smoothie එකට වැඩිපුර හිතගියා කිවුවොත් හරියටම හරි.

 

 

3.Chocolate Berry Boost (LKR 600)

මේ smoothie එකේ තිබුණු තද කෙසෙල් රසය සහ දැඩි උකු බව නිසා අපි ගොඩක් අඩුවෙන්ම කැමති වුණ smoothie එක මේක කියලනම් කියන්න ඕනේ. chocolate කියලා නමේ දාලා තිබුණට මේකේ කිසිම chocolate රසක් නම් තිබුණේ නැහැ. මේ drink එක අපිට හිතාගන්න බැරි කුඩු සහිත ස්වභාවයක් අපේ දිවට එකතු කළා.

 

 

4.Fuel Original (LKR 600)

ඔයත් liquid diet එකක් කරන්න හිතාගෙන ඉන්න කෙනෙක්නම් මේ smoothie එක ඔයාට හොඳටම ගැලපෙනවා. අපි පොඩි කාලේ රස බලපු ගොඩක් නැවුම් සහ උකු වගේම සෞඛ්‍යය සම්පන්න yogurt drink එකක රස මතක් කරලා දෙන්න පුළුවන් වුණා. මේකේ තිබුණ සැහැල්ලු සාමාන්‍ය උකු ගතිය නිසාම අපි මේ smoothie එකටත් ගොඩක් කැමති වුණා.

මේ smoothie වල උකුබව ටිකක් වැඩියෙන් තිබ්බ නිසා, සමස්ථයක් විදිහට ගත්තමනම් fuel ලට එයාලගේ drink වල ගුණාත්මක බව රැකගන්න තව ටිකක් මහන්සි වෙන්න ඕන කියලාත් අපි මතක් කරන්න ඕන.

ඔයාගේ perfume එකේ සුවඳ වැඩි වෙලාවක් රඳවගන්න ඕනනම්, මේ විදියට පාවිච්චි කරන්න -03

ඔයාගේ perfume එක ගැන මීට කලින් ලිපි දෙකකදී අපි ඔයාව දැනුවත් කරා. අපි ඊළඟට ඔයාට කියන්න යන්නෙ නිවැරදිව කොහොමද perfume එක පාවිච්චි කරන්නෙ කියන කාරණය. ඔයාට හරියටම ගැලපෙන perfume එක තෝරාගෙන ආවට පස්සේ මෙන්න මේ කාරණා ගැන ඔයා සැළකිලිමත් වෙන්නම ඕනෙ.

 

 

perfume එකක් පාවිච්චි කරන හුඟක් අය කරන වරදක් තමයි perfume වැඩිපුර පාවිච්චි කරන එක. ඒක ඔයාගේ skin එකට වගේම පොකට් එකටත් එච්චර හොඳ නැහැ. සාමාන්‍යෙන් මිලි ලීටර් 8ක පුංචි perfume එකක් සිය වරක් පමණ spray කරන්න ප්‍රමාණවත් කියන එකයි සම්මත පිළිගැනීම. ඒ ගැන ඔයා අද ඉඳන් විමසිලිමත් වෙන්න අවශ්‍යයි. අපි මුලින් ඔයාව දැනුවත් කරා වගේම perfume වල විවිධ වර්ග තියෙනවා. ඒ අතරින් හොඳම සහ ගැලපෙනම වර්ගය තෝරාගන්න ඔයා දැන් දැනුවත් වෙලා අවසන්. හැබැයි තව එක කාරණයක් ගැන ඔයා අවදානයෙන් ඉන්න අවශ්‍යයි. perfumes වල තවත් වර්ග දෙකක් තියෙනවා. Daytime සහ Nighttime කියල ඒ වර්ග කිරීම කරන්නෙ පාවිච්චියට ගැලපෙන වෙලාව අනුව. ඔයා සාමාන්‍ය වැඩකට එළියට යනවා නම්, නැත්නම් office යනවනම්, වෙන සාමාන්‍ය ගමනක් යනවනම්, ඔයාට daytime perfume එකක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඔයා විශේෂ සාදයකට, dinner out එකකට, function එකකට නැත්නම් Date එකකට යනවා නම් ඔයා Nighttime perfume එකක් පාවිච්චි කරන්න අවශ්‍යයි. සාමාන්‍යෙන් මල් සුවඳ, පළතුරු සුවඳ වගේ තියෙන Bright yellow, Orange, Pink, Light blue වගේ පාට වලින් එන perfume බොහෝ දුරට daytime perfume වෙනවා. Dark blue, Red, Purple, Brown, Black වගේ පාට වලින් එන්නෙ Nighttime perfumes. ඒ විදිහට වර්ණ වලිනුත් ඔයාට මේ දෙක හඳුනාගන්න පුළුවන්. නමුත් බොහෝ විට පිළිගත් brand එකක perfume එකක් ගනිද්දිම ඒකෙ කවරයේ හෝ ලේබලයේ මේ වර්ග දෙකෙන් මොකකට අයත් වෙනවද කියන කාරණය පැහැදිලිව සඳහන් වෙනවා. ඔයා Nighttime perfume එකක් පාවිච්චි කරනවා නම් බෙල්ල ආශ්‍රිත ප්‍රදේශය, යටි තල්ල, සහ බෙල්ල පිටුපස තමයි spray කරන්න ඕනෙ. හේතුව ගොඩක් nighttime perfume දිගු වෙලාවක් සුවඳ රැඳෙන ඒවා නොවීම.ඒ ප්‍රදේශ වලට spray කරාම ඉක්මනින් සුවඳ පැතිරයාම සිදුවනවා.

 

 

හොඳින් මතක තබාගත යුතු කාරණය තමයි ඔයා perfume එකක් පාවිච්චි කරනකොට ඒක spray කරන්න ඕනේ ඔයාගේ සමට. සමහරුන්ට ඇඳුමට perfume spray කරන පුරුද්දක් තියෙනවා. ඒක ඔයාගෙ ඇඳුමටත් හානිකර වෙන්න පුළුවන් වගේම perfume එක පාවිච්චි කරන එකේ අරමුණ ඉටු වෙන්නෙත් නැහැ. ඒ නිසා සමට perfume එක spray කරන්න මතක තබාගන්න. ඒ වගේම මතක තියාගන්නම ඕන දෙයක් තමයි perfume එක apply කරන්න කලින් පිරිසිදු වෙන්න. මද උණුසුම් වතුරින් wash එකක් ගන්න එක තමයි වඩාත්ම හොඳ. එතකොට ඔයාගේ සමේ තියෙන විවර හොඳින් විවෘත වෙනවා. perfume එක හොඳින් උරාගන්න මේක වැදගත්. ඒ නිසා මද උණුසුම් වතුරින් wash දාගන්න පුළුවන් නම් වඩාත්ම හොඳයි. ඔයා පාවිච්චි කරන soap නැතිනම් body wash එක සුවඳ නැති හෝ ඉතාම අඩු සුවඳක් තියෙන එකක් වීමත් වැදගත්. එතකොට තමයි perfume එකේ සුවඳ හරියටම පිටතට දැනෙන්නේ. එහෙම නැතිනම් මේ සුවඳ ඔක්කොම කළවම් වෙලා එක සුවඳක් වත් පිටතට නොදැනෙන්න පුළුවන්. අනික් වැදගත්ම දේ ඔයා perfume එක පාවිච්චි කරන්න කලින් සම moisture කරන එක හරිම වැදගත්. ඔයා පාවිච්චි කරන මොකක් හරි ඔයාගේ moisturizing cream එක නිවැරදිව ආලේප කරලා ඊට පස්සෙයි ඔයාගේ perfume එක spray කරන්න ඕනෙ. අනික් වැදගත්ම දේ ඇඳුම් අඳින්න කලින් perfume එක දාන්නත් අමතක කරන්න එපා.

 

ඔයාගේ perfume එක ශරීරයේ අදාල තැනට අඟල් 5 – 7 අතර ප්‍රමාණයක දුරකින් තියල තමයි spray කළ යුත්තේ. perfume එකේ දියර ගතියෙන් සම තෙත් වුනොත් ඒ කියන්නේ perfume එක ළඟ තිබ්බා වැඩියි. මේ කාරණය ගැන අවධානයෙන් ඉන්න එක වැදගත්. රුධිර නාලිකා සමේ මතුපිට ස්ථරයට ලඟින්ම තියෙන තැන් Pulse points කියල හඳුන්වනවා. ඒ තැන් වලට perfume එක spray කරන එකත් ඉතාම වැදගත්. perfume එක spray කරාට පස්සේ සමහරු ඒක අතින් අතුල්ලනවා. ඒක වැරදියි. මතක තියාගන්න spray කළ perfume එක සමට උරාගෙන වියලෙන්න ඉඩදෙන්න. ඒක අතුල්ලන්න උත්සාහ කරන්න එපා. ඒ වගේම වැඩි වෙලාවක් සුවඳ රැඳෙයි කියල හිතාගෙන ඕනවට වඩා perfume spray කරන එකත් සමහරු කරන වරදක්. ඒ වරද නොකරන්නත් මතක තියාගන්න. ඔයාට වැඩි වෙලාවක් සුවඳ රඳවගන්න අවශ්‍ය නම්, perfume එක ඔයාගේ Bag එකේ දාගෙන ගිහින් නැවත නැවත පාවිච්චි කරනවා මිස ඕනෑවට වඩා එක වරකදී පාවිච්චි කරන්න එපා.

 

perfume එක ශරීරයේ pulse points වලට spray කරන්න කියල අපි මුලින් සඳහන් කළානෙ. වඩාත්ම සුදුසු pulse points මොනවද කියලත් දැනගැනීම වැදගත්. ඔයාගේ කණ පිටුපස, තල්ල යට වගේම බෙල්ල අවට ප්‍රදේශය මේ සඳහා වඩාත්ම සුදුසුයි. ඒ වගේම ඔයාගේ උරපත් අස්ථිය (collarbone) එකටත් perfume spray කරන්න පුළුවන්. අත් වල වැලමිටේ ඇතුල් පැත්තත්, මැණික් කටුවේ ඇතුල් පැත්තත් මේ සඳහා සුදුසුයි. ඒ වගේම තමයි දණහිස පිටුපස සහ නාභිය අවට ප්‍රදේශයත් perfume spray කරන්න සුදුසුයි කියල මේ විෂය ගැන විශේෂඥයෝ කියනවා. ඒ තැන් වල රැඳෙන ශරීර උෂ්ණත්වයත් එක්ක ශරීරයට හොඳින් perfume එක උරාගන්නා බවයි ඔවුන්ගේ අදහස.


මේ විදිහට නිවැරදිව perfume එක පාවිච්චි කලොත්, ඔයාට ඒ සුවඳ වැඩි වෙලාවක් රඳවාගන්න හැකියාව ලැබේවි. අනික් වැදගත්ම දේ තමයි ඔයාගේ Perfume එක අධික සීතල තැනක හෝ අධික රස්නය තියන තැනක තියන්න එපා. එහෙම වුනොත්, perfume එකේ සුවඳ ඉක්මනින් නැතිවෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාගේ perfume එකේ කල් ඉකුත් වීමේ දිනය ගැන අවධානයෙන් ඉන්නත් අමතක කරන්න එපා. ලේබලයේ හෝ දවටනයේ මේ දිනය සඳහන් වෙනවා. ඒ ගැන පරික්ෂාකාරී වෙන්න. perfume එකේ බෝතලය අරිද්දීම තද, සැර සුවඳක් දැනෙනවා නම් ඒ කියන්නේ ඔයාගේ perfume එක කල් ඉකුත් වෙලා. ඉක්මනින්ම ඒක පාවිච්චියෙන් ඉවත් කරන්න.

 

 

………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………..

ඔයාගෙ Perfume එක ගැන ඔයා හරියටම දන්නවද..? – 01

ඔයාට ගැළපෙනම perfume එක තෝරගන්න, මේ tips ටික අත්හදා බලන්න – 02