හතර වටෙන් තොප්පිය තට්ටයට හේතුවක්ද…?

තොප්පිය තට්ටයට හේතුවක්ද…?

2021 Feb 17

කොණ්ඩය ගැලවී යාම, තට්ටය පෑදීම කියන්නෙ බහුතරයකට තියෙන ගැටළුවක්. විශේෂයෙන්ම පුරුෂ පාර්ශවයට මේ ගැටළුව වැඩිපුර තියෙනවා කියලා තමයි අපට අහන්න දකින්න ලැබෙන්නෙ. මේකට හේතුව මොකක්ද කියන එක නිශ්චිතවම කියන්න බැරි වුනත් ජානමය හේතු මේ තත්වයට තදින්ම බලපානවා කියල තමයි පොදුවේ මතයක් විදිහට පවතින්නේ. තට්ටය පෑදීම කියන්නේ පුරුෂ පාර්ශවය මානසිකව පීඩාවට පත්වන ප්‍රධාන හේතුවක්. තරුණ වියේ ඉන්න පිරිමි පුද්ගලයකු වුනත් කොණ්ඩය හැලී ගිහින් තට්ටය පෑදුනා කියන්නෙ ඔහුගෙන් පේන්නේ වයසක පෙනුමක්. ඉතින්, තමන් ඉන්නවාට වඩා වයසයි කියල පෙන්වන්න කවුද කැමති වෙන්නෙ..? නමුත් මේ තත්වයට මුහුණ දෙන්න සිදු වුනොත්..? ඔබට විකල්ප හොයන්න හෝ නැතිනම් පවතින තත්වය බාරගන්න සිදුවෙනවාම තමයි. කොහොම වුනත් මේ තට්ටය පෑදීම කියන කාරණය එක්ක කතාබහට එන අතුරු කතාවක් ගැන තමයි අද අපි ඔබව දැනුවත් කරන්න සූදානම් වෙන්නෙ. මේක “පිරිමින්ට විශේෂයි” කියලත් කියන්න පුළුවන්. හේතුව වැඩිපුරම මේ තත්වයට මුහුණ දෙන්නේ පිරිමි අය නිසා.

තට්ටය පෑදීම සිද්ද වෙන්න ලොකු හේතුවක් තොප්පි පැළඳීම කියල පොදු සමාජයේ මතයක් පවතිනවා. ඔයා මේ ගැන අහලත් ඇති. මොකක්ද මේ කතාවේ ඇත්ත නැත්ත..? අපි අද කතාබහ කරන්න සූදානම් වෙන්නේ ඒ ගැන. දැන් මේ ගැටළුවට සෘජු පිළිතුරක් දුන්නොත්, අපට කියන්න තියෙන්නේ එහෙම පිළිගත හැකි සාක්ෂි නැහැ කියන එකයි. ඒ කියන්නේ දිනපතා හෝ නිතර නිතර තොප්පියක් පැළඳීම නිසා තට්ටය පෑදීම ඉක්මන් වෙනවා හෝ ඒ පිළිබඳ අවදානමක් තියෙනවා කියන කතාව කිසිදු විද්‍යාත්මක පර්යේෂණයකින් ඔප්පු කළ අදහසක් නොවෙයි. ඒ නිසා අපට සරළව එක මිත්‍යා විශ්වාසයක් පමණයි කියල ප්‍රතික්ෂේප කරන්න පුළුවන්ද..?

Image result for hair loosing because of hat

 

එහෙම සරළව ප්‍රතික්ෂේප කරන්නත් ඔයාට පුළුවන් කමක් නැහැ. දැන් ඔයා ටිකක් ගැටළුසහගත තැනකට යනවා වන්න පුළුවන්. එතකොට මොකක්ද ඇත්තම කතාව..?

 

මෙහෙමයි. ඔය තොප්පි දැමීම කියන එක අපි එක වචනයක් විදිහට කිවුවා වුනත් ඒකෙත් ප්‍රබේද තියෙනවා. සාමාන්‍යෙන් විලාසිතාවක් විදිහට තොප්පියක් පැළඳීම සමහරු කරන දෙයක්. ඒ වගේම තවත් සමහරුන්ගේ පුරුද්දක්. ඒ අයට තොප්පිය අහිමි වෙනවා කියන්නේ තමන්ගේ අනන්‍යතාව අහිමි වුනා වගෙයි. මොකද ඒ අය තමන්ව ප්‍රතිරූපයක් විදිහට ගොඩනගාගෙන තියෙන්නෙම තොප්පියත් එක්කමයි. ඉතින් කොතන කොහොම වැඩකට ගියත් ඒ අය යන්නෙ තොප්පියත් එක්කමයි.

මෙන්න මේ වගේ පුරුද්දක් තියෙන අයට තොප්පිය කියන්නෙත් අත්‍යවශ්‍ය අංගයක්. ඉතින් මේ තොප්පි දැමීම ඔයාගේ කොණ්ඩය ගැලවී යාමට හේතුවක් කියල අවදානමක් ගන්න අවශ්‍ය නැහැ. ඒ කරුණ සනාථ කරන්න සාක්ෂි ලැබිලත් නැහැ. නමුත් ඔයා පළඳින තොප්පියේ තත්වය ගැන සැළකිලිමත් වීම නම් අනිවාර්යෙන්ම කළ යුතුයි. ඔයා පළඳින තොප්පිය ඔළුවට තදට හිර තොප්පියක් නම් එතන අවදානමක් තියෙනවාමයි. ඒ වගේම දහදිය රැඳෙන තරමට සම්පුර්ණයෙන් ආවරණය කළ තොප්පියක් ඔයා පළඳිනවා නම් එතැනත් හිසකෙස් වැටීමේ අවදානමක් තිබෙන බවට තොරතුරු තිබෙනවා. ඔයා නිතර තොප්පියක් පළඳින කෙනෙක් නම් දවසෙම තොප්පිය දාගෙන ඉඳල ගැලවීමේදී තොප්පිය ඇතුලේ ගැලවුණු හිසකෙස් තියෙනවා දකින්න පුළුවන්. එක සාමාන්‍ය තත්වයක්. තොප්පිය නිසා කොණ්ඩේ ගැලවී යනවා කියන අදහස ඔයාට ඇතිවෙන්න මේකත් බලපානවා ඇති. නමුත් ඔය දැනගත යුතු වැදගත් කාරණයක් තියෙනවා. ඒ තමයි සාමාන්‍යෙන් දවසකට කෙස් ගස් 100ක වගේ ප්‍රමාණයක් අපේ හිසෙන් ගැලවී යනවා. එක ස්වභාවික තත්වයක්. තොප්පිය දවසෙම පළඳින කෙනෙකුට මේ හිසකෙස් ගැලවී යාම හොඳින් පෙනෙනවා වන්නට පුළුවන්. නමුත් ඒක ඔබ පසුතැවිල්ලට පත්විය යුතු කාරණයක් නොවෙයි. හිසකෙස් වැඩි ප්‍රමාණයක් ගැලවී යනවා දකින්න ලැබුනොත් පමණක් ඒ ගැන තරමක් සැළකිලිමත් වන්න කියලයි අපට කියන්න තියෙන්නෙ.

පරම්පරාවෙ ඉතිහාසය මත ජානමය බලපෑමෙන් ඔයාගේ හිසකෙස් ගැලවී යාමට අවදානම දැඩිව තියෙනවා වගේම තවත් සමහර අසනීප තත්වයන් නිසාත් මේ තත්වයට මුහුණ දෙන්න සිදුවෙන්න පුළුවන්. ඒ වගේම යම් ආසාත්මිකතා ඇතිවීම, හෝර්මෝන වල ඇතිවන වෙනස්කම් වගේ කරුණුත් මේකට බලපාන්න හැකියාව තිබෙනවා. ශරීර උෂ්ණත්වය අධික වීමත් තවත් හේතුවක් විය හැකි බව විශේෂඥයින් පවසනවා. සමහර අහාර සහ පාන වර්ග නිසාත්, මානසික ආතතිය නිසාත් මේ හිසකෙස් ගැලවී යාමේ තත්වයට මුහුණ දීමට සිදුවිය හැකියි. ඒ හැර හිසකෙස් ගැලවෙයි කියන බය නිසා තමන් වඩා ප්‍රියකරන විලාසිතාවක් වන තොප්පිය පැළඳීම අත්හරින්න නම් සාධාරණ හේතුවක් නැහැ. නමුත් අපි මුලින් සඳහන් කළා වගේම ඒ පළඳින තොප්පියේ විලාසිතාව, ප්‍රමාණය සහ නිමවා තියෙන අමුද්‍රව්‍ය වගේ කාරණා ගැන නම් සැලකිලිමත් වීම වැදගත්.

උෂ්ණත්වය රඳවා නොගන්නා වගේම හිර නැති විලාසිතාවක් තොප්පියක් තෝරා ගැනීම, හිතකර අමුද්‍රව්‍ය වලින් නිපදවූවක් තෝරා ගැනීම වගේ සරළ කරුණු ගන විමසිලිමත් වන්න. නිසි අවබෝධය ඇතුව “කැමති තොප්පියක් දාගන්න” කියල තමයි ඔයාට කියන්න තියෙන්නෙ.

එන් . වෙහෙරදූව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here