හතර වටෙන් රළු පරුෂ නොවී ටීම් එක පාලනය කරන හොඳ බොස් කෙනෙක් වෙන්නේ මෙහෙමයි…

රළු පරුෂ නොවී ටීම් එක පාලනය කරන හොඳ බොස් කෙනෙක් වෙන්නේ මෙහෙමයි…

2022 Jul 2

ඔබ බොස් කෙනෙක් ලෙස මොනතරම් ඵලදායීද කියා තීරණය කරන්නේ ඔබ පෙන්වන නායකත්ව ලක්ෂණ අනුවයි. ලොක්කන් තම සේවකයින්ට යහපතක් කිරීමට සහ තම ආයතනයට පක්ෂපාතී වීමට උනන්දු කරනවා. ඔබේ ආයතනය සාර්ථක කර ගැනීමටත් එය පවත්වා ගැනීමටත් බලාපොරොත්තු වන දිගු කාලීන දේවල් සැලසුම් කිරීමට මේ ගුණාංග විශාල කාර්යභාරයක් ඉටු කරන බව ඔබ දන්නවද?

අවංකභාවය

අවංකකම නැත්නම් විශ්වාසයක් ද නැති තරම්. ගොඩක් බොස්ලා හිතන්නේ සේවකයා අවංකව සේවය කල යුතුයි කියායි. නමුත් ආයතන ප්‍රධානියාත් තමන්ගේ සේවකයන්ට අවංක වීම ඉතා වැදගත්. ඔබ කපටි බොස් කෙනෙක් වීම ඔබටම අවාසියක්. එය සේවකයාත් ඔබත් අතර විශ්වසනීයත්වය බිඳෙන්නට හේතු වෙනවා. අවංකකම පැහැදිලි මඟ පෙන්වීමක් සපයනවා මෙන්ම සේවකයින්ටද ඔවුන්ගේ නායකයා සහ ආයතනය පිළිබඳ වඩා හොඳ විශ්වාසයක් තබා ගැනීමට ඉඩ සලසනවා.

 

විශ්වාසය

විශ්වාසයත් අවංකභාවයත් යන කරුණු දෙකම එකම කාසියක දෙපැත්ත වගේ. සේවකයාගේත් ඔබේත් විශ්වසනීයත්වය මත ආයතනයක දියුණුව රඳා පවතිනවා. නිතරම ඔබ සේවකයන් දෙස සැකෙන් බලනවා නම් සේවකයාටද ඔබ එපා වීමට පුළුවන්. මොන තරම් අවංකව රැකියාව කලත් කිසිම වැඩක් නෑ කියා ඔවුන්ට හිතෙන්න පුළුවන්. මෙය ඔවුන්ගේ උපරිම දක්ෂතාවය ආයතනයට නොදෙන්නට හේතුවක් වෙනවා. මේ විශ්වාසය රැකියාව පැත්තෙන් විතරක් නෙවෙයි සේවකයාගේ පුද්ගලිකත්වය පිළිබඳවත් විහිදී යනවා.

සංවේදීබව

සංවේදීත්වය හොඳ බොස් කෙනෙක්ට තිබිය යුතු වැදගත්ම ලක්ෂණයක්. තමන් යටතේ සේවය කරන සේවකයන්ගේ ගැටළු මෙන්ම ඔවුන්ගේ අවශ්‍යතාවයන් හොඳින් තේරුම් ගැනීමටත් සෘජුවම හෝ වක්‍රව ඒවාට වෘත්තීය මට්ටමෙන් උපකාර කිරීමට තරම් සංවේදීවීම හොඳ නායකත්ව ගතිගුණයක්. මෙය සේවකයාගේ දක්ෂතාවය හා ඔහුගේ ධාරිතාවය සම්පූර්ණයෙන්ම ආයතනයට ලබා ගැනීමට උපායක්ද වෙනවා.

 

දිරිගැන්වීම

හොඳ බොස් කෙනෙක් කියන්නේ තම සේවකයන්ට දක්ෂම අය වීමට පොළඹවන කෙනෙක්. ඔහුට සේවකයින්ගේ හොඳම ගුණාංග හඳුනාගෙන ඒවා පිටතට ගෙන ඒමට හැකිවිය යුතුයි. මීට අමතරව, ඔවුන්ගේ වර්ධන අවස්ථා හඳුනාගෙන ඒවා වැඩිදියුණු කිරීම සඳහා සැලැස්මක් සකස් කිරීමටත් උදව් කිරීම වැදගත්.

දැනුවත්භාවය

හොඳ බොස් කෙනෙක් හැමදෙයක් පිලිබඳවම දැනුවත් විය යුතුයි. මෙහිදි තම ආයතනය ගැන විතරක් නෙවෙයි. සේවකයන් පිළිබඳවත් ඒ ඒ සේවයකයන්ගේ දක්ෂතා පිළිබඳවත් ඔවුන්ගේ දැනුම, තත්වය හා සුදුසුකම් පිළිබඳවත් හොඳ බොස් කෙනෙක් දැනුවත් විය යුතු වෙනවා. දැනුවත් බව නිසා සේවකයන් අතර ගැටළු හා අර්බුද ඇති වීම වළක්වනවා සේම ඔබ හොඳ නායකයෙකු ලෙස සේවකයන් අතර ජනප්‍රිය වෙනවා.

 

 

සේවකයින්ට අවශ්‍ය දේ වටහා ගැනීම

ආයතනයක විවිධාකාර සේවකයන් සේවය කරනවා. ඔවුන්ගේ අවශ්‍යතාවයන් හා ඔවුන්ගේ මට්ටම එකිනෙකට වෙනස්. ඔවුන්ගේ අවශ්‍යතාවයන් තේරුම් නොගෙන ඔබ ඔවුන් ලවා ඔබට අවශ්‍ය දේ ඉටුකර ගැනීමට යන්නේ නම් ඔබ තවදුරටත් හොඳ බොස් කෙනෙක් නෙවෙයි. ඔබට ආයතනය වෙනුවෙන් කර ගැනීමට අවශ්‍ය දේ සේවකයාගෙන් කර ගැනීමට නම් ඔබත් ඔවුන්ගේ අවශ්‍යතාවයන් තේරුම් ගත යුතු වෙනවා.

අනුකම්පාව

මෙය රළු පරුෂ නොවී කණ්ඩායමක් පාලනය කරන හොඳ බොස් කෙනෙක් වෙන්න අවශ්‍ය ප්‍රධානම ගතිගුණයයි. අභියෝගවලට මුහුණ දෙන විට හොඳ නායකයන් දයානුකම්පිත විය යුතුයි. ඔබට දයානුකම්පාව වාචිකව හා ක්‍රියාවෙන් දැන්විය හැකියි. හිත්පිත් නැති සානුකම්පිත හැඟීම් වලින් තොර බොස් කෙනෙකු වීම ඔබේ කණ්ඩායමේ සාමාජිකයන්ගේ පිළිකුලට ලක් වෙන අතර ඔවුන්ට ඔබ එපා වනවා නියතයි.

 

 

මෙය ක්‍රියාවට නංවන්න

ඉතින් ඔබත් ආයතනයක බොස් කෙනෙක් නම් ඔබටත් මේ ගති ලක්ෂණ තියෙනවද? නැතිනම් ඔබ දැනටමත් ඔබේ කණ්ඩායම් සාමාජිකයන්ට එපා වුන බොස් කෙනෙක්ද? මේ ගති ලක්ෂණ ඔබ තුළ ඇති කර ගැනීමෙන් ඔබේ නායකත්ව කුසලතා ශක්තිමත් කිරීමට සහ ඔබේ සේවකයින්ට ඔවුන්ගේ කාර්යය වඩාත් හොඳින් කිරීමට දිරිමත් කරන්න පුළුවන්. එය ප්‍රීතිමත් හා ශක්තිමත් කණ්ඩායමක් නිර්මාණය කිරීමට උදව් වනවා වගේම අවසානයේ වඩාත් සාර්ථක ආයතනයක් ගොඩනගන්නටත් හැකි වෙනවා.

Pramodhya Meegahapola

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here