හතර වටෙන් මේ දවස්වල තමන්ගේ දේවල් පරිස්සම් කරගන්නේ කොහොමද?…

මේ දවස්වල තමන්ගේ දේවල් පරිස්සම් කරගන්නේ කොහොමද?…

2022 Jul 16

මේ දවස්වල අපි කාටත් අමාරු කාලයක් තමයි මේ ගත කරන්නේ. මේ නිසා සමහර අය තමන්ගේ අමාරුකම් නිසාම අනුන්ගේ දේවල් හොරකම් කරන්න, මංකොල්ල කන්න පවා පෙලඹිලා. අපි කවුරුත් එකම බෝට්ටුවක ඉන්නේ කියලා බොහෝ දෙනෙක්ට තේරෙන්නේ නෑ. ඒ නිසා අපි දැනගෙන ඉන්න ඕන අපේ දේවල් කොහොමද අපි පරිස්සම් කරගන්නේ කියලා.

රන් ආභරණ පැළඳීම අවම කිරීම

 

රන් ආභරණ පළඳින්න අපි කවුරුත් ආසයිනේ. නමුත් මේ වගේ අර්බුද කාලයක අපි වටිනා ආභරණ පැළඳීම ඒ තරම් නුවණට හුරු නෑ. මේ කාලයේ වටිනා රන් ආභරණ පැළඳීම මගින් ඔබට ඒවා අහිමි වීමටත් ඔබේ ජීවිතයට හානි වීම⁣ටත් පුලුවන්. මේ වගේ කාලයක වටිනා ආභරණ ගෙදර වත් තබා නොගෙන බැංකු සේප්පුවක තැන්පත් කරනවා නම් එය ඉතාම බුද්ධිමත් ක්‍රියාවක්.

අවශ්‍ය ප්‍රමාණයට පමණක් මුදල් ලඟ තබා ගැනීම

 

 

මුදල් මේ කාලයේ නම් මේ තියනවා මේ නෑ නේද? මුදල් වලට තටු ඇවිත් වගේ. නමුත් මුදල් ඔබ ලඟ තබා ගැනීමට වඩා ඔබ බැංකු කාඩ්පත් වලින්ම ගණුදෙනු කරනවා නම් මේ කාලයේ ඔබ ආරක්ෂාකාරි වෙනවා. මුදල් ලඟ තබා ගන්නවා නම් අවශ්‍ය ප්‍රමාණයට පමණක් මුදල් ලඟ තබා ගන්න. ඒ විදිහට මුදල් පරිහරණය කිරීමේදි කුඩා මුදල් පසුම්බියක් පාවිච්චි කරනවා නම් තවත් හොඳයි.

කුඩා අත් බෑගයක් පරිහරණය කිරීම

 

කාන්තාවන්ට ඉතින් මොනතරම් දේවල් තියෙනවද තමන්ගේ අත් බෑගයේ ගෙනියන්න? ඒත් මේ වගේ crisis එකකදි නම් හැම දේම බෑග් එකේ පුරවගෙන යන එක නම් ඒ තරම් හොඳ නෑ. නිතරම අත් බෑගයට අවශ්‍ය දේවල් විතරක් දමා ගන්න. බෑගයේ අනවශ්‍ය දේවල් ඉවත් කරන්න. කුඩා අත්බෑගයක් පරිහරණය කිරීම එය පරිස්සම් කිරීමට ඔබට පහසු කරනවා. ඔබ පිරිමි පුද්ගලයෙක් නම් ඔබ back pack එකක් වෙනුවට ඔබට පුලුවන් කුඩා side bag එකක ඔබේ බඩු බාහිරාදිය ගෙනියන්න.

Hands free, ear pod, ear buds head phone වැනි දේ පැළඳීම අවම කිරීම

 

 

Hands free, ear pod, ear buds head phone වැනි දේ පැළඳගෙන පාරේ ගමන් කිරීම නම් ඉතාමත් නරක පුරුද්දක්. එතකො⁣ට ඔබට ඔබේ වටපිටාවේ වෙන දේවල් ගැන කිසිම වැටහීමක් නැතුව යනවා වගේම එය ඔබේ සතුරාට ඔබව පහසුවෙන් ඉලක්ක කිරීමටත් හැකි වෙනවා. ඔබ ඔබේ විනෝදය පිණිස ear pods පාවිච්චි කරනවා වෙන්න පුලුවන්. නමුත් ඔබේ අවධානය අඩුවීම ඔබේම අයහපතට උදව්වක් වේවි.

ජංගම දුරකතනය අතේ රඳවා නොගැනීම

 

 

අද අපි කාටත් mobile phone එකක් තියනවා වගේම අපි නිතරම පුරුදු වෙලා ඉන්නේ phone එක අතේ තබා ගන්නයි. මේ කාලයේ ජංගම දුරකථනය අතේ තියා ගැනීම ඔබේ සතුරාට එය පහසුවෙන් උදුරාගන්න උපකාරයක් වේවි. හැම දේම ගණන් වැඩි වෙලා තියෙන මේ වගේ කාලයක ඔබේ දුරකථනය නැති වුනොත් ඔබ එය ගත්තා වගේ දෙගුණයක් ගෙවා තමයි නැවතත් දුරකථනයක් මිලදි ගන්න ඔබට සිදුවෙන්නේ. නිතරම ඔබේ ජංගම දුරකථනය අත් බෑගයේ හෝ කලිසම් සාක්කුවේ තබා ගන්න. අවශ්‍ය වෙලාවට පමණක් එය අතට ගන්න.

රාත්‍රි ගමන්

 

 

එක එක අයගේ රාජකාරි වෙලාවන් එක එක විදිහයි. ඒ වගේම අවශ්‍යතාවයන් සදහා රාත්‍රි ගමන් කිරීමටත් සමහර අය⁣⁣ට සිදු⁣වෙනවා ඇති. මේ වගේ වැලැක්වීමට නොහැකි රාත්‍රි ගමන් වලදී ඔබ ඉතා සැලකිලිමත් විය යුතුයි. මේ වගේ රාත්‍රි ගමනක් ඔබ යනවා නම් ඔබට පුලුවන් නිතරම ඔබේ location එක ඔබේ සමීපතයෙකු එක්ක share කරන්න. එය ඔබේ ආරක්ෂාවට ඉතාම හොඳ ක්‍රියාවක්. ඒ වගේම ඔබ මිතුරෙකු හෝ පවුලේ කෙනෙකු සමග දුරකථනයේ රැඳෙමින් රාත්‍රියේ ගමන් කරනවා නම් තවත් හොදයි. නමුත් ඔබ එසේ ගමන් කිරීමේදි ඔබේ වටපිටාව හා ඔබ පසුපස එන පුද්ගලයන් පිළිබඳවත් අවධානයෙන් ගමන් කරන්නත් අමතක කරන්න එපා.

බැංකු ගනුදෙනු හා ATM භාවිතය

 

 

බැංකු ගනුදෙනු හා ATM භාවිතා කිරීම ගැන ඔබ ඉතාම සුක්ෂම විය යුතුමයි. දැන් ගොඩක් සොර සතුරන් බැංකු හා ATM ආශ්‍රිතව ඉන්නවා වගේම ඔබ මුදල් අරගෙන එන විට ඔබේ මුදල් පැහැර ගන්නට ඔවුන් පසුබට වෙන්නේ නෑ. මේ නිසා ATM භාවිත කිරීමේදි දවල් කාලයේ පමණක් යන්න. සෙනග ගැවසෙන තැන් වලින් ඉක්මනින්ම මිදෙන්න. බැංකුවෙන් ඔබ මුදල් ගත් වහාම ඉන් පිට වෙන්න එපා. එවා ඔබේ අත් බෑගයේ හෝ පසුම්බියේ නිසි පරිදි රඳවන්න. පසුම්බියත් අත්බෑගයත් හොදින් වසා ඇතිදැයි සැක හැර දැනගන්න. ඔබ බැංකු කටයුතු සදහා යන විට මිතු⁣රෙකු හෝ සමීපතමයෙකු සමග යන්නේ නම් වඩාත් හොඳයි.

දුම්රිය හා පොදු ප්‍රවාහන වල ගමන් කිරීම

 

 

මේ දවස් වල පෙට්‍රල් හා ඩීසල් වල ඇති සීඝ්‍ර හිඟය නිසා බොහෝ දෙනෙක් ගමන් කරන්නේ දුම්රිය හා පොදු ප්‍රවාහන මගින්. මේ නිසා වෙනදාට වඩා වැඩි තදබදයක් ඇති වී තිබෙනවා. මෙය සොරුන් හා ගැට කපන්නන්ට ඉතා වාසිදායක වී තිබෙනවා. ඔබත් දුම්රිය හෝ පොදු වාහන වල ගමන් කිරීමේදි මේ නිසා වෙනදාට වඩා වැඩි සැලකිල්ලක් දැක්විය යුතුයි. විශේෂයෙන් ඔබ දුම්රිය දොරටු හෝ කවුළු අසල වාඩිවී ගමන් කරන කෙනෙක් නම් ඔබේ වටිනා බඩුබාහිරාදිය පිලිබඳව වැඩි අවධානයකින් සිටින්න.

තමා වටා සිටින අය ගැන විමසිලිමත් වීම

අවසාන වගේම වැදගත්ම කරුණ තමයි ඔබේ වටපිටාව ගැන හොඳ විමසිල්ලෙන් සිටීම. මේ කාලය ඔබේ අසල්වැසියාවත් විශ්වාස කරන්න පුලුවන් කාලයක් නෙවෙයි. ඒ නිසා ඔබේ වටපිටාවේ ඉන්නේ කවුද ඔවුන්ගේ හැසිරීම මොන වගේද යන්න පිළිබඳව හොඳ අවධානයෙන් ඉන්න. සැක කටයුතු යමක් ඔබ අසල වෙනවා නම් ආරක්ෂිත ස්ථානයකට වහාම යන්න. ලඟම පොලීසිය පිලිබදව දැනුවත් වීම හා ඒවායේ දුරකථන අංක ලග තබා ගැනීම ඔබේ ආරක්ෂාවට ප්‍රයෝජනවත් වෙනවා.

මේ අපි හැමෝටම අමාරු කාලයක්. අපේ ආරක්ෂාව අපිම සලසා ගැනීමට අප පුරුදු විය යුතුයි. වෙනදාට වඩා වැඩි සැලකිල්ලෙන් තමන්ගේ දේවල් පරිස්සම් කරගන්න. සමහර විට ඔබට අයිති දේවල් වල ඇති දත්ත හා තොරතුරු හිතනවාට වඩා වටිනා දේවල් විය හැකියි. ඒ නිසා ඔබේ ආරක්ෂාව ඔබම සලසා ගන්න.

ප්‍රමෝධ්‍යා මීගහපොල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here