Blog Page 6

The Citrus Roti Mania at Citrus Hikkaduwa | Restaurant Review …

“THE place to be — for all things Hikka roti!”

හික්කඩුව කිව්වම හැමෝටම මතක් වෙන්නේ සුන්දර වෙරළ තීරය හෝ Surfing ක්‍රීඩාව තමයි. හැබැයි ඔන්න මේ කියන්න යන්නේ නම් එහෙම දෙයක් ගැන නෙවෙයි. මේ සැරේ අපිට ඔයාලට කියන්න තියෙන්නේ ඊටත් වඩා වැඩියෙන් ප්‍රසිද්ධ, රොටීවලට කැමැත්තක් දක්වන අය නිතරම යන “හික්කා රොටි මේනියාව” ගැනයි.

ඉතින් Citrus Hikkaduwa විසින් මෑතකදී රසවත් රොටි වර්ගයන් සහිත නවතම ‘roti wrap’ මෙනුවක් හඳුන්වාදී තිබෙනවා.

එය සෑම රාත්‍රියකම විවෘතව පවතින බැවින් ඔබ කවදා හෝ හික්කඩුව දෙසට ගමන් කරනවා නම් එය අත්විඳීමට අමතක කරන්න එපා!

MAINS

Creamy Prawn Roti — LKR 690 (5/5)

ක්‍රීමි, ඉස්සන් පිරවුමකින් පිරුණු රොටියක් මම කවදාවත් අත්හදා බලන්න හිතපු දෙයක් නෙමෙයි. මෙම සුවිශේෂ රසයන්ගෙන් යුත් අලුත් සංකලනය ඇත්තෙන්ම රොටි සංස්කෘතිය අලුත් මානයකට ඔසවා තබනවා. ඒක ඇත්තටම මම මුලින්ම කනකොට රස නහර පිනාගියා කිව්වොත් හරියටම හරි. රන්වන් දුඹුරු පැහැයෙන් යුත් රොටී, සියුම් ලෙස නැවී, ඇතුළත ඉස්සන් සහිත පිරවුමක් මෙහි තිබෙනවා. මේකට ලොකු ඉස්සෝ භාවිතා කරලා තියෙනවා. මේකේ තිබ්බ සියුම් රස අපට තවත් Creamy Prawn රොටි රස විඳීමේ අවශ්‍යතාවය වැඩි වැඩියෙන් ඇති කළා.

 

Black Pork Curry Roti — LKR 690 (4/5)

මේක නම් ශ්‍රී ලාංකික අපිට අමුතු දෙයක් නෙමෙයි. උණු උණු රොටී සමග Black Pork ව්‍යංජනයකට වඩා තව වෙන මොනවද? මේ කෑම දෙක වෙන් වෙන් වශයෙන් හුරුපුරුදු වූවත් එය wrap එකක් ලෙස පැමිණීම එම සංයෝජනයට අලුත් මුහුණුවරක් ලබා දුන්නා. Black Pork Curry එක රසවත් වූ අතර කුළුබඩුවලින් බහුල වූ නිසා ඒ සම්බන්ධයෙන් කියන්න කිසිම චෝදනාවක් නෑ. එහෙත් අනිවාර්යෙන්ම කියන්න ඕනම දෙයක් තමයි, Black Pork Curry එක ටිකක් වැඩිපුර තිබිලා රොටි ටිකක් අඩුවෙන් රස විඳින්න තිබුනානම් හොඳයි කියන එක.

 

Roast Chicken Roti — LKR 480 (2.5/5)

රෝස්ට් චිකන් රොටි නම් අපි කලින් කෑමට ගත්ත රොටි වල රසට වඩා රස ටිකක් අඩුයි. මෙහි පිරවුම රසවත් වුනත් එහි තව කුකුල් මස් තියෙයි කියලා අපි බලාපොරොත්තු වුණා. ඒ වගේම තමයි රෝස්ට් කුකුල් මස්වල අපි සාමාන්‍යයෙන් සොයන පිළුස්සුණු රසය අපට ලැබුනේ නැහැ.

 

Roast Beef Roti — LKR 680 (3/5)

බැදපු හරක් මස්, හතු සමග රොටී පිරවුමකින් සමන්විතව තිබූ මෙය රසවත් බවින් යුතු කෑමක් වුණා. නමුත් පිරවුමේ හරක් මස් වෙනුවට වැඩිපුර බිම්මල් යොදා තිබුණා. සමස්තයක් වශයෙන් ගත් විට රොටී එතුම පිරී තිබුණත් පිරවුමේ හරක් මස් සඳහා වැඩි අවධානයක් ලබා දුන්නා නම් අපි ගොඩක් කැමතියි.

 

DESSERTS

Coconut & Passion Fruit Roti — LKR 450 (5/5)

හික්කඩුවේ Citrus හිදී අප ගත කළ කාලය තුළ අප රස බැලු හැම දෙයකින්ම අපට තිබූ සුවිශේෂීම ආහාරය වුනේ පොල් සහ පැෂන් ෆෘට් රොටි. රොටිවලින් පැනි පොල් සහ පැෂන් ෆෘට් වල යුෂ ගලා යන අතර, රස දෙකේ සංයෝජනය අපිව පුදුමයට පත් කළා කිව්වොත් නිවැරැදියි. පොල්වල ඇති පැණිරස හා පැෂන් ෆෘට් රස එකිනෙක හා රොටී එතුම සමග හොඳින් මිශ්‍ර වෙලා තියෙනවා. රොටි එතුම තුළ ඇති පැෂන් ඇට හැපෙන සුළු බව මෙහිදී අපට අමතර සතුටක් ඇති කළා.

 

Chocolate Ice Cream Roti — LKR 560 (4/5)

මේ රොටි එක නම් පැණි රසට කැමති අය වෙනුවෙන්ම තියෙන එකක්. Chocolate Ice Cream වලට ගොඩදෙනෙක් කැමතියිනේ. ඒ අය වෙනුවෙන්ම රොටි පිරවුමේ හැම තැනකම රසවත් චොකලට් අයිස් ක්‍රීම් පුරවලා තියෙනවා.

 

AMBIENCE

Citrus Hikkaduwa ප්‍රවේශය අසලම පිහිටා ඇති Citrus Hikka Roti Mania යනු අමුතුම ප්‍රබෝධයක් ගෙන දෙන ස්ථානයක්. ඉදිරිපස ඇති open area එකේ එළිමහන් භෝජනාගාරය හිරු බැස යන විට ඉතාමත් මනරම් ස්ථානයක් වනවා. මෙහි කාර්ය මණ්ඩලය ද අතිශයින් මිත්‍රශීලී වූ නමුත් හෝටල් සංකීර්ණයේ සෙසු කොටස්වලින් භෝජනාගාරය මදක් ඉවත් කර ඇති නිසා කාර්ය මණ්ඩලය සමග සම්බන්ධ වීමට අපට තරමක් අපහසු වුණා.

කොහොමවුනත් “හික්කා රොටි” ඇත්ත වශයෙන්ම අපිට සුන්දර අත්දැකීමක් වුණා. සමස්තයක් විදියට ගත්තම Citrus Hikkaduwa හි ඇති Hikka Roti Mania කියන්නේ, විවිධ වර්ගයේ රසයන්ගෙන් යුත් රොටි ආහාරයට ගෙන නවමු අත්දැකීමක් ගන්න ඔබට යන්න පුළුවන් සුදුසුම ස්ථානයක්.

ඔබත් හිතු මනාපෙට කෑම පාලනය කරන කෙනෙක්ද? …

ලෝකයේ සෑම රටකම පාහේ මිනිසුන් තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් වීම ඉතාම වැදගත් කාරණාවක්. නිවැරදි ආහාර පුරුදු සහ නිවැරදි ජීවන රටාවක් අනුගමනය කිරීම සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් වීමේ මූලික පියවරයන්. නමුත් අද වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගැනීමට වඩා ශරීරයේ හැඩය පවත්වා ගැනීමට එසේත් නැත්නම් කෙට්ටු වීමට බොහෝ දෙනෙක් උත්සාහ ගන්නවා. මේ සඳහා පෙළෙඹෙන වැඩි ප්‍රතිශතය කාන්තාවන්.

තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත්වීම වගේම තමන්ගේ ශරීරයේ හැඩය පවත්වා ගැනීමත් වැදගත්. නමුත් අප ශරීරයේ බර අඩු කර ගැනීමට ගන්නා ක්‍රියා මාර්ග අතුරු ආබාධවලින් තොර ඒවා ද කියන එක ගැනත් අපි විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුයි. අප එකිනෙකාගේ ශරීරයන් සහ ශරීරයන්වල ක්‍රියාකාරීත්වය එකිනෙකට වෙනස්. එම නිසා කොහෙන් හෝ අසා දැනගත් හෝ හිතු මනාපෙට කරන කෑම පාලන ක්‍රම අවදානම් වීමට පුළුවන්.

හිතු මනාපෙට කරන කෑම පාලනය මගින් සිදුවෙන්න පුළුවන් අන්තරායකර අතුරු ආබාධ ගැනයි මේ කියන්න සූදානම් වන්නේ.

කාංසාව ඇතිවීම

Anxiety: MedlinePlus

කෙට්ටු වීම සඳහා ආහාර ගැනීම මඟ හැරීම හෝ සාමාන්‍යයෙන් ආහාර නොගෙන වැඩි වේලාවක් සිටීම ඔබගේ මානසික සෞඛ්‍යයට බරපතල බලපෑමක් ඇති කළ හැකියි. පාරිසරික පර්යේෂණ සහ මහජන සෞඛ්‍ය පිළිබඳ ජාත්‍යන්තර සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද 2018 අධ්‍යයනයකින් හෙළි වූයේ නිතිපතා උදෑසන ආහාරය ගන්නා අයට වඩා උදෑසන ආහාරය මඟහරින නව යොවුන් වියේ පසුවන්නන් මානසික ආතතිය හා මානසික අවපීඩනය අත්විඳීමට ඉඩ ඇති බවයි. එයට හේතුව ඔබ ආහාර නොගෙන බොහෝ වේලාවක් ගත කරන විට, ඔබේ රුධිරයේ සීනි මට්ටම අඩු වන අතර, ඔබේ ශරීරය කෝටිසෝල් නිපදවීමට පටන් ගනී. “ආතති හෝමෝනය” ලෙස පොදුවේ හඳුන්වන කෝටිසෝල්, රුධිරයේ සීනි අඩුවීම නියාමනය කිරීමට උපකාර කිරීමට මුදා හරින නමුත් එය ශරීරය තුළ ආතතිමය ප්‍රතිචාරයක් ද ඇති කරයි. මෙය ඔබව කනස්සල්ලට හෝ මානසික අවපීඩනයට පත් කරනවා පමණක් නොව මනෝභාවයේ ව්‍යාකූලතා ඇති කරයි. මෙම රෝග තත්ත්වයන් දිනෙන් දින වැඩි වීම ඔබේ සෞඛ්‍යයට අහිතකර ලෙස බලපාන්න හැකියාව තිබෙනවා.

ශරීර ශක්තිය අඩුවීම හා මාංශ පේශී ක්ෂය වීම

Muscle Atrophy: Causes, Treatment and Prevention – The Amino Company

අක්‍රමවත් ලෙස අහාර පාලනය කිරීම මගින් ඔබේ ශරීරයට අත්‍යාවශ්‍ය පෝෂක නොමැති වීම නිසා ඔබේ ශරීර ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ශක්තිය නිපදවීම අඩාල වීම සිදු වෙනවා. ඒ වගේම ශරීරයට අවශ්‍ය ශක්තිය නැතිවෙන විට ශරීරය ශක්තිය තැන්පත් වෙලා තිබෙන මාංශ පේශී තුළින් ඒවා ලබා ගන්නවා. එවිට මාංශ පේශී ක්ෂය වීම නිසා ඔබ වැහැරුණු ස්වභාවයේ කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම ඔබ ශරීරය හෝ මොළය වෙහෙසවා කටයුතු කිරීමට අපහසු දුබල කෙනෙක් බවට පත් වෙනවා.

පෝෂක ඌනතා ඇතිවීම

 

4 Ways to Prevent Nutritional Deficiencies - Muscle & Fitness

හිතුමනාපෙට කරන ආහාර පාලනය නිසා ඔබේ ශරීරයට අවශ්‍ය පෝෂණය අහිමි වීමෙන් ඔබට පෝෂණ ඌනතා ඇතිවිය හැකියි. කොණ්ඩය අධික ලෙස ගැලවී යාම, නිය කැඩී යාම, දත් දිරායාමට ලක් වීම ආදී බරපතල ගැටලු ඇතිවිය හැකියි. දරුවන් සිටින මව්වරුන්, ගර්භනීත්වය අපේක්ෂා කරන කාන්තාවන් වගේම ශරීරය වෙහෙසීමේ රැකියාවන්වල නිරත වන අය වගේම නව යෞවන වියේ පසුවන දරුවන් මේ ආකාරයට ආහාර පාලනය කිරීම බොහොම අවදානම්.

 

අක්‍රමවත් ආහාර දිරවීම

 

TCM guide to common digestive issues | Oriental Remedies Group

අනවශ්‍ය ලෙස ආහාර පාලනය කිරීම එහෙමත් නැත්නම් ආහාර නොගෙන සිටීම නිසා ඔක්කාරය හා පාචනය යන තත්ත්වයන් මෙන්ම මළබද්ධය ද ඇති විය හැකියි. ඇමරිකානු මනෝවිද්‍යා සංගමයට අනුව ඔබ කනස්සල්ලට පත්වන විට මෙන්ම, ආහාර වේල් අතර වැඩි වේලාවක් යන විට ශරීරයෙන් නිකුත් වන ආතති ප්‍රතිචාරය ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරීත්වයට බාධා ඇති කරයි. තවද ඔබ ආහාර වේලක් මගහැර පසුව අධික ලෙස ආහාර ගැනීම කරයි නම් එය ඔබගේ ආහාර දිරවීම තවදුරටත් අඩාල කරයි. අහාර ජීරණ පද්ධතියේ ඇතිවන මෙම සංකූලතා දිගු කාලීනව වර්ධනය වීම නිසා බඩවැල් ආශ්‍රිතව විවිධ රෝගාබාධ ඇති වන්නට පුළුවන්.

 

Anorexia Bulimia

 

Anorexia in Teenagers | Eating Disorder Treatment in ID

මෙය ආහාර අක්‍රමතාවක් ලෙස හඳුන්වනවා. මෙය මානසිකව ඇතිවන තත්ත්වයක්. තමන්ගෙ ශරීරයේ ස්ථූලතාවය වැඩි යැයි සිතමින් ආහාර පාලනය කිරීම අන්තයට ගොස් තමන් ආහාරයක් ගත් සැනින් අනෙක් පැත්තට වමනය කිරීම හෝ මළපහ කිරීමට පෙළඹීම මේ රෝගී තත්ත්වයේදී සිදු වෙනවා. මෙම රෝගී තත්ත්වය හදුනා නොගෙන දිගු කාලීනව පැවතීම නිසා මරණීය තත්වයට පත් වෙන්න පුළුවන්.

මේ රෝගාබාධ දිගු කාලීනව පැවතීම තුළින් ඔබට තවත් අවදානම් තත්ත්වයේ රෝගාබාධවලට මුහුණ පෑමට සිදු වේවි. එම නිසා ස්ථූලතාවය මට්ටු කරන්න කෑම පාලනය කරන විට අනිවාර්යයෙන්ම ඒ පිළිබඳව විශේෂඥයෙකුගෙන් උපදෙස් ලබා ගැනීම ඉතාම වැදගත්.

කුශාන්ති අනුරාධා බණ්ඩාර

The Messy Crumbler | Restaurant Review …

Dare to make a sweet mess – The Messy Crumbler knows best!

The Messy Crumbler 2020 ජුනි මාසයේදී ආරම්භ කර තිබෙනවා. ඒ වගේම බොහෝ කාලයක් තිස්සේ සෑම කෙනෙක්ම කන්න ආසම කෑමක් තමයි Messy Crumbler කියලා කියන්නේ.

ක්‍රීම් චීස් සමග කැරට් කේක් වැනි බේක් කරන ලද සමහර රස කැවිලි බොහොමයක්, පාරම්පරික කෑම වට්ටෝරු වැඩි දියුණුකර සකසා තිබෙනවා. ඒ වගේම Messy Crumbler බොහොමයකට භාවිත කර ඇති toppings වර්ග The Messy Crumbler වලට ආවේනික වුවක් වනවා.

Gooey Chocolate Cake (5/5)

 

The Messy Crumbler’s Gooey Chocolate Cake මෙහි නමට ගැලපෙන්නේ ‘gooeyness’ යන නාමයයි. මෙය මතුපිට කොකෝවා කුඩු ඉසින ලද තුනී ලේයර් තට්ටු දෙකක් සහිත dark chocolate කේක් එකක්. එය ඉතා රසවත් වනවා වගේම ඇසට ප්‍රියමනාප පෙනුමකින් යුක්ත වනවා. ඒ වගේම තමයි නිවැරදි ප්‍රමාණයේ රස සංකලනයෙන් යුතු වන නිසා ඉතා ප්‍රණීත රසයක් ගෙන දෙනවා. මේ නිසාම එක පාරකින් රස විදීම නතර වෙන්නේ නැහැ. ඔබ අනිවාර්යයෙන්ම දෙවන වතාවටත් මෙහි රසය විඳින බව නොඅනුමානයි.The Messy Crumbler හි රසය නිසාම ඒ සදහා හොඳ ඉල්ලුමක් ඇති බවද පුදුමයක් නැහැ. ඒ වගේම මෙහි flourless සහ gluten රහිත නිසා බොහෝ දෙනෙක් මෙය කිසිදු බියකින් තොරව ආහාරයට ගන්නවා.

Gooey Chocolate Cake 670 g (LKR 4,900), 840 g (LKR 5,500) සහ 1 kg (LKR 6,200) ප්‍රමාණයක් ඔබට පෙර ඇණවුම් පදනම මත මේවා ලබා ගත හැකියි.

Apple Crumble Tart (4/5)

 

මෙම Apple Crumble Tart කුරුඳු මිශ්‍ර කළ ඇපල් මිශ්‍රණයෙන් පුරවා එයට බටර් සහ හැපෙනසුළු crumble topping එකතු කර සාදා තිබෙනවා. රසවත් ආකාරයෙන් ඉදිරිපත් කර ඇති නිසා බොහෝ පාරිභෝගිකයන් මේ සදහා ප්‍රිය කරනවා. නියම ප්‍රමාණයට පැණි රසය එකතු කර ඇති මෙහි tart ද හොඳින් කුඩු කර එකතු කර තිබෙනවා. මෙහි සියළුම අමුද්‍රව්‍ය නිසි පදමට එකතු කර මෘදු පැණි රසයක් එන ආකාරයෙන් සාදා ඇති නිසා අතුරුපසට අමතරව සැහැල්ලු සුළු කෑමක් විදියට හෝ උදෑසන ආහාරයක් ලෙසද භාවිතයට ගන්න පුළුවන්.

6 (LKR 3,500) ඇසුරුම් සහිතව ඇත. 12 (LKR 5,500) ඇසුරුම් සහිතව ඇත.

Carrot Cake with Cream Cheese (5/5)

 

මෙය අපගේ ප්‍රියතම එකක්! බොහෝ දෙනෙක් ප්‍රිය කෑම වට්ටෝරුවක් සහිත මෙම කේක් එක නැවුම් කැරට්, මුද්දරස්පලම් සහ තවත් කුළුබඩු කිහිපයක් එකතු කර සාදා තිබෙනවා. ඒ වගේම topped එක සඳහා cream cheese frosting සහ Messy Crumbler’s own honey oat crumble සහිතව මෙය රසවත් ලෙස සකසා තිබෙනවා.මෙහි baker කියන විදියට ගොඩක් customersලා කියන්නේ මේ කේක් එකක් නත්තල් කාලය සඳහා වඩාත් සුදුසුයි කියලා. අපි ඒකට සම්පුර්ණයෙන්ම එකඟ වෙනවා.

750 g (LKR 5,100) වලින් ලබා ගත හැක.

Victoria Sponge Cake (4/5)

 

මෙය වැනිලා බටර් ක්‍රීම් සහ ස්ට්‍රෝබෙරි ජෑම් තට්ටුවක් සහිත සැහැල්ලු බවින් යුත් ස්පොන්ජ් කේක් එකක්. මේ කේක් එක classic සහ nostalgic වීම නිසා එහි රසය විඳින වැඩිහිටි පුද්ගලයන්ට ඔවුන්ගේ ළමා කාලය සිහිපත් කරවන තරම් රසින් යුක්ත වෙනවා. ජෑම් සහ බටර් ක්‍රීම් පිරවීමෙන් ලබා දෙන පැණි රසය නිසා මේ කේක් එක මගේ ප්‍රියතම එකක් වනවා. අනෙකුත් කේක් වලට අභියෝගයක් ඇති කිරීමට තරම් මෙය රසයෙන් අනූන වීම මෙහි විශේෂත්වයක් වනවා.

දළ වශයෙන් ග්‍රෑම් 690 ක් සහ පාර්සල් කර (LKR 3,800) ඇසුරුම් පෙට්ටියක් ලෙසද (LKR 4,100) මිලදී ගත හැක.

Banana Chocolate Chip Crumble (5/5)

 

The Messy Crumbler’s twist on the usual banana bread or banana cake; මෙම Banana Chocolate Chip Crumble එක Messy Crumbler එකටක පැමිණෙන පාරිභෝගිකයන්ගේ තවත් එක් ප්‍රියතම ආහාරයක් වනවා. මෙහි Topped එක හැපෙනසුළු සහ buttery crumble යොදා රසවත් කර තිබෙනවා. මෙහි ඇතුළත චොකලට් යොදා ඇති අතර එය කෙසෙල් වල රසය සමග හොඳින් මිශ්‍ර වීමෙන් මෙහි රසය වැඩි කර තිබෙනවා.

500 g (LKR 2,500) සහ 1 kg (LKR 4,100) වලින් ලබා ගත හැක.

අවසාන සිතුවිලි

මව්වරුන්ගේ දිනය වෙනුවෙන්, The Messy Crumbler විසින් වෙන් වෙන්ව වර්ගීකරණය කරන ලද කේක් පෙට්ටියක් නිර්මාණය කර තිබෙනවා. එය මෙනුවේ ඇති අයිතම පහෙන් දෙකක් (මුළු අයිතම දහයක්) අඩංගු කර ඔවුන්ගේ කැමැත්ත මත සකස් කළ රුපියල් 6,700 ක පැකේජයක් වනවා. ඔබ විශේෂ දිනයක ඔබේ ආදරණීයන් පුදුම කරවීමට , සතුටු කිරීමට බලාපොරොත්තු වන්නේ නම්, The Messy Crumbler’s ඔබට ඒ සදහා අවශ්‍ය සියලු දේ සපයා දෙනු ලබනවා.

The home bakers’ හි රසවත් කෑම පෙර-ඇණවුම් පදනමක් මත ලබා ගන්න පුළුවන්. ඔවුන්ගේ bake දින සාමාන්‍යයෙන් බදාදා සිට ඉරිදා දක්වා වනවා. නමුත් ඒවා ලැබෙන ඇණවුම් ප්‍රමාණය අනුව අඩු වැඩි වශයෙන් වෙනස් විය හැක. Instagram, WhatsApp හෝ සෘජු ඇමතුම් හරහා බෙදා හැරීමට අවම වශයෙන් පැය 24 කට පෙර සියලුම ඇණවුම් සිදු කර තහවුරු කළ යුතු වනවා.

ඇණවුම් මත ගෙවීම් බැංකු හුවමාරුව හරහා පිළිගනු ලබන අතර ඒවා පැලවත්තෙන් ලබා ගත හැකිය. නැතහොත් PickMe Flash හරහා කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල බෙදා හැරීම කළ හැකිය. කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල බෙදා හැරීමේ ගාස්තු දළ වශයෙන් රුපියල් 300 ක්.

ඔබට Instagram හි Messy Crumbler (@themessycrumbler) follow කිරීමෙන්, ඔවුන් දිනෙන් දින හඳුන්වා දෙන ප්‍රණීත ආහාර ගැන විමසිල්ලෙන් සිට ඒවායේ රස මගනොහැරම විඳගන්න පුළුවන්.

 

ඔබ දන්නවාද ?

  • නිෂ්පාදන හලාල් වන අතර, විශේෂ උත්සව අවස්ථා වලදී (නත්තල් දීමනා වැනි) නිෂ්පාදනවල ඇතැම් විට alcohol අඩංගු විය හැක.

 

Crepe Runner | Restaurant Review …

Crepes That Strike a Balance: Filling Yet Perfectly Snack-Sized!

 

ඔබ කැමතිම සහ රසවත් ක්‍රේප් සහ බීම වර්ග ඔබට පහසුවෙන් ලබා ගැනීම සදහා Crepe Runner දැන් ශාඛා හතක් දක්වා ව්‍යාප්ත කරමින් Colombo City Center හි දී අළුත් ශාඛාවක් ඔබේ පහසුව වෙනුවෙන්ම විවෘත කර තිබෙනවා.

සුවපහසු දවසක් ගත කිරීමට කැමති ඔබ වෙනුවෙන් පමණක් නොව සුන්දර මතකයන් රාශියක් එකතු කර ගැනීමට කැමති ඔබ වෙනුවෙන්ම මෙම ස්ථානය ඉතාමත් උචිතයි. Crepe Runner වෙතින් ක්‍රිස්පි රසට හැපෙන පැණි රස ක්‍රේප් වර්ග රාශියක් සහ රසවත් බීම වර්ග ඔබ වෙනුවෙන්ම ඉදිරිපත් කර තිබෙනවා.

 

Strawberry Maniac with Nutella Base – LKR 910 (4/5)

 

Nutella Base එකකින් සමන්විත පැණිරස ක්‍රේප් මත පෙති කපන ලද ස්ට්‍රෝබෙරි සහ හැපෙනසුළු crunchy cornflakes එක්කර තිබෙන Strawberry Maniac with Nutella Base ඔබට පිළිගන්වනු ලබනවා. සියලුම පැණිරස Crepes, milk chocolate, white chocolate සහ Nutella සමග වඩාත් රසවත් රසයන්ගෙන් යුත් Base එකක් සමග පිළිගැන්වීම සිදුකරනවා. එසේම ඔබගේ රසයට ගැපපෙන පරිදි ඔබ කැමති ආකාරයෙන් Crepes රස විඳීමට ඔබට මෙහිදී ඉඩ සලසා දෙනු ලබනවා.

 

Peanut Butter + Banana with Milk Chocolate Base – LKR 650 (5/5)

 

Peanut Butter සමග චොකලට් කිරි මිශ්‍ර කෙසෙල් අපි කවුරුත් දන්නා රස සංයෝජන එකතුවක්. Peanut Butter සමග එකතු වන චොකලට් කිරි මිශ්‍ර කෙසෙල් , පැණි රසයෙන් අනූන රස ද්විත්වයක් ගෙන ‍දෙනු ලබනවා. එමෙන්ම රටකජු කුඩා කැබලි හැපෙන විට ලබා දෙන මිහිරි රසය ඉතා ප්‍රණිත බවක් ගෙන දෙනවා.

 

Runner Beef Steak – LKR 930 (3/5)

 

රනර් බීෆ් ස්ටීක් කියන්නේ beef steak සමග cheese සහ herbs පිරවූ හැපෙනසුළු Crepe වර්ගයක්. මෙය සියලුම අමුද්‍රව්‍ය එකම ප්‍රමාණයෙන්ම පුරවා තිබෙනවා. හොඳ beef රසයක් ඇති මෙම Crepe එක තරමක් අධික ලෙස පිසුණු සහ වියලි බවක් ගත් අතර, එය මා තෝරාගත් දෙවල් අතර මං අඩුවෙන්ම කැමති වුණ එකක්. කොහොමවුණත් මං තවත් දවසක මේක try කරලා බලනවා කියලා හිතුවා.

 

Strawberry Red Bull Mojito – LKR 1,410 (5/5)

 

ඉතාමත් රසවත් පැණිරස crepes කෑමෙන් පසු මගහැරිය නොහැකි ඉතා රසවත් පානයක් තමයි Strawberry Red Bull Mojito කියන්නේ. මේ මොජිටෝ එක සම්භාව්‍ය මොජිටෝ එහෙකට වැඩි වෙනසක් සිදුකර තිබෙනවා. ඒ තමයි මෙයට ස්ට්‍රෝබෙරි රසය තවත් රසවත් ලෙස වැඩි වීමට මින්චි සහ දෙහි යුෂ ස්වල්පයක් එක්කර තිබීම. ඒ වගේම නමේ සඳහන් වන පරිදි Red Bull පානයෙන් ලැබෙන ජව සම්පන්න බව අත්විඳින්න ඔබට පුළුවන්. ඔබ Red Bull රස විඳින අයෙක් නම් මෙය අනිවාර්යෙන්ම රස විඳින බව නොඅනුමානයි.

 

Coffee Milkshake – LKR 500 (3/5)

 

ඔබ ව්‍යාකූල මනසකින් සිටී නම් ඒ සදහා Coffee Milkshake ඔබට වඩාත් සුදුසු වනවා. කෙසේවෙතත්, මෙම මිල්ක්ෂේක් වල කෝපි රසය මදක් අඩු ස්වාභාවයක් ගන්නවා. ඔබ කෝපි රසය වැඩි වශයෙන් බලාපොරොත්තු වන අයෙක් නම් මෙය ඔබට ගැලපෙන්නේ නැහැ. මුලදී මෙය ඉතා ප්‍රියජනක රසයක් ගෙන දුන්නද දිගු වේලාවක් එම රසය පැවතියේ නැහැ.

 

Ambiance (4/5)

 

Colombo City Centre හි පවතින මෙම ආපනශාලාව පිහිටි ස්ථානය හා ඒ සම්බන්ධ වැඩි විස්තර Instagram වෙත පිවිසීමෙන් ඔබට ලබා ගැනීමට හැකි වනවා. සිත් ඇදගන්නා සුළු බිත්ති සිතුවම් සහ ආලෝකයන්ගෙන් සකසා ඇති මෙහි ඇතුලත පරිසරය ඔබටත් ඔබේ පවුලේ සැමටත් ඉතා සුදුසු වනවා. එසේම ඔබේ මිතුරන් සමග හා ඔබේ සහකරු සහකාරිය සමග කෙටි විවේකයක් ගත කිරීමටද මෙය හොද ස්ථානයක්. මෙහි කුඩා ඉඩකඩක් පැවතියද ඇතුලත උණුසුම් සුවපහසු බවකින් සමන්විත වනවා. සුන්දර මතකයන් එකතු කර ගැනීමට කැමති ඕනෑම කෙනෙකුට මෙය හොද පරිසරයක් වන අතරම ඔබ කාර්යබහුල කෙනෙකු නම් ඉක්මනින් ආහාර ලබා ගැනීමට මෙය කදිම ස්ථානයක්. ඔබත් මෙහි පැමිණ ඔබේ ආදරවන්තයින් සමග සුන්දර මතක රැසක් එකතු කර ගන්න.

 

Service (5/5)

 

 

මෙම ස්ථානයේදී සෑම පාරිභෝගිකයෙකුටම සිනහවකින් ආචාර කරමින් උණුසුම් පිළිගැනීමක් ලබා දෙනවා. ඔබගේ සිත් සතුටු කිරීමට මෙහි කාර්ය මණ්ඩලය බොහෝ වෙහෙසක් දරන අතර ඔවුන් තම එක් එක් පාරිභෝගිකයින් කෙරෙහි අවධානය යොමු කරන්නේ ඔවුන් ඉල්ලා සිටින දෙයට සවන් දීමට මෙන්ම ඔවුන්ගේ කැමැත්ත අනුව ඔවුන්ට අවශ්‍ය මොනවාද යන්න නිර්දේශ කිරීමෙන්. මෙහි වැදගත්ම දෙය නම් සේවකයන්ගේ වේගවත් සේවාවයි. කුසගින්නෙන් තමන් වෙත පැමිණෙන පාරිභෝගිකයන් පිලිබදව මෙහි සේවක මණ්ඩලය ඉතා අවධානයෙන් කටයුතු කරනවා.

ගෙදරදී වාහනයක් wash කරන කොට සැලකිලිමත් විය යුතු කරුණු …

වර්තමානයේ අපි හැමෝම ගෙවන්නේ කාර්ය බහුලදින චර්යාවක්. ඉතින් අපේ එදිනෙදා වැඩ කටයුතු පහසුවෙන් වගේම නිවැරදිව සිදු කරගන්නේ කොහොමද කියන එක ගැන අපි සැලකිලිමත් වෙනවා. ඔබ වාහනයක හිමිකරුවෙක් නම් කොපමණ කාර්යබහුල වුවත් තමන්ගේ වාහනය පිරිසිදුව ලස්සනට තබා ගන්න එක ගැන සැලකිලිමත් විය යුතුමයි. තමන්ගෙ වාහනය හොදින් නඩත්තු කරන කෙනෙකුට ඇති වන ගැටලුවක් තමයි වාහනය නිවැරදිව නිවසේදීම සෝදාගන්නේ කොහොමද කියන එක. ඉතින් අපි සිතුවා නිවසේදී වාහනයක් නිවැරදිව සෝදාගැනීමේ දී සැලකිලිමත් විය යුතු කරුණු ගැන ඔබව දැනුවත් කරන්න.

 

 

වාහනය සේදීම සඳහා ඔබට හෝස් පයිප්පයක් (ජල බටයක්) හෝ පීඩන සෝදන යන්ත්‍රයක් භාවිත කිරීමට පුළුවන්. පීඩන සෝදන යන්ත්‍රයක් භාවිත කිරීමෙන් ඇතැම් විට දැඩි පීඩනය ඔබේ වාහනයට හානි දායක විය හැකියි. එමනිසා ප්ලාස්ටික් – බම්පර්, එන්ජිම වටා සහ බොනට් එක පෙදෙස සේදීමට පීඩන සෝදන යන්ත්‍රය භාවිත නොකළ යුතුයි.

 

සේදුම්කාරකය ලෙස සබන් හෝ සේදුම් ඉටි භාවිත කරන්න පුළුවන්. ඒ වගේම සාමන්‍ය සබන් වෙනුවට ජලය රහිත වාහන සේදුම්කාරක භාවිත කිරීමටත් ඔබට පුළුවන්. මේ සඳහා වාහනය පිරිමැදීමට ස්පොන්ජ් එකක් යොදාගන්න පුළුවන්.

වාහනය සෝදන විට ඉහළ කොටස්වලින් අරඹා පහළ කොටස් වෙත යෑම වඩාත් සුදුසුයි. මෙලෙස කොටස් වශයෙන් වාහනය සේදීමේ දී එක් කොටසක සබන් ගා සෝදා හැර ඊගාව කොටසේ සබන් ගාන්න. එවිට වාහනය වඩාත් හොද නිමාවකින් යුතුව පිරිසිදු කර ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා.

 

 

ඒ වගේම වාහනය සේදීමෙන් පසු පිසදැමීම සඳහා මයික්‍රොෆයිබර් ‍රෙදි හෝ තුවායක් භාවිත කිරීම වඩාත් සුදුසුයි. ඔබේ වාහනය රෙදිකඩක් ආධාරයෙන් අතින් පිසදැමීම මගින් කිසිදු සලකුණක් ඉතිරි නොකර හොදින් පිසදාගැනීමට හැකියාව ලැබෙනවා.

වාහනය පිටතින් සෝදා වියළුණු පසු දොරවල් විවෘත කර දොරවල් අතර තෙත රෙදි කඩකින් පිසඳමන්න. ඒ වගේම වෙනම රෙද්දක්, බුරුසුවක් හෝ ස්පොන්ජ් එකක් යොදාගෙන රෝද කොටස් සෝදා පිරිසිදු කර ගැනීම සිදු කරන්න.

 

වාහනයක් සෝදා ගැනීමට සුදුසුම කාලය හිරු එළිය තදින් පවතින දහවල් කාලය බව ඔබ සිතුවත්. අධික හිරු එළියක් තිබෙන විට ඔබ වාහනය සෝදා පිසදැමීමට පෙර වතුර වේලීම මගින් වාහනයේ සබන් සලකුණු ඉතිරි වීමට පුළුවන්. එම නිසා උදෑසන කාලය වාහනයක් සේදීමට වඩාත් සුදුසුයි. මෙලෙස අවම වශයෙන් සති දෙකකට වරක් ඔබේ වාහනය සෝදා පිරිසිදු කර ගැනීම ඔබගේ වාහනයේ පෙනුම රැක ගැනීමටත් දිගුකල් පැවැත්මටත් උපකාරී වෙයි.

 

 

කුශාන්ති අනුරාධා බණ්ඩාර

ඉන්දියානු විදියට රසම රස බිරියානි කන්න Biryaniwaala යන්න …

Biryaniwaala – ඉන්දියානු සහ පකිස්ථානු රසැති ආහාර

බිරියානි වලට කැමති සියලුම දෙනාටම වගේම රසවත් ඉන්දු-පකිස්ථානු කෑම රස විදින ඔබට මෙය සුදුසුම ස්ථානයක්. මේ Biryaniwaala Resturant එක වැල්ලවත්තේ පිහිටා තිබෙනවා. පළපුරුදු සූපවේදීන් විසින් ඉන්දියානු කුළුබඩු එක් කර සාදන ඉන්දියානු සහ පකිස්ථානු රසැති මෙම ආහාර, ඔබට නියම බිරියානි රස ලබා දෙන බව අපට විශ්වාසයි.

මෙම Biryaniwaala Resturant හිදී ඉන්දු-පකිස්ථානු බිරියානි පිළිබඳ විශේෂ අවානයක් යොමු කරනවා. ඒ වගේම ප්‍රථම වතාවට ඉන්දියානු සහ පකිස්ථානු රසැති ආහාර Biryaniwaala Resturant මගින් මහජනතාවට පිළිගන්වනවා.

අපි මේ Resturant එකේ හොඳම ආහාර මෙනු එක බලමු.

පානි පූරි  – LKR 500 (4/5)


ඉන්දියානු වීදි ආහාරවල ගොඩක් දෙනෙක් රස බලන ප්‍රණීතම කෑමක් තමයි පානි පූරී. මෙම ප්‍රණීත ආහාරය අර්තාපල්, කඩල, ළූණු සහ කොත්තමල්ලි චට්නි සමඟ ක්‍රිස්පි රසට හැපෙන සුළු shell එකක් තුළ පුරවා ඇති අතර, ඊට ඉහළින් සියඹලා චට්නි සහ ඇඹුල් වතුර (මින්චි, කොත්තමල්ලි සහ වෙනත් කුළුබඩු) වලින් සමන්විතයි.

දායි පූරි – LKR 600 (5/5)


පානි පූරි රසය දන්න කෙනෙක් පානි පූරි වලින් පමණක් නතර වෙන්නේ නෑ . එය dahi (curd) pori දක්වා ම යනවා. මිරිස් කුඩු කලවම් කරපු කිරි එකතු කරලා උඩින් ඉසින චාට් මසාලා එකත් එක්කම හදන මේ පූරි එකත් හරිම රසයි.

ප්‍රධාන ආහාර

එළුමස් බිරියානි – LKR 1,900 (5/5)


එළුමස් බිරියානි කියන්නේ ප්‍රණීත ආහාරයක්. මෙය කුංකුම කිරි මිශ්‍ර කළ බත්, එළුමස්, අර්තාපල් සහ මසාලා සමග පිරිනමනු ලබන අතර එළුමස් මෘදු සහ රසවත් ලෙස පිසිනු ලබනවා. Raita (රයිටා) සමග කන විට ළූණු, මිරිස් සහ වෙනත් විවිධ කුළුබඩු රසය එකතු වීමෙන් මේ එළුමස් බිරියාන් එකේ රසය තවත් වැඩි කරනවා.

තන්දූරි චිකන් බිරියානි – LKR 1,600 (5/5)


බත් මත තබා ලබා දෙන තන්දූරි කුකුල් මස් ආහාර වට්ටෝරුවේ සැර වගේම රසයෙන් පිරි කෑමක් වනවා. කෑම පිඟානේ සුවඳ වගේම රසයත් ඔබ බලාපොරොත්තු වෙන විදියට එක වගේම තියෙනවා. මේ බිරියානි එකට යොදා ඇති අමුද්‍රව්‍ය, එළුමස් බිරියානි සමග සමාන වුවත් මෙයට යොදා ඇති කුකුල් මස් මෙහි වැඩි රසයක් ගන්නවා. ඒ වගේම තන්දූරි චිකන් බිරියානි එක බිරියානි වලට වැඩි කැමැත්තක් දක්වන අයට අනිවාර්යයෙන්ම ගැලපෙන දෙයක්.

 

තන්දූරි කඩා  (Quail) – LKR 1,100 (4/5 )

බොහෝ දෙනෙක් රස විදීමට කැමති ආහාරයක් තමයි “Tandoori Kada” කියන්නේ. යෝගට් සහ අච්චාරු දැමූ මෙම ආහාරය සම්පූර්ණ කුළුබඩු යෙදීමෙන් අපූරු රසයක් ලබා දෙනවා. මෙය ඉස්ම සහිත ස්වරූපයක් ගන්නා අතර ගෙදර සාදන බැදපු කුකුල් මස් වලට සමානයි. මින්ට් චට්නි සමග මෙම “Tandoori Kada” වඩාත් ගැලපෙන රසවත් කෑමක් වනවා.

පනීර් ටික්කා – LKR 800 (3/5)

පනීර් කියන්නේනම් ප්‍රසිද්ධ නිර්මාංශ ආහාරයක් බව අපි හැමෝම දන්නවානේ. තන්දූරි මසාලා හා කිරි පදම් කර ගත් මෙම පනීර් ටික්කා අඟුරු මත හොඳින් පිස තිබුණත් මෙය තවත් රස ගන්වා තිබුණානම් හොඳයි කියලා හිතුනා. කොහොමවුනත් මෙය නිර්මාංශ අය සඳහා හොඳ ආහාරයක්.

 

අතුරුපස

ජලේබි – LKR 250 (5/5)


උණුසුම් හා හැපෙනසුළු ලෙස මට ලැබුණු මේ අතුරුපස ප්‍රියතම රසයක් එක් කළා. සිරප් වල පෙඟවීමෙන් පසු තිරිඟු පිටි බැටරය සමග මිශ්‍ර කර ගැඹුරු ‌තෙලේ බැදීමෙන් පසු සාදන ලද මෙය ඔයත් අත්හදා බලන්න අමතක කරන්න එපා.

 

කැරට් හල්වා – LKR 450 (5/5)

කැරට් හල්වා යනු උකු කිරි, ගිතෙල් සහ කුළුබඩු කිහිපයකින් පිසූ කැරට් වලින් සාදන ලද ජනප්‍රිය ඉන්දියානු ප්‍රණීත ආහාරයක්. ඇදහිය නොහැකි තරම් creamy සහ සිනිඳු බවක් ගත් මේ කැරට් හල්වා එක ඇට වර්ග එකතු කිරීමත් එක්ක හැපෙනසුළු බවක් දැනුනා.

බීම වර්ග

Nimbu Paani (දෙහි යුෂ) – LKR 400 (4/5)


විසිතුරු අලංකාර වීදුරු වල ඉදිරිපත් කෙරූ මෙය ඉතාමත් ආකර්ශනීය බවක් ඇති කළා. විදුලි බුබුලක හැඩැති වීදුරුවක දමා ඉදිරිපත් කරන මෙම බීම වර්ගය පැණිරස දෙහි යුෂ වලින් සමන්විත වනවා. මෙම පානය ඔබට වඩාත් අවශ්‍ය වන්නේ උණුසුම් හා අව්ව සහිත දිනයකයි.

ලුණු දැමූ ලැසි – LKR 600 (5/5)

ඔබ බොහෝ විට පැණි රස ලැසී බීලා තිබුණත් කවදාකහරි ලුණු දැමූ ලැසී එකක් බීලා තියෙනවාද? ඔයාට එහෙම අත්දැකීමක් අරගෙන නැත්නම් බිරියානිවාලා Restaurant එක තමයි ඒකට හොඳම තැන. යෝගට් වලට ලුණු දමා සෑදූ මෙම පානය ඔබේ oder එකට ගැලපෙන්නේ නෑ කියලා හිතනවානම් ඔයත් ගිහින් Try කරලා බලන්න.

මසාලා චායි – LKR 350 (5/5)


වැසි දින වලදී මෙම පානය වඩාත් සුදුසුයි. මෙම “මසාලා චායි” කුළුබඩු හා පැණිරසයෙන් අනූන හේතුවෙන් මෙම පානය බොහෝ දෙනාගේ සිත් දිනා ගන්නා සුළු පානයක් වනවා. සාදික්කා, කුරුඳු, කරදමුංගු සහ තවත් බොහෝ විශේෂ කුළුබඩු වලින් සාදන ලද මෙය වඩාත් රසවත් පානයක්.

පරිසරය

බිත්තිවල පින්තාරු කරන ලද බිතුසිතුවම් මෙන්ම අනෙකුත් අලංකරණ බොහෝ දෙනාගේ සිත් ගන්නා ස්ථානයක් වන අතරම ඔවුන්ගේ සිත් ගන්නා සුළු පිළිගැනීම නිසා ඔයාට හොඳ අත්දැකීමක් එකතු කරනවා. කෙසේවෙතත්, අවන්හල තරමක් කුඩා ඉඩකින් සමන්විත වන නිසා මෙහි ආසන ධාරිතාව නම් සීමා සහිත වනවා. සමස්තයක් ලෙස ගත් කල, බිරියානිවාලා යනු දේශීය කෑමට ආදරය කරන අප වැනි අයට කදිම ස්ථානයකි

ඔබ දන්නවාද ?

  •  අවන්හලේ සීමිත ධාරිතාව හේතුවෙන්, සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා වෙන් කිරීම් සිදු කරන්න පුළුවන්. නමුත් සිකුරාදා සිට ඉරිදා දක්වා වෙන් කිරීම් සිදු කරන්න බැහැ.

මුරුංගා ව්‍යංජනය

https://www.youtube.com/shorts/79HhsicjtJ4

මුරුංගා කියන්නෙ සරල ව්‍යංජනයක් වුණාට ඒ මගින් අපේ ශරීරයට ගොඩක් ප්‍රතිලාභ ලැබෙනවා.

ඉතින් අපි අද Aunty D එක්ක එකතුවෙලා ඔයාලට කියලා දෙනවා ශරීර සෞඛ්‍යයට ගොඩක්ම හිතකර මුරුංගා ව්‍යංජනයක් හදන විදිය.

අවශ්‍ය ද්‍රව්‍ය:

මුරුංගා 500g ක්
දිය පොල් කිරි කෝප්ප 1 1/2 ක්
උළුහාල් තේ හැඳි 1/2 ක්
අමු මිරිස් කරල් 2 ක්
ලොකු ළූණු ගෙඩි 1 ක් (පොඩි)
කහ කුඩු තේ හැඳි 1/2 ක්
තුනපහ තේ හැඳි 1 ක්
ලුණු තේ හැඳි 1 ක්
සුදුළූණු ගෙඩි 3 ක්
කරපිංචා + රම්පේ
රතු ළූණු ගෙඩි 5 ක්
උකු පොල් කිරි කෝප්ප 1 1/2 ක්
දෙහි යුෂ

සාදන ක්‍රමය:

භාජනයක් ලිපේ තියලා ඒකට මුරුංගා, දිය පොල් කිරි, උළුහාල්, අමු මිරිස්, ලොකු ළූණු, කහ කුඩු, කරපිංචා, ලුණු, සුදුළූණු, කරපිංචා සහ රම්පෙ එකතු කරන්න.

ඒ සියල්ලම හොඳින් මිශ්‍ර කර, හුමාලයෙන් තැම්බෙන්න පියනෙන් වසා තබන්න.

ඊළඟට, තැම්බූ මුරුංගා වලට කුඩා රතු ළූණු සහ උකු පොල් කිරි එකතු කර නැවත මිශ්‍ර කරන්න.

එය පිස අවසන් වූ පසු, ලිප නිවා දමා දෙහි ගෙඩි භාගයක යුෂ ව්‍යංජනයට මිරිකා ගන්න.

එය නැවත වරක් හොඳින් මිශ්‍ර කර , පිළියෙළ කර ගත් සෞඛ්‍ය සම්පන්න මුරුංගා ව්‍යංජනය කෑම මේසයට පිරිනමන්න.

Pork කන්න කැමති අයට නියම තැනක් – Pancetta

ඔවුන් මේකට Pancetta කියලා හඳුන්වන්නේ නිකන්ම නෙමෙයි…

Pancetta කියන්නේ ඌරු මස් වලට කැමති ඕනෑම කෙනෙකුගේ ආශාවන් තෘප්තිමත් කරන ඌරු මස් වලින් සෑදු කෑම වර්ග සඳහා විශේෂිත වූ කොළඹ නගර මධ්‍යයේ පිහිටලා තියෙන Restaurant එකක්.

Pancetta වල එක විශේෂත්වයක් තමයි එකේ තියෙන විවිධාකාර කෑම වර්ග. වෙනස්ම ආකාරයට එකතු කරපු බේකන් වගේම ශ්‍රී ලාංකේය, මෙක්සිකානු, ඉංග්‍රීසි, ඉතාලි සහ චීන ඇතුළු විවිධ ආහාර වර්ග Pancetta වලින් ලබාගන්න පුළුවන්.

අනෙකුත් restaurants වලට වැඩිය Pancetta වල විශේෂත්වය තමයි එතැන ඔබට, මට වගේම ඌරු මස් ලෝලීන්ටම කියාපු තැනක් වීම. ඒ වගේම තමයි ඔබට Delivery පහසුකම තුළිනුත් මේ Pancetta Restaurant එකේ කෑම වර්ග ලබා ගන්න පුළුවන්.

Mains
Bacon Pollo Croccante Burger – LKR 2,450 (5/5)

මේක නම් ගොඩක් රස පාටට තිබුණා. Pancetta එකේ bacon සහ crispy chicken burger නම් ඇත්තටම කාලා බලන්නම ඕනේ burger එකක්. juicy තක්කාලි , tangy gherkins, නැවුම් iceberg lettuce සහ ඔවුන්ම සාදපු සුදු ළූණු mayo sauce පදමට එකතු කරලා හදලා තිබුණ මේ burger එකත් එක්ක fries සෑහෙන්න එකතු කරලා තිබුනා. ඒ නිසාම මේ dish එක recommend කරන්න අපි නම් දෙපාරක් හිතන් නැහැ.

No 28 Kottu – LKR 1,800 (4.5/5)

මේ නයි මිරිස් සහ බේකන් කොත්තු එකත් ගොඩක් රස dish එකක් කිවුවොත් හරියටම හරි. එළවළු, ඌරු මස් වගේම පදමට spices එකතු කරලා හදලා තිබුන මේ කොත්තු එකට එයාලම හදපු චීස් sauce එකතු කරලා තිබුණා. සැරට කන්න කැමති කෙනෙක්ට නම් මේකට තව නයි මිරිස් ටිකක් එකතු වුණා නම් නියම පදමට තියෙයි. කොහොම වුණත් බඩ පිරෙන්න කන්න කැමති අයට නම් මේක කියාපු dish එකක්.

Dang Dang noodles – LKR 2,400 (4.5/5)

පෙනුමෙන් සැර අඩු බවක් පෙනුනත් සැරට කන්න කැමති අයට නම් මේ Dang Dang noodles එක අනිවාර්යෙන්ම try කරලා බලන්නම ඕනේ dish එකක්. ඔවුන්ම සාදන ලද chilli sauce එකට උඩින් හරි පදමට උයාගත් spaghetti සහ පැත්තකින් කැබලි කරගත් ඌරු මස් අතුරා තිබුණා. Bok choy වල නැවුම් බවෙන් මේ dish එකේ රසයන් තවත් වැඩි වෙලා තිබුණා. මිරිස් සෝස් වලින් හැම කටකටම අමුතුම රසයක් එකතු කළා වගේම තිබුණ ඌරු මස් portion එකේ ප්‍රමාණය වැඩි වුණා නම් මේ dish එකේ රසය තවත් වැඩිවෙයි.

Beverages

Passion Mojito – LKR 900 (5/5)

Pancetta වල තියෙන මේ Passion Mojito එකනම් ඔයාට හොඳ ප්‍රබෝධයක් ගේන drink එකක් වෙයි. පැෂන් ෆෘට් වල ඇඹුල් ගතිය මේකට එකතු කරලා තිබුණ මින්ට් රසය සහ පැණි රසත් එක්ක හරි පදමට ගැලපුන නිසාම මේ drink එකෙන් අපිට හොඳ නැවුම් ගතියක් ලැබුණා. මගේ කෑම එකත් එක්ක මේ drink එක හොඳටම ගැලපුනා කිවුවොත් හරියටම හරි.

Milo Shake – LKR 1,200 (4/5)

අන්තිමටම අපි try කලේ pancetta එකේ Milo Shake එක. ඔයත් Chocolate malt වලට කැමති කෙනෙක් නම් මේ drink එක ඔයාට හොඳටම ගැළපෙනවා. Milo සහ කිරි හරි ගානට එකතු කරලා තිබුන නිසාම මේ shake එක ගොඩක් creamy විදිහට තිබුණා. සීනි ටිකක් අඩු වුණා නම් මේකේ රසය තවත් වැඩිවෙයි කියලා අපිට හිතුණා.

Ambience

Restaurant එකට ඇතුළු වෙනකොටම මෙතන ගොඩක් ඉඩ පහසුකම් තියෙන තැනක් කියලා අපිට පෙනෙන්නට තිබුණා. ගොඩක් relax වෙන්න වගේම comfortable විදිහට කෑම ගන්න mood එක හැදෙන විදිහට මෙතන lighting කරලා තිබුණා. Pancetta එකේ private dinning area එකක් වගේම indoor සහ outdoor dinning area එකකුත් තිබුණා.

Pancetta එකේ කාර්යය මණ්ඩලයත් ගොඩක් මිත්‍රශීලී පිරිසක් වගේම අපිට උණුසුම් පිළිගැනීමක් සහ හොඳ සේවාවක් ලබා දෙන්නත් එයාලා අමතක කලේ නැහැ.

Menu එක ගැනත් එයාලට හොඳ අවබෝධයක් තිබුණා කියලා අපිට හිතුනේ අපි අහපු ප්‍රශ්න වලට එයාලා නොපැකිලිව පිළිතුරු දුන්න නිසාමයි.

ඔයාගේ ආදරවන්තයින් එක්ක හෝ යාළුවොත් එක්ක හොඳ කෑම වේලක් ගන්න pancetta කියන්නේ ගැලපෙනම තැන කිව්වොත් හරියටම හරි.

 

අතරමං නොවී දැනගෙන රට යන්න ටිප්ස් ටිකක්….

රැකියා සඳහා විදෙස් ගතවීම අලුත් දෙයක් නොවුණත් මෑතකාලීනව ලංකාවේ පවතින ආර්ථික ගැටලු නිසාම බොහෝ දෙනෙක් රැකියා සඳහා විදෙස් ගත වීමට වැඩි වශයෙන් යොමු වන ප්‍රවණතාවයක් දක්නට ලැබෙනවා. මේ ප්‍රවණතාවය නිසාම බොහෝ දෙනෙක් හරිහැටි අවබෝධයක් නැතුව රට යන්න උත්සාහ කිරීමෙන් අමාරුවෙ වැටෙන ආකාරයත් අපට අසන්නට දකින්නට ලැබෙනවා. ඔබ රැකියාවකට විදෙස් ගතවනවා නම් ඒ පිළිබඳ සියලු විස්තර සොයා බලා දැනුවත් වීම ඉතාම වැදගත්.

සාමාන්‍යයෙන් රැකියාවක් සඳහා විදෙස් ගතවන අයෙක් පළමුවෙන්ම විදෙස් ගමන් බලපත්‍රයක් සාදාගත යුතුබව ඔබ දන්නවා. ඉතින් මේ විදෙස් ගමන් බලපත්‍රය නිසි පරිදි දෝෂ රහිතව සකසා ගැනීම වැදගත්. මීළඟට ඔබ යම් ආයතනයක් හරහා විදෙස් ගතවන්නේ නම් අදාළ රැකියා වීසා බලපත්‍රය ලබා ගැනීමට කටයුතු කරන්න. ඒ වගේම ඔබ සේවාව ලබා ගන්නා ආයතනය විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වූවක් ද යන්න ද සොයා බැලීමට සැලකිලිමත් වන්න.

ඔබේ රැකියාවේ ස්වභාවය පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා ගන්න. වැඩ කිරීමට ඇති පැය ගණන, නිවාඩු දින සහ ඔබේ කාර්‍යභාර්යය කුමක් යන්න පිළිබඳව ඔබට එරටට යෑමට පෙර අවබෝධ කරගත යුතුයි.

ඔබ ගමන් කිරීමට බලාපොරොත්තු වන රට තුළ ඔබට නවාතැන් ගැනීමට සුදුසු ස්ථානයක් පිළිබඳව සොයා බලන්න. රැකියා ස්ථානයෙන්ම නවාතැන් පහසුකම් සපයන අවස්ථා මෙන්ම ඔබට නවාතැන් පහසුකම් සපයා ගැනීමට සිදුවන අවස්ථාවන් තිබෙනවා. ඒ වගේම ගමනා ගමන පහසුකම් සහ ඒවා භාවිත කරන ආකාරය රටින් රටට වෙනස් විය හැකියි. ඒ පිළිබඳවත් සොයා බලන්න.

ආගන්තුක රටක ජීවත් වීමේදී දේශගුණය හා ආහාර රටා නිසා ඔබට විවිධ සෞඛ්‍ය ගැටලු අතිවීමට ඉඩ ප්‍රස්ථාව වැඩියි. රට තුළ ඔබට සෞඛ්‍ය පහසුකම් ලබාගත හැකි ආකාරය පිළිබඳව සොයා බලා දැනුවත් වන්න. විදෙස් ශ්‍රමිකයන්ට එම රට තුළ ලබා දෙන සෞඛ්‍ය පහසුකම්, රක්ෂාණාවරණ පිළිබඳව සොයා බැලීම ඔබට ඉතාමත් වැදගත් වනවා.

විදෙස් රැකියාවකට බොහෝ දෙනා පිටත් වන්නේ යම් මුදලක් ඉතිරි කර ගැනීමට සහ අනාගතය සුරක්ෂිත කර ගැනීමටයි. එම නිසා මීළගට ඔබ ගමන් කරන රට තුළ ජීවත් වීමට මාසිකව වියදම් වන මුදල කොපමණ ද යන්න සොයා බලන්න. ඔබ බලාපොරොත්තු වන රැකියාවේ වැටුප, එම වියදම සමඟ සසදන්න. ඔබට ඉතිරි කළ හැකි මුදල පිළිබඳව දළ අදහසක් ලබා ගන්න.

ඔබ ගමන් කරන රට තුළ සම්බන්ධතා ජාලයක් ඇති කරගැනීමට උත්සාහ ගන්න. එම රට තුළ ඔබේ රැකියා ක්ෂේත්‍රයේ සිටින ලාංකිකයන් මෙන්ම තවත් පුද්ගලයන් හඳුනා ගන්න. මේ සඳහා ඔබට Twitter සහ Linkedin යන සමාජ මාධ්‍ය ජාලා යොදා ගන්න පුළුවන්. ඒවායේ වෘත්තීයමය ස්වභාවය නිසා ඒවා වඩාත් සුදුසුයි.

ඒ වගේම එම රටේ සංස්කෘතිය පිළිබඳව ද සොයා දැන ගන්න. එය ඔබට අලුත් පරිසරයකට හුරු වීම පහසු කරයි. එමෙන්ම එම රටේ පවතින නීති පද්ධතිය පිළිබඳව ද සොයා බලන්න. මේවා පිළිබඳව ඔබට එරට සිටින පුද්ගලයන් මඟින් හෝ ගූගල් සෙවුම් මඟින් සොයා ගැනීමට පුළුවන්.

මේ ආකාරයට ඔබ සෑම දෙයක් පිළිබඳවම සොයා බලා විදෙස් රැකියාවකට අයදුම් කර විදෙස් ගතවීම තුළින් ඔබගේ වටිනා මුදල් සහ කාලය රැක ගත හැකියි. ඒ වගේම ඔබට නුපුරුදු රටක ජීවත් වීම තරමක කාලයක් යනතුරු අපහසු අත්දැකීමක් වුවත් මේ සියලු කරුණු සොයා බලා විදෙස් ගත වීම තුළ ඔබේ අපහසුතා අවම කරගැනීමට හැකියාව ලැබෙයි.

කුශාන්ති අනුරාධා බණ්ඩාර

පැණි පොල් අග්ගලා …

https://www.youtube.com/shorts/7QfKBGDW3Os

අවශ්‍ය ද්‍රවය …

සහල් කෝප්ප 2 ක්
ගම්මිරිස් ඇට 6 ක්
පොල් පැණි කෝප්ප 3/4 ක්
සීනි කෝප්ප 1/4 ක්
ගාගත් පොල් කෝප්ප 1 1/2 ක්

සාදා ගන්නා ආකාරය …

භාජනයක් ගෙන එයට සහල් සහ ගම්මිරිස් එක්කර රන්වන් පාට වන තුරු හොඳින් බැද ගන්න.

රන්වන් පාට වන තුරු බැද ගත් සහල් සිහින්ව කුඩු කරගන්න.

ඉන්පසු පැණි පොල් සෑදීම සඳහා භාජනයක් ලිපේ තබා එයට පැණි, සීනි හා ගා ගත් පොල් එක්කර හොඳින් මිශ්‍ර කර ගන්න.

දැන් එම මිශ්‍රණයට සිහින්ව කුඩු කර ගත් සහල් එක්කර හොඳින් මිශ්‍ර කර ගන්න.

භාජනය ලිපෙන් බා මිශ්‍රණය කුඩා බයිට් ප්‍රමාණයේ බෝල සාදා ගන්න.

පළමු වතාවටද රටකට යන්නෙ? ගුවන් ගමන් නීති වලට අනුව Baggage එක හදමු …

මේ දිනවල බොහෝ දෙනෙක් රැකියා සඳහා විදෙස් ගත වෙන බව අපි හැමෝම දන්න කාරණාවක්. ඔබත් ළඟදී රට යන්න බලා සිටින කෙනෙක් නම් මේ ලිපිය ඔබට වැදගත් වෙයි. විදෙස් ගත වෙන්න සූදානම් වන බොහෝ දෙනෙක්ට ඇතිවන ගැටලුවක් තමයි කොහොමද හරියටම තමන්ගෙ ගමන් මලු සූදානම් කරගන්නේ කියන එක. ඒ නිසාම අපි හිතුවා ඒ ගැන ඔබව දැනුවත් කරන්න.

ගුවන් ගමන් සඳහා වන ගමන් මලු නීති රෙගුලාසි නිතර වෙනස් වන නිසා ඔබ ගුවන් ගමනක් සඳහා සූදානම් වනවා නම්, ඔබ ගුවන් ගමන් සේවාව ලබා ගන්නා සමාගමේ වෙබ් අඩවිය පරීක්ෂා කර බැලීම වඩාත් සුදුසුයි. මොකද ඔබ ගමන් කරන ගුවන් සමාගම සහ ඔබේ ගුවන් ප්‍රවේශ පත අනුව ඔබට ගෙන යා හැකි බර ප්‍රමාණයන් ඇතැම් විට වෙනස් විය හැකි නිසා. එසේත් නොමැතිව ඔබ ගමන් මලු සූදානම් කළොත් ඔබ ගෙන යන වැඩිපුර බර ප්‍රමාණයට අමතර ගාස්තුවක් ගෙවීමට සිදුවේවි.

ගුවන් ගමන් සඳහා සූදානම් වීමේදී ඔබට අතේ ගෙන යා හැකි බෑගයක් සහ ගුවන් යානයේ භාණ්ඩ ප්‍රවාහනය කරන කොටසේ තැන්පත් කර ගෙන යා හැකි ගමන් මලු වශයෙන් වර්ග දෙකක් ගෙන යා හැකියි. මේවායේ ගෙන යා හැකි බර ප්‍රමාණයන් එකින් එකට වෙනස් විය හැකි බව අපි පෙර සඳහන් කළා.

 

 

ඔබ ගුවන් ගමනකට සූදානම් වෙනවා නම් පිහි හෝ කතුරු වැනි තියුණු වස්තූන්, ලෝහවලින් නිෂ්පාදිත භාණ්ඩ, ක්‍රීඩා භාණ්ඩ ආදිය ඔබට අතේ ගෙන යන ගමන් මල්ලේ ගෙන යා නොහැකියි. ඒවා ඔබ ගෙන යන අනෙක් ගමන් මල්ල තුළ අසුරා ගත යුතුයි.

විවිධ දියර වර්ග, ජෙල් වර්ග, ඩියෝඩ්‍රන්ට් වැනි ද්‍රව්‍ය, කුඩු වර්ග ද අතේ ගෙන යා හැකි ගමන් මල්ලේ ගෙන යා නොහැකි අතර විනිවිද පෙනෙන ප්ලාස්ටික් බෑගයක වෙන වෙනම අසුරා ගත යුතුයි. ඒ වගේම මෙම ද්‍රව්‍ය ගෙන යා හැකි ප්‍රමාණවල සීමාවන් පවතිනවා. ඒවා ගැන සැලකිලිමත් වීමද ඔබට වැදගත් වෙයි. ඒ වගේම ළදරු ආහාර, ඖෂධ සහ විශේෂ ආහාර අවශ්‍යතා සඳහා මෙම සීමාවන් ලිහිල් කර තිබෙනවා.

ඔබ ඉන්සියුලින් වැනි ඖෂධ භාවිත කරන කෙනෙක් නම් ඒ සඳහා වන සිරින්ජර් වැනි වෛද්‍ය උපකරණ ගෙන යාමට වෛද්‍ය නිර්දේශය ලිඛිතව ලබා ගෙන ඉදිරිපත් කළ යුතු වෙනවා. ඒ වගේම ඒවා නිසි ලෙස ඇසුරුම් සහිතව ලේබල් කර තිබිය යුතුයි නැත්නම් පරීක්ෂාවේදී ඒවා ඉවත් කිරීමට සිදු වෙනවා.

 

 

ඔබ ගෙන යන අතේ ගෙන යා හැකි ඉලෙක්ට්‍රොනික උපකරණ (ලැප් ටොප්, ජංගම දුරකථන, ටැබ්ලට්) ආරකෂක මුරපොලවල්වලදී වෙන වෙනම ඉදිරිපත් කිරීමට සිදුවිය හැකි නිසා අතේ ගෙන යා හැකි ගමන් මල්ලේ තබා ගත යුතුයි.

ඔබේ අනෙක් ගමන් මලු නැතිවුවහොත් ඔබට අවම වශයෙන් ජීවත් වීමට අත්‍යාවශ්‍ය දෑ ඔබ අතේ ගෙන යන ගමන් බෑගය තුළ තබා ගැනීම නුවණට හුරුයි. එය දිගු ගුවන් ගමනක් නම් යට ඇදුම්, සාමාන්‍ය ඇදුමක්, ඖෂධ, සනීපාරක්ෂක ද්‍රව්‍ය ආදිය එහි තිබීම ඔබට ප්‍රයෝජනවත් විය හැකියි. ඒ වගේම ඔබගේ වටිනා කියන දේවල් ද මේ තුළ තබා ගැනීම සුදුසුයි. ඒ වගේම ඔබගේ වැදගත් ලේඛන (හැදුනුම්පත, ගමන් බලපත්‍රය ආදිය) ද මේ තුළ තබා ගත යුතුයි. ඔබට අවශ්‍ය විය හැකි ප්‍රථමාධාර කට්ටලයක් ද ඒ තුළ තිබීම වැදගත්. උදාහරණ ලෙස වේදනා නාශක පෙති, වෙළුම් පටි, ටිෂූ, ආසාත්මිකතා සඳහා ඖෂධයක්.

ඔබ ඇඳගෙන යන ඇඳුම් පැළදුම් සහ සපත්තුවල බර ගණනය නොකරන නිසා ඔබට ඇඳුම් කිහිපයක් ඇඳගෙන යා හැකියි. උදාහරණ ලෙස ටී ෂර්ට් එකක් ඇද ඊට උඩින් ඝනකමින් යුතු ජැකට් එකක් ඇඳීම, ඩෙනිම් ඇඳීම, සපත්තු පැළඳීම දැක්විය හැකියි. ඔබේ ගමන් මල්ල සූදනම් කරන විට ඇඳුම් රෝල් කර අසුරන්න එය ඔබට ඉඩ ඉතිරි කරන ක්‍රමයක් වෙයි. ඒ වගේම බර වැඩි දේවල් යටින් අසුරන්නත් මතක තබා ගන්න. ඔබ ගෙන යන ලිපි ද්‍රව්‍යවල පිටපත් මෙම ගමන් මල්ලේ අසුරන්න. එය ඔබව වඩාත් සුරක්ෂිත කිරීමට උපකාරී වෙයි.

 

මේ සියල්ලම දෙවරක් පරීක්ෂා කරමින් සූදානම් කර ගැනීම වඩාත් සුදුසුයි. ඒ වගේම අමතර ප්ලාස්ටික් බෑගයක් හෝ දෙකක් ඔබේ ගමන්මල්ලට එක් කරගන්න අමතක කරන්න එපා. එය ඔබට හදිසි අවාස්ථාවකදී ප්‍රයෝජනවත් විය හැකියි. මේ සියලු කාරණා ගැන සැලකිලිමත් වීමෙන් ඔබට වඩාත් ආරක්ෂිත සුව පහසු ගුවන් ගමනක් ලබා ගත හැකිවනවා නොඅනුමානයි.

 

 

කුශාන්ති අනුරාධා බණ්ඩාර

මුල් ළමාවිය සංවර්ධනය කිරීමට නිවසේදී මේ දේවල් කරන්න …

තම දරුවන් නිරෝගී හොද අධ්‍යාපනයක් සහිත යහපත් දරුවන් ලෙස සමාජගත කිරීම සියලුම මව්පියන්ගේ එකම අපේක්ෂාවයි. ඉතින් මේ සඳහා දරුවාගේ කායික හා මානසික සංවර්ධනය පිළිබඳව අවධානය යොමු කිරීම අත්‍යාවශ්‍යයි.

 

 

 

කුඩා දරුවන් සෙල්ලම් කරන්න බොහොම කැමතියි. මේ නිසාම දරුවාගේ සෙල්ලම් කිරීම අර්ථවත් විදියට සිදු කරන්න උත්සාහ ගැනීමෙන් දරුවාගේ මුල් ළමාවිය සංවර්ධනය කරගැනීමට මව්පියන්ට පුළුවන්. මේ සඳහා නිවස තුළ සහ නිවසින් පිටත පරිසරයේ දරුවා සෙල්ලම් කිරීමට යොමු කරවීම වැදගත්.

පිරිසිදු වැලි සමග සෙල්ලම් කිරීමට යොමු කිරීම, ලෙගෝස් සමග සෙල්ලම් කිරීමට යොමු කිරීම ආදිය තුළින් දරුවාගේ නිර්මාණශීලී හැකියාවන් වර්ධනය වීම සිදුවනවා. ඒ වගේම ‘සයිමන් කියනවා’ (Simon Says) වැනි ක්‍රීඩාවන් දරුවා සමග කිරීම තුළින් දරුවාගේ සංජාන හැකියා වර්ධනය කරගන්නත් පුළුවන්. එපමණක් නොවෙයි බෝලයක් විසි කිරීම ඇල්ලීම ආදී සරල ක්‍රියාකාරකම්වලින් ද දරුවා බොහෝ දේ ඉගෙන ගන්නවා.

 

 

ඒ වගේම රූප පාට කිරීම, විවිධ ඇට වර්ග යම් රූපයක් මත ඇලවීම වැනි ක්‍රියාකාරකම් කිරීමේදී දරුවා වර්ණ හා හැඩතල හඳුනා ගැනීම මෙන්ම දරුවාගේ අතැඟිලි හොඳන් ක්‍රියා කිරීමටද හුරු වනවා. මීට අමතරව දරුවාට නිදහසේ තමන් කැමති චිත්‍ර අඳින්නට ඉඩ දීමද ඉතාම සුදුසුයි. මෙම ක්‍රියාකාරකම් කිරීමේදී විශේෂයෙන්ම දරුවාට ස්වාධීනව එම ක්‍රියාකාරකම්වල නිරතවීමට ඉඩදීම ඉතාම වැදගත්.

දරුවාට සංගීතයට සවන්දීමට සැලැස්වීම, ළමා ගීත ගායනා කිරීමට හුරු කරවීම, රිද්මයානුකූලව චලනය වීමට පෙළඹවීම වැනි ක්‍රියාකාරම් ද මුල් ළමාවිය සංවර්ධනයට යොදා ගත හැකි ක්‍රියාකාරකම් ලෙස පර්යේෂකයන් හඳුනාගෙන තිබෙනවා.

දවසේ සුදුසු වේලාවක් තෝරාගෙන දරුවාට ඇසෙන්නට පොතක් කියවීම සහ ඒවායේ ඇති රූප සටහන් පෙන්වමින් ඒවා විස්තර කිරීම ද ඔබට කළ හැකියි. මෙය දරුවාගේ පරිකල්පන ශක්තිය වර්ධනය වීමට බලපාන ක්‍රියාකාරකමක් විදියට හඳුන්වන්න පුළුවන්.

 

 

ඒ වගේම ඔබ ගෙවත්තේ කරන පැල සිටුවීම, පැලවලට වතුර දැමීම වැනි දෛනික ක්‍රියාවලදී දරුවාට හැකි, සුදුසු අයුරින් එම ක්‍රියාකාරකම් සඳහා දරුවාව සම්බන්ධ කර ගැනීම ද දරුවාගේ කායික හා මානසික සංවර්ධනයට හේතු වනවා.

මෙවැනි සරල ක්‍රියාකාරකම්වල ඔබේ දරුවාව නිරත කරවීම මගින් දරුවාගේ මොළය වර්ධනයට හා කායික හැකියාවන් වැඩිදියුණු කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම මෙම ක්‍රියාකාරකම් තුළින් නීරෝගී, නිර්මාණශීලී මෙන්ම ක්‍රියාශීලී දරුවෙක් නිර්මාණය කරගන්නට ඔබට පුළුවන්කම ලැබෙනවා.

 

කුශාන්ති අනුරාධා බණ්ඩාර