හතර වටෙන් Fitness day එක ගැන ඔයත් දැනුවත් වෙන්න …

Fitness day එක ගැන ඔයත් දැනුවත් වෙන්න …

2022 May 8

යහපත් ශරීර සෞඛ්‍යයක් පවත්වා ගැනීම අපි හැමෝටම ඉතාම වැදගත් දෙයක්. නිරෝගීව ශක්තිමත්ව වැඩි කාලයක් ජීවත් වෙන්න නම් අනිවාර්‍යෙන්ම හොඳ ශක්තිමත් වගේම සෞඛ්‍ය සම්පන්න ශරීරයක් පවත්වා ගත යුතු වනවා. ලෝකය පුරාම මේ සම්බන්ධයෙන් ලොකු අවධානයක් යොමුවෙලා තියෙන්නෙ අද ඊයෙ ඉඳන් නෙමෙයි. සියවසකටත් එපිට ඉඳන්ම මේ කරුණු සම්බන්ධයෙන් ලෝකයේ කතිකාවක් ඇතිවී තිබෙන බව හඳුනා ගැනීමට හැකියාව තිබෙනවා. ඒ නිසාම Fitness Day එකක් පවා නම්කොට තිබෙනවා. මැයි මාසෙ පළවෙනි සෙනසුරාදාවේ ඇමෙරිකානුවන් මේ සුවිශේෂී දිනය සමරනු ලබනවා. ජනප්‍රිය පුහුණුකරුවකු වන Kim Bielk විසින් මේ සුවිශේෂී දිනය හඳුන්වා දුන් බවයි අන්‍තර්ජාල තොරතුරු වලින් කියැවෙන්නේ.

 

 

Fitness Day – ඉතිහාසය මොකක්ද..?

මේ දිනය සහ සංකල්පයම යුරෝපය මූලික කරගෙන ඇතිවූවක් බව ඉතිහාස තොරතුරු වලින් කියැවෙනවා. විශේෂයෙන් විවිධ රටවලින් සංක්‍රමණය වූ පුද්ගලයින් යුරෝපීය සංස්කෘතියට විවිධ දේවල් එකතු කර තිබෙනවා. ස්වීඩන සහ ජර්මානු ජිම්නාස්ටික් ක්‍රීඩාවනුත් එවැන්නක්. මේ ක්‍රීඩාවත් සමගම 18 වැනි සියවසේ අග භාගයේ ඉඳන්ම මේ Fitness කියන සංකල්පය ජනප්‍රිය වෙමින් පැවතුන බව සඳහන්. නමුත් 20 වැනි සියවසේ මුල ඉඳන්ම ඇමෙරිකාව සහ යුරෝපීය රටවල මිනිසුන් මේ සංකල්ප ගැන වැඩි අවධානයක් යොමුකළ බව හඳුනා ගත හැකියි. වෙළඳපොළ නව්‍යකරණයට ලක්වීමත් එක්ක මිනිසුන්ගේ අහාර රටාවන් වෙනස් වීම සිදුවුණා. විශේෂයෙන් Junk foods වලට මිනිසුන් නැඹුරු වීම සිදුවුණා. සෞඛ්‍ය සම්පන්න කෑම වේලක් වෙනුවට ක්ෂණිකව ගත හැකි කෙටි කෑම වලට පුරුදු වීමත් එක්කම ශරීර සෞඛ්‍යයට තර්ජන එල්ල වීම ආරම්භ වුණා. ඒ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් විදිහට මේ Fitness කියන සංකල්පය පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමට ලෝක ප්‍රජාවට සිදුවී තිබෙනවා.

 

මොනවද මේ Fitness activities කියන්නෙ..
ටිකක් ඉතිහාසයට ගියොත් අමෙරිකානුවන්ට රාජ්‍ය මට්ටමින්ම මේ Fitness පවත්වා ගැනීම සඳහා වන ක්‍රියාකාරකම් වෙනුවෙන් අනුග්‍රහය ලැබී තිබෙනවා. ශරීර සෞඛ්‍ය පවත්වා ගැනීමට නම් Fitness ක්‍රියාකාරකම් සිදුකිරීම 20 වැනි සියවසේ මුල් කාලයේ සිටම රාජ්‍ය මට්ටමින් පෙළඹවීමක් ඇතිකළ දෙයක්. Catherine Beecher කාන්තාවන් සඳහා Fitness කියන සංකල්පය වෙනුවෙන් වෙහෙසුනු ක්‍රියාකාරිනියක්. 1950 කාලය වනවිට රාජ්‍ය සහ පෞද්ගලික අංශය මගින් අමෙරිකාව යුරෝපය ඇතුළු දියුණු රටවල Fitness ප්‍රවර්ධනය කරන වැඩසටහන් ක්‍රියාත්මක වීම සිදුවුණා. වෛද්‍යවරුන්ගේ දායකත්වය සහිතව ව්‍යායාම ක්‍රම හඳුන්වා දීම, පෝෂණවේදීන් ආහාර ක්‍රම පිළිබඳව පර්‍යේෂණ සිදුකිරීම, ජනතාවට ඒ පිළිබඳව දැනුම ලබාදීම සඳහා විවිධ වැඩසටහන් සංවිධාන වීම ආදිය සිදුවූ බවට තොරතුරු තිබෙනවා. Illinois විශ්ව විද්‍යාලයේ ආචාර්‍ය Thomas K. Cureton මේ සම්බන්ධයෙන් පර්‍යේෂණ සිදුකරමින් ව්‍යායාම් ක්‍රම හඳුන්වා දීමේ පුරෝගාමියකු ලෙස සැළකෙනවා. අමෙරිකාවේ වගේම ලෝකය පුරාම Health and Fitness කියන සංකල්පය ප්‍රවර්ධනය කිරීමට The american ccollege of sports medicine ආයතනය කටයුතු කරමින් සිටිනවා.

 

ලෝකයේ වර්ථමාන තත්ත්වය සලකා බැලුවොත් තරුණ ප්‍රජාව මේ පිළිබඳව දැඩි අවධානයක පසුවනවා. විශේෂයෙන් ශාරීරික ක්‍රියාකාරකම් වලට නැඹුරු වන ප්‍රවණතාව වැඩි වෙමින් පවතිනවා. සමාජ ජාලා මාධ්‍ය ලෝකය පුරා ව්‍යාප්ත වීමත් සමගම Fitness and health කියන සංකල්පත් ලෝකය පුරා වැඩි අවධානයක් දිනාගැනීමට සමත්වූ බව පර්‍යේෂකයින් පෙන්වා දෙනවා. කෙසේ නමුත් තමන්ගේ ශරීරය සෞඛ්‍ය සම්පන්නව පවත්වා ගැනීම නිරෝගීව වැඩි කාලයක් ජීවත් වෙන්න වගේම හැඩැති සිරුරක් සමග අභිමානයෙන් ජීවත් වෙන්නත් හේතුවක් වනවා.

 

විශේෂයෙන් ළමා කාලයේදී අපේ සිරුරේ සියළු ක්‍රියාකාරීත්වයන් හොඳින් සිදු වූවත් වයසින් මුහුකුරා යාමත් සමග ඒ තත්ත්වයේ වෙනස්කම් ඇති වනවා. ඒ නිසා ව්‍යායාම සහ ශාරීරික යෝග්‍යතාව පවත්ව ගැනීම අතිශය වැදගත්. ඒ වගේම තමන් ගන්නා කෑම බීම සම්බන්ධයෙන් දැඩි අවධානයකින් සිටීමත් අත්‍යවශ්‍ය වනවා. අහිතකර කෑම, පිටි සීනි තෙල් අධික ආහාර වලින් වැළකී නිවැරදි ව්‍යායාම් ක්‍රම අනුගමනය කරමින් ජීවත් වීම මගින් ලෙඩරෝග නැති හැඩැති සිරුරක් පවත්වා ගැනීමට ඔබට හැකියාව ලැබේවි. ශරීර සුවතාව, ව්‍යායාම්, ආදිය පිළිබඳව වැඩිපුර කතාබහ කරන මෙවැනි දිනකදී ඒ පිළිබඳව වැඩි අවදානයක් යොමු කිරීම වැදගත් වනවා. වැඩි කලක් නිරෝගීව සුවෙන් ජීවත් වෙන්න ඔබත් කැමති නම්, මේ දැන්ම ඔබේ සිරුරේ Fitness ගැන අවදානය යොමු කරන්න කියන පණිවිඩයත් අපි ඔබට ලබා දෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here