හතර වටෙන් ගෘහස්ථ ප්රචණ්ඩත්වය වළක්වන්නට උපදෙස් කිහිපයක්…

ගෘහස්ථ ප්රචණ්ඩත්වය වළක්වන්නට උපදෙස් කිහිපයක්…

2022 Dec 4

මිනිස්සු ජීවිතේ තමන්ගේ කුඩාම ඒකකය විදියට පවුල එක්ක විශාල බැඳීම් සමුදායක් නිර්මාණය කර ගන්නවා. සාමන්‍ය නිවසක් ගෘහයක්, එහෙමත් නැතිනම් නිවහනක් වෙන්න ඊට බලපාන බොහෝමයක් කරුණු කාරනා එකතු වෙනවා. තේරුම් ගැනීම, එකිනෙකාට ආදරය කිරීම, ගරු කිරීම වගේ දේවල් සාමාන්‍ය නිවසක් නිවහනක් කරනවා. නමුත් මේ බැඳීම්,ගරු කිරීම් නැති තැන, එකිනෙකා තේරුම් නොගත් තැන ගැටුම් නිර්මාණය වෙනවා. ක්‍රමයෙන් වචන, හැසිරීම් නිසා එය ප්‍රචණ්ඩත්වක් කරා වර්ධනය වෙනවා.ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය නිර්මාණය වෙන්නෙ එතනින්. එකිනෙකාගේ නිදහස, අයිතීන් අහිමි කරවීමත් මේ තුළ පවතින දෙයක්. ලෝකයේ සිදු කර තිබෙන සමාජ විද්‍යාත්මක් පර්‍යේෂණවලින් හෙලි වී තිබෙන ආකාරයට සෑම කාන්තාවන් තුන් දෙනෙකුගෙන් එක් අයෙක් වගේම සෑම පිරිමින් සිව් දෙනෙකුගෙන් එක් අයෙක් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට භාජනය වෙනවා. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වළක්වා ගන්නට ක්‍රමවෙද බොහෝමයක් තිබෙනවා. ඒවා සාර්ථකව සිදු කළොත් ඉතා සතුටින් වගේම නිදහස් මානසිකත්වයක් නිර්මාණය කරගන්න ඔබටත් පුළුවන්.

 

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය නිර්මාණය වෙන්න බලපාන ප්‍රධාන කාරණයක් තමයි සමාන අයිතීන් ගැන නොදැනුවත්කම. හැම සමාජයකම සංස්කෘති සහ වටිනාකම එක්ක කාන්තාවන් සහ පිරිමින්ට ජීවත් වීමේ ක්‍රමවේද ගැන කතාබහ කරනවා.නමුත් වර්තමානයේ පුද්ගල නිදහස සෑම දෙනාටම පොදුයි. තමන්ගේ පවුලේ සාමාජිකයන්ගේ අවශ්‍යතා ගැන හරියට අවබෝධ කර ගැනීම හරහා බොහෝමයක් ගැටලු අවම කරගන්න පුළුවන්.

බොහෝ වෙලාවට නිවසේ සාමාජිකයන් කාර්‍යබහුල නිසා එකිනෙකාගේ ප්‍රශ්න ගැන, ඕනෑ එපාකම් ගැන කතා කරන්නෙ නෑ. අවබෝධය නොමැති තැන ගැටලුවකදී තව කෙනෙකුට අවාසිදායක වෙන හෝ අවැඩක් වෙන තීරණ ලැබෙන්න පුළුවන්. ඒ නිසා දිනකට පුංචි වේලාවක් තමන්ගේ පවුලේ සාමාජිකයන් එක්ක කතා කරන්න, දුක සැප බෙදාගන්න, ඔවුන්ව වැළඳගන්න වෙන් කිරීම ගැටලු අවම ජීවිතයක් ගත කිරීමට හොඳ පියවරක්.

 

 

පවුලේ ආර්ථිකය ශක්තිමත් කරගන්න කාන්තා පිරිමි භේදයකින් තොරව දෙදෙනාම මහන්සි වෙන්නට හැකි නම් ආර්ථික ප්‍රශ්න නිසා ඇති වෙන ගැටලුවලදී ඇති විය හැකි ගැටුම් අවම කර ගත හැකියි. ඒ වගේම අනවශ්‍ය ලෙස එකිනෙකා සැක කිරීම ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ඇති වීමට ප්‍රබල සාධකයක්. විවෘතව තම පවුලේ අය සමඟ අදහස් හුවමාරු කරගන්නටත් අනෙකාගේ තත්ත්වය තේරුම් ගන්නටත් උත්සහයක් හෝ දරනවා නම් එය ඉතාම ඵලදායි වනවා. ඔබේ බිරිඳ හෝ සැමියා දුකෙන් හෝ පීඩනයකින් සිටිනවා ඔබට දැනෙනවා නම් ඔවුන්ට කතා කරන්න. ආදරය මේ සඳහා හොඳ ඖෂධයක්. ආදරයෙන් තම දරුවන්ට, බිරිඳට සැමියාට හෝ නිවසේ සිටින අනෙක් සාමාජිකයන්ට කතා කිරීම ම බොහෝ ගැටලු අවම කර ගත හැකි පියවරක්.

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වළක්වා ගැනීම සඳහා ඉතා කුඩා පියවර කිහිපයක් ප්‍රමාණවත්. ඔබේ ආදරණීයයන් තේරුම් ගැනීම සහ ඔවුන්ගේ අවශ්‍යතා අනුව ඔබේ යම් කුඩා කුඩා කැප කිරීමක් පවා ජීවිතය සුන්දර තැනක් බවට පත් කරන්නට හේතු වෙයි.

 

මීනු ගුණසිංහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here