2021 May 27
පිළිකාව කියන්නේ මේ වෙනකොට සීඝ්‍රයෙන් වැඩිවෙන ඒ වගේම නිට්ටාවටම සුවකළ නොහැකි දරුණුම රෝගයක්. මෙය ශරීරයේ ඕනෑම තැනක ඇතිවෙන්න පුළුවන්. මේ වෙනකොට කාන්තාවන් අතර පිළිකා වැළදීම වැඩි වෙලා තිබෙනවා. උපතේ ඉදන් ශරීරයේ විශාල වෙනස්කම් වලට විටින් විට මුහුණ දෙන කාන්තාවට පිළිකාවක් ඇතිවීමේ ප්‍රවණතාවය වැඩී වගේම ඇතිවෙන්න පුළුවන් පිළිකා බොහොමයක් තිබෙනවා. අද අපි බලමු කාන්තාවන්ට සුලබ ලෙස වැළදෙන දරුණු පිළිකා වර්ග මොනවාද කියලා..
පියයුරු පිළිකා
ලෝක සෞඛ්‍යය සංවිධානය පවසන්නේ පිළිකා රෝගී කාන්තාවන් අතරින් වැඩි දෙනෙකු පියයුරු පිළිකාවලට ගොදුරු වූවන් බවයි. තවදුරටත් ඔවුන් පෙන්වා දෙන්නේ එම තත්ත්වය සංවර්ධිත සහ සංවර්ධනය වෙමින් පවතින රටවල පොදුවේ දැකිය හැකි සන්සිද්ධියක් බවයි. ඒ වගේම පියයුරු පිළිකාවක් වැළඳී සුවය ලැබීමට පවතින හැකියාව රටින් රටට වෙනස් වෙන බවට වාර්තා වෙනවා.
ඒ වගේම ඔවුන් පෙන්වා දෙන්නේ පියයුරු පිළිකාව වැළදීම හා ජීවිතය බේරාගැනීමට ඇති හැකියාව අවම වෙලා තිබෙන්නට ප්‍රධාන හේතුව වන්නේ කාන්තාවන්ට පූර්ව රෝග ලක්ෂණ හඳුනාගනීම සම්බන්ධයෙන් ඇති දැනුවත් භාවය අවම වීම. ශ්‍රී ලංකා ජාතික පිළිකා ආයතනය පවසන පරිදි පියයුරු පිළිකා ප්‍රාථමික හෝ ද්වීතික වෙන්න පුළුවන්.
පිළිකාව මුලින්ම පියයුරු වල ඇතිවෙලානම් එය හඳුන්වන්නේ ප්‍රාථමික පිළිකාවක් වශයෙන් වන අතර ශරීරයේ වෙනත් තැනක ඇති වූ ගෙඩියක් පියයුරු වලට පැතිරී ඇත්නම් එය ද්වීතික පියයුරු පිළිකාවක් වශයෙන් හඳුන්වනවා.
බොහෝ අවස්ථාවලදී ප්‍රාථමික පියයුරු පිළිකා ප්‍රතිකාරවලින් පසු නැවත හට ගැනීමක් සිදුවන්නේ නැති බව වාර්තා වෙනවා. ඒ වගේම ඇතැම් කාන්තාවන්ගේ පිළිකා සෛල, ප්‍රාථමික පිළිකාවලින් වෙන්වී ගොස් රුධිර ප්‍රවාහය හෝ වසාවාහි පද්ධතිය මගින් ශරීරයෙ අනෙක් කොටස් වලට පැතිර යන්න හැකියාව තිබෙනවා.
ඔබටත් පහත දැක්වෙන රෝග ලක්ෂණ ඇත්නම් ඉක්මනින් වෛද්‍යවරයෙකු හමුවෙන්න.
පියයුරු ආශ්‍රිත සම ඝන වීම
සම මතුපිට වළ ගැසීම
තන පුඩුව මත කුෂ්ඨ ඇතිවීම
තන පුඩුවෙන් දියරයක් ගැලීම
අසීරුවක් හෝ වේදනාවක් දැනීම
තන පුඩුව ඇතුළට ගිලී යාම
නහර මතු වීම
ඉදිමීම
සැරව සහිත තුවාල ඇතිවීම
සම දොඩම් ලෙල්ලක ස්වරූපය ගැනීම
පියයුරු වල ප්‍රමාණයෙ හෝ හැඩය වෙනස්වීම
තද ගැටිති
ගැබ්ගෙල පිළිකා
ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට සෑදෙන පිළිකා අතරින් ගැබ්ගෙල පිළිකාව දෙවැනි ස්ථානය ගන්නවා. මෙය පූර්ව පිළිකා අවධියේදී හදුනාගතහොත් එම තත්වය පිළිකාවක් බවට පත්වීම වැළැක්වාගන්න හැකියාව තිබෙනවා. ගැබ්ගෙල පිළිකාව බොහෝ දුරට ගැබ් ගෙල ආශ්‍රිතව හියුමන් පැපිලෝමා වෛරසය(HPV)ආසාදනය දිගුකල් පැවතීම මගින් ඇතිවෙන්න පුළුවන්. ගැබ්ගෙල පිළිකාව ඇතිවීමට පෙර පූර්ව පිළිකා අවධියක් තිබෙනවා. නමුත් පූර්ව පිළිකා අවධියේදී රෝග ලක්ෂණ නැහැ. ඔබට පුළුවන් එය පැප් පරීක්ෂණයක් මගින් තහවුරු කරගෙන නිසි ප්‍රතිකාර ලබා පිළිකාවක් බවට පත්වීම වැළක්වා ගන්න.
ගැබ් ගෙල පිළිකාව සෑදීමට පෙර (පූර්ව පිළිකා අවධිය) පැප් පරීක්ෂවකින් හදුනාගන්න පුළුවන්. පැප් පරීක්ෂාවක් කියන්නේ ගැබ් ගෙල ආශ්‍රිතව සිදුකරන සරල පරීක්ෂණයක්. මෙමගින් ගැගෙලෙහි පූර්ව පිළිකා සෛල හදුනාගත හැකියාව ලැබෙනවා.
පෙනහලු පිළිකා
පිළිකා අතර වැඩිම මරණ ප්‍රමාණයකට වගකිවයුතු පිළිකාව ලෙස සැලකෙන්නේ පෙණහලු පිළිකාව. පෙනහලු පිළිකාව ඇතිවීමේ ප්‍රධාන හේතුව දුම් පානෙ. පෙනහලු පිළිකාවලින් 9/10 කටම වගකිවයුතුවෙන්නේ දුම් පානය. ඊට අමතරව දූෂිත හා විකිරණශීලී වායූන් නිසාද පෙනහලු පිළිකා ඇති කරනවා. මාරාන්තික පෙනහළු පිලිකාව ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන බරපතලම එය පිළිකා රෝගී තත්ත්වයක්. ඔබ විසින් කළ යුතු වන්නේ පෙනහළු පිළිකාවක් වැළඳී ඇති මූලික අවදියේම එය හඳුනා ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකර ගැනීමයි. පෙනහළු පිළිකාවක් වැළඳීමේදී යම් යම් රෝග ලක්ෂණ කිහිපයක්ම පුද්ගලයන් තුළින් මතු වේ. එනම් දිගු කල් නොපවතින සාමාන්‍ය කැස්සක් ඇතිවීම, තදින් හුස්ම ගන්නා විට කහින විට සහ සිනහ වන විට පපුවේ වේදනාවක් ඇතිවීම, කටහඬ ගොරෝසු වීම, සිරුරේ බර අඩු වීම සහ ආහාර අරුචිය, කැස්ස ඇතිවීමේදී රුධිරය පිටවීම හෝ මලකඩ පැහැයෙන් යුත් කෙල හෝ සෙම පිටවීම, හුස්ම හිර වීමේ ස්වභාවයක් ඇතිවීම, ශරීරය දුර්වල වීම සහ මහන්සියක් දැනීම, යළි යළිත් වැළඳෙන නමුත් පහසුවෙන් සුව නොවන බ්‍රොන්කයිටීස් සහ නිව්මෝනියා ආසාදනය වීම, ඇදුම රෝගයට සමාන රෝග ලක්ෂණ මතුවීම. ඔබටත් මෙවැනි රෝග ලක්ෂණ තිබෙනම් ඉක්මනින් වෛද්‍යවරයෙකු හුමවෙන්න.
ඩිම්බ කෝෂ පිළිකා
ඩිම්බ කෝෂ ආශ්‍රිත ව ඇති වන පිළිකා ස්‌ත්‍රී ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත පිළිකා අතර බහුල පිළිකා ප්‍රභේදයක්. මේ පිළිකා ප්‍රභේදය සහිත රෝගීන් ගෙන් හරි අඩක් පමණ ම වයස 65ට වැඩි රෝගීන්. ඩිම්බ කෝෂ ආශ්‍රිත පිළිකාවලට හේතුකාරක ලෙස අඩු වයසින් ආර්ථවය ආරම්භ වීම සහ වැඩි වයසකින් අර්ථවය නිමා වීම, පළමුවැනි දරු උත්පත්තිය ප්‍රමාද වීම (Age of first pregnancy), නොයෙකුත් හේතූන් මත හෝමෝන ප්‍රතිකාර ලෙස ලබාගැනීම (HRT) සහ ජානගත හේතූන් දක්වන්න පුළුවන්. ජානගත හේතූන් සහ ඩිම්බ කෝෂ ආශ්‍රිත පිළිකා අතර සම්බන්ධතාව පිළිබඳ කතාබහ වැඩි වී ඇති නමුත් සමස්‌ත ප්‍රතිශතයක් වශයෙන් එහි බලපෑම 10%කට අඩු බව වාර්තා වෙනවා. ඩිම්බකෝෂවල ඇති වන පිළිකා සෛල, ප්‍රභේද ගණනාවකට අයත් නමුත් 50%ක පමණ දක්‌නට ලැබෙන්නේ Serous carcinoma ගණයට අයත් පිළිකා.
අවධානම ඇති පුද්ගලයන්
වයස (80% ක් පමණ මෙම පිළිකා ඇති වන්නේ වයස අවුරුදු 50ට වැඩි කාන්තාවන්ට)
තරබාරු බව
පවුලේ කිසිවකුට ඩිම්බ කෝෂයේ හෝ පියයුරු පිළිකාවක් තිබීම.
ජීවිත කාලය තුල ඩිම්බ පිටවී ඇති වාර ගනන. (මවු කිරි දීමේ දී සහ පවුල් සැලසුම් පෙති භාවිතා කිරීමේ දී ඩිම්බ පිටවීමක් සිදු නොවන නිසා එවැනි කාන්තාවන්ට පිළිකා අවදානම අඩුයි.)
රෝග ලක්ෂණ
යටි බඩේ වේදනාව
ලිංගික එක්වීමේ දී ඇති වන බඩේ වේදනාව
බඩ ඉදිමීම
කෑම අප්‍රිය කම සහ බඩේ පිරුණු ස්වභාවය
මල පහ කිරීමේ දී සහ මුත්‍රා පිට කිරීමේ දී ඇති වන අපහසුතාවන්
*මෙවැනි රෝග ලක්ෂණ ඇත්නම් වෛද්‍යවරයෙක් ලවා පරීක්ෂා කරවා ගැනීම ඉතා වැදගත්.