හතර වටෙන් ඔයාගේ රැවුල නිසි පරිදි පිරිසිදුව පවත්වා ගන්නේ කොහොමද..?

ඔයාගේ රැවුල නිසි පරිදි පිරිසිදුව පවත්වා ගන්නේ කොහොමද..?

2020 Jun 29

රැවුල වවන්න කැමති කඩවසම් තරුණයින් වෙනුවෙන් gasma.lk වෙතින් අපි මීට පෙර ලිපියක් පලකළා. රැවුල වවනවා නම්, ඒ කොහොමද..? මොන විදිහේ මුහුණකටද රැවුල ගැළපෙන්නේ..? මුහුණේ හැඩය අනුව රැවුලේ හැඩය පවත්වා ගන්නේ කොහොමද වගේ තොරතුරු අපි ඒ ලිපියෙන් කතාබහ කළා. මුහුණට ගැළපෙන හැඩයකින් සකස් කරගත්ත රැවුල නිසි පරිදි පිරිසිදුව පවත්වා ගන්නේ කොහොමද කියන කාරණය ගැනයි අපි අද ලිපියෙන් දැනුවත් කරන්න බලාපොරොත්තු වෙන්නෙ.

 

ඔබේ රැවුල හොඳින්, අලංකාරවත් ලෙස පවත්වා ගැනීම අනිවාර්යයෙන්ම කළ යුතුයි. රැවුල නිසි පරිදි නඩත්තු නොකළොත් එයින් ඔබේ මුහුණට එකතු වෙන්නේ ලස්සනකට වඩා අවලස්සනක් කිවුවොත් හරි. ඒ නිසා පිරිසිදු කිරීම සහ පවත්වා ගැනීම කියන කොටසේදී ඔබ වඩාත් සැලකිලිමත් විය යුතුයි. වෙලාව ගැන නොසිතා, අපහසුව ගැන නොසිතා ඔබ ඔබේ රැවුලට අවශ්‍ය මේ සත්කාර කළ යුතුමයි. කෙනෙක් ඔබේ මුහුණ දිහා එක එල්ලේ බලද්දී ඔබේ රැවුල ඔහුගේ හෝ ඇයගේ ඇසට හොඳින් හසුවනවා. ඉතින් ඔබ රැවුල නඩත්තු කරන පිළිවෙල ඔබ ගැන ඔවුන්ට අදහසක් ලබාදෙන්න තරම්ම ප්‍රබලයි. ඒ නිසා අනිවාර්යෙන්ම රැවුල ගැන ඔබේ අවදානය යොමුකළ යුතුමයි.

 

අපි ඔබට කරණා කිහිපයක් ඉදිරිපත් කරන්නම්. මේ කරුණු ගැන ඔබේ අවදානය යොමුකළ යුතුමයි. පලවෙනි කාරණය නම් ඔබ රැවුල සෝදන ආකාරය. ඔබ කොහොමද ඔබේ රැවුල සෝදා පිරිසිදු කරන්නෙ.? මේ ප්‍රශ්නය ඔබ ඔබෙන්ම අහල බලන්න. සතියකට අඩුම වශයෙන් තුන් වතාවක් හෝ හතර වතාවක් ඔබේ රැවුල සේදීම සිදුකළ යුතුයි. එකේදී සාමාන්‍ය ෂැම්පු වර්ගයක් පාවිච්චි කිරීම හොඳටම ප්‍රමාණවත්. නමුත් සල්ෆේට් අඩංගු නොවන ස්වභාවික නිෂ්පාදනයක් මේ සඳහා තෝරා ගන්න අමතක කරන්න එපා. රැවුල පිරිසිදු කිරීම වෙනුවෙන් විශේෂයෙන් සකස් කළ ෂැම්පු වර්ග අවශ්‍ය වන්නේ නැහැ. මොකද ඔබේ රැවුල සහ කොණ්ඩය අතර ලොකු වෙනසක් නැති නිසා. ඒ වුණත් ඔබේ මුහුණේ විශේෂයෙන් මුඛය ආශ්‍රිතව ආලේප කරන ෂැම්පු වර්ගයක් නිසා අහිතකර රසායනික ද්‍රව්‍ය නැති ස්වභාවික අමුද්‍රව්‍ය සහිත නිෂ්පාදනයක් වීම වැදගත්. තෝරාගත් ෂැම්පු වර්ගය යොදා හිසකෙස් පිරිසිදු කරන ආකාරයටම රැවුල හොදින් සෝදා දැමීම කළ යුතුයි.රැවුල සඳහා කන්ඩිෂනර් වර්ගයක් හෝ beard oil එකක් පාවිච්චි කිරීම අත්‍යවශ්‍යයි. ඒ oil වර්ගය තෝරා ගැනීමේදීත් මුලින් අපි කිව්වා වගේම එය ස්වභාවික අමුද්‍රව්‍ය භාවිතයෙන් සැකසු නිෂ්පාදනයක් වීම අනිවාර්යයි. essential oil භාවිතයෙන් සකස් කරගත් නිෂ්පාදනයක් නම් වඩාත් හොඳයි. ෂැම්පු යොදා පිරිසිදු කරගත් රැවුල හොඳින් තෙත මාත්තු කරගෙන මේ oil ස්වල්පයක් ඇඟිලි තුඩු වලින් අරගෙන රැවුලේ තවරා ඇඟිලි තුඩු වලින් රැවුල අතරින් සම සම්භාහනය කිරීම කළ යුතුයි. මේ විදිහට සතියකට 4 වතාවක් වත් සිදුකළ යුතුයි. ඔබේ රැවුල මොන තරම් ශක්තිමත්ද, දීප්තිමත්ද කියන එක තීරණය වෙන්නේ ඔබ ලබාදෙන පෝෂණය අනුවයි. ඒ නිසා රැවුල පවතින සම පෝෂණය සහිතව තිබීම වැදගත්. ඉතින්, අමතක නොකර වඩා හොඳ beard oil එකක් පාවිච්චි කරන්න.

 

රැවුල trim කරන එක ඊළඟ වැදගත්ම කොටසක්. රැවුල වැවෙන එකත් කොණ්ඩය වගේම එකිනෙකට වෙනස් විදිහකට වැවෙනවා වෙන්න පුළුවන්. ඒ නිසා එවැනි අක්‍රමවත් රැවුලක් පවත්වා ගැනීම ඔබේ මුහුණට වගේම පෞරුෂයටත් සුදුසු නැහැ. සති දෙකකට වරක් වත් රැවුල trim කරන්න මතක තබා ගන්න. ඒ වෙනුවෙන් ඔබේ පුරුදු salon එකකට යනවා නම් වඩා හොඳයි. නැතිනම් සුදුසු කතුරු භාවිතයෙන් ගෙදරදීම trim කරගන්නත් ඔබට හැකියාව තිබෙනවා. හොඳින් trim කරගන්න එක මෙතැනදී අත්‍යවශ්‍යයි. අපිළිවෙලට තැනින් තැන උස් පහත් විදිහට තිබුණොත් ඒකත් ඔබේ මුහුණට සුදුසු වන්නේ නැහැ. ඒ නිසා සමානව පෙනෙන පරිදි ඔබේ රැවුලේ අග කොටස trim කිරීම කළ යුතුයි. trim කරගත්තට පස්සේ පනාවක් අරගෙන හොඳින් පීරමින් රැවුලේ කෙලවර නිසි පරිදි සමානව සකස් වෙලාද කියලත් හොඳින් පරික්ෂා කරන්න අමතක කරන්න එපා.

 

ඊළඟ වැදගත්ම දේ neck line එක. සාමාන්‍යෙන් රැවුල වැවෙද්දී මේ neck line එක අපිළිවෙලට වැවෙනවා. ඒ නිසා සතියකට වරක් වත් මේ neck line එක කපාගැනීම වැදගත්. මේකට trimmer එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතාම සියුම් විදිහට අවදානයෙන් යුතුව මේ neck line එකේ කෙලවර කරගැනීම වැදගත් වනවා. ඒ වගේම ඔබේ කම්මුල් ප්‍රදේශයෙනුත් මේ විදිහට අපිළිවෙලට රැවුල වැවෙනවා. ඒ කෙළවර සියුම්ව කපා ගැනීමත් වැදගත්. රැවුල කියන්නේ ඔබේ මුහුණේ විශේෂ අංගයක් නිසා රැවුල හොඳින් නඩත්තු කරමින් පවත්වා ගත යුතුමයි. ඒ නිසා සෑම සතියකට වරක් මේ neck line එක සහ රැවුලේ අනික් කෙළවරවල් සියුම්ව කපාගෙන පවත්වාගෙන යෑම අත්‍යවශ්‍යයි.

අවශ්‍ය පෝෂණය නිසි පරිදි ලබාදීමෙන් ඔබේ රැවුල දීප්තිමත්ව පිරිසිදුව සහ අලංකාරවත්ව පවත්වා ගෙන යාහැකියි. ඒ නිසා වෙනදට වගේ ඔබේ රැවුල ගැන අවදානයෙන් සිටින්න. මේ පියවර අනුගමනය කරන්න.

 

-එන්. වෙහෙරදූව-

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here