හතර වටෙන් ලස්සනට ඉන්න කැමති පිරිමි හැමෝටම වැදගත් කරුණු කිහිපයක්…

ලස්සනට ඉන්න කැමති පිරිමි හැමෝටම වැදගත් කරුණු කිහිපයක්…

2021 May 10

කොරෝනා වසංගත තත්වයට මුහුණ දෙමින් ඉන්න අවදියක් නිසාම මේ කාලයේ වැඩිපුර පිටතට යන්නෙ නැති වෙන්න පුළුවන්. බොහෝවිට ඔබ මේ කාලයේ නිවසේ ඉඳගෙනම රැකියාවේ යෙදෙනවා වෙන්නත් පුළුවන්. විවාහ උත්සව, අනිත් සැමරුම්, Events, Parties මේ හැම එකක්ම කල් දාන්න සිදුවෙලා තියෙන නිසාම විශේෂයෙන් යන්න කියල තැනක් නැතිවෙන්නත් පුළුවන්. ඒ නිසා තමන්ගේ පෙනුම ගැන වැඩි උනන්දුවක් නැතුව ගෙදරට වෙලා ඉන්න කාලයක් වෙන්න පුළුවන්. ඒත්, අපි ඔබට තවමත් කියන්නෙ තමන්ව නොසලකා හරින්න එපා කියලයි. විශේෂයෙන් අපි අපේ පෙනුම පවත්වා ගැනීම කියන එක නිරන්තරයෙන් කළ යුතු දෙයක්. ඔබ යම් කාලයක් ඒ දේවල් මගහැර සිටියොත් නැවත යථා තත්වයට පත්කර ගන්න එතරම්ම ලේසි වෙන එකකුත් නැහැ. ඒ නිසා කොතන කොහොම කාලය ගෙව්වා වුනත් ඔබේ පෙනුම ගැන රූපය ගැන තිබුන අවදානය අඩු කරගන්න එපා කියන දේ තමයි gasma.lk කියවන ඔබට අපි දෙන පණිවුඩය. පිරිමි පාර්ශවයේ රූපය පවත්වා ගැනීම, ඇඳුම් තෝරා ගැනීම, රැවුල, කොණ්ඩය පවත්වා ගැනීම වගේ Men’s grooming ගැන අපි මීට කලින් කිහිප වතාවකදීම කතාබහ කළා. ඊට අදාළ වීඩියෝ වැඩසටහන් පවා අපි ඔබවෙත ගෙන ආවා. අදත් අපි ඔබට කියන්න යන්නේ ඒ විෂයටම අදාළ කාරණා ටිකක්. පිළිවෙලට ඉන්න, ලස්සනට ඉන්න කැමති තරුණ පිරිමි ඔබ, මේ දේවල් කරනවාද කියල ටිකක් විමසිල්ලෙන් බලන්න.

ඔබ ලස්සනට අඳින්න කැමති කෙනෙක් වෙන්න පුළුවන්. ඒ නිසා වටිනා මිළ අධික ඇඳුම්, Banded ආයිත්තම් පාවිච්චි කරනවා වෙන්නත් පුළුවන්. හැබැයි අපි මේ කියන කරුණු ගැන ඔබ සැලකිලිමත් නැතිනම්, ඔබේ මේ ඇඳුම් ආයිත්තම් වල වටිනාකමත් නොපෙනනෙන්න ඉඩ තියෙනවා. ඔබ අඳින ඇඳුම විතරක්ම නෙමෙයි ඔබේ පෙනුමට අදාළ වන්නේ. අපි මේ බව මීට පෙර ලිපි වලදීත් කියල තිබෙනවා ඔබට මතක ඇති. ඔබ ඔබේ ඇඳුම ගැන වගේම සම්පූර්ණ පෙනුම ගැනම සැළකිලිමත් වුනොත් තමයි පිටස්තර පුද්ගලයින්ට ඔබව ලස්සනට දකින්න ලැබෙන්නේ. සාමාන්‍යෙන් කෙනෙක් දිහා බැලුවහම ඔහු තමන්ගේ පෙනුම ගැන සැළකිලිමත්ද, තමන්ව නඩත්තු කරනවද කියන දේ ගැන අදහසක් ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි මේ කියන කාරණා කිහිපය ගැන දැන් ඉඳන්ම ඔබේ අවදානය යොමු කරන්න. ඔබව වඩාත් හොඳට, පිළිවෙලට සහ ලස්සනට දකින්න අනික් අය කැමති වගේම ඒ හරහා ගොඩනැගෙන ප්‍රතිරූපය සහ පෞරුෂය ඔබටත් වැදගත් වන බව මතක තබාගෙනම මේ ලිපියෙන් අපි කියන කාරණා ගැන සිතා බලන්න.

සමේ පැහැයට ගැළපෙන්න ඇඳුමේ පාට තෝරාගන්න දන්නවද…?

පළමුවෙන්ම අපි ඔබට මතක් කරන්නේ ඔබේ කොණ්ඩය ගැන ඔබේ විමසිලිමත් බව පිළිබඳව. ඔබ කොපමණ කාලයකට වරක් ඔබේ කොණ්ඩය කපන්න සැලුන් එකට යනවද..? මතක් කරලා බලන්න. සාමාන්‍යෙන් පිරිමි අය බොහොමයක් කරන දෙයක් තමයි කොණ්ඩය වැවිල කණ ලඟින් දිගට තියෙනවා කියල දැනෙන මොහොත වෙනකන් ඉඳල තමයි සැලුන් එකට යන්නෙ. ඒ අතරතුර කාලය ඔබට නොදැනුනාට ඔබේ කොණ්ඩය නිසා ඔබේ පෙනුම වෙනස් වෙලා පේනවා. ඒ නිසා අපි ඔබට කියන්නෙ සති 3කට වරක් අනිවාර්යෙන්ම සැලුන් එකට යන්න කියලයි. සති තුනක් ඇතුලත එච්චර දිගට මගේ කොණ්ඩේ වැවෙන්නෙ නැහැ කියල ඔබට හිතෙන්න පුළුවන්. ඒත් ඔබේ කොණ්ඩයේ Lines අපිළිවෙල වීමෙන් ඔබට ගෙන දෙන්නේ හොඳ පෙනුමක් නම් නොවෙයි. ඒ නිසා කොණ්ඩය වැවීමේ වේගය අඩු වුනත්, වැඩි වුනත්, සති තුනකට හෝ හතරකට වරක් සැලුන් එකට යන්න අමතක කරන්න එපා. කොණ්ඩය පිළිවෙලට සකස් කරවාගන්න. අනවශ්‍ය කොණ්ඩය ඉවත් කරගන්න. ඔබට වඩා හොඳ පෙනුමක් පවත්වාගෙන යන්න හැකිවේවි. ඒ වගේම දකින අහුවෙන මොකක් හෝ සැලුන් එකකට යනවා වෙනුවට අපි ඔබට කියන්නේ නිශ්චිත එක තැනක්, ඔබට වඩා හොඳයි කියල හිතෙන එක පුද්ගලයෙක් මේ වැඩේට තියා ගන්න.

හිසකෙස් ගැන සැලකිලිමත් වන පිරිමි ඔබ මේ උපදෙස් පිළිපදින්න…

ඊළඟට අපි ඔබේ අවදානය යොමු කරවන්නේ ඔබේ නියපොතු වලට. සාමාන්‍යෙන් අත්වල නියපොතු කපන එක ඔබ කරනවා වෙන්න පුළුවන්. ඒත් කකුලේ නියපොතු ඔබේ අවදානයෙන් ගිලිහෙනවා. නිතර සපත්තු පළඳින කෙනෙක් නම් ඔබට හිතෙන්න පුළුවන් නියපොතු පේන්නේ නැහැනේ කියල. ඒත් සාමාන්‍ය සෙරෙප්පු දෙකක් දාගෙන සති අන්තයේ එලියට යන එක අපි හැමෝම වගේ කරන දෙයක්. ඒ වෙලාවට ඔබේ කකුලේ ඇඟිලි සහ නියපොතු නිරාවරණය වෙනවා. ඔබ නොහිතනවාට බොහෝ දෙනෙකුට මේ දේවල් පෙනෙනවා. ඒ නිසා ඔබේ අතේ සහ කකුලේ කියන දෙකේම නියපොතු ඔබ කැමති ප්‍රමාණයකට කෙටි කරගන්න එක සති දෙකකට වරක් අනිවාර්යෙන්ම කරන්න. ඒ වගේම නියපොතු මදක් ඉස්සරහට ඉතුරු කරලා කපන කෙනෙක් නම්, ඔබ අනිවාර්යෙන්ම මේ නියපොතු අතරේ රැඳෙන කුණු ගැන සැළකිලිමත් විය යුතුමයි. කුණු, දහදිය වගේම කෑම කොටසුත් මේවා අතර ඉතුරු වෙලා අපිරිසිදු පෙනුමක් ඇතිවෙන්න පුළුවන්. ඒනිසා නියපොතු පිරිසිදු කිරීම අනිවාර්යෙන්ම කළ යුතුයි. නිවැරදිව ඔබේ නියපොතු කපාගැනීම සහ ඒවාට සාත්තු කරගැනීම ගැන සවිස්තර වීඩියෝවක් gasma YouTube නාලිකාවෙන් ඔබට බලන්න හැකියාව තිබෙනවා.

ඊළඟට අපි ඔබට කියන්න යන්නේ ඔබේ රැවුල ගැන. ඔබ සම්පුර්ණයෙන්ම රැවුල කපා ඉවත් කරන කෙනෙක් නම් දිනපාතා හෝ දිනක් හැර දිනක් අනිවාර්යෙන්ම ඒ කටයුත්ත කළ යුතුමයි. එහෙම නැතුව ඔබ රැවුල වවන කෙනෙක් නම් එහි වැවීමේ වේගය අනුව අවම වශයෙන් සතියකට වරක් වත් රැවුලේ Lines පිළිවෙලට සකස් කරගෙන වැඩි කොටස් කපා ඉවත් කරමින් Trim කරගැනීම කළ යුතුමයි. ඒවගේම අමතක නොකළ යුතු තවත් දෙයක් තමයි ඔබේ බෙල්ලේ, පිට ප්‍රදේශයේ කන් වල සහ නාසයේ අනවශ්‍ය රෝම තිබේ නම් ඒවා අනිවාර්යෙන්ම ඉවත් කරන්න. බෙල්ලේ ඉදිරිපස රැවුලත් සමග වැවෙන රෝම ඉවත් කිරීම අනිවාර්යෙන්ම කළ යුතුයි. නැතිනම්, ඔබේ පෙනුම අපිළිවෙලට පෙනේවි. ඒ වගේම කණ සහ නාසය ආශ්‍රිත රෝම පිටතට පෙනෙන විදිහට තිබීම අවලස්සන දෙයක්. ඒ සියල්ල සුදුසු පරිදි ඉවත් කරගැනීම අත්‍යවශ්‍යයි. ඔබේ පෙනුම වැඩි වෙන්නේ මේ කටයුතු නිසි පරිදි කරනවානම් පමණයි. බෙල්ල පිටුපස තිබෙන රෝම සහ පපුවේ රෝම ඔබේ ටී ෂර්ට් එකේ හෝ ෂර්ට් එකේ කරට උඩින් පෙනෙන විදිහට තිබීමත් අපිළිවෙල බව ඔබ නොදන්නවා ඇති. ඒ නිසා ඒවා නිසි පරිදි ඉවත් කර කෙටි කරගන්න. මේ වෙනුවෙන් වෙලාවක් වෙන්කර ගන්න අමතක කරන්න එපා. ඔබ මොන වටිනා ඇඳුම ඇන්දත්, මේ කාරණය නොසලකා හැරියොත්, ඔබේ පෙනුම අපිළිවෙල වනවාමයි.

ඊළඟට අපි ඔබේ අවදානය යොමු කරවන්නේ ඔබ ලඟින් හමන “සුවඳ”ට. සුවඳ විලවුන් වර්ග සහ ඒවා තෝරා ගැනීම, භාවිතය ගැන අපි සවිස්තරාත්මක ලිපි පෙළක් ඔබට ගෙන ආවා. ඒ අනුව ඔබට ගැලපෙන Perfume වර්ගයක් තෝරාගෙන පාවිච්චි කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔබ ශරීරය පිරිසිදු කරගත් සැනින් මේ කවර හෝ වර්ගය පාවිච්චි කරන්න. සමහර අය කරන වැරද්දක් තමයි Perfume එක ඇඳුමට උඩින් ඉසගැනීම. මේ Perfume හදන්නේ ඔබේ සිරුරට මිස ඇඳුමට නොවෙයි. ඇඳුමට වෙනම Perfume වර්ග තිබෙනවා වගේම ඇඟට අදාළ Perfume ඇඳුමට ඉසීමෙන් ඔබේ වටිනා ඇඳුමටත් හානි විය හැකියි. ඒනිසා මතක ඇතුව සුදුසු Perfume එකක් තෝරාගෙන ඔබේ සිරුරේ ගලවා ගන්න. නිතර පිටතට යන, දහදිය දමන කෙනෙක් නම් Deodrant වර්ගයක් පාවිච්චි කිරීමත් වැදගත්. ඒ වගේම Office ගෙනියන Bag එකේ නැතිනම් වාහනේ තැනක Perfume එකක් තිය ගත්තට වරදක් නැහැ. දවස පුරාම ඔබට නැවුම්ව අනික් අය ඉදිරියට යන්න මේ පුරුද්ද ප්‍රයෝජනවත් වේවි.

ඔයාගෙ Perfume එක ගැන ඔයා හරියටම දන්නවද..? – 01

තවත් වැදගත් කාරණයක් තමයි ඔබේ මුහුණේ පිරිසිදු බව. අපි වගේ තරමක් රස්නය සහිත හොඳින් හිරු එලියට නිරාවරණය වන රටක මේ මුහුණේ පිරිසිදු බව එන වැඩිපුර සැළකිලිමත් වන්න සිදුවනවා. ඔබේ සැමට ගැලපෙන සුදුසු Facewash වර්ගයක් තෝරා ගන්න. ඒ කවර හෝ භාවිතා කරමින් අවම වශයෙන් දවසට දෙවරක් මුහුණ පිරිසිදු කරගන්න. ඔබ නිතර පිටතට යන, දුහුවිල්ලට නිරාවරණය වන රැකියාවක නිරත වනවා නම් මේ වාර ගණන වෙනස් කළ යුතුමයි. දෙවරක් ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒ වගේම සතියකට වරක් වත් මුහුණට Scrub එකක් කරගැනීම කළ යුතුම දෙයක්. ඔබේ මුහුණේ සම පිරිසිදු කරගැනීමට මේවා ඉතාම වැදගත්. පිරිමි පාර්ශවය හුඟ දෙනෙක් මේ දේවල් වලට යොමු නොවන්නේ ඒවා “ගැහැණුන්” කරන වැඩ කියල හිතන නිසා බව පෙනෙන්නට තිබෙනවා. තමන්ගේ සම, මුහුණ පිරිසිදු කරගැනීම ස්ත්‍රී පුරුෂ භේදයක් ඇති දෙයක් නොවෙයි. ඒ නිසා ඒ පැරණි ආකල්ප වලින් මිදිලා තමන්ගේ මුහුණේ පෙනුම, පිරිසිදුකම වෙනුවෙන් අවශ්‍ය දේවල් කරන්න කටයුතු කරන්න. ගෙදරදීම Scrub එකක් Facial එකක් කරගන්නා විදිහ ගැන අපි නැවත ලිපියකින් ඔබව දැනුවත් කරන්නම්.

ඔබේ හිසකෙස් සේදීම. අපේ රටේ බොහෝ දෙනක් දිනපතා නාන්න පුරුදු වුන අය. ඒක වැරදියි කියල කියන්න අපි උත්සාහ කරන්නේ නැහැ. ඒත් නෑමේදී දිනපතා ෂැම්පු භාවිතය නම් වැරදියි කියල අපිට කියන්නම වෙනවා. සාමාන්‍යෙන් පිළිගත් මතය තමයි සතියකට තුන් වරක් ෂැම්පු භාවිතය ප්‍රමාණවත් බව. ඔබ දිනපතා ෂැම්පු භාවිතා කළොත්, ඔබේ හිසකෙස් සහ හිස් කබල වියලෙනවා වගේම අත්‍යවශ්‍ය තෙල් වර්ග සේදී යනවා. ඒ මගින් හිසකෙස් වලට වගේම හිස්කබලටත් වන්නේ හානියක් මිස යහපතක් නොවෙයි. ඒ නිසා ෂැම්පු භාවිතය අවම වශයෙන් දින දෙකකට වරක් කරන්න කියලයි අපි ඔබට මතක් කරන්නේ. එහෙම නොවුනොත් ඔබේ හිසකෙස් වියළි අපිළිවෙල හිසකෙස් විදිහට පෙනීම නවතන්න බැරිවේවි. ඒ නිසාම හිසකෙස් වලට හිතකර වන Hair cream / Oil හෝ Hair Moose වර්ග තෝරා ගන්නත් අමතක කරන්න එපා.

ඔබේ පෙනුමෙන් ඔබේ චරිතය පිලිබඳ අදහසක් අනිකාට දනවෙනවා. ඔබ කැමති වුනත්, අකමැති වුනත් එය වලක්වන්න ඔබට බැහැ. ඒ නිසා අපි මේ කියන ලද කරුණු ගැන දැන් සිටවත් අවදානය යොමු කරන්න. මාසයක් දෙකක් දිගටම මේ පිළිවෙල අනුගමනය කර බලන්න. ඔබේ වෙනස ඔබටම දැනේවි.

– අන්තර්ජාලය ඇසුරිනි –

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here