Uncategorized වැඩිපුර වියදම් නොකර රුපියල් 1000ක් අරන් ඇවිදින්න යමුද? …

වැඩිපුර වියදම් නොකර රුපියල් 1000ක් අරන් ඇවිදින්න යමුද? …

2022 Jan 23

මෙහෙම හිතන්නකො, අද තමයි පඩි වැටෙන දවස! බැංකු ගිණුමේ තියෙන සම්පූර්ණ මුදල දැකපුවම සන්තෝසෙ බෑ නේද?… “ආයෙම හොඳ ගාණක් අතේ තියෙනවා” වගේ හැඟීමක් දැනෙනව නේද?

හැබැයි එකපාරටම…

දුරකථන ගාස්තු.. ප්‍රවාහන වියදම්.. ඇයි? අර ගන්න බලාගෙන හිටපු සපත්තු කුට්ටම… Uber Eats ඕඩරයකුත් දැම්ම නේද? ඒ ඔක්කොටම වැඩියෙන් අර තාම ගෙවන්න බැරි වුන බාර් බිල් එක එහෙම…

ආයෙමත් අතේ සතේ නැහැ! දැන් ඉතින් ආයෙමත් ඔයාගෙ අතේ තියන්නෙ මාසෙ ඉතුරු දවස් ටික ගැට ගහගන්න පුංචි මුදලක් විතරයි. සමහර දවස්වලට නම් කිසිම දේකට වියදම් නොකර ඉන්නත් වෙයි වගේ…

බොරුවට දුක්වෙන්නෙපා! අඩු ගාණකට මාසේ ඉතිරි දවස් හොඳට විනෝද වෙන්න පුළුවන් කොළඹ අවට තැන් කිහිපයක් ගැන අපි ඔයාට කියන්නයි යන්නේ. දෙන්නෙක් ගියත් සම්පූර්ණ වියදම රුපියල් 1000ක් පනින්නෙ නැහැ!

1) ඉස්සෝ වඩේ කන ගමන් ගෝල්ෆේස් එකේ ඇවිදිමුද?

 

 

 

පොඩ්ඩක් මතක් කරල බලන්න. අන්තිම වතාවට ඔයා ගෝල්ෆේස් වෙරළ තීරය දිගේ ඇවිදගෙන ගියේ කවදද?
ලස්සන හැන්දෑවක, ඉර බහින වෙලාවක ඒ කොළපාට තණකොළ තීරය දිගේ ඔහේ ඇවිදගෙන යනකොට,
ඔයාලා දෙන්නටම ඇතිවෙන්න ඉස්සො වඩේ ගත්තත් රුපියල් 200ක් වැය වෙයි ඕනෙ නම්. නිදහසේ සෙල්ලම් කරන ළමයි දිහා බලාගෙන නිස්කලංක සන්ධ්‍යාවක් ගත කරන්න එහෙම කැමති නැත්ද?

ඒ වගේම තමයි සති ගාණක් යනකන් ඔයාට ඒ හැන්දෑව මතක තියේවි.

2) ෆොටෝ පිරුණ නෙළුම් පොකුණ

 

 

විහාර මහා දේවී උද්‍යානය අසල තියෙන නෙළුම් පොකුණ පෙදෙස, කොළඹදි දැකගන්න පුලුවන් සුන්දරම ස්ථානයක්. ගාම්භීරව පෙනෙන නෙළුම් පොකුණ තෙක් විහිදී තිබෙන කොළ පැහැති සුන්දර මාවත, ෆොටෝස් ගන්න කැමති අයට නම් ගැලපෙනම ප්‍රදේශයක් වේවි. තමන්ට සුන්දර මතකයක් එකතු කරගන්න ලස්සනම තැනක් වුණත්, මේ වෙනුවෙන් ඔයාට සතයක්වත් වියදම් වෙන්නෙ නැහැ!

3) බෙල්ලන්විල උද්‍යානයේ බයිසිකල් සවාරියක්

 

 

මේ වගේ තැනක නම්, නිදහසේ බයිසිකලයක් පදිනවා තරම් දෙයක් නැහැ. ඔයාලා බෙල්ලන්විල උද්‍යානය පැත්තට ගියොත් පැයට රුපියල් සීයක මුදලට කුලියට දෙන සයිකල් දෙකක් අරගෙන වැව වටේම නිදහසේ පදින්න පුළුවන්.

ඒ විතරක් නෙමෙයි. එතනම විවෘත කර තියෙන Food Stallsවලින් අඩු ගාණකට රහ කෑම වේලක් භුක්ති විඳින්නත් ඔයාලා දෙන්නට පුළුවන්. හැමදෙයක්ම රුපියල් 1000ට අඩුයි!

4) ඔබ වෙනුවෙන් විවෘත වූ කොළඹ ජාතික කෞතුකාගාරය

 

 

විවිධ කාල වකවානුවල පෞරාණික කෞතුක වස්තුවලින් පිරී තිබෙන කොළඹ ජාතික කෞතුකාගාරය පැය ගණනක් රැඳී සිටිය හැකි ස්ථානයක්. අලුත් අලුත් දේ ගැන හොයලා බලන්න කැමති නිර්මාණශීලී දෙදෙනෙකුට නම් මෙතන තවත් ගැලපේවි.

5) දියත උයනේ පැළ ප්‍රදර්ශනය

 

 

ඔයයි ඔයාගෙ සහකාරියයි ගෙවතු වගාවට යොමු වුන දෙදෙනෙක්ද?ගහකොළ පිරි කොළ පැහැති වටපිටාවකට පිස්සුවෙන් වගේ ආදරේ කරනවාද?
එහෙනම් අමතක නොකර දියත උයනට යන්න. ප්‍රදේශය පුරා සිටින පැළ වගාකරන්නන් තමන්ගේ විසිතුරු පැළ රැගෙන, සෑම සති අන්තයකදීම නොවරදවාම දියත උයනට එනවා. අලංකාර විසිතුරු පැළ මෙන්ම දුර්ලභ වටිනා ශාක රාශියක්ම බොහොම සාධාරණ මිලකට ඔබට මිලදී ගන්න පුළුවන්.

6) කොළඹ Pubවල Happy Hour Offers

 

අපි ශ්‍රී ලාංකිකයයි මත්පැන් බොන්න බොහොම කැමතියි. හැබැයි මත්පැන්හල්වල අන්තිමට ගේන බිල්පත දැක්කහම තමයි අපිට තරු පේන්නේ!
එහෙම බලනකොට Happy Hour කියන්නේ ත්‍යාගයක් වගේ දෙයක්ද කියලත් හිතෙනවා. සමහර මත්පැන්හල්වල ” Buy 1, Get 1 Free” offers දෙනකොට ඇතැම් තැන්වල තෝරාගත් cocktailsවලට ඇදහිය නොහැකි වට්ටම් දෙනවා. ඉතින් හොයලා බලලා මෙහෙම තැනකට ගියොත් නම් රුපියල් 1000ක්වත් වියදම් කරන්නෙ නැතුව ලේසියෙන්ම beers mugs දෙකක් ඔයාට ලැබේවි.

7) දියත උයනේ හංස බෝට්ටු පදිමුද?

 

 

හංස බෝට්ටු ගැන අමුතුවෙන් මොනවා කියන්නද. ඔබේ ආදරණීයන් සමඟ හරිම නිදහස් සහ සාමකාමී මොහොතක් ගත කරන්නට මේ තෝරාගැනීම හරියටම ගැලපේවි. වැව් රළ මැද්දේ ඔබේ කාලය ඔබට අවැසි ලෙසටම ගත කරන්න නම් දියත උයනේ හංස බෝට්ටුවකට ගොඩ වෙන්න.

8) ඔබට සිතැඟි මල් කළඹක් – ඩීන්ස් පාරෙන්

 

 

ඩීන්ස් මාවත මුල සිට අග දක්වාම පිරී තියන්නේ විවිධ ආකාරයේ මල් සාප්පු රොත්තකින්. ඩීන්ස් මාවතේ දී ඔබ කැමතිම මල් වර්ග වලින් සපිරි අලංකාර මල් කළඹක් වෙනුවෙන් රුපියල් 1000ක්වත් වියදම් වෙන්නෙ නැහැ.

(මල් කිව්වොත් ඉතින් සමහරු මොනවා නොකරාවිද 🙂

9) ක්‍රීඩා පිරුණු Ground Zero, One Galle Face

 

 

Gamers… මෙතන දෙවනත් කරන්නට ඔබ සූදානම්ද? තෝරා ගත හැකි එකිනෙකට වෙනස් පුළුල් ක්‍රීඩා ඉසව් රාශියක් සමඟින් One Gall Face හි පිහිටා තිබෙන Ground Zero අංගණය, ඔබටත් ඔබේ සහකාරියටත් සෞඛ්‍යාරක්ෂිත ,විනෝදාත්මක මොහොතක් එක් කරාවි.

10) Mount Lavinia වෙරළේ රසවත් වයින් තොල ගාන්නට

 

 

එක් අයෙකුට රුපියල් 1000ක්වත් වැය නොකර ඔබට ලැබිය හැකි ආදරණීයම සහ සරලම පෙම් හමුවක් Mount Lavinia වෙරළේ අත් විඳින්නට නම්,
රුපියල් 2000කට අවම රතු / සුදු වයින් බෝතලයක් රැගෙන සුන්දර සන්ධ්‍යාවක් ගත කිරීමට Mount Laviniaවට ගොඩ වන්න අමතක කරන්නත් එපා. හිරු බසින අතරෙහි ඔබේ පෙම් හමුව විඳ ගන්න…

11) මරදාන පරණ පොත් කඩ පේළියට ගොඩ වුනාද?

 

පොත්ගුල්ලනි, පරිස්සමෙන්!!

රුපියල් 1000කට එහා වියදම් කරන්නට ඔබේ හිත පෙළඹෙන්නට ගනීවි. දූවිලි පිරුණු මරදාන පරණ පොත් කඳු අස්සෙන් හොයා ගන්නට අතිශය අමාරු දුර්ලභ මැණික් හමුවෙන්නටත් ඉඩ තියෙනවා. කතා කරපු ගමන් පොත් ගැන විස්තර කියන සුන්දර මිනිසුන් කිහිපදෙනෙක්ම එතනදි ඔබේ උදව්වට පැමිණේවී.

12) Bowling නම් Excel World… Excel World නම් Bowling

 

 

අපි තව මොනවා කියන්නද? Bowling කියන්නෙම විනෝදයක්; සතුටක් සහ මිතුරන් සමඟ කාලය ගත කරන්න හොඳම විදිහක්.

13) සල්සා රාත්‍රියකට ගොඩ වදිමු

 

 

The Irish සහ Playtrix සමාජ මාධ්‍ය ගිණුම් වෙත ඇහැ දැම්මොත් සල්සා රාත්‍රියක් හොයා ගන්නට අමාරු වෙන්නෙ නැහැ. ඇතැම් රාත්‍රීන් වලදී ඔවුන් කිසිදු වයස් භේදයක් නැති, විනෝදකාමී සල්සා රාත්‍රීන් සංවිධානය කරනවා. සහකාරියත් එකතු කරගෙන විනෝද වෙන්නට හොඳම විදිහක්!
සල්සා නටන්න දන්නැතිද? ලැජ්ජා වෙන්නෙපා, එතන සිටින අයට ඔබ ගාවටම ඇවිත් කියලා දෙයි. කිසිම වෙනසක් නැතිව සල්සා නටන්න. ඔබේ වාරය ඊළඟට…

14) Crystal Shopping

 

 

අධ්‍යාත්මය වෙනුවෙන් වෙහෙසෙන ඔබට;

Stratford Avenue හි පිහිටා තිබෙන House of Siris අධ්‍යාත්මික මන්දිරයෙන් නොමිලේම ඔබේ ඕරා වළල්ල ගැනත් දැනුවත් වෙන්න හැකියි. සමබර ජීවිතයක් වෙනුවෙන් නොමිලේම ඔවුන්ගෙන් අදහස් ගන්නට ඔබට එහිදී හැකියාව තිබෙනවා. රුපියල් 1000කට වඩා අඩු මුදලක් වැය කර ලබා ගත හැකි crystals වර්ග රාශියක්ම එහි දැකගන්න පුළුවන්.

(අවැසි නම් Blue Lace Agate 1200ක් වැනි මුදලකටත්, Rose Quartz හෝ Red Jasper වැනි පාෂාණයක් රුපියල් 400 මිලකට අලෙවි වනවා.)

15) Carnival Ice Cream

 

 

වසර ගණනක් තිස්සේ රහ බෙදූ Carnival Ice Cream මිහිර විඳින්නට කවුද ඉතින් අකමැති? ඉතාම සාධාරණ මිල ගණන් යටතේ විවිධ Ice Cream වර්ග රාශියක් එහි ඇතුළත් වනවා.

ලස්සන හුරුබුහුටි Instagram post එකකටත් භාවිතා කරන්න බැරි යැ…

16) ඩාන්ස් නැත්නම් යෝගා පන්ති

 

 

අලුත් දේවල් කරන්නට උත්සාහ ගන්නවා කියන්නෙ වරදක් නෙමෙයිනෙ! විනෝදයෙන් පිරුනු ඩාන්ස් ක්ලාස්; එහෙමත් නැත්නම් ශරීරයට සැහැල්ලුවක් ගෙන දෙන යෝගා පන්තියකට එකතු නොවෙන්නෙ ඇයි එහෙම නම්..?
කවුද දන්නෙ, සමහරවිට ඒ ඔබේ අලුත්ම විනෝදාංශයේ පළවෙනි පියවර වෙන්නත් පුළුවන්. බොහෝමයක් තනි යෝගා පන්තිවල මුදල රුපියල් 1000කට අඩුයි.

එහෙමත් නැතිනම්, ඔබේ හොඳම යාලුවාත් අල්ලගෙන එකතු වෙන්න කියෝෂි පෙරේරාගේ නර්තන පුහුණුවීමකට. කාන්තාවන්ට පමණක් වෙන් වුනු මේ පුහුණුවීම්වලදි Latin, Hip Hop, Afro, movement සහ traditional ඇතුළු නර්තන විලාස 05ක්ම ඉගෙන ගන්න හැකියාව ලැබෙනවා.

17) උණුහුම් තේ සපිරි Chaiwala

 

 

එහා මෙහා ගැවසෙන මිනිසුන් අතරේ උණුහුම් තේ පානයක රස මිහිර විඳින්නට ඔබ යා යුතුම Marine Drive පෙදෙසේ Chaiwala වෙතයි.
මතකයේ රැඳෙන ඡායාරූප කිහිපයක් ගන්නත් ඔබ එන තෙක් එතැන බලා සිටිනවා.

18) කෝපි උගුරකින් සැනහෙන Caramel Pupmkin

 

 

කෝපිලෝලීනි,

උසස්ම තත්ත්වයේ උණුහුම් කෝපි පානයක් රසවිඳිය හැකි Carmel Pumpkin වෙත ඔබ තාම ගියේ නැද්ද?

19) දෙහිවල සත්වෝද්‍යානයට පිය නඟන්න!

 

 

ඔබ හා ඔබේ සහකාරිය සතුන්ට වැඩිපුර ඇල්මක් දක්වනවද? දෙහිවල සත්වෝද්‍යානය එවැනි අයට ගැළපෙනම තැන් කිහිපයෙන් එකක්.
ගිනියම් හැන්දෑවකට වඩා සත්වෝද්‍යානය පුරා යන රාත්‍රී සංචාරයක් ඔබේ විඩාව මඟ හරිනු ඇත.

20) ග්‍රහලෝකාගාරය තවමත් අමතක නැහැ!

 

“හඳට පියාසර කරන්න. මට තරු අතරෙහි සෙල්ලම් කරන්න ඉඩ දෙන්න”
Frank Sinatraගේ මේ කතාව මේ තරම්ම ජනප්‍රිය වෙන්න හේතුවක් තියෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here