හතර වටෙන් ගර්භණී සමයේදී ඔබේ රූපය ගැන සැලකිලිමත්ද?

ගර්භණී සමයේදී ඔබේ රූපය ගැන සැලකිලිමත්ද?

2024 Aug 23

කාන්තාවන් විසින් විවාහයෙන් පසුව දරුවෙක් ලැබූ විට පෙර තිබූ රූපය වියකේ යැයි පැවසීම නිතර දෙවේලේ ඇසෙන දෙයකි. බොහෝ විට එය කාන්තාවන් විසින්ම මවක් වූ පසු තම දරුවා කෙරේ සම්පූර්ණ අවධානය යොමු කළ යුතු යැයි පවසමින් සාධාරණීකරණයට ලක්කර ගැනීමද දක්නට ලැබේ. දරුවෙකුට ආදරය සෙනෙහස රැකවරණය දීමට පෙර තමා තමාට ආදරය රැකවරණය සහ සෙනෙහස ලබා දිය යුතු යැයි මවක් අමතක කර දමයි. දරුවකු ලද පසු ඇත්ත වශයෙන්ම බොහෝ මව්වරු පැවති ජීවන රටාවෙන් සම්පූර්ණයෙන්ම වෙනස් වන නිසාත් කාර්යබහුල වීම නිසාත් ඔවුන්ගේ රූපය පිළිබඳව අවධානය යොමු කිරීමට කාලයක් නොමැති වීම නිසා ජීව විද්‍යාත්මකව වයසට වැඩි පෙනුමක් කායිකව පෙන්නුම් කරනු ලබයි. තමාට දරුවෙකු පිළිසිඳ ගෙන ඇතැයි දැනගත් මොහොතේ පටන් බොහෝ කාන්තාවන් තමා එතෙක් පවත්වාගෙන ආ රූපලාවන්‍යය කටයුතු සියල්ලම පාහේ නවතා දමයි. ඔවුන් බොහෝ විට දරුවන් සඳහා නිෂ්පාදනය කරනු ලබන නිෂ්පාදන (baby products) භාවිතා කිරීමට යොමුවේ. බේබි සබන් කැටයකට පමණක් සීමාවන විට විශේෂයෙන් වියළි සමක් පවතින අයගේ සම තවදුරටත් වියලීමට ලක්වේ. එමෙන්ම තෙල් අධික සමක් සහිත ගර්භනී කාන්තාවන්ගේ සම නිවැරදිව හොඳින් පිරිසිදු නොවීම නිසා කුරුලෑ පවා ඇතිවිය හැක.

 

 

ගර්භනී භාවයට පත් වූ විගස මෙසේ තමා එතෙක් කරගෙන පැමිණි රූපලාවන්‍ය කටයුතු සියල්ලම පාහේ නවතා දැමීම ඇත්ත වශයෙන් අවශ්‍ය වේද යන්න අපි සලකා බලමු . ගර්භනී කාන්තාවක් හෝ සාමාන්‍ය කාන්තාවක් වුවද නිතරම තම සිරුර, තම සම පිරිසුදුව තබා ගැනීම අතිශය වැදගත් වෙයි. ගර්භනී සමයේ දී කුස තුළ වැඩෙන දරුවාට හානියක් නොවී තමාගේ සම රැක ගැනීමට කාන්තාවන්ට ප්‍රධාන පියවර තුනක් අනුගමනය කළ හැක. ඒ සම පිරිසිදු කර ගැනීම, සමෙහි මැරුණු සෛල ඉවත් කර ගැනීම සහ සමෙහි තෙතමනය පවත්වා ගැනීමයි. පිරිසිදුකාරක ලෙස වැඩිහිටි සමට face wash එකක් හෝ cleanser එකක් භාවිතා කිරීම වැදගත් වනවා. මැරුණු සම ඉවත් කර ගැනීම සඳහා ස්ක්‍රබ් (scrub ) එකක් හෝ exfoliater එකක් භාවිතා කිරීම වැදගත්. මෘදු ස්ක්‍රබ් (mild scrub ) එකක් සතියට දවස් තුනක් රාත්‍රී කාලයේදී භාවිතා කිරීමෙන් සමෙහි එකතු වන මැරුණු සෛල සහ කුණු දුහුවිලි වඩාත් හොඳින් ඉවත් කර ගැනීමට හැකියාව පවතී. සමෙහි තෙතමනය පවත්වා ගැනීම අතිශය වැදගත් වන අතර ඒ සඳහා හොඳ moisturizer එකක් භාවිතා කිරීම වැදගත් වෙයි. මෙය රාත්‍රී කාලයට ආලේපනයක් (Night Cream) සහ දහවල් කාලයට වෙනත් ආලේපනයක් (Day Cream) ලෙස කොටස් දෙකකටද ගත හැක. විශේෂම කාරණාව නම් එදිනෙදා ජීවිතයේදී ( ගර්භණී වීමට පෙර) භාවිතා කරන ලද පෝෂණ අතිරේක වෛද්‍ය අනුමැතියකින් තොරව භාවිතා කළ නොහැක. විශේෂයෙන්ම විටමින් සී 1000mgක අධිමත්‍රා වැඩිහිටියකුට දරා ගත හැකි වුවද, කුසක් තුළ වැඩෙන ළදරුවෙකුට එයින් හානි සහ ව්‍යාකූල තත්ත්ව ඇති විය හැකි බැවින් එවන් පෝෂණ අතිරේක වලින් ඉවත් විය යුතුය. සෑම විටම වෛද්‍ය නිර්දේශය මත පමණක් මල්ටි විටමින් වර්ග (multi vitamins ) හෝ මෙවන් පෝෂණ අතිරේක ( supplements ) ලබාගත යුතුය .

 

 

ඉහත සඳහන් කළ පියවර තුන සඳහා නිෂ්පාදන භාවිත කිරීමේදී ඒවායේ අඩංගු ද්‍රව්‍ය පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතුය. විශේෂයෙන්ම කුරුලෑ (acne ), අව පැහැගැන්වීම්(hype pigmentation ) වැනි ගැටලු සඳහා පවතින නිෂ්පාදන වල ගර්භනී සමයේ කාන්තාවන්ට භාවිත නොකළ යුතු දෑ තිබිය හැක. එමෙන්ම තෙල් සහ කුරුලෑ සහිත සමට එන නිෂ්පාදනවල අඩංගුවන සැලසිලික් (salicyclic acid ) ගර්භනී සමයේ භාවිතා නොකළ යුතු ද්‍රව්‍යයකි. එමෙන්ම සමෙහි ඇතිවන අව පැහැ ගැන්වීම් (pigmentation ) නැති කිරීමට යොදා ගන්නා නිෂ්පාදනවල බොහෝ විට අඩංගු වන හයිඩ්‍රොක්කුයිනෝන්( hydroquinone ) කිසිසේත්ම ගර්භනී සමයේ භාවිතා කිරීම නුසුදුසු වෙයි. වේගයෙන් වයස්ගත වීම මගහරවා ගැනීමට යොදා ගන්නා නිෂ්පාදනවල (Anti-aging products ) අඩංගු අමුද්‍රව්‍යයක් වන රෙටිනොල් (retinol ) ද ගර්භනී සමයේ භාවිතා කළ නොහැකි ද්‍රව්‍යයකි. සමෙහි තෙතමනය පවත්වා ගැනීම සඳහා යොදා ගන්න ආලේපන වලදී alovera gel හෝ see weed gel යොදා ගැනීම හිතකර වේ. ආලේපන වර්ග තෝරා ගැනීමේ දී සල්ෆේට් නොමැති (sulfate free )පැරබන් අඩංගු නොවන(paraban free ) ආලේපන වර්ග තෝරාගැනීමට හැකිනම් වඩාත් උචිතය. ගර්භනී සමයේදී කිසිසේත්ම bleaching ආලේපන වර්ග හෝ සම සුදු කරවන (skin whitening )ආලේපන වර්ග කිසිසේත්ම භාවිතා නොකළ යුතුය. රසායනික ද්‍රව්‍ය වලින් තොරව clean up, pedicure, manicure කිරීමද ගැටලුවක් නොවෙයි.

 

ගර්භණී සමය තුළදී රූපලාවන්‍ය ද්‍රව්‍ය තෝරා ගැනීමේදී වඩාත් ආයුර්වේදමය (herbal products ) සහ ස්වභාවික අමුද්‍රවලින් සැදුම්ලත් නිෂ්පාදන තෝරා ගැනීම යෝග්‍ය වේ. මෑත කාලීනව බොහෝ කාන්තාවන් ආනයන කරනු ලබන කුංකුම ( saffron ) පානය කිරීමට පෙළඹී ඇත. නමුත් කුංකුම මගින් ගබ්සා ඇතිවීමේ ප්‍රවණතාවක් ඇතිවිය හැකි බව පැවසෙයි. කාන්තාවක් ගර්භනී වූ විට තමාගේ ආහාර රටා පිළිබඳ වඩාත් සැලකිලිමත් විය යුතුය. ආයුර්වේදයේ සඳහන් වන උෂ්ණාධික ආහාර එනම් බලමාලු, දැල්ලන්, ඉස්සන් වැනි ආහාර මෙන්ම කුළුබඩු බෙහෙවින් යෙදූ ආහාරද, තෙල් අධික ආහාරද, සීනි අධික ආහාරද අවම කළ යුතුය.

ගර්භණී වීමට පෙර පැවති රූපලාවණ්‍ය කටයුතු බොහෝ විට කාන්තාවන් නැවත ආරම්භ කරන්නේ දරුවා ලැබී ඔවුන්ට කිරි දීමද අවසන් වූ පසුවය. ඒ වනවිට සම සම්පූර්ණයෙන් ප්‍රතිකාර කල යුතු තත්වයට පත්වී අවසන් වී ඇත. එම නිසා ආදරණීය, ලස්සන මවක් වී දරුවාටද ආඩම්බරයක් දැනෙන ලෙස ගර්භණී සමයේ තම සුන්දරත්වය රැකගැනීම වැදගත්.

හිරැණී හසන්ගා නානායක්කාර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here