Blog Page 12

අඟහරු මත ජනාවාස ඇති කරන්න සුදානම් වන – SpaceX …

පෘතුවියෙන් එහා විශ්වය පිලිබඳ අධ්‍යනය කරන්න මිනිසුන්ට අභ්‍යවකාශය තරණය කිරීමට සිදුවෙනවා, ඒ සඳහා විද්‍යාඥයින් විසින් රොකට් යානා නිපදවීම සිදුකරනවා.ලෝව පළමු චන්ද්‍රිකාව වන ස්පුට්නික්-1 චන්ද්‍රිකාව අභ්‍යවකාශය වෙත ගෙනයාමේ සිට 1969 දී නීල් ආම්ස්ට්‍රෝන් සඳ මත පා තබන මෙහෙයුම දක්වා සිදු කරනු ලැබූ අභ්‍යවකාශ තරණයන් සඳහා රොකට් යානා භාවිතා කිරීම සිදු වුණා.

ක්‍රි.ව. 1200 කාලයේදී මෙම රොකට් යානා පිලිබඳ අහන්න ලැබුනත්, රොකට් යානාවක් ප්‍රථමයෙන් දැකගන්න ලැබෙන්නේ 1926 වර්ශයෙදී ය. කොහොම නමුත් කාලයත් සමග ඉතා වේගයෙන් මෙම රොකට් තාක්ෂණය දියුණු වීමෙන් මේ වන විට අපට Falcon 9, Electron, Atlas-V, New Shepard වැනි නවීන රොකට් යානා දැකගන්නට ලැබෙනවා.

 

 

රොකට් යානා භාවිතයෙන් චන්ද්‍රිකා අභ්‍යාවකාශගත කිරීම සිදු කළත් , මිනිසුන් අභ්‍යාවකාශ තරණය සිදු කළත් මෙම යානා වල ප්‍රධාන අවාසි 2 තිබෙනවා. ඒ තමයි ආරක්ෂාව සහ වියදම. ආරක්ෂාව ගැන කතාකරොත් මෙම රොකට් යානා බලගන්වන්න හයිඩ්‍රජන්,ඔක්සිජන් වැනි පිපිරෙනසුලු මූලද්‍රව්‍ය යොදාගැනීම හේතුවෙන් රොකට් යානා අනතුරු වාර්තා වෙලා තියෙනවා. චැලෙන්ජර් ශටල අනතුර කියන්නෙත් ඒ වැනි අනතුරක්.

 

 

ඒ වගේම තමයි රොකට් යානා නිපදවීමට හා භාවිතයට විශාල මුදලක් වැයවීම. උදාහරණයක් ලෙස මේ වන විට අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ගගණගාමියෙකු පිටත් කිරීමට NASA ආයතනයට ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 100 කට ආසන්න මුදලක් වැයවෙනවා.

ඉතින් මේ වගේ අභ්‍යවකාශ තරණයන්ට විශාල වශයෙන් මුදල් වැයවීම අවම කරන්න ඉදිරිපත් වෙච්ච සමාගමක් තමයි SpaceX කියන්නෙ.

SpaceX

Elon Musk කියන්නෙ මේ වන විට ලෝව පොහොසත්ම පුද්ගලයෙක්. ඔහු විසින් නිර්මානය කරපු X.COM ( මේ වෙද්දි PayPal යනුවෙන් හඳුන්වන ) වෙබ් අඩවිය 2002 වසරේදී ඩොලර් බිලියන් ගනනකට අලෙවි කිරීමෙන් පසු ඔහු විසින් තවත් අළුත් සමාගම් දෙකක් නිර්මාණය කරනවා. ඒ තමයි Tesla සහ SpaceX කියන්නේ. වසර කිහිපයකට පසු ඔවුන් තමන්ගෙ පළමු රොකට් යානාව වන Falcon 1 පරික්ෂා කරනවා, අසාර්ථක උත්සහයන් 3 කට පසුව හතරවන උත්සහයෙදි ඔවුන් සාර්ථකව පෘතුවි කක්ෂයට පිවිසෙනවා. කෙසේවෙතත් මෙම හතරවන Falcon 1 දියත් කිරීමෙන් අනතුරුව ඔවුන් Falcon 1 රොකට්ටුව භාවිත කිරීම නවත්වනවා.

 

 

 

2010 වසරේදී SpaceX, Falcon 9 රොකට් යානය සමග නැවත කරළියට එනවා. මෙම Falcon 9 රොකට් යානය පරීක්ෂණ ගණනාවකට ලක් කිරීමෙන් අනතුරුව රොකට් යානය නැවත භාවිත කල හැකි ලෙස නිපදවා තිබෙනවා. SpaceX විසින් Falcon 9 රොකට් යානය භාවිත කිරීම සිදු කරන අතර ඔවුන්ට මෙම යානයේ මුල් කොටස් 10 වතාවක් දක්වා නැවත භාවිත කිරීමට සමත් වෙලා තියෙනවා.

Starship

SpaceX ආයතනයෙන් Falcon 9 Rocket යානය මුල් කොටස First Stage එක නැවත භාවිත කරන්න හදල තිබුනට Falcon 9 රොකට් යානයේ දෙවෙනි කොටස නැවත භාවිත කිරීමට හැකියාවක් නැහැ. Falcon 9 රොකට් යානය භාවිතා වනුයේ පෘතුවිය අවට කක්ෂ වලට (කිලෝමීටර් 2000-30,000) භාණ්ඩ ප්‍රවාහනය කිරීමටයි. නමුත් Falcon 9 Rocket යානයට පෘතුවියෙන් එපිට ස්ථාන වලට භාණ්ඩ ප්‍රවාහනය කිරීම තරමක් අපහසුයි. මෙම හේතු නිසා SpaceX ආයතනයෙන් මේ වන විට අඩුපාඩු මගහැරගෙන “Starship” නමින් නවතම රොකට් යානාවක් නිෂ්පාදනය කරමින් පවතිනවා.

 

 

StarWars කතාමාලාවෙ එන Starship එක මුල් කරගෙන තමයි මේ රොකට් එකට නම දාල තියෙන්නේ. ඉතින් මේ Starship යානය හදල තියෙන්නේ සම්පූර්ණයෙන්ම නැවත භාවිතා කිරීමට හැකි අයුරින්. ඒ අනුව මෙම රොකට් යානයට පෘතුවි වායුගෝලයෙන් සහ ගුරුත්වාකර්ෂණයෙන් ඉවත් වී යාමට හැකි විශාල බලයක් තිබෙන පලවෙනි කොටස හා අභ්‍යවකාශයේ දී ගමන් කිරීම සහ භාණ්ඩ ප්‍රවාහනය, ගබඩාකිරීම වැනි දැ කරන දෙවෙනි කොටස ( First Stage & Second Stage ) යන කොටස් දෙකම මේ Starship යානයෙදි නැවත භාවිත කිරීමට හැකි ලෙස නිෂ්පාදනය කර තිබෙනවා.

 

 

මෙහි ඇති වැදගත් කරුණ වනුයේ Starship යානයට පෘතුවියෙන් එහා තියෙන ග්‍රහලෝක වලට වුවත් ගමන් කිරීමට හැකි වීමයි. එවැනි ග්‍රහලෝක අතර කරන ගැඹුරු අභ්‍යවකාශ ගමනකට ඉන්ධන අධික ලෙස අවශ්‍ය වෙනවා. සාමාන්‍යයෙන් රොකට් යානයක් පෘතුවි වායුගෝලයෙන් සහ ගුරුත්වාකර්ෂණයෙන් ඉවතට යාමට විශාල ඉන්ධන ප්‍රමාණයක් භාවිතා කරනවා. ඉතින් නැවත භාවිත කරන්න පුලුවන් Starship වගේ යානයක් වෙනත් ග්‍රහලෝකයකට මෙහෙයුමක් කිරීමේදී එම ග්‍රහලෝකය වෙත යාමට හා නැවත පෘතුවියට පැමිණීමට විශාල ඉන්ධන ප්‍රමාණයක් භාවිතා කරනවා. මෙවැනි මෙහෙයුමක දී Starship යානයට පෘතුවි කක්ෂයකට ගොස් එහි නැවතී Tanker ලෙස හඳුන්වන Starship වර්ගයෙන් Starship එක නැවත Refuel කරගන්න හැකියාව තියෙනවා. ඉතින් දැනට ගණනය කරල තියෙන විදිහට පෘතුවි කක්ෂයෙදි නැවත Refuel කරපු Starship එකකට පුලුවන් චන්ද්‍රයා මතට මිනිස්සුන්ව රැගෙන ගොස් ආපසු පෘතුවියට විත් ගොඩබැමටත්.

ඇයි මේක වැදගත් වෙන්නෙ ?

Starship | Earth to Earth

දැන් ඔයාලා අහයි මේක තවත් එක රොකට් එකක්නෙ, ඇයි මේක සාමාන්‍ය මිනිසුන්ට වැදගත් වෙන්නෙ කියලා? එලෝන් මස්ක් කියන විදිහට මේ Starship එක හදන එකේ ප්‍රධාන අරමුණ තමයි අඟහරු වල මිනිස් ජනාවාස ඇති කරන එක. මොකද දැනට පෘතුවියෙ මිනිස්සු කරන බොහෝ ක්‍රියාකාරකම් නිසා ළඟදීම දවසක පෘතුවියෙ ජීවත් වෙන්න බැරිව යනව කියන එක තමයි එයාගෙ අදහස. ඉතින් මේ විදිහට අඟහරු වගේ වෙනත් ග්‍රහලෝකයකට මිනිස්සුන්ව සහ භාණ්ඩ ප්‍රවාහනය කරන එක හැරුනම මේ Starship එකට කරන්න පුළුවන් තවත් දෙයක් තමයි පෘතුවියෙ තැන් දෙකක් අතර ප්‍රවාහනය සිදුකරන එක.

ඉතින් SpaceX ආයතනයෙන් ඉදිරිපත් කරල තියෙන වීඩියෝ වලට අනුව ගුවන්තොටුපලක් වගේ තැනක මිනිසුන්ට ලේසියෙන්ම Starship එකට ඇතුල් වෙලා ලෝකෙ ඕනෙම තැනකට විනාඩි තිහක් වගේ ගොඩක් පොඩි කාලයක් ඇතුලත ගමන් කරන්න හැකියාව තියෙනවා.

Starship එකේ අනාගතය

ඉතින් දැන් තියෙන තාක්ෂණය එක්ක මේ වගේ ගොඩක් වැඩ කරන්න පුළුවන් රොකට් යානයක් හදන්න පුළුවන් ද කියලා හිතෙයි. ඇත්තටම මේ වෙද්දි SpaceX ආයතනයෙන් Starship එකේ පරීක්ෂණ විශාල ප්‍රමාණයක් කරල තියෙනවා. ඒ වගේම අපිට මේ වෙද්දි Starship පරීක්ෂණ යානා 7 ක් මීටර් 150 ක් සහ කිලෝමීටර් 10 වගේ උසවල් වලට පියාසර කරල තියෙනවා බලාගන්න පුළුවන්. දැනට තියෙන ආරංචි මාර්ග අනුව අපිට මේ Starship යානයේ පළමු අභ්‍යාවකාශ ගමන ලබන වසරේ මුල් කාලයේදී දැක බලා ගැනීමට හැකියාව තිබෙනවා.

 

ඊට අමතරව මේ වන විට NASA ආයතනයෙන් සැලසුම් කරල තියෙන Artemis 2024 කියන සඳ ගමනේදී, සඳ මතට ගොඩබෑම සිදුකරන්න Starship යානයේ තවත් එක ආකෘතියක් වෙන Starship HLS යානය භාවිතා කිරීමට තීරණය කරල තියෙනවා. එතකොට අපිට ඒ ගමනත් 2023 සහ 2024 වගේ වර්ශවලදී බලාගන්න ලැබෙනවා.

 

ධනංජය පසන්

ගෘහස්ථ ගෑස් සිලින්ඩරය ගැන අපි හරියටම දැනුවත්ද?

ගෑස් කියන්නේ මේ දවස් වල හැමෝම කතාබහ කරන මාතෘකාවක්. ගෑස් නොමැති වීම ගැන බොහෝ දෙනා හඬ නගන අතරේම මේ ගෑස් සම්බන්ධ විවිධ ප්‍රවෘත්තිත් තැනින් තැන අසන්නට ලැබුනා ඔබට මතක ඇති. මුළුතැන්ගෙයි භාවිතා කරන ගෑස් උඳුන් කාන්දු වීම හේතුවෙන් සිදුවූ පුපුරා යාම් කිහිපයක්ම මේ පුවත් අතර තිබුනා. පසුගියදා කොළඹ Racecourse ගොඩනැගිල්ලේ පිහිටි අවන්හලක සිදුවූ ගෑස් කාන්දුවක් හේතුවෙන් විශාල පිපිරීමක් සමග ගින්නක් පවා හටගෙන තිබුනා. ඇතැම් මාධ්‍ය මේ සිදුවීම් සහ ගෑස් හිඟ බව අතර සම්බන්ධයක් ගොඩනගන්නත් උත්සාහ කොට තිබූ අයුරු බොහෝවිට ඔබ අසා තිබෙනවත් විය හැකියි. ගෑස් වල තත්වය බාල කොට වෙළඳපොළට නිකුත් කිරීම හේතුවෙන් දිගින් දිගටම මෙවැනි පිපිරීම් ඇතිවන බව එවැනි වාර්තා වලින් කියවුනා. මේවායේ ඇත්ත නැත්ත කෙසේ වෙතත් අවසානයේ ගෑස් කාන්දු වීම හේතුවෙන් අවාසනාවන්ත ලෙස සිදුවූ පුපුරා යාම් කිහිපයක්ම අපට අසන්නට ලැබුනු නිසා, ගෑස් කාන්දුවීම ගැන ඔබව දැනුවත් කරන්න අපි කල්පනා කළා.

 

 

 

මුළුතැන්ගෙයි පාවිච්චි කරන ගෘහස්ථ ගෑස් සිලින්ඩරය ගැන අපි හරියටම දැනුවත්ද කියන කාරණය ගැන අපිට නැවත වරක් සිතා බලන්න සිදුවනවා. විශේෂයෙන්ම ගෑස් උඳුනක් භාවිතා කිරීමේදී සැළකිලිමත් විය යුතු කරුණු ගැන අපි නිවැරදිව අවදානය යොමු කරනවාද..? මේ ගැන අපි සිතා බැලිය යුතුමයි. ගෑස් උඳුන අපි භාවිතා කරන්නේ මුළුතැන්ගෙයි ඇතුළත නිසා බොහෝවිට රාත්‍රී කාලයේ වසාදැමූ මුළුතැන්ගෙය විවෘත කළ සැනින් උඳුන දැල්වීම කොහෙත්ම සුදුසු නැහැ. නමුත් නොදැනුවත්කම නිසා අපි කරන බරපතල වරදක් බව දැනගත යුතුමයි. ඔබ උදෑසන අවදි වූ සැනින් මුළුතැන්ගෙයට ගිය ගමන්ම සියල්ලට පෙර එහි ජනේල විවෘත කරන්න. මිනිත්තු කිහිපයක් ඇතුළතට හොඳින් වාතාශ්‍රය ලැබෙන පරිදි තබන්න. ඉන් පසුව ඔබ හොඳින්ම විමසිලිමත් විය යුතුයි කිසියම් ගෑස් කාන්දුවක් ඇතිවී ඇතිද යන කාරණය. සාමාන්‍යෙන් ගෑස් කාන්දුවක් වූ අවස්ථාවක ඒ බව ඔබේ නහයට හොඳින්ම දැනෙනවා. ඒ නිසා විමසිල්ලෙන් ඒ ගැන සොයා බලන්න. එවැනි යමක් ගැන ඉඟියක් තිබෙනවා නම් කිසි විටෙකත් ඔබේ ගෑස් උඳුන නොදල්වීමට කටයුතු කරන්න.

 

 

ඒ වගේම ගෑස් කාන්දුවීම් වලක්වා ගන්න නම් තවත් ඔබේ අවදානය යොමු කළ යුතු කරුණු කිහිපයක්ම තිබෙනවා. ඔබේ මුළුතැන්ගෙයි ගෑස් උඳුන සහ සිලින්ඩරය තිබෙන තැන ඉතාම වැදගත්. විශේෂයෙන්ම විදුලි රැහැන්, විදුලි පේනු ආදිය අසල මේ දෙකම තබන්න එපා කියන කාරණය සඳහන් කළ යුතුමයි. ඒ වගේම අදාළ රබර් නලය, රේගියුලේටරය ආදිය හොඳින් පවතිනවාද, නලය සවිකරන තැන් හොඳින් ආවරණය වී තිබෙනවාද කියන කරුණු ගැනත් ඔබේ සැලකිල්ල යොමුවිය යුතුමයි. එසේ නොවුනොත් ඔබටත් නොදැනීම ගෑස් කාන්දුවීම් නිසා විශාල විනාශයක් ඇතිවිය හැකියි. ඒ වගේම උඳුනෙන් පිටවන දැල්ල පිරිසිදු නිල පැහැයෙන් තිබිය යුතුයි. කහ හෝ තැඹිලි පාටින් දැල්ල පවතිනවා නම් වහාම ඔබේ ගෑස් උඳුන පරික්ෂා කරවාගත යුතුයි. එය අලුත්වැඩියාවට කාලය පැමිණ ඇති බවට ඔබට ලැබෙන ඉඟියක්. ඒ වගේම ඔබ ගෑස් උඳුනක ඉවුම් ඔඉහුම් කටයුතු කරන අවස්ථාවේ දුහුල් සහ ඉක්මනින් ගිනි ඇවිලෙන සුළු ඇඳුම් ඇඳීමෙන් වැළකීමත් පූර්ව ආරක්‍ෂිත පියවරක් බව සඳහන් වනවා.

මීට අමතරව අපි එදිනෙදා වැඩකටයුතු අතරේ කරන වැරදි කිහිපයක්ම ඔබේ මුළුතැන්ගෙයි හදිසි අනතුරක් ඇතිවීමේ අවදානමකට පාර කියනවා. ඒ නිසා එවැනි කටයුතු නොකිරීමට වගබලා ගැනීමත් අතිශය වැදගත්. කෑම පිසිමින් සිටින අතරතුර ලිප දල්වා තබා වෙනත් වැඩකට යාමෙන් වලකින්න. එලෙස යායුතු සෑම විටකම ලිප නිවා දමා යාමට වගබලා ගන්න. ඔබේ කෑම පිසින බාජන පිලිබඳ සැළකිලිමත් වන්න. පිසින අවස්ථාවේදී ඒවායේ මිට උඳුනෙන් පිටතට යොමුවන සේ තබාගන්න. නිතරම තෙල් සහ වෙනත් අපද්‍රව්‍ය නොබැඳෙන ලෙස උඳුන පවිත්‍රව තබාගන්න. හදිසි අවස්ථාවකදී භාවිතයට ගිනි නිවීමට භාවිත කළ හැකි බ්ලැන්කට්ටුවක් වැනි දෑ මුළුතැන්ගෙයි තබාගන්න. ගෑස් උඳුනට ආසන්නයේ ඔබේ අත්පිස්නා, වෙනත් රෙදි උපකරණ ආදිය තැබීමෙන් වළකින්න. මෙවැනි ආරක්‍ෂිත පියවර අනුගමනය කරමින් නිසි සැළකිල්ලකින් යුතුව කටයුතු කරගැනීමෙන් අවාසනාවන්ත ලෙස ඇතිවිය හැකි ගෑස් කාන්දු නිසා සිදුවන පිපිරීම් ආදිය වලක්වා ගැනීමට ඔබට හැකිවේවි. නිරන්තර විමසිල්ල සහ අවදානය ඔබට සහ ඔබේ ආදරණියයන්ට සැනසිල්ල ගෙනදේවි.

ජීවිතේට Break නෑ, දියවැඩියාවට Reverse නෑ…

දියවැඩියාව කියන්නේ ලංකාවේ විතරක්ම නෙමෙයි ලෝකයේම දැඩි අවධානයක් දිනාගත් මාතෘකාවක්. ගෝලීය වසංගත තත්වයකට මුහුණ දෙමින් ඉන්න අතරවාරයේ වුනත් දියවැඩියාව ගැන සැළකිලිමත් වීම අමතක නොකළ යුත්තේ එයත් වසංගතයක් තරම්ම භයානක නිසයි. බෝනොවන රෝගයක් නිසා අපට දියවැඩියාව ගැන සුළුවෙන් තකන්න හැකියාවක් නැහැ. හේතුව මේ වනවිට ලෝකයේ වැඩිම පිරිසකට ජීවිතය අහිමි කරවන බෝනොවන රෝගය විදිහට හඳුනා ගන්නෙන්නේ දියවැඩියාව වීමයි. ඒ නිසාම දියවැඩියාව ගැන ඔබ දැනගත යුතුම කරුණු ටිකක් ඔබට කියන්න gasma.lk අපි තීරණය කළා.

 

දියවැඩියාව කියන්නේ “සුවකළ නොහැකි” රෝගයක් විදිහට දැනට හඳුනා ගැනෙනවා. එහෙම කතාවක් ඇහුවහම ටිකක් කලබල වෙනවා නේද..? නමුත් ඇත්ත තත්වය ඒකයි. දියවැඩියාව පාලනය කරන්න හැකියාව තියෙනවා වගේම හැදෙන්න කලින් වළක්වා ගන්නත් අවස්ථාව තියෙනවා වුනත් වැළඳීමෙන් පසුව සුවකිරීමක් ගැන සිතීම නිෂ්පල වැඩක්. ඒ නිසා දියවැඩියාව හැදෙන්න කලින් වළක්වා ගන්න නම්, ඔබ දැනගෙන සිටිය යුතුම කාරණා ටිකක් අපි මේ ලිපියෙන් ඔබේ අවදානයට යොමු කරන්න හිතුවා.

 

 

 

දියවැඩියාවේ මූලික ප්‍රභේද දෙකක් හඳුනා ගැනෙනවා. එයින් අපි වැඩිපුරම කතාබහ කරන්නේ Type II Diabetes නැතිනම් දෙවැනි කාණ්ඩයේ දියවැඩියාව කියන ප්‍රභේදය ගැන. මේ වර්ගය ඔබට වැලඳෙනවා නම්, ඒකට ප්‍රභලම හේතුව වෙන්නේ ඔබේ ජීවන රටාව සහ පුරුදු බව ඔබ මතක තබාගත යුතුමයි. 2016 වසරේ සංඛ්‍යාලේඛන දත්ත අනුව ලෝකයේ වැඩිම පුද්ගල මරණ වලට හේතුසාධක වූ කරුණු ලයිස්තුවේ 07 වැනි තැනට සඳහන් වුයේ මේ දෙවැනි කාණ්ඩයේ දියවැඩියාවයි.

 

ඔබේ දෛනික පුරුදු සහ ජීවන රටාව නිසා ඔබටත් නොදනිම වැළඳිය හැකි මේ දියවැඩියා තත්වය විවිධ ආකාර වලින් ඔබට හානි පැමිණවිය හැකියි. විශේෂයෙන්ම මේ හේතුවෙන් ශරීරයේ විවිධ පද්ධති වල ක්‍රියාකාරීත්වය අඩපණ වනවා. ඒ වගේම ඔබේ මොළයට, හෘදයට, ඇසට, ස්නායු පද්ධතියට වැනි විවිධ ශරීර අංග වල අකර්මණ්‍ය වීම් සිදුවීමේ අවදානමක්ද පවතිනවා. අංශභාග තත්වයට පත්වීම සහ මරණයට පත්වීමටත් දියවැඩියා තත්වය හේතුවිය හැකියි. ඒ නිසා මේ තත්වය වැළඳීමට පෙර වළක්වා ගැනීම අතිශය වැදගත්.

 

කොහොමද දියවැඩියාව වැළඳීම වළක්වා ගන්නෙ..? දැන් ඔබට මේ ගැටළුව ඇතිවනවා නේද..? මේක ඉතා අසීරු කටයුත්තක් නොවෙයි. ඔබේ දෛනික ජීවන රටාවේ සහ පුරුදු වල වෙනස්කම් කිහිපයක් පමණක් කිරීමෙන් ඔබට පහසුවෙන්ම දියවැඩියාවෙන් වැළකීමට හැකියාව තිබෙනවා. මොනවද ඒ පුරුදු..?

 

පළමු වැනිම කාරණය ඔබේ ආහාර රටාව වෙනස් කරගැනීම. ඔබ දැනට ගන්න කෑම වර්ග ගැන තරමක් සැළකිල්ලෙන් සිතා බලන්න. කොතරම් ශරීර සෞඛ්‍යට නුසුදුසු කෑම වර්ග ගණනාවක් ඔබ දවසකට ඔබේ ආහාර වල එකතු කරගන්නවාද..? මේ තත්වය වෙනස් කරගැනීම දියවැඩියාව වළක්වා ගැනීමේ මූලිකම පියවර වනවා. ඔබ දැනටමත් Fast food, junk foods වලට ඒ කියන්නේ සැකසූ ක්ෂණික කෑම වර්ග වලට පුරුදු වෙලා නම්, ඉක්මනින්ම මේ පුරුද්දෙන් මිදෙන්න ඔබට සිදුවනවා. ඒ වගේම ඔබේ ආහාර වේල නිසි අගයෙන් යුතු පෝෂක කොටස් ප්‍රමාණයන් සහිත එකක් විය යුතුමයි. ඒක එතරම්ම අමාරු කටයුත්තක් නොවෙයි. ඔබේ කෑම පිඟාන ගැන සිතා බලන්න. ඒ ප්‍රමාණය කොටස් හතරකට බෙදා ගන්න. මෙයින් 1/4ක් පමණක් කාබෝහයිඩ්රේට් අඩංගු කෑම වර්ග ඇතුළත් විය යුතුයි. ඒ කියන්නේ බත්, ඉඳි ආප්ප, පිට්ටු, කුරහන් මිශ්‍ර පාන්, පැස්ටා, නූඩ්ල්ස් වැනි ඕනෑම දෙයක් එක කොටසක ප්‍රමාණයට පමණක් ගත යුතුයි. ඊළඟ 1/4 වෙන් වන්නේ ප්‍රෝටීන වලට. සම රහිත කුකුල් මස්, මාළු, බිත්තර, මේද රහිත කිරි, සහ මේදය අඩු වෙනත් මස් වර්ග මේ කොටසට ඇතුළත් කරගන්න ඔබට පුළුවන්.ඉතිරි 2/34 ප්‍රමාණයට පිෂ්ටය නැති එළවලු එකතු කරගත යුතුයි. මේ පෝෂක අඩංගු වන විදිහට ආහාර වේල සකස් කරගැනීම මූලිකම අවශ්‍යතාවක් වනවා.

 

 

 

ඊළඟට ඔබේ බීම වර්ග භාවිතය ගැනත් සැළකිලිමත් විය යුතුයි. පිරිසිදු වතුර, සීනි රහිත තේ හෝ කෝපි, තක්කාලි හෝ එළවලු යුෂ සහ මේද රහිත කිරි වැනි බිම වර්ග පමණක් ඔබේ ශරීරයට එකතු කරගන්න වගබලා ගන්න. සෝඩා සහ කාබනේට් අඩංගු පාන, ශක්තිජනක බීම වර්ග, කෘතීම පැණිරසකාරක අඩංගු බීම වර්ග, ඇල්කොහොල් සහ ඇල්කොහොල් අඩංගු පාන වර්ග කියන මේ දේවල් ඔබේ කෑම බීම ලැයිස්තුවෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කරගන්න හැකි තරමට ඔබට දියවැඩියාවෙන් වළකින්න හැකියාව ලැබේවි.

 

 

ඒ වගේම ඔබ වයස අවුරුදු 40 ඉක්මවූ අයෙක් නම් ඔබ සාමාන්‍යෙන් ඉන්නෙ අවදානම් තත්වයක බව මතක තබා ගත යුතුයි. විටින් විට ඔබේ රුධිර සීනි මට්ටම පරික්ෂා කරවා ගන්න අමතක නොකළ යුතුයි. ඒ වගේම ඔබේ මුත්‍රා පිටවීමේ ප්‍රමාණය පිළිබඳව සැළකිලිමත්ව සිටීමත් වැදගත්. නිතර මුත්‍රා පිටවන්නේ නම් ඔබට කිසියම් අවදානම් තත්වයක් ඇතිවිය හැකි නිසා රුධිර සීනි මට්ටම පරික්ෂා කරවා ගැනීම වැදගත්. ඔබේ දෙමව්පියන්ට දියවැඩියාව තිබේ නම් ඔබ අනිවාර්යෙන්ම විමසිල්ලෙන් පසුවිය යුතුයි. ඒ වගේම ඔබ නිතර මානසික ආතතියෙන් පෙළෙනවා නම්, නිවසේ සහ කාර්යාලයේ වැඩකටයුතු සමග ආතතියට පත්වෙලා නම්, ඔබ නැවතත් ඉන්නෙ අවදානම් කලාපයක. ආතතිය හේතුවෙනුත් ඔබ දියවැඩියා රෝගියකු විය හැකියි. දෙපා හිරිවැටීම, දෙපාවල වේදනාවක් දැනෙනවා නම්, එයත් කිසියම් සලකුණක් විය හැකි බව වෛද්‍ය මතය වනවා. එවැනි යමක් පවතිනවා නම් නිසි පරික්ෂාවන්ට ලක්වීම වැදගත්.

 

කෙසේ නමුත්, දියවැඩියාව කියන්නෙ හැදෙන්න කලින් වලක්වා ගත යුතු දෙයක්. ඒ නිසාම ඔබේ සැලකිල්ල, ඔබේම ශරීරය වෙත යොමු කරන්න. ඔබේ ආහාර රටාවන් සහ ජීවන පුරුදු ගැන වෙනදාට වඩා සැළකිලිමත් වන ලෙස අපි ඔබට යෝජනා කරනවා.

 

එන්. වෙහෙරදූව

ලෝකය වෙනස් කරන ශ්‍රී ලාංකිකයින්

අපේ ශ්‍රී ලාංකිකයින් කෙතරම් නම් නිර්මාණශීලීද? පහත දැක්වෙන්නේ එසේ ඉතිහාසය වෙනස් කළ නවෝත්පාදන බිහි කරනු ලැබූ ලාංකිකයින් පිරිසකුයි. සමාජය තුළ ධනාත්මක වෙනසක් ඇති කරන්නට තරම් ඔවුන්ගේ නවෝත්පාදන බලවත්! නිර්මාණශීලීත්වය සහ දක්ෂතාවය සහිත මේ ලාංකික නවෝත්‍පාදකයින් විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ජාත්‍යන්තරය තුළ තමන්ගේ නම තබන්නට සමත් වී තිබෙනවා.

සුරංග නානායක්කාර

 

 

2011 වසරේදී සුරංග “” ආයතනය පිහිටවනු ලැබූයේ, සංජානනීය හැකියාවන් හි සීමා පුළුල් කරන මානව පරිගණක පිළිබඳව ගවේෂණය කිරීම උදෙසායි. ඔහුගේ මෙම කාර්යය වඩාත්ම වැදගත් වන්නේ ඇසීමේ සහ පෙනීමේ ගැටලු නිසා විවිධ අභියෝගයන්ට මුහුණ දීමට සිදු වන පුද්ගලයන්ටයි.

සුරංගගේ තවත් පරීක්ෂණ ක්ෂේත්‍ර කිහිපයක්ම ලෝකයේ කතාබහට ලක්ව තිබෙනවා. Eye Ring යනු a finger-worn interface for seamless interactions such as gestures.
Haptic Chair ලෙස හඳුන්වන්නේ ශ්‍රව්‍යාබාධිත පුද්ගලයින්ට වඩාත් තෘප්තිකර/තෘප්තිමත් සංගීත අත්දැකීමක් ලබා දෙන ශ්‍රව්‍ය-දෘශ්‍ය පද්ධතියකි. Stick Ears යනු එදිනෙදා කාර්යයන් පහසු කරන ශබ්ද මත පදනම් වූ ස්ටිකි නෝට් වැනි දෙයක්… සෑම Stick Ears පද්ධතියක්ම ශබ්ද ආදානයට සහ ප්‍රතිදානයට, කුඩා මයික්‍රොෆෝනයකින් සහ ස්පීකරයකින් සමන්විත වේ.

සුරංග මේ නවෝත්පාදන වෙනුවෙන් සම්මාන රාශියකුත් ජයග්‍රහණය කර තිබෙනවා. ඒ අතර ආසියා පැසිෆික් කලාපය උදෙසා MIT Tech Review මඟින් සංවිධානය කෙරෙන TR35 සම්මානය (Young Inventor Under 35 award), Outstanding Young Persons of Sri Lanka (TOYP) ජයග්‍රහණය සහ INK Fellowship 2016ත් ඇතුළත්…

ආචාර්ය රංග ඩයස්

 

 

ආචාර්ය රංග ඩයස් යනු අධි-පීඩනය සහ උෂ්ණත්වය යටතේ වන ක්වොන්ටම් සංසිද්ධි පිළිබඳව පර්යේෂණ කරන ලොව පිළිගත් විද්‍යාඥයෙකි.

පෘථිවියේ දුර්ලභම ලෝහය වන Atomic Metallic Hydrogen H2 (solid) සොයාගැනීමට 2016-2017 වසරවල සිදු කළ පර්යේෂණවලදී සැලකිය යුතු කාර්යයභාරයක් ඉටු කිරීමට ඔහු සමත් වුණා.

ලොව ප්‍රථම කාමර-උෂ්ණත්ව අධි සන්නායකය සොයා ගත්තේද ආචාර්ය රංග ඩයස්ගේ කණ්ඩායමයි. භෞතික විද්‍යාවේ පෙරළිකාර සොයාගැනීමක් වූ එතුළින්, කාමර-උෂ්ණත්වයේ පවතින අධි සන්නායකයක් නිර්මාණය කිරීමට භෞතික විද්‍යාඥයින් තුළ වූ ගැටලුවට පිළිතුරු ද සැපයිණි.

රකිත මාලේවන

 

 

රකිත මාලේවනගේ පර්යේෂණ බොහෝමයක් සිදුවන්නේ වෛද්‍ය සහ අණුක විද්‍යාව මුල් කරගෙනයි. HIV/AIDS සහ ලියුකේමියාවට සාර්ථක ප්‍රතිඵල ගෙන දෙන ප්‍රතිකාර ක්‍රම ගොඩ නැංවීමට ඔහු කළ පර්යේෂණ ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර විය.
මනුෂ්‍ය ලියුකේමියා සෛල සඳහා නැනෝ තාක්ෂණය භාවිතයෙන් ඔහු කළ ප්‍රතිකාර පර්යේෂණය, 2014 වසරේ ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවැත්වූ International Science Projects Olympiad හි / ඔලිම්පියාඩ් ජාත්‍යන්තර විද්‍යා ව්‍යාපෘති තරඟාවලියේ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමටත් සමත් වුණා.

රකිත විසින් වාරි ජල සංරක්ෂණය සඳහා සුවිශේෂී ක්‍රමයක් සොයා ගනු ලැබුවේ 2012 වසරේදීයි. එය Stockholm Junior Water Prize National Competition තරඟාවලියේදී කුසලතා සම්මානයක් දිනා ගත්තා.

HIV සහ AIDS ආසාදිතයින් වෙනුවෙන් ඔහු කළ සමාජ මෙහෙවර අගයමින් 2016 වසරේ පොදු රාජ්‍ය මණ්ඩලයීය Queen’s Young Leaders ගෞරව නාමයෙන් පිදුම් ලැබීමටත් ඔහු සමත් වුණා.

 

මංජු ගුණවර්ධන

 

 

මංජු ගුණවර්ධන මාතර ප්‍රදේශයේ උපත ලද ජ්‍යෙෂ්ඨ පර්යේෂකයෙකි; විද්‍යාඥයෙකි. ඉන්ෆ්ලුවන්සා ව්‍යාප්තිය සීමා කිරීමට නිපද වුණු නැනෝ බල්බය/බුබුළ ඔහුගේ විශිෂ්ඨ සොයාගැනීමකි. ජාත්‍යන්තර සම්මානලාභී මෙම ලාංකීය පර්යේෂකයා පවසන්නේ කොරෝනා වෛරසය ඇතුළු වාතයෙන් බෝවන අනෙකුත් රෝග සඳහා ප්‍රත්‍යක්ෂ විසඳුමක්ද තමන් සතුව ඇති බවයි.

ඔහුගේ නවෝත්පාදනයේ තිබෙන නැනෝ අංශු මඟින් වායුගෝලයේ පවතින විෂ රසායනික, බැක්ටීරියා සහ වෛරස විනාශ කරනවා. මෙම නවෝත්පාදනය උදෙසා එක්සත් රාජධානිය විසින් නිකුත් කළ පේටන්ට් බලපත්‍රයක්ද ගුණවර්ධන සතුයි.

වාතයේ විෂබීජ විනාශ කරන නැනෝ අංශුවලින් සමන්විත වන මෙම උපාංගය ඔබේ නාන කමරයේ හෝ මුළුතැන්ගෙයි සවි කරන්නට පුලුවන්.

 

දිනේෂ් කටුගම්පල

 

 

ලෝකයේ පළමු radius meterය සොයාගත්තේ ඔහුයි. එය ඕනෑම ගෝලයක හෝ චාපයක අරය මැන ගත හැකි උපකරණයකි. මෙම උපකරණය නිර්මාණය කිරීමට පෙර, ඕනෑම වෘත්ත කොටසක අරය මැනගත හැකි ගණිතමය සූත්‍රයක්ද ඔහු විසින් එළි දක්වන ලදී. ඔහුගේ ගණිතමය සූත්‍රය Square Dual Theorem ලෙසින් හැඳින්වෙන අතර radius meterයට මුල් වූයේද එයයි.

2009දී ඔහුගේ උපකරණය සහ ගණිතමය සූත්‍රය යන ද්විත්වයටම අදාළ පේටන්ට් බලපත්‍ර දිනේෂ් ලබා ගත්තා. ඔහුට අවශ්‍ය වන්නේ ඔහුගේ ගණිතමය සූත්‍රය ගණිත විෂය නිර්දේශයට ඇතුළත් කර පාසල්වල ඉගැන්වීමටයි.

2008 වසරේදී මොරටු විශ්ව විද්‍යාලයේ NDT තාක්ෂණ ඩිප්ලෝමාව හදාරන අතරතුරේදීයි ඔහු මෙම උපාංගය නිර්මාණය කළේ…

ආචාර්ය අනුප හේරත්

 

ආචාර්ය හේරත් විසින් වැඩි දියුණු කළ නව ස්වරාලේක්ෂ අනුරුවට 2017 වසරේ ජිනීවා හි පැවති ජාත්‍යන්තර නව නිපැයුම් තරඟාවලියේදී රන් පදක්කම හිමි වුණු අතර ජූරියේ විශේෂ අවධානයක් දිනා ගන්නත් ඔහු සමත් වුණා. ඔහු විසින් නිපදවූ මෙම වීඩියෝ-ස්වරාලේක්ෂය (Video-Laryngoscope with Extended Functions) ශරීර අභ්‍යන්තරය හොඳින් පරීක්ෂා කරමින් ජීවිත රැසක් බේරා ගැනීමට මහඟු උපකාරයක් වුණා.

මෙම ශ්‍රී ලාංකිකයින්, දැවැන්ත පරිශ්‍රමයක් දරා නිපදවූ තමන්ගේ නවෝත්පාදන සහ පර්යේෂණ හරහා ලෝකයට කරන ධනාත්මක බලපෑම සුලු පටු නොවේ. අප දකින්නේ අවසාන සාර්ථක ප්‍රතිඵලය පමණක් වුණත්, ඒ සාර්ථකත්වයට ළඟා වෙන්නට පෙර කෙතරම් අභියෝගයන්ට මුහුණ දෙන්නට ඔවුන්ට සිදු වූවා ද යන්න දන්නේ ඔවුන්ම පමණයි.

ඔවුන් විසින් පෙරදී සොයාගත් නවෝත්පාදන සහ සිදු කරමින් සිටින පර්යේෂණවල බලපෑමෙන් වෙනස් වන්නේ මේ ලෝකයේ අනාගතයයි. ඇත්තෙන්ම අපේ මේ නවෝත්පාදකයින් නොසිටින්නට ලෝකය කෙතරම් නීරස වෙන්නට තිබුණාද?

ඉතින්…
ඒකාකාරී ප්‍රශ්නවලට පිළිතුරු සොයමින් ලෝකය වඩාත් සුන්දර තැනක් බවට පත් කරන්නට වෙහෙස වෙන අපගේ නිර්මාණශීලී නවෝත්පාදකයින්ට අප ස්තූතිවන්ත විය යුතු නැත්ද??

විලාසිතාවට කැමති ඔබ මේ කරුණු ගැන දැනුවත්ද ?

විලාසිතා ගණනාවක් තිබුණත් මේ හැම විලාසිතාවක්ම එකිනෙකට ගලපගෙන හරියට විලාසිතා කරන්නේ කොහොමද? එය ඇත්තටම අසීරු කටයුත්තක්. විලාසිතා හැම තැනටම ඔබින විදියට තමයි කළ යුත්තේ. අපේ හිසේ සිට පාදාන්තය දක්වාම එකිනෙකට ගැළපෙන විලාසිතා අද වෙනකොට පුදුමාකාර විලාසිතා ලෝකය තුල නිර්මාණය වෙලා තියෙනවා. ඇඳුම් ආයිත්තම් හිසකෙස් විලාසිතා ,ස්කාෆ් විලාසිතා මේ ආකාරයෙන් විලාසිතා ගණනාවක් වෙළඳපොලේ අපිට දක්නට ලැබෙන අතර මෙම විලාසිතා වලට යොමුවෙන පුද්ගලයින් දිනෙන් දින වැඩිවීමක් සිදුවෙනවා.

නව යොවුන් වියට පා තැබූවන් හා නව යොවුන් විය පසු කරන්නන් මේ විලාසිතාවන් පසුපස යනවා අනෙක් අයට වඩා තරමක් වැඩි. ආකර්ශනය දිනා ගන්න නම් ලස්සනට ඇඳලා කරල ඉන්න ඕන. විලාසිතාවන්ට හැමෝම ආදරය කරත් දකින දකින විලාසිතාව කරලා හරියන්නේ නැහැ. නිවැරදි තෝරාගැනීමක් කරන්න විලාසිතා පිළිබඳ යම් අවබෝධයක් තිබීම නම් අවශ්‍යයි. එය තමන්ගේ ජීවිතයට බොහෝ වැදගත්. මන්ද යත් තමන් තෝරාගන්නා විලාසිතාව නිවැරදි තේරීමක් විය යුත්තේ අවසානයට එය පරිසරයට බැහැර වන නිසයි.

විලාසිතාවේ උපත සිදුවන්නේ විසිවැනි ශතවර්ෂයේ පැරීසියේදීය. එතනින් පටන් ගත්ත විලාසිතාවන් වැඩි දියුණු වෙමින් තමයි අද බොහෝ නිර්මාණයන් බිහි වෙන්නේ. ඒ වගේම තමයි එන්න එන්නම විලාසිතාවන් ජනප්‍රිය කලාවක් වන නිසාම පරිසරයට එයින් හානිකර බලපෑම් රැසක් එල්ල වෙනවා. පරිසරය නැත්නම් සොබාදහම විනාශ වේනවා කියන්නේ මුළු මනුස්ස සංහතියටම තද ප්‍රහාරයක් එල්ල වෙනවා කියන එකයි. මානසික පීඩනයක් ආවත් අපගේ ගෙදර තියෙන පාරිසරික වටපිටාව ගස්කොලන් දිහා බලන් හිටියම ඒ පීඩනයක් බොහෝදුරට සමනය වෙනවා . ඉතින් අපි අපේ ආසාවන් නිසා සොබාදහම කියන මේ අම්මට හානි කරන්න පුලුවන්ද ? අපි එහෙම කරනවා නම් ඒක ලොකු අපරාධයක් . ඒ නිසාමයි මෑත කාලය වන විට මේ විලාසිතා නොයෙක් අයුරින් නිපදවන්නේ. මේ අතරින් එකක් තමයි පරිසර හිතකාමි විලාසිතා.

පරිසර හිතකාමි විලාසිතා? ඔබ දැනටමත් හිතනවා වන්නට පුළුවන් කොහොමද මේ පරිසර හිතකාමි විලාසිතා බිහිවන්නේ කියා. මම ඔබට අද ඒ ගැන කියලා දෙන්නම්.

 

 

 

Eco fashions එහෙමත් නැත්තම් පරිසර හිතකාමී විලාසිතා

මේ පරිසර හිතකාමි විලාසිතා නිපදවන්නේ පරිසරයට සිදුවන හානිය අවම කිරීමටයි. Eco fashions නැතිනම් පරිසර හිතකාමි විලාසිතා ලෙස සැලකෙන්නේ ඇඳුම් විලාසිතාව පමණක්ම නොවෙයි. ඕනෑම පරිසරයට සුදුසු හානියක් නොකරන පරිසර හිතකාමි විලාසිතයි. මේ විලාසිතා නිපදවද්දී කාබනික කපු ,ප්‍රතිචක්‍රීකරණය කළ හැකි රෙදි වර්ග සහ ශාක පදනම් කරගත් ඩයි වර්ග තමයි යොදාගැනෙන්නේ . පාරිභෝගිකයින්ගේ සෞඛ්‍ය තත්ත්වයට වගේම එම නිෂ්පාදන නිපදවන්නන්ගේ සෞඛ්‍යයටද මේ විලාසිතාව ඉතාමත් හිතකරයි.

ඔබ පරිසර හිතකාමී විලාසිතා තෝරා ගත යුත්තේ ඇයි?

අප හැමවිටම කල්පනාකාරී විය යුතුයි අපගේ සෞඛ්‍යයට මනාව ගැලපෙන්නේ සහ ආරක්ෂිත ඇඳුම් මොනවාද කියා. බොහෝ පිරිස් අඩු මිලට ගන්නා නයිලෝන් සහ synthetic වලින් නිපදවූ ඇඳුම් සෞඛ්‍යයට එතරම් සුදුසු නැහැ. අපි විලාසිතාවක් තෝරා ගන්නා සෑම විටකම එය නිෂ්පාදනය කර ඇති අමුද්‍රව්‍ය පිළිබඳව යම්තාක් දුරකට දැනුමක් තිබීම ඉතාම වැදගත්. මොන ආකාරයේ විලාසිතාවක් අප තෝරා ගත්තත් එය අන්තිමටම බැහැර වන්නේ පරිසරයටයි. එම නිසාම ඔබ තෝරාගන්නා විලාසිතාව පරිසරය වගේම ඔබට මොනතරම් සෞඛ්‍ය ආරක්ෂිතවේද යන්න වැටහීමක් තිබීම ඉතාමත් අත්‍යවශ්‍යයි. ඒ වාගේම ඉහත රෙදි පිලි වර්ග පාවිච්චියට ගෙන පරණ වූවාට පසු ඒවා නොදිරන නිසා අවුරුදු සිය ගණනක් පස තුළ වැඩී තිබෙනවා. එයින් පරිසරයට දැඩි ලෙස හානි පැමිණෙන්නට පුළුවන්. එම නිසාම අපි ඕනෑම මොහොතක තෝරාගන්නා විලාසිතාවක් තමන්ට අවශ්‍යම නම් පමණක් මිලදී ගත යුතු අතර එය පරිසරයට මොනතරම් දුරට බලපෑමක් ඇති කරනවා ද යන්න පිළිබඳව ඔබට අවබෝධයක් තිබිය යුතුයි. ඔබ ලිනන් හා කපු රෙදි වලින් නිපදවූ රෙදිපිළි තෝරා ගන්නවානම් එය ඔබගේ සෞඛ්‍යයට සහ ඔබගේ ශරීරයට ඉතාමත් පහසු දායක වේ. එම නිසා සෑම විටකම ඔබ රෙදිපිළි මිලදී ගනිද්දී කල්පනාකාරී වන්න .

slow fashion

 

සෙමෙන් නිෂ්පාදනය වෙන විලාසිතා හෝ slow fashion ලෙස හඳුන්වනු ලබන්නේ පරිසර හිතකාමි විලාසිතයි. මෙම slow fashions නිෂ්පාදනය වන්නට හේතු වූයේ බංගලාදේශයේ දී ඇති වූ විලාසිතා විප්ලවයෙනුයි .මෙම විලාසිතා අනෙක් විලාසිතාවන්ට වඩා ප්‍රමිතියෙන් වැඩි, මන්දයත් මෙම විලාසිතාවන් නිපදවන්නට බොහෝ ක්‍රමවේද හා විශාල ශ්‍රමයක් යොදන නිසයි. මේ ආකාරයෙන් නිපදවන රෙදිපිළි දීර්ඝ කාලයක් පාවිච්චියට ගත හැකි ලෙස නිර්මාණය කරයි. දීර්ඝ කාලයක් පාවිච්චි කර එය අහක දැමුවාට පසු පරිසරයට එකතු වුවත් එයින් පරිසරයට කිසිදු හානියක් නොකර දිරා යයි. එම නිසාම මෙම slow fashion පරිසර හිතකාමි විලාසිතාවක් ලෙස නම් කර තිබේ.

 

පරිසර හිතකාමි විලාසිතා නිෂ්පාදනය හිතන තරම් පහසු නැහැ.

පරිසර හිතකාමි විලාසිතා හෝ හරිත විලාසිතා ලෙස හැදින්වෙන මෙම විලාසිතා තරමක් මිලෙන් වැඩියි. ලිනන් සහ කපු වර්ග භාවිතා කරන නිසා මෙම විලාසිතා බොහෝවිට මිලදී ගැනීමට අසීරු යි. එයට හේතුව වන්නේ ඒවා නිෂ්පාදනය කිරීම ද හිතන තරම් සරළ ක්‍රියාවලියක් නොවන නිසයි. මෙම හරිත විලාසිතා නිෂ්පාදනය කරන්නට අවශ්‍ය කපු වර්ග වල අස්වැන්න නෙලා ගත් පසු නැවත ඒවා වගා කිරීම සඳහා කාලයක් ගතවෙනවා. එම නිසා මෙම හරිත විලාසිතා නිෂ්පාදනවල මිල අධික වීමක් සිදුවෙනවා. පරිසර හිතකාමී ලෙස නිපදවන ඕනෑම ආකාරයක විලාසිතාවක් අධික මිලකින් යුතු වන්නේ එම නිසයි.

මිලෙන් වැඩි වූවත් පරිසර හිතකාමී කල් පවතින සෞඛ්‍යයට ආරක්ෂිත මෙවැනි විලාසිතා ඔබ තෝරාගන්නේ නම් එය ඔබගේ ශරීරයට වඩාත් ගුණදායකයි.

කාලයෙන් කාලයට දවසින් දවස එක එක සුකුරුත්තම් වෙළඳ පොලට එනවා. හැබැයි ඒ හැම එකක්ම වාගේ මිලදී ගන්නට හැකි ආර්ථික ශක්තියක් අපි හැමදෙනාටම නැහැ. තමන්ට තියෙන දෙයින් වැඩි ප්‍රයෝජනයක් ගන්න තමයි අප හැම දෙනාම වෙර දරන්නේ. පුංචි පුංචි දේවල් වලිනුත් අපගේ විලාසිතාවේ හැඩය ඔප මට්ටම් කර පෙන්වන්නට හැකියාවක් තිබෙන බව ඔබ දන්නවාද? ඉතින් මොනවද මේ වයසට නොයන අදට ඔබින විලාසිතා . අතීතයේ දී ජනප්‍රියව බොහෝ දෙනා භාවිතා කළ විලාසිතා ද වර්තමානයේ දී නව ප්‍රවණතා ලෙස සමාජයට දකින්නට ලැබෙනවා. ඒවායේ සිදුව ඇත්තේ ඉතාමත් කුඩා වෙනස්කම් පමණයි. පරණ වුවත් මේ කාලයේ භාවිතයට සුදුසු විලාසිතා මොනවාද?

කොඩ්රොයි විලාසිතා (corduroy fashion )

 

 

කොඩ්රොයි විලාසිතා ලෙස හැදින්වන්නෙ අතීතයේ දී ජනතාව අතර ඉතාමත් ප්‍රසිද්ධ වූ රෙදි වර්ගයකි . මෙම රෙදි වර්ගය ප්‍රධාන වශයෙන් භාවිතා කර ඇත්තේ කුඩා ලමුන්ගේ ඇදුම් සදහායි . එහෙත් වර්තමානයේ දී මෙම රෙදි වර්ගය ගැහැණු ලමුන් භාවිතා කරන අත් බෑග්, ජම්ප් සුට් ,ජැකට් සහ විශාල ප්‍රමාණයේ බෑග් නිපදවීමට මෙම රෙදි බහුලවම භාවිතා කරයි . මෙය ඉතාමත් ජනප්‍රිය විලාසිතාවක් ලෙස අද සමාජයේ ප්‍රසිද්ධ වී ඇත. වැඩි ආකර්ෂණයක් දිනාගැනීමට ද මෙම විලාසිතාව සමත් වී ඇත.

 

මම් ජින්ස් ( mom jeans)

 

 

මෙම මම් ජින්ස් විලාසිතාව ඉතාමත් පැරණි ඩෙනිම් කලිසම් විලාසිතාවක්. මෙම කලිසමේ ඇත්තේ ඉහළටම යෙදූ ඉනක්. 80 දශකයේ නිර්මාණය කෙරුණු මෙම විලාසිතාව 90 දශකයේ ඉතාමත් ජනප්‍රිය අන්දමින් ප්‍රසිද්ධ වුණා. වර්තමානයේ දී යුවතියන් අතර ඇඟටම තද වූ ජින්ස් විලාසිතා වෙනුවට මෙවැනි විලාසිතා දැකගත හැක. කැපී පෙනෙන ආකාරයට බෙල්ට් එකක් සහ පාවහන් සමග මේ විලාසිතාව තවත් සිත් ඇදගන්නා සුළු වේ.

 

ස්ක්‍රන්චි (scrunchies)

 

 

විලාසිතා කිවුවහම ඇඳුම පමණක් නෙවෙයි. මේ විලාසිතාව තරමක් වෙනස් . අලුත් වුවත් පැරණි වුවත් මෙම විලාසිතාව ලොකු ,පොඩි ,තරුණ යුවතියන් අතරින් ගිලිහී ගොස් නම් නැහැ. මෙම හිසකෙස් විලාසිතාව ඉවත ලන රෙදි කැබලි වලින් පවා සකසා ගත හැක. headband එකක් විදිහට හෝ කොන්ඩ බූල ලෙස භාවිතා කරන මෙම scrunchie අද වන විට බොහෝ සෙයින් ප්‍රසිද්ධයි . මෙවැනි විලාසිතාවක් ඔබේ ඇඳුමට ගැළපෙන සේ එකතු කරගන්නවා නම් එයින් ඔබගේ වරලස වගේම ඔබත් කැපී පෙනෙවි .

 

 

සිල්ක් ස්කාෆ්

 

 

අද කාලේ තරුණියන් නිර්මාණශීලීත්වය උපයෝගී කරගනිමින් හිසකෙස් සැරසීමට මෙන්න අත් බෑග් වල අලංකාරය සඳහා ද මෙම ස්කාෆ් විලාසිතා භාවිතා කරනවා. 90 දශකවල අතිශයින්ම ජනප්‍රියට පත් වූ මෙම ස්කාෆ් විලාසිතාව වර්තමානයේ දී නව විලාසිතා මවනවා. ඒ වගේම ඩෙනිම් ටී-ෂර්ට් වැනි විලාසිතාවලට පවා තවත් අලංකාරවත් ලෙස ගෙල වටා පැළඳවීට ද මෙම විලාසිතාව යොදා ගන්නවා.

 

 

චන්කි ස්නිකර් (chunky sinkers)

 

 

80 දශකයේදී නව යොවුන් වියේ තරුණියන්ගේ සිත් වසඟයට පත් කරගත් මෙම සපත්තු විලාසිතාව නැවතත් කරලියට පැමිණේ යැයි කිසිවකු නොසිතන්නට ඇති. අද වන විට බොහෝ නිර්මාණකරුවන්ගේ සිත් දිනාගත් මෙම සපත්තු විලාසිතාව නවීකරණය කර කරලියට පැමිණ ඇත. මෙම විලාසිතාව වර්තමානයේ දී නව ප්‍රවණතාවක් ලෙස තරුණියන් අතර දක්නට ලැබෙනවා.කාලයට අනුව බොහෝ දේ වෙනස් වුවත් පෙර දශක වල භාවිතා කළ මේ විලාසිතාව වර්තමානයේ දී නැවත භාවිතා කරන අයුරු දක්නට ලැබෙනවා.

 

සමාජයෙන් දුරස් වෙලා ආරක්ෂිතව ඉන්න කියන මේ කාලේ shopping කරන්න යන්න හැකියාවක් නම් අපිට නැහැ. ඒ නිසා ම තමයි ඔන්ලයින් වලින් බොහෝ දෙනා තමන්ට අවැසි දේ ලබා ගන්නේ. අපේ රටේ පමණක් නොව මේ වන විටත් විට ලෝකය පුරාම online shopping ක්‍රමය ඉතාමත් ප්‍රසිද්ධ වෙළඳ ජාලයක් බවට පත්ව තිබෙනවා. මෙය ඉතාමත් පහසු ගනුදෙනු කිරීමක් බව ඔබ මම අපි හැමදෙනාම දන්නවා එහෙත් මෙම ගනුදෙනු වලින් ඇතැම්විට පහසුව වගේම අපහසුතා වලටත් මුහුණ දෙන්නට වෙනවා . එම නිසාම ඔබත් online ගනුදෙනු කරනවා නම් මේ කියන්නට යන දේ ඔබටත් වැදගත් වේවි.

වෙනදාට මෙන් හිතේ හැටියට සාප්පු සවාරි යන්න බැරි බව හැගුණම කාන්තාවන් වන ඔබට පුංචි දුකක් හිතේ හටගන්නවා ඇති. පිරිමින්ට වඩා කාන්තාවන් ලස්සන විලාසිතා වලින් හැඩ ගැන් වෙන්නට බොහෝවිට ප්‍රිය කරනවා. සාප්පු සවාරි ගියාම හිතේ හැටියට තමන්ට අවශ්‍ය දේ අල්ලලා බලලා පරික්ෂා කරල ගන්නට තිබෙන හැකියාව ඔන්ලයින් ක්‍රමය තුළ නැති බව ඔබ දන්නවා.එම නිසාම ඔබ ඔන්ලයින් ක්‍රමයෙන් ඇනවුම් කරන භාණ්ඩයේ ප්‍රමිතිය ගැන වඩාත් උනන්දු විය යුතුයි. මේ ආකාරයෙන් තාක්ෂණයක් ඔස්සේ ඔබ ගනුදෙනු කිරීමේදී ඔබ දකින රූපයේ තිබෙන භාණ්ඩයට වඩා හාත්පසින් ම වෙනස් ආකාරයේ භාණ්ඩයක් ඔබ අතට පත් විය හැක. එම නිසාම මෙ ඔන්ලයින් ගනුදෙනු පිළිබඳ ඔබට මනා දැනුමක් තිබීම හා නිවැරැදි තොරතුරු දැන ගැනීම වඩාත් වැදගත් වෙයි.

 

නිවැරදි තොරතුරු දැනගැනීම කොතරම් දුරට සාර්ථක ද?

ඔන්ලයින් භාණ්ඩ මිලදී ගැනීමේදී වගේම ඉහත කී විලාසිතා වර්ග තෝරා ගැනීමේදී ඔබ තෝරා ගන්නා වෙළදුන්ගේ අදාල පිටුවේ අවශ්‍ය සියලුම විස්තර තිබේදැයි පරික්ෂා කර බලන්න. යම් භාණ්ඩයක් පරිහරණයට නුසුදුසු ලෙස ඔබට ලැබී ඇත්නම් එය නැවත මාරු කිරීමේ පහසුව ඔවුන් විසින් ලබා දෙනවාද ?නැද්ද ?යන්න ඔවුන්ගෙන් කරුණු විමසා දැනගන්න. අදාළ සේවාව තුළ ඇතුලත් කර ඇති තොරතුරු ප්‍රමාණවත් නැති නම් භාණ්ඩය මිලදී ගැනීමට පෙර ඔවුන් හා දුරකථන මාර්ග වලින් සම්බන්ධ වී වැඩි විස්තර අසා දැනගැනීමෙන් අනතුරුව සේවාව ලබා ගැනීමට අමතක කරන්න එපා.

විලාසිතා වලට පෙම් බැන්දාට අන්තර්ජාලය පුරා දකින ඕනෑම ජාලයක් හරහා භාණ්ඩ මිලදී ගැනීම නොකළ යුතු දෙයක්. එයින් ඔබට දැඩි සේ පාඩු වන්නට පුළුවන් .එම නිසා භාණ්ඩ වල නිසි ප්‍රමිතිය පිළිබඳ සොයා බලා භාණ්ඩ ඇණවුම් කරන්න. ඒ වගේම ඔබ හිතුනු හිතුනු ආකාරයට මිලදීගැනීම් කරනවාට වඩා භාණ්ඩවල තත්වය එහි නිවැරදි වටිනාකම දැනගෙන භාණ්ඩ ඇණවුම් කරන්න. එය ඔබට වඩාත් වාසිදායක වේ . නැතිනම් භාණ්ඩයේ වටිනාකමට වඩා ඔබ මුදල් ගෙවන අවස්ථා වලට ද හසු වෙන්නට පුළුවන්.

විලාසිතාවලට ඇලී ගැලී සිටින යුවතියන් දැනගත යුතුම කරුණු තමයි මේ .පරිසරයට හානි නොවන ලෙස විලාසිතා කර එයටම ගැලපෙන අදට ඔබින කවදාවත් වයසට නොයන විලාසිතා සුපුරුත්තමත් භාවිතකරහම ඔබේ රූපය තවත් ලස්සනට දිස්වේවි .ඒ වගේම ඇස් රවටන එක එක ජාතියේ ඔන්ලයින් පේජ් වලින් භාණ්ඩ මිලදී ගන්නට යන්නටද එපා. ප්‍රමිතිය ගැන සොයා බලා අදාල විලසිතාවන් මිලදි ගන්න .එය නුවනට හුරු වේ.

අන්තර්ජාලය ඇසුරිනි.

මන්දාකිනි පතිරණ .

ඔයාගේ නිවස තුළ වවන්න හොඳම ශාක වර්ග

අපි හැමෝම ගෙවමින් ඉන්නේ ඉතාම කාර්යබහුල ජීවිතයක්. උදේ දවස පටන් ගන්න වෙලාවේ ඉඳන් රෑ නින්දට යන මොහොත වෙනකන්ම ගෙදර දොර වැඩකටයුතු, දරුවන්ගේ වැඩකටයුතු, පවුලේ අනිකුත් ආදරණියන්ගේ අවශ්‍යතා වගේම රැකියා අවශ්‍යතා වෙනුවෙනුත් හුඟක් වෙහෙස මහන්සි වෙන්න අපට සිදුවනවා. මේ තෙහෙට්ටුව, වෙහෙස එක්ක ජීවත් වෙලාම එපා වෙලා වගේද..? එහෙම හිතෙන එකත් සාමාන්‍යයි. ඒ කියන්නෙ ඔයාට මානසික සුවයක් අවශ්‍යයි. ශාරීරික තෙහෙට්ටුව වගේම මානසික වෙහෙසත් නිවාගන්න යමක් නොකළොත් ඔයාට ජීවිතේ එපා වීම වළක්වාගන්න බැරිවේවි.

ඇත්තටම කොහොමද මානසික සුවය ලඟාකරගන්නේ..? මේකට නොයෙක් ක්‍රම තියනවා. වටපිටාව දිහා අවදානයෙන් බැලුවොත් ඔයාගේ මනසට සැනසිල්ල ගෙනේ දේවල් කිහිපයක්ම ඔයාට හමුවේවි. ගස් වැල් මේ අතරින් ප්‍රධාන තැනක් ගන්නවා. හැබැයි ඉතාම කාර්යබහුල වටපිටාවක වගේම ඉඩකඩ සීමිත නිවෙසක්ත් ජිවත් වෙන ඔයා දැන් කල්පනා කරන්නෙ “අපි කොහොමද ගස් වවන්නේ..?” කියල නේද..? මෙන්න මෙහෙම හිතෙන ඔයාගේ ගැටළුවට විසඳුමක් දෙන්නයි අපි මේ සුදානම් වෙන්නෙ. ඇහැට වගේම හිතටත් සැනසිල්ලක් ගෙනදෙන ගස් ටිකක් ඔයා ජීවත් වෙන පුංචි ඉඩකඩේ, නැතිනම් කාර්යාල පරිසරයේ වවාගන්නෙ කොහොමද..? එහෙම නඩත්තු කරන්න පුළුවන් ගස් වර්ග මොනවද..? ඒවා වවන්න අවශ්‍ය කරන සාධක මොනවද..? අපි එකින් එක ඒ ගැන දැනුවත් වෙමු.

මේ විදිහට පහසුවෙන් නඩත්තු කරන්න පුළුවන් ගස් වර්ග කියල මුලින්ම අපි දැනගෙන සිටීම අත්‍යවශ්‍යයි. ඔයාගේ ගෙදර නැතිනම් කාර්යාලය ඇතුලේ වවාගන්න හැකි වෙන්න ඕනේ වගේම පහසුවෙන් නඩත්තු කළ හැකි, ලොකු ඉඩකඩක් වෙන් කිරීම අවශ්‍ය නැති ගෘහස්ථ ශාඛා නැතිනම් Indoor- plants වර්ග කිහිපයක් සහ ඒවා වගා කරගන්න ක්‍රම ගැන එකින් එක ඔබව දැනුවත් කරන්නම්.

AGLAONEMA

අපි මුලින්ම හඳුන්වා දෙන ගෘහස්ථ ශාඛය තමයි Aglaonema. පහසුවෙන් වගාකරගන්න පුළුවන් වගේම පහසුවෙන් නඩත්තු කරන්නත් හැකි ශාඛයක් මේක. ඒ වගේම මේ පලයක් තැබීමෙන් පරිසරයටත් අමුතු හැඩයක් එකතු වෙනවා. කොහොමද මේ පැලය සිටවන්නේ කියල මුලින්ම දැනගත යුතුයි. මේ වර්ගය ගෘහස්ත ශාඛයක් විදිහට තමයි වඩාත්ම සාර්ථකව වැවෙන්නෙ. ඒ කියන්නෙ කෙලින්ම ඉර අවුවට නිරාවරණය නොවී පරාවර්තිත ආලෝකය යටතේ ගෙදර ඇතුලේ තියාගෙන හදන්න පුළුවන් වර්ගයක්. අඩු උෂ්ණත්වයකදී ඉතා හොඳින් වර්ධනය වෙන ගහක්.

මේ පලය සිටුවීමට වගා මාධ්‍ය සකස් කරගැනීමේදී ඔයා සැලකිලිමත් විය යුතු කාරණා කිහිපයක් තියෙනවා. මුලින්ම කොහොමද බඳුනට වගා මාධ්‍ය එකතු කරන්නෙ කියන එක ගැන ඔයා දැනුවත් වෙන්න අවශ්‍යයි. ඔයා පැලය සිටවන්න භාවිත කරන පෝච්චිය අනුව ඔයාගේ මිනුම් පරිමාණය තීරණය කරගන්න. ඊළඟට ගංගා වැලි කොටස් 1ක්, කොළ පොහොර (කොම්පෝස්ට්) කොටස් 2ක්, අඟුරු කැබලි කොටස් 1/4ක්, ලොම් පස් කොටස් 4ක් සහ වියළි ගොම කොටස් 1ක් එකතු කරගෙන ඔයාගේ වගා මාධ්‍ය නිර්මාණය කරගන්න. මේ විදිහට සිටුවාගන්නා පැලය මුලින් සඳහන් කළා වගේම අඩු ඉර එළිය තත්වයක් යටතේ පවත්වා ගන්න. ගෙදර ඇතුළතට එන පරාවර්තිත ආලෝකය ගහ හැදෙන්න ප්‍රමාණවත්. ඒ වගේම වතුර වැඩිපුර යොදන්න අවශ්‍ය වන්නේත් නැහැ. වතුර වැඩිවීමෙන් කඳ කුණු වීමක් සිදුවිය හැකියි.

පිටිමකුණා, මයිටාවන් වගේම කුඩිත්තන් මේ පැලයට හානි කරන පලිබෝධකයින් වනවා. ඒ ගැන වධානයෙන් සිටීමත් වැදගත්. නිසි පලිබෝධ නාශකයක් දීමෙන් ඒ තත්වයන් වළක්වා ගත හැකයි.

MONSTERA

අපි ඊළඟට ඔයාට හඳුන්වා දෙන්නේ තවත් හරිම ලස්සන ගෘහස්ථ පැලයක්. MONSTERA නමින් හඳුන්වන මේ පැලයේ කොළයේ තිබෙන අපූරු රටාව නිසාම අමුතු ලස්සනක් පරිසරයට එකතු කරනවා. ඒ වගේම මේකත් නිවාස ඇතුලේ තබාගත හැකි පැලයක්. සෘජු ආලෝකය ලැබීම සුදුසු වන්නේ නැහැ. ඒ වගේම වැඩිපුර ජලය දැමීමෙන් වැලකීම සුදුසුයි. දවස් 2,3කට සැරයක් පමණක් වතුර යෙදීම ප්‍රමාණවත්. එහෙම නොවුනොත් පැලයේ මුල් කුණුවී යාමට ඉඩ තිබෙනවා. ඒ වගේම ටිකක් වැඩිපුර ඉඩකඩ තියෙන බඳුනක වවාගන්න කියලත් අපි ඔබට මතක් කරනවා. එහෙම වුනොත් පැලයේ සැබෑ ලස්සන ඔයාගේ නිවසට / කාර්යාලයට එකතු කරගන්න පුළුවන් වෙන විදිහට පැලය සකස් කරගන්න ලැබේවි.

ගංගා වැලි කොටස් 1ක්, වියළි ගොම කොටස් 1ක්, කොළ පොහොර කොටස් 1ක් සහ ලොම්පස් කොටස් එකක් සමග අඟුරු කැබලි 1/4ක් මිශ්‍ර කිරීමෙන් වගා මාධ්‍ය සකස් කරගත හැකියි. මතක තබාගත යුතු තවත් වැදගත් දෙයක් තිබෙනවා. ඔයා මේ පැලය හිටවන්න ගන්න බඳුනේ පතුලට ජලය රඳා නොපවතින විදිහට ගල් හෝ උළුකැට කැබලි ස්ථරයක් අතුරා ගන්න අවශ්‍යයි.

මේ විදිහට  සිටුවාගත් පලයේ කොළ කළුපැහැ වීමක් සිදුවුනොත් ඒ කියන්නෙ ඔයාගේ පැලය සිටවූ බඳුනේ වතුර රඳා පවතිනවා. ඒ නිසා පැලය ඉවත් කොට වගා මාධ්‍ය නැවත සකස් කිරීම අවශ්‍ය වනවා. සමහර විට ටික දවසකින් පත්‍ර දුඹුරු පාටක් ගන්නවා නිරීක්ෂණය කරන්න ලැබේවි. එහෙම වුනොත් ඒ කියන්නෙ වතුර අඩුවීම හෝ වැඩිවීමක් වෙලා තියෙන බව. පත්‍ර කහපාට වීමත් මේ වර්ගයේ නිතර දකින දෙයක්. ඒ කියන්නෙ ලැබෙන ආලෝකය ප්‍රමාණවත් නැහැ කියන එක. එහෙම වුනොත් තවත් ටිකක් එළිය ලැබෙන තැනකට පැලය මාරු කිරීම අවශ්‍යයි. පත්‍ර වල පුල්ලි හටගැනීමත් මේ පැලයට සිදුවිය හැකි නමුත් කලාතුරකින් හටගන්නා තත්වයක්. එවැනි තත්වයකදී දිලීර නාශකයක් යෙදීම ප්‍රමාණවත් වනවා.

Borsigina, Adansonii, Pinnatipartita, Obliqua, Silver Monstera, Swiss Cheese Plant, Mini Monstera වැනි ප්‍රභේද ගණනාවකින් ඔයාට මේ වර්ගය දැකගන්න ලැබෙනවා. කොහොම වුනත් ගෙදර ලස්සන කරන්න ලෝකයේ බොහෝ රටවල භාවිතයට ගන්නා මේ පැලය අපේ රටෙත් ඕනෑම දේශගුණ තත්වයක පහසුවෙන් සකස් කරගත හැකියි.

RUBBER PLANT

මොකක්ද මේ Rubber Plant..? මේ අපි දන්නා රබර් ශාඛය ද..? කෙනෙකුට එහෙමත් හිතෙන්න පුළුවන්. නමුත් මේ ඊට වඩා වෙනස් පැලයක්. නමුත් මේකට රබට් ප්ලාන්ට් කියන නම ලැබෙන්නේ මේ පැලයේ කොළය මතුපිට රබර් එකක් වගේ මතුපිටක් තිබීම හේතුවෙන්. විශාල පත්‍ර තියෙන මේ ගසේ කොළයත් විවිධ පාට රටා වලින් හඳුනා ගන්න පුළුවන්. විශේෂම දේ තමයි නිවාස ඇතුළත වගේම පිටතත් මේ පැලය තියන්න හැකිවීම. පිටතදී නම් ටිකක් උසින් වැඩි ගහක් විදිහට හැදෙනවා වුනත් නිවාස ඇතුළත නම් අඩි 6ක් වගේ උසකින් වර්ධනය නතර වනවා. විශේෂම කාරණය මේ පලය හරි කෙලින් කඳක් සහිතව උසට වැඩීම. ඒ නිසා නිවාස අලංකරණයට ඉතාම සුදුසු පැලයක් වනවා. රැකබලා ගැනීම සහ නඩත්තුව ඉතා අපහසු නොවුනත් යම් යම් උපක්‍රම භාවිතා කරන්න නම් වෙනවාමයි.

ඔයාට කැමති ප්‍රමාණයක පෝච්චියක් මේ පැලයට තෝරාගන්න පුළුවන්. නමුත් ටිකක් ඉඩකඩ සහිත පෝච්චියක් නම් වඩා සුදුසු වනවා. කොහුබත්, මතුපිට පස් සහ වැලි සමානව එකතු කරගෙන වගා මාධ්‍ය සකස් කරගැනීමට හැකියි. ඒ වගේම තමයි වගා මාධ්‍ය පෝච්චියට දමද්දී හොඳින් වාතනය සිදුවන පරිදි තිබිය යුතුයි. ඒ කියන්නෙ වගා මාධ්‍ය ලිහිල්ව පෝච්චියට දැමීම අත්‍යවශ්‍යයි. සෘජු ආලෝකය මේ පැලයට අවශ්‍ය වන්නේ නැහැ. පරාවර්තිත ආලෝකය ප්‍රමාණවත්. නමුත් කොළ හැලෙනවා නම් පමණක් වැඩිපුර ආලෝකය ලැබෙන තැනකට පැලය මාරු කිරීම කළ යුතුයි. සතියකට දෙවරක් උපරිම තුන් වරක් ජලය යෙදීම ප්‍රමාණවත්. ඊට වඩා ජලය දැමීම පැලයට හානිකර විය හැකියි. තෙත රෙදි කැබැල්ලකින් පැලයේ පත්‍ර මතුපිට පිසදැමීම සිදුකිරීමෙන් පත්‍ර පුටිකා විවර වීම සිදුවනවා. පත්‍ර වලට වඩා හොඳ දීප්තිමත් බවක් ලැබෙනවා.

ගෙදර ඇතුලේ පහසුවෙන් වවාගන්න පුළුවන් පල කිහිපයක් වගේම ඒ පල ගැන ඔයා අනිවාර්යෙන්ම දැනගන්න අවශ්‍ය කරුණු ටිකක් මේ විදිහට අපි ඔයාට කිවුවා. කලින්ම සඳහන් කළා වගේම පැලයකින් නිවසට අමුතු ලස්සනක් එකතු වනවා වගේම පැලයක් සිටුවීම සහ නඩත්තු කිරීම කියන්නෙ විඩාබර මනසට එක විදිහක අස්වැසිල්ලක්. ඒ අත්දැකීම විඳගන්න, ඔයාට තියෙන පුංචි ඉඩකඩේ වුනොත් පල කිහිපයක් වවන්න පටන් ගන්න කියලත් අපි යෝජනා කරනවා. ඔයා ළඟ දැනටමත් මේ වර්ගයේ පැල තියෙනවා නම්, ඒවායේ පින්තූරයක් comment කරගෙන යන්නත් අමතක කරන්න එපා. ගෙදර ඇතුලෙම ලෙහෙසියෙන්ම වවාගන්න පුළුවන් තවත් වර්ග කිහිපයක විස්තර අපි ඊළඟ ලිපියෙන් ඔබට කියන්නම්.

ශ්‍රී ලංකාවේ සිදුවන Cyber-Bullying වල අඳුරු යථාර්ථය…

ඩිජිටල් ලෝකයට සීමාවන් නොමැතිකම ගොඩක් ප්‍රශ්න වලට බරපතල හේතුවක් වෙලා තියෙනවා. ඒකත් එක්ක එන ප්‍රතිවිපාකත් ඕනෑ තරම්. ශ්‍රී ලංකාවේ වෙබ් භාවිතා කරන ක්‍රියාකාරී පරිශීලකයින්ගෙන් වැඩි පිරිසක් තරුණ පරම්පරාව. ඒ නිසාම ඔවුන් ඩිජිටල් යුගයේ වඩාත් පොදු අනිවාර්ය තර්ජන වලින් එකක් වෙන Cyber-Bullying වලට මුහුණ දෙන්න වැඩි ඉඩක් තියෙනවා.

එක්සත් ජනපදයේ ජාතික අපරාධ වැළැක්වීමේ කවුන්සිලයට අනුව, Cyber-Bullying කියන්නේ “තවත් පුද්ගලයෙක්ට රිදවන්න හෝ අපහසුතාවයට පත් කරන අදහසින් අන්තර්ජාලය, ජංගම දුරකථන හෝ වෙනත් උපාංග භාවිතා කර පණිවිඩ හෝ පින්තූර යවන හෝ පළ කරන ක්‍රියාවලියයි.” ඒක traditional Bullying වලට සමාන වුනත් සැලකිය යුතු වෙනස්කම් කිහිපයක්ම තියෙනවා. ඩිජිටල් platform එකක් මත හිරිහැර කිරීම, විද්‍යුත් මූලාශ්‍රයක් හරහා පුද්ගලයෙකුට එරෙහිව ආක්‍රමණශීලී ආකාරයෙන් හිතාමතාම සිදු කරනු ලබන ඉලක්කගත හිරිහැරයක් .

Cyber-bullying :

  • බොහෝ ආකාර වලට සිදුවීමට හැකියි. – (කෙටි පණිවිඩ යැවීම්, සමාජ මාධ්‍ය, වෙනත් online අවකාශයන් වලින්)
  • පෞද්ගලිකව හෝ ප්රසිද්ධියේ සිදු කළ හැකියි.
  • පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් සිදු කල හැකියි
  • නිර්නාමිකව සිදු විය හැකියි
  • cyber-violence, cyber-stalking වගේ තත්වයන් දක්වා වැඩි විය හැකියි.

සමාජ මාධ්‍යවල කෙනෙක් ගැන කටකතා පතුරුවා හැරීම, අන්තර්ජාලය හරහා කෙනෙක්ට තර්ජනය කිරීම සහ ව්‍යාජ ගිණුම් සෑදීම වගේම තවත් පුද්ගලයෙක් කරදරයේ වැටෙන පින්තූර අන්තර්ජාලයේ පළ කිරීම සහ අපවාදාත්මක අදහස් දැක්වීම මේ සදහා උදාහරණ වෙනවා.

ශ්‍රී ලංකාවේ තත්වය

ශ්‍රී ලංකාවේ සයිබර් ආරක්‍ෂාව සඳහා වූ ජාතික මධ්‍යස්ථානය (ශ්‍රී ලංකා CERT) විසින් සිදු කරපු සමීක්ෂණයක දී තරුණයින්ගෙන් 14% ක් අනන්‍යතා identity theft වගේ සයිබර් අපරාධවලට ගොදුරු වූ බව හෙළි වෙලා තියෙනවා. 11% ක් තම ගිණුම් හැක් කර ඇති බවත් 9% ක් ඔවුන්ගේ ඡායාරූප අපයෝජනය කළ බවත් ප්‍රකාශ කර තිබෙනවා. මේ කණගාටුදායක සිදුවීම් තිබුණත් ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 71% ක් අපරාධකරුවන්ට එරෙහිව කිසිම පියවරක් නොගත් බවත් පිළිගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ගොඩක් තරුණ තරුණියන් cyber-bullying නිසා වඩ වඩාත් අවදානමට ලක් වෙමින් පවතිනවා. නිල ඇඳුමින් සැරසී සිටින අහිංසක පාසල් දැරියන් නිරූපනය කරන බොහෝ ෆේස්බුක් පිටු, “slut-shaming” , මරණ තර්ජන සිදු කරන සහ පළිගැනීමේ කාමුක දර්ශන ( revenge porn) (පුද්ගලයන්ගේ ලිංගිකව අසභ්‍ය පින්තූර හෝ වීඩියෝ ක්ලිප් ) බෙදා හැරීම ශ්‍රී ලාංකීය patriarchal සමාජ සම්මතයන්, අනවශ්‍ය සංවේදනයන් සහ වින්දිතයින්ට දොස් පැවරීමේ සංස්කෘතියක් තුළ ගැඹුරින් මුල් බැස තියෙන ආකාරය පෙන්නුම් කරනවා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මනෝචිකිත්සා අංශයේ අංශ ප්‍රධානී සමුද්‍රා කත්‍රිආරච්චි පවසන විදිහට මේ cyber-bullying වලට ගොදුරු වූ අය දැඩි මානසික පීඩාවන්ට, මානසික අවපීඩනයට සහ පශ්චාත් ව්‍යසන ආතතියට මුහුණ පා සිටිනවා. ඒ වගේ මේ පුද්ගලයන්ට, කිසිම කෙනෙක්ට විවෘත වීමට බය වීම සහ අවමානයට ලක්වීම, අවදානමට ලක්වීම, හුදකලා වීමට කැමැත්තක් ඇතිවීම සහ ස්වයං විවේචනාත්මක බවක් දැනීම සාමාන්‍ය දෙයක්. ශ්‍රී ලංකාවේ cyber-bullying වලට ගොදුරු වුණු තරුණයින් කිහිප දෙනෙකුගේ අවාසනාවන්ත සිද්ධිය වගේම, මෙම ආකාරයේ හිරිහැර වල අහිතකර බලපෑම සියදිවි නසාගැනීමේ සිතුවිලි සහ සියදිවි නසාගැනීම් දක්වා දුරදිග යන්නත් ඉඩකඩ තියෙනවා.

ශ්‍රී ලංකාවේ නීතිමය රාමුවේ විදිහට, cyber-bullying වෙනම වරදක් ලෙස ලැයිස්තුගත කර නැහැ. නමුත් ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ සමහර විධි විධාන අපරාධකරුවන්ට එරෙහිව පියවර ගන්න අවස්ථාව ලබාදීලා තියෙනවා. කොහොම වුණත් , මේ ප්‍රශ්නය ගැන තිබෙන දැනුවත්භාවය නොමැතිකම සහ නීති පද්ධතිය ගැන තිබෙන අවිශ්වාසය වගේම අවුල් සහගත අධිකරණ ක්‍රියාදාමයන් බොහෝ වේලාවට වින්දිතයින්ට නිශ්චිත ක්‍රියාමාර්ග ගන්න අධෛර්යමත් කරනු ලබනවා.

ධනාත්මක පැතිකඩ ගැන කතා කිරීමේදී, පොලිසිය සඳහා සයිබර් ලිංගික හිංසනයන් වලට එරෙහිව සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටියක් පසුගිය වසරේ ස්ථාපිත කරනු ලැබුවා. කාන්තා අවශ්‍යතා (WIN) සහ පොලිස් සයිබර් අපරාධ ඒකකය සහ ළමා හා කාන්තා කාර්යාංශය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පරිගණක හදිසි සූදානම කණ්ඩායම (SLCERT) සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRC) ඇතුළු ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් හිංසනයට විසඳුම් සපයන අනෙකුත් ආයතන විසින් මෙම ක්‍රියා පටිපාටිය හඳුන්වා දෙනු ලැබුවා. මේ නව ක්‍රියාවලිය සකසා තියෙන්නේ කාන්තාවන් සෘජුවම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යාමෙන් එයාලාට ඇතිවන බිය සහ අපකීර්තිය හේතුවෙන් මුහුණ දෙන ප්‍රතිපත්තිමය අභියෝගයකට විසඳුම් සෙවීම සඳහා යි.

cyber-bullying පිළිබඳ වාර්තා කරන විට විශේෂයෙන්ම එය සිංහල හෝ දෙමළ භාෂාවෙන් සිදු කර තිබෙනවා නම් සමාජ මාධ්‍ය වලටද භාෂාමය බාධාවන් හේතුවෙන් අභියෝගවලට මුහුණ දීමට සිදුවෙනවා. උදාහරණයක් විදිහට ෆේස්බුක් එකේ සිදු කරපු බොහෝ වාර්තා, එය “ප්‍රජා ප්‍රමිතීන් උල්ලංඝනය නොකරයි” (does not violate community standards) යන ප්‍රකාශයත් එක්ක ආපසු හරවා එවනු ලබනවා.

cyber-bullying වලට එරෙහිව ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද?
  • සාක්ෂි එකතු කරන්න.
  • screen shots ගෙන සියලුම links save කර තබාගන්න.
  • සිද්ධිය සම්බන්ධ සෑම දෙයක්ම කාලානුක්‍රමික වාර්තාවක් තබා ගන්න.
  • වාර්තාකරණ ආයතනයකට පිවිසෙන්න.
cyber-bullying සහ වෙනත් ආකාරයේ online විෂමාචාරයන් සම්බන්ධයෙන් පැමිණිලි කරන්නට පුළුවන් බලධාරීන්ගේ ලැයිස්තුවක් තමයි මේ.

ශ්‍රී ලංකා පොලිසිය

අන්තර්ජාලය හරහා පැන නගින ගැටළු විසදන්න පිහිටුවලා තියෙන බොහෝ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන වලට යම් යම් ගැටළු වලට පමණක් කටයුතු සිදු කරන්න නියම කර තිබෙනවා. ඒ නිසා, cyber-bullying වලට මුහුණ දෙන පරිශීලකයින්ට එයාලගේ ප්‍රදේශයේ පොලිසියට සම්බන්ධ වීමෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්න කටයුතු කරන්න හැකියාව තියෙනවා.

මීට අමතරව, cyber sexual violence සම්බන්ධ සිද්ධීන් වලදී, හැම ප්‍රාදේශීය පොලිස් ස්ථානයකම ළමා හා කාන්තා අංශය විසින් සෝදිසි කිරීම් සහ සාක්ෂි ලබා ගැනීමට අමතරව, පැමිණිලි වාර්තා කර පරීක්ෂණ පවත්වනු ලබනවා.

Sri Lanka CERT

පරිගණක හදිසි සූදානම කණ්ඩායම (CERT) යනු ශ්‍රී ලංකාවේ සයිබර් ආරක්ෂණයේ කේන්ද්‍රස්ථානයයි. ඔවුන්ට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට:

  • ඔවුන්ගේ වෙබ් අඩවියේ පෝරමයක් පිරවීම: cert.gov.lk
  • දුරකථනය හරහා ඔවුන් සම්බන්ධ කර ගැනීම: +94 11 269 1692 / 269 5749 / 267 9888
  • ඔවුන්ට ෆැක්ස් පණිවිඩයක් යැවීම: +94 11 269 1064
  • ඔවුන්ට විද්‍යුත් තැපැල් කිරීම: report@cert.gov.lk

මගින් සිදුකරන්න හැකියාව තිබෙනවා.

SL CERT වෙත නියම කර ඇත්තේ hate mail සහ අනන්‍යතාවය හෝ තොරතුරු සොරකම් කිරීම ගැන පැමිණිලි ලැබීමට පමණක් නිසා, ඔවුන් මෙම ගැටළු වලට පිටත පැමිණිලි වලට ප්‍රතිචාර දක්වන්නේ නැහැ. කොහොම වුණත් , ඔවුන් කිසියම් අහිතකර හෝ ද්වේෂ සහගත අන්තර්ගතයක් ඉවත් කරන්න නිශ්චිත online platform එක හිමි ආයතනය සමඟ සම්බන්ධ වී ව්‍යාජ ගිණුමට එරෙහිව කටයුතු කරනවා.

CID සයිබර් අපරාධ කොට්ඨාශය
සයිබර් අපරාධ (සයිබර් හිරිහැර කිරීම් ඇතුළුව) සිදුවීම් මෙහි වාර්තා කරන්න: telligp.police.lk
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය

cyber-bullying වලට ගොදුරු වූ තැනැත්තා බාල වයස්කරුවෙකු නම් (වින්දිතයා වයස අවුරුදු 18 ට අඩු නම්) NCPA අමතන්න.

  • 1929 අමතන්න – NCPA ක්ෂණික ඇමතුම් අංකය ගාස්තු රහිතය, 24/7 ලබා ගත හැකියි වගේම, සියලු වාර්තා රහසිගතව සලකනු ලබනවා.
  • වැඩිදුර තොරතුරු සඳහා childprotection.gov.lk වෙත පිවිසෙන්න.
  • NCPA හි ද දරුවන් සහ දෙමාපියන්ගේ ආරක්ෂාව සදහා ක්‍රියාමාර්ග කිහිපයක්ම තියෙනවා, ඒවාට මෙතැනින් ප්‍රවේශ වීමට පුළුවන් : childprotection.gov.lk/?page_id=2211

Women In Need (WIN)

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ cyber violence සදහා ගොදුරු වූවන් ගේ සිද්ධීන් වලට අදාළ බලධාරීන්ට වාර්තා කිරීමෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්න WIN සහාය ලබා දෙනවා. The Grassrooted Trust සහ VOICE Foundation හි සහාය ඇතිව WIN එක් එක් සිද්ධිය හරහා වින්දිතයින්ට උපකාර කරනු ලබනවා.

  • අමතන්න: 011 267 14 11 / 011 471 85 85
  • විද්‍යුත් තැපෑල: connect@winsl.net
  • පැය 24 ක්ෂණික දුරකථන අංකය: 077 567 65 55
බකමූනෝ

cyber-bullying සහ වෙනත් ගැටළු වලට විසඳුම් ලබා දෙන සේවා පිළිබඳ සම්පත් සහ තොරතුරු විශාල ගණනක් ලබාගන්න bakamoono.lk වෙත පිවිසෙන්න හැකියාව තියෙනවා.

cyber-bullying කිසි විටෙකත් වින්දිතයාගේ වරදක් නොවේයි. පහත පියවර ගෙන නිසි පූර්වාරක්ෂාවක් ලබාගැනීම කෙසේවෙතත් නුවණට හුරුයි.

 

cyber-bullying කරන්නන්ගෙන් ඔබ සහ අන් අය ආරක්ෂා කර ගන්නට නම්,
  • වැදගත්: පුද්ගලයෙකු ඉලක්ක කරගෙන හිරිහැර ඇතුළත් පණිවිඩයක් හෝ සම්මුතිවාදී තොරතුරු ඔබට ලැබෙන්නේ නම්, විනෝදාස්වාදය සඳහා හෝ එවැනි දේ අනුමත නොකරන්න. ඒවා බෙදා නොගන්න. හැකිනම් cyber-bullying කිරීමේ හානිකර බලපෑම් ගැන යවන්නා දැනුවත් කර එවැනි හානිකර අන්තර්ගතයන් සංසරණය වීම නතර කරන ලෙස ඔවුන්ට උපදෙස් දෙන්න. එය වින්දිතයාගේ (පෞද්ගලිකත්වයට) සහ ආරක්ෂාවට බාධාවක් වන්නේ නම්, සිද්ධිය වාර්තා කරන්න.
  • cyber-bullying කරන්නා සමඟ සම්බන්ධ නොවන්න. ඔවුන්ගේ ක්‍රියාවන් ඔබේ ආරක්ෂාවට සහ විශ්වාසයට තර්ජනයක් නම්, සියලු සම්බන්ධතා වළක්වා ගැනීම සහ ඔහු/ඇය block කිරීම වඩාත් සුදුසුයි. සිද්ධිය වාර්තා වූවායින් පසුව අදාළ බලධාරීන්ට පෙන්වන්නට පුළුවන් සාක්ෂි ලෙස සෑම විටම screen shots ගන්න.
  • සංඥා හඳුනා ගන්න. හදිසි ඇත්විම, ආත්ම අභිමානය නැතිකම, ආහාර ගැනීමේ සහ නිදාගැනීමේ පුරුදුවල වෙනස්කම්, පන්ති මඟ හැරීම සහ ඔබේ ආදරණීයයන්ගේ කැමතිම ක්‍රියාකාරකම් සඳහා හදිසියේ ඇතිවන නොසැලකිලිමත්කම වැනි දේවල් ගැන අවධානය යොමු කරන්න. මෙම සංඥා ඔවුන් cyber-bullying ඉලක්කයක් වී ඇති බවට ඇති හැකියාව පෙන්නුම් කරනු ලබනවා.
  • ඕනෑවට වඩා පුද්ගලික තොරතුරු අන්තර්ජාලය හරහා බෙදා ගැනීමෙන් වළකින්න.
  • වෛරයෙන් පිරි ඇති පණිවිඩ, අදහස් දැක්වීම් ආදියට වෛරයෙන් ප්‍රතිචාර නොදක්වන්න. ඔබ විශ්වාස කරන කෙනෙකුගෙන් උපදෙස් ලබාගෙන ද්වේෂ සහගත කතාවලින් තොර හොඳ සංවාදයක් පවත්වන්න උත්සාහ කරන්න. ඔබගේ ආරක්ෂාව අනතුරේ නම් සිද්ධිය වාර්තා කරන්න.
  • ඔබේ ආරක්ෂාවට හෝ කීර්තියට හානි කළ හැකි පින්තූර සහ වීඩියෝ බෙදා ගැනීමට පෙර දෙවරක් සිතන්න. හිරිහැර කරන්නන් බොහෝ වෙලාවට ඔබට එරෙහි අයුධ විදිහට ඒවා භාවිතා කරනු ලබනවා.
  • ඔබගේ privacy settings පරීක්ෂා කරන්න.
  • පොදු පරිගණකයක් හෝ වෙනත් ඩිජිටල් උපාංගයක් භාවිතා කරද්දී, ඔබගේ සියලුම ගිණුම් වලින් ඉවත් වීමට මතක තබා ගන්න.
  • ඔබ දෙමාපියෙකු, ගුරුවරයෙකු හෝ භාරකරුවෙකු නම්, ආරක්ෂා සහිතව කටයුතු කරන ආකාරය පිළිබඳව කුඩා දරුවන්ව දැනුවත් කරන්න. වගකිවයුතු ඩිජිටල් පරිශීලකයින් වන්නේ කොහොමද සහ ඔවුන් cyber-bullying සිදුවීමක් දුටුවහොත් කුමක් කළ යුතුද කියා ඔවුන්ට උපදෙස් දීම ඉතා වැදගත් වෙනවා.
  • හිරිහැර කරන්නන් දැනුවත් කරන්න. ඔවුන්ගේ හැසිරීම පිළිගත නොහැකි බවත් ඔවුන් cyber-bullying කිරීම දිගටම කරගෙන ගියහොත් ඔවුන්ට ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවන බවත් ඔවුන්ට දන්වන්න.

cyber-bullying වලට එරෙහිව පියවර ගැනීම සහ ගෞරවනීය සහ වගකිවයුතු ඩිජිටල් පුරවැසියන් ලෙස කටයුතු කිරීම අප සැමට පැවරෙන වගකීමක් බව මතක තබා ගන්න.

ගෙදර හැමෝටම ආසාවෙන් කන්න කෑම හදමු…

ජීවිතය කියන්නේ අපි මොන ලිංගයේ කෙනෙක් වුණත් එකම ආනිසංසය වෙනස් වෙවී කැරකි කැරකි හැම කෙනාටම එකම මට්ටමින් ලැබෙන දෙයක් නෙවෙයි. සමහර අයට කන්න වැඩි වෙලා කන්න බැරිව කෑම බීම විසි කරනකොට තවත් අය කන්න නැතිව මැටි වලින් හදාගත්ත මැටි රොටී කෑමට තරම් ජීවිතෙ අන්ත අසරණ වෙලා. මිනිස් ආත්මයක් ලබන්න සෑහෙන්න පින් කරන්න ඕන කියලා හිතුවාට මිනිස්සුන්ට එන ප්‍රශ්න දිහා බැලුවම මිනිස් ආත්මයක් ලබන්න කොච්චර පව් කරන්න ඕනිදත් කියලා හිතෙනවා. කෑම කියන්නේ ජීවිතේ ප්‍රධානතම අංගයක්. සමහර අය රහට බත්පතේ මාළුපිණි පහ හයකින් පුරෝගන කද්දි ලූණු කෑල්ලක් බත් එකට දාගෙන එදාවේල බඩ පුරෝගන්න ඈයෝ අපිට කොතරම් මුණ ගැසෙනවා ද? උද්ගත වෙලා තියෙන තත්ත්වයත් එක්ක මිනිස්සු තවත් කබලෙන් ලිපට වැටිල. වේල් තුනම නැතත් එකක් කාල හරි බඩ පුරෝ ගන්න තරමටම මිනිස්සු අසරණයි. “ජීවත් වෙන්නනේ ඕන මහත්තයෝ “කියලා බත් නැතත් ගස් ගෙඩියක් හොයාගෙන කපාගෙන කාලා දවස ගත කරන පිරිසක් ගැන පහුගිය කාලේ අපිට දකින්නට ලැබුණා.

කියවන ඔබටත් සිතෙන්නට ඇති අපිට මොනාද අඩු කියලා? ඇත්තටම අපිට මොනවද අඩු? අපිට මෙහෙම හරි ඉන්නෙ වාසනාවක් බලපාල ඇති නිසැකයෙන්ම . ඒත් එක එක්කෙනාට වාසනාව බලපාන්නේ විවිධාකාරව. අද තියෙන දේ අපිට හෙට වෙද්දි අහිමි වෙන්න පුළුවන්. අද ලස්සනට ඇඳපු ඇඳුම හෙට වෙද්දි ඉරිලා යන්නට පුළුවන්. ඒ වගේම තමයි කෑම බීමත්. අපි අද චිකන් රයිස් එකක් කැවට හෙට අනිද්දා වෙද්දී සම්බෝලයි බතුයි කන ගානට ජීවිතේ වැටෙන්නත් පුළුවන්. ඒ තරම් ආර්ථිකය කඩන් වැටිලයි තියෙන්නේ. හිතනවාට වඩා අපෙ ජිවිතය හරි සංකීර්ණයි දැන් . යථා තත්ත්වයට ජීවිකාව ගෙනියන්න කවදා හැකි වේවිදැයි කියා කවුරුත් කියන්නට නම් දන්නේ නැහැ. covid මාරයා අපේ ජීවිතවල හොල්මන් කරන්න පටන් ගත්තට පස්සේ අපි කන කනබොන දේවල් වලට පවා එය තදින් බලපෑවා. අද මොකක්ද වෙලා තියෙන්නේ? හෙට රෑ කන බොන දෑ කෙසේ වෙතත් අද රෑ මොනාද අරපිරිමැස්මට හදාගන්නේ කියලා හිත දෝලනය වෙනවා. මවුපියන් සෑම විටම වෙර දරන්නේ දරුවන්ට කටට රසට කෑම හදලා දෙන්න. ඒ පුරුද්දටම දරුවනුත් ” අම්මෙ රහ දෙයක් උයන්න නැත්තං නම් මං කන්නේ නැහැ” මේක තමයි ඔවුන් කියන්න පුරුදු වෙලා තියෙන්නේ. ඒත් කෑම බීම වලටත් ලොකු බලපෑමක් උද්ගත වෙලා තියෙද්දි අම්මයි තාත්තයිත් අසරණ වෙනවා. දරුවෝ බඩගින්නේ තියන්න අම්මා තාත්තා කවදාවත් කැමති නැහැ. කනේ කරේ තියෙන දේ හරි විකුණලා බඩ කට පුරවන්න වෙර දරන රත්තරං අම්මලා තාත්තලා අපි හැමෝටම ඉන්නවා.

මේ කාලයේ හැමෝම වගේ ගෙදර වැඩි හරියක් විවේකව ඉන්න වෙලාවේ කන්න මොනාහරි තිබ්බනං කියල හිතෙන වෙලාවල් එමටයි. මේ කාලයත් සමග හැමෝම කැමති විදියට රසට අරපිරිමැස්මෙන් කෑම හදාගන්නෙ කොහොමද? කෑම රුචිකත්වය වැඩි වෙන විදිහට කෑම වේල පිළියෙල කරන්නේ කොහොමද? ගෙදර දරුවන්ගේත් හිත සතුටු වෙන ආකාරයට කෑම පිස ගන්නේ කොහොමද? මේ ලිපියෙන් කියලා දෙන්නේ ඒ ගැනයි . මේ දිනවල අප සියලු දෙනාටම ආර්ථික ගැටලු රැසක් පවතින නිසාම අරපිරිමැස්මෙන් කටයුතු කිරීම වඩාත් වැදගත් වෙනවා. ඒ වගේම පවුලේ හැමෝම ගෙදර සිටින දිනයන් තමයි මේ කාලය. එම නිසාම කෑම නාස්ති වීම හෝ අහක දැමීම අනිත් දිනයන්ට සාපේක්ෂව වැඩියි. ඒ වගේම නිතර නිතර කෑම සැකසීමෙන් නොදැනුවත්වම කෑම නාස්ති වෙනවා. කෑම නාස්ති කරනවා කියන්නේ ලොකු අපරාධයක්. ඒ වගේම කුඩා කාලයේ පටන්ම අපේ අම්මලා තාත්තලා ආච්චිලා කියලා තියෙන්නේ ” පුතේ කෑම අහක දාන්න එපා ඒක ලොකු පාපයක්” ඒ වගේම මුදල් නාස්තියක්. ලෝකයේ දහදුක් විඳ කෑම අහිමි වීම නිසාම වසරකට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මිය යනවා. එම නිසාම කෑම නහස්තිය විශාල අපරාධයක්. ඇත්තටම මේ කෑම නාස්තියට විසඳුමක් නැද්ද ? නිතරම මෙලෙස කෑම අපතේ යනවා නම් මොකද කරන්නේ?

 

නාස්තිය අවම කිරීමට මොකක්ද කරන්න ඕන…

Leftover wasted spaghetti pasta thrown in a bin Free Photo

කෑම නාස්තියට ඒකාකාරී කෑම රටාවත් හරි හරියට බලපානවා. පුරුද්දක් විදිහට එකම දේම තුන්වේලම උයනවා නම් එළවළු තුනහතරක් මාරුවෙන් මාරුවට උයනවා නම් කෑම ආහාරයට ගැනීමට තියන ප්‍රිය ටිකෙන් ටික අඩු වෙන්න පුලුවන්. දරුවන් වුණත් එකම රටාවේ ආහාරවලට තරමක් අකමැති. එවිට ඔවුන් නිවසේ කෑම පිස තිබුණත් වෙනත් අලුත් කෑම රස බැලීමට පෙළඹෙනවා . කෑම සකස් කිරීම ද ඇත්තටම රටාවක්. එම රටාව සිත් ඇදගන්නා සුළු නොවුනොත් එයට තිබෙන කැමැත්ත ද ගිලිහෙනවා. එළවළු පිසීමේදී ඔබට අතට අහුවෙන ඕනෑම එළවළුවක් පිසින්නට යන්නට එපා. එකිනෙකාගේ රුචි අරුචිකම් වලට අනුව කෑම පිසීමට උනන්දුවක් දැක්වුවහොත් කෑම නාස්තිය අවම කරගත හැකියි .

 

හැම දෙනාගෙම කැමැත්තට ඉඩ දෙන්න…

Talk by breakfast Free Photo

නිවසට එළවළු කෑම බීම රැගෙන ඒමේදී හැමෝගෙම හිතේ කැමැත්තට අනුව එළවළු කෑම බීම සියල්ල රැගෙන එන්න. එවිට කෑම නිස්කාරණේ නරක් වී යාමට ඉඩක් නැහැ.ගෙදර අයගේ රුචි අරුචිකම් වලට අනුව ලැයිස්තුවක් හදාගන්න. කොතරම් ඇඟට ගුණ දායක වුණත් ගෙදර අය එය ආහාරයට නොගන්නේ නම් ඒ අපතේ යා හැකියි. එම නිසාම ඔබ සතියේ මැද රොටී ,පස්ටා, නූඩ්ල්ස් , ආප්ප, තෝසේ වැනි වෙනත් කෑම වේලක් රාත්‍රියට එකතු කරගන්න. මේ ආකාරයට කෑම රටාව අලුත් වීමෙන් කෑම නාස්තිය අවම කරගත හැක. ඒ වගේම සෑම දෙනාම කැමති ආකාරයෙන් කෑම සැකසෙන විට සියලු දෙනාම ඒ රටාවට හුරු වෙනවා. ඊට අමතරව හෙට දිනයේ කෑමට අවශ්‍ය කෑම අද දිනයේ දී සාකච්ඡා කර ගන්න. එවිට කලින් සූදානම් වූ නිසාම වෙනත් කෑම වර්ග සැකසීමට මහන්සි විය යුතු නැත.

 

උදේට උයන ගමන් දවල්ටත් උයනව ද?

Woman chef cooking vegetables in pan Free Photo

කෑම බීම දීම සම්බන්ධයෙන් දරුවන්ගේ රුචි අරුචිකම් විවිධාකාර නිසා මවගේ සිත් රිදීම් වැඩි වෙනවා. අපි බොහෝ දෙනා ප්‍රිය කරන්නේ උදේ ආහාරයට ගත්තට වඩා වෙනත් රස දෙයක් දවල්ට කන්නයි . එහෙත් සමහර ගෘහණියන් වැඩි වෙලාවක් මුළුතැන්ගෙයි රැදෙන්නට අකමැති. දවසේ වැඩ ගොඩ ගැහිලා නිසා උදේ ආහාර පිසින ගමන්ම දවල්ටත් ඒ ගමන්ම ආහාර සකසයි . වෙහෙස මහන්සි වී කෑම වේල සකසා දුන්නත් උදේට කාපු දේ දවල්ට කන්න බොහෝදෙනා අකමැතියි. නිවසට වී නිදහසේ කෑම කන විට කෑම පිඟානට තිබෙන අවධානය වැඩියි. එම නිසාම උදේ කෑම එකම දවල්ටත් කන්න ගියාම සාමාන්‍යයෙන් කන ප්‍රමාණයට වඩා අඩුවෙනුයි කැවෙන්නේ. එම නිසාම මේ වගේ වෙලාවට ගෙදර කෑම පිස තිබුණත් දවල්ට කෑම ගන්නා වෙලාවට ක්ෂණිකව මොනව හෝ සකසා ගන්න දරුවෝ පුරුදු වී සිටිනවා. බිත්තර බැදුම, අල බැදුම්, ක්ෂණික නූඩ්ල්ස් සකසා එය ආහාරයට ගන්න පුරුදු වීමෙන් නිවසේ තිබෙන ආහාරපාන විශාල වශයෙන් අපතේ යා හැකි.

 

සතියට කෑම ලැයිස්තුවක් සකසා ගන්න …

Focused housewife planning weekly menu in her kitchen, writing down grocery list in notebook. cooking at home concept Free Photo

බොහෝ වේලාවට කෑම නාස්ති වෙන්නේ පවුලේ දරුවන් සැමියන් සහ අනෙක් අය විවිධාකාරයෙ කෑම වලට ප්‍රිය කරන නිසයි. එම නිසාම සතියට පිසින කෑම වෙනස් විදියට තීරණය කරන්න. උදාහරණයක් ලෙස තුන්වේලම බත් කන්න අකමැති අයට ,රස්නෙට කන්න කැමති අයට ,අලුත් කෑමක් සොයන අයට මේ හැමෝටම ගැළපෙන විදියට සතියෙ කෑම වේල සැලැසුම් කරගන්න..

ඉහත සඳහන් කළා වගෙ කොහොමද මේ හැමෝම ප්‍රිය කරන විදියට කෑම සකසා ගන්නේ? ගෘහණියකට නම් මෙය තමයි අමාරුම කටයුත්ත . ඒත් තම දරුවන්ගේ ඕනෑ එපාකම් ගැන හිතලා මේ කාර්යය අමාරුවෙන් හරි කරන්නට සිදු වෙනවා.

මම කැමති කිරට කන්න
මම කැමති මිරිසට කන්න
හැමදා හැමදාම මිරිසටයි කිරටයි කාලා එපා වෙලා තෙලට මොකුත් නැද්ද ?

මේ සෑම පවුලකම අඬවැඩියාවයි .පවුලේ සෑම අයෙකුම එකම කෑම රටාවකට අකමැති නිසා පවුලේ කෑම වේල කිරට ,මිරිසට, තෙලට මේ සියලුම ආකාරයට පිස ගත යුතු නැත. අවශ්‍ය වනුයේ හොඳ කළමනාකරණයක් . පවුලේ හැමෝගෙම සිත සතුටු වෙන ආකාරයෙන් අරපිරිමැස්මෙන් කෑම සෑදීම අසීරුය. එහෙත් මේ ටික තිතටම කළමනාකරණය කර ගත්තොත් ගෘහණියක් හැටියට ඔබ දිනුම්. එසේනම් ව්‍යාංජන සුළු ප්‍රමාණයක් මේ සියලු දෙනාම කැමති හැටියට පිසගන්නෙ කොහොමද?

 

කිරට, දිය රහට හා තෙලට කැමති අයට

ඔබේ පවුලේ තෙලට කිහිපදෙනෙකු හා කිරට දිය රසට කන්න අයෙකු කැමති නම් ඔබ එලවළු තෝරාගතදී මේ සියලු ආකාරයෙන් පිසගත හැකි එළවළු තෝරාගන්නට කල්පනාකාරී වන්න. එවැනි එළවළු මේ තුන් ආකාරයට ම සකසා ගත හැක. කිරට සහ තෙලට සකසා ගත හැකි නිසා ඔබට හැමෝම කැමති විදිහට ආහාර සකසා ගත හැක. ඒ සඳහා පළමුව අවධානය දෙමු කිරට සකස් කරගත හැකි එළවළු ගැන

බෝංචි
පිපිඤ්ඤා
කැරට්
පතෝල
රාබු
බීට්රූට්
ගෝවා

මෙවැනි එළවළු වර්ග අනිවාර්යෙන්ම කිරට සකස් කරන එළවළු නිසා මේවා පිස ගන්නා විට උකු කිරි යොදා පිසගෙන අවසානයට තෙල් ස්වල්පයක් රත් වෙන්නට හැර අබ සුදුලූනු රම්පෙ කරපිංචා ආදිය දමා මේ වෑංජනයට හොඳ තෙම්පරාදුවක් දමාගන්න . සමහර අය කිරි යෙදූ පසු නැවත තෙල් යෙදීමට අකමැතිය. ඒත් කිරි යොදා සැකසූව ද නැවත අබ ස්වල්පයක් බැදෙන්නට හැර තෙම්පරාදුවක් දමා ගැනීමෙන් වෙනම රසයක් ඇති කරගත හැකිය. මේ විදියටත් පිසගත් පසු තෙල් දමා කෑමට කැමති අයත් කිරි දමා කෑමට කැමති අයත් වගේම පවුලේ අනෙක් උදවියත් මේකට බොහෝ කැමති වේවි. ඉතින් මේ අතර දිය රසට කැමති කෙනෙක් ඉන්නවා නම් ව්‍යංජනයට උකු කිරි වෙනුවට තරමක් වතුර ගතිය වැඩියෙන් තිබෙන ලෙස කිරි දාගෙන ඉහත ආකාරයට පිස ගන්න .

 

කිරට මිරිසට කන්න කැමති අයට

High angle chicken meal Free Photo

මේ ක්‍රමය හඳුන්වන්නේ කිරි මිරිසට සකස් කරන වෑංජන ලෙසය. අපේ ගෘහණියන් බොහෝ පිරිසක් නොදැන සිටියත් එළවළු සුළු ප්‍රමාණයක් හැරුණු විට කිරි මිරිසට සකස්කරගන්නා වෑංජන බොහෝ ඇත .අපි නිතර සකස් කරගන්නා ව්‍යංජන තුළින් බොහෝ ප්‍රමාණයක් ඇත්තේ කිරි මිරිසට සකසා ගත හැකි වෑංජනයි . ඒවා නම්

පරිප්පු
මස් මාළු
බිම් මල්
අල
සොයා මීට්
කොස්
සුදු ලූනු
කරවිල හා හාල්මැස්සන්
කොහිල

කිරි යොදා තෙලෙන් තෙම්පරාදු කර ගන්නා එළවළුවලට අපි මිරිස් කුඩු භාවිතා කරන්නේ නැත. එහෙත් අපේ පවුලේ මිරිස් කන්න ආස කරන අය වගේම ඒ තරම් සැරට කන්න අකමැති පිරිසකුත් සිටින බැවින් ඒ අය සඳහා එක් ව්‍යංජනයක් කිරි මිරිසට සකස් කරගන්න. ඒ සඳහා අවශ්‍ය කැම ප්‍රමාණයට මිරිස් යොදා ගෙන අවසානයේ උකු මිටි කිරි ස්වල්පයක් එකතු කර ගන්න. එවිට ඔබ මිරිසට සැකසූ ව්‍යංජනය සැර අඩු වී දෙපාර්ශවයටම කෑමට ගැනීමට හැකිවන සේ පිස ගත හැකිය. බොහෝවිට මස් මාංශ වැනි දේවල් මිරිසට පිසගත් අද ඔබේ පවුලේ මිරිසට කෑම ගත නොහැකි අය සිටින්නේ නම් ඒ සෑම දෙනාටම කෑමට ගතහැකි පරිදි මෙවැනි ආහාර කිරි මිරිසට සකස් කරගෙන රස බලන්න. දැන් කිරි සහ තෙලට සැකසූ ව්‍යංජනයක් ද හා කිරි මිසර සැකසූ ව්‍යංජනයක් තිබෙන නිසා පවුලේ උදවියගේ රුචිකත්වය පරිදි මෙයට තව බැදුමක් වැනි දෙයක් එකතු කර ගත හැකි. එවිට බොහෝ ව්‍යංජන සකස් කිරීමට අවශ්‍ය නැත .

 

ආර්ථිකය ගැනත් හිතන්න.

Serious young couple standing in aisle with alcohol drinks Free Photo

මේ දවස්වල කෑම කෑවාම නිවාඩු පාඩුවේ රූපවාහිනිය සහ අන්තර්ජාලය පුරා තිබෙන කෑම වට්ටෝරු සකස් කර බලන්න ගොඩක් අය පෙලබෙනවා . එහෙත් එය මුදල් පසුම්බියට එතරම් ගුණදායක නැත. මේ දිනවල අප සියලු දෙනාටම ආර්ථික ගැටලූ රැසක් පවතින නිසා අරපිරිමැස්මෙන් තමයි සෑම කටයුත්තක්ම කරගත යුත්තේ. බොහෝ නිවෙස්වල ඉතිරිවෙන එළවළු ඉවත දමනවා .කෑමට ගත් පසු එළවළු කූඩයේ කැරට් අලයක් ලිස් ගහක් වගේ ඉතිරිව තිබෙනවා .එය කෑමට ගතනොහැකි වන තාක්ම ශීතකරණයේ තබා පසුව විසික් කරනවා. ඇත්තටම එය අපරාධයක්. කැරට් ගෙඩියක් නිවුස් ගහක් ඉතිරිව ඇත්නම් එය හීනියට ලියා පොල් රොටි සාදන මිශ්‍රණයට එකතු කර සතියේ දිනක රාත්‍රී ආහාරයට වගේ පොල් රොටි සකස් කරගන්න. එය ඔබේ ශරීරයටත් ගුණයි. ඒ වගේම කෑම අහක යන්නෙත් නැහැ .මේ ආකාරයෙන් නිවසේ එලවළු ඉතිරි වන්නට පුළුවන්. එවැනි එළවළු වර්ග කිහිපයක් එකට එකතු කර පිස ගැනීමට ද පුළුවන් . එලෙස පිස ගැනීමට හැකි එළවළු,

බෝංචි සමග අල
අල සමග කැරට්
දඹල සහ අල
චිකන් සහ ආල

මේ ආකාරයට ඉතිරි වෙන එළවළු ඉවත නොදා ව්‍යංජනයක් සකසා ගන්න. මේ එළවළු ඉතිරි වන්නට නොදී එළවළු බත් ,සුප් වැනි දේත් සාදාගත හැකි. කුඩා දරුවන් වුණත් එවැනි කෑම කන්න බොහෝ විට ප්‍රිය කරයි.

මුළුතැන්ගෙයි ඉතිරි වෙන කිසිම දෙයක් අපතේ නොයවා ඒවා වෙනස් ආකාරයකට සාදා රස බලන්න. මේ ආකාරයට පවුලේ අරපිරිමැස්ම කළමනාකරණය කරගන්න. එය ඔබේ මුදල් පසුම්බියටත් හිතටත් ගතටත් සුබදායකයි.

 

අන්තර්ජාලය ඇසුරෙනි.

-මන්දාකිනි පතිරණ –

අම්මා කියනවා ඇහිලාම එපා වුණ දේවල්…

මේ රටේ අම්මලාටයි නැන්දලාටයි විශේෂ වුණ කියමන්, කතා, තර්ජන ගර්ජන වගේම අපි ගැන හොයලා බලන විධි තියනවා. ඒවාගෙන් බොහෝමයක්…. අපිට තියන ආදරේට කියන දේවල්. අපි අම්මලා එක්ක කතා කරද්දි කොහොමත් පොඩි බයක්, නුරුස්සනා ගතියක් වගේම ආදරයක් හැංඟිලා තිබුණත් සමහර කතා නම් දවසකට හරි අහන්න නොලැබෙනවා නම් හොඳයි. මේ ඒවාගෙන් සමහරක්.

 

“පුතේ! ඇයි හොඳට කන්නේ නැත්තේ?, තව බෙදාගෙන කන්නකෝ”

මුලින්ම කෑම බෙදද්දි වගේම දෙවනි පාරටත් මේක නම් අනිවාර්‍යයෙන්ම අහන්න ලැබෙනවා. ශ්‍රී ලංකාවට බත් වගේ අපේ අම්මලාට නැන්දලාට මේ කතාව බද්ධ වෙලා තියෙන්නේ. ප්‍රශ්නයක් එක්ක කළවම් කරලා ටිකක් දරුණුවට ආපහු ආපහු කියන මේ කතාව පවුලේ අය කෑමකට එකතු වුණහම, එදිනෙදා කෑම ගනිද්දි වගේම යාළුවෝ ගෙදර ආවහමත් අනිවාර්‍යයෙන්ම අහන්න ලැබෙනවා. තවත් කන්න බැරි තරම්ම බඩ පිරිලා කියලා අපි කියනකම් මේ කතාව නවතින්නේ නෑ. මේ කතාවේ විහිළු බව නිසාම සමාජ මාධ්‍ය වල විහිළු කතා ගණනාවකට මේක මාතෘකාවක් වෙලා.

මෙන්න වැඩක්, ඔයාටයි යාළුවන්ටයි ඕන ඕන වෙලාවට ඇවිත් යන්න මේක හෝටලයක් කියලා හිතුවාද?/ මම නේ උයන්නයි අස් කරන්නයි ඕන/ හැමදෙයක්ම කරන්න ඕන මම නේ!

අපේ අම්මලා ඉදලා හිටලා කාගෙන් හරි තමන්ගෙ කෑම ගැන ගෙදර ගැන හොඳක් අහන්න කැමතියි. ඒත් ඔයාට පොඩ්ඩක් සමාජශීලී වෙන්න හිතුණම, යාළුවන්ව ගෙදරට ගෙන්නගෙන බයිලා සද්දේ එහෙම පොඩ්ඩක් වැඩි වුණහම, එහෙමත් නැත්තම් ඔයා නැති සති අන්තෙක එහෙම ඔයාගේ කාමරේ අම්බලමක් වුණහම ඔයාගේ අම්මා වගේම තාත්තා මේ සාම්ප්‍රදායික වාග් ප්‍රහාරේ දියත් කරනවා.

 

අනේ මොන කරදරයක්ද අනේ!… පොඩ්ඩක් ඉන්නකෝ, පුතාට පුළුවන් ඔයාට ඕකට උදවු කරන්න.

නෑදෑයන්ට හරි පවුලේ හිත මිත්‍රයන්ට හරි උදවුවක් කරනවා කියන එක මහ දෙයක් නෙමේ. (විශේෂයෙන්ම ඔයාම උදවු කරන්න ඉදිරිපත් වෙද්දි) ඒ වුණාට ඔයාට තනියම ගෙදර ඇතුළට වෙලා ඉන්න ඕනකම තියෙද්දිත් කී දවසක් ඔයාගේ සති අන්තේ පැය ගාණක් නැන්දාට මාමාට උදවු කරන්න හරි ඔයාගේ ඥාති සහෝදර සහෝදරියෝ එක්ක ගත කරන්න හරි ඔයාට සිද්ධ වෙලා ඇතිද? අපේ අම්මලා අපි ගැන විශ්වාස කරලා අපිට කාවහරි ඇරළවන්න, කඩෙන් බඩු ගේන්න උදවු කරන්න, ඕන කරන ටෙක් සපෝර්ට් එක සපයන්න, පවුලේ පාර්ටි වලදි කේටරින් එකේ වැඩ කරන්න වගේ දේවල් බාර දුන්නා කියන එක එක්තරා විදිහක සතුටක්. ඒත් ඒ ගැන කලින් දැනුවත් කළා නම් වඩා වටිනවා. මොකද පොරොන්දු වුණ දෙයක් නොකර බැහැ වගේම ඒ වගේ වැඩ වලට හිතනවාට වඩා දෙගුණයක් වෙලාව යනවා)

 

තාත්තා ගෙදර එනකම් ඉන්නකෝ!

මේක ඇහෙද්දීම අපිට අපේ පොඩි කාලේ මතක් වෙනවා. වැඩිමහල් වයසේ ඉන්න අපෙන් සමහරක් අයට නම් මේක අම්මා කියපු විදිහටම අම්මාගේ කට හඩෙන්ම මතක් වෙනවා. පොඩි කාලේ එපා කරපු දවසක ඔයා අතින් සිද්ධ වෙච්ච වරදක් ගැන අම්මා මුලින්ම දැනගත්තහම මේක අහන්න ලැබෙනවා. මේක අහන්න ලැබෙන හේතුව ඉස්කෝලේ ප්‍රින්සිපල් ගෙන් ලැබුණු අභිරහස් කෝල් එකක් වෙන්නත් පුළුවන්. ඒ වගේම සමහරවිට අපිට එළවළු කවාගන්න කරපු බොරු තර්ජනයක් වෙන්නත් පුළුවන්. තරුණ වයසෙදි ගොඩක් වෙලාවට මේක අහන්න ලැබෙන්නේ ඊයේ රෑ යාළුවෝ එක්ක තිබුණ ප්‍රිය සමාගමේ දී වැඩ වැරදිලා කරපු පවු සෝදා හරින්න තාත්තා ගෙදර එනකම් බලාගෙන ඉදිද්දී යි. කවදා කොයි මොහොතේ හරි ඔයා මේ තර්ජනය එක්ක මුහුණට මුහුණ හැප්පිලා පණ බේරගෙන ඒ සිදුවීම ඉදිරි පරම්පරාව එක්ක බෙදාගන්න ඇති.

 

අයියෝ! අල්ලපු ගෙවල් වල මිනිස්සුන්ට ඇහුණොත්/ දැක්කොත්/ දැනගත්තොත්? එහෙම නැත්තම්, චී, මිනිස්සු මොනවා හිතයිද/ කියාවිද?

කියන විදිහ අදාළ සිද්ධිය සහ සිද්ධියේ බරපතලකම මත වෙනස් වුණත් මේක කියන සාම්ප්‍රදායික නාට්‍යානුසාරී ශෛලිය අපේ හිත් ඇතුළේ කිඳා බැහැලා තියෙන්නේ. අද වෙද්දී ඉන්න තරුණ පරම්පරාව මේ කියමන නැත්තම් සංකල්පය තමන් මත පීඩනයක් ඇති කරන්න යොදන නරක ක්‍රමවේදයක් කියලා සැළකුවාත්, මේක ඉදිරි පරම්පරාවන් එක්ක නැති වෙලා යාවිද, එහෙම නැත්තම් කෑම මේසේ කට්ලට් වගේ එතනින් මෙතනට පාස් වෙවී යයිද?

 

ආහ් හරි හරි, මම කියන දේ අහන්න එපා, හැබැයි මොනවහරි වුණාට පස්සේ අඬාගෙන මගේ ළඟට එන්න එපා.

මේක කාලය තරම්ම පරණ වාක්‍යයක්. ඔයා හවසට මොන වැඩේ දාගෙන තිබුණත්, ඒකට අම්මා කැමති නැත්තම් ඔයාටත් බෑ තමා.
මේක මතුවෙන්නේ අම්මා කැමති නැති එකඟ නොවෙන විරුද්ධ වෙන දෙයක් ඔයා කරන්න යන්න ඔන්න මෙන්න තියෙද්දියි. ඒත් ඒ තර්ජනයෙන් ඔයා පහු බහින්නේ නෑ. හැබැයි මතක තියාගන්න, මොකක්හරි වැරදුණොත්, ඔන්න ඔයාට අනතුරු අඟවලායි තියෙන්නේ. අම්මා තමා මුලින්ම හිනාවෙන්නේ.

රජිනිකාන්ත් ගේ චිත්‍රපටයේ ප්‍රවර්ධන ගීතය ලංකාවෙන්…

කොලිවුඩ් සුපිරි තරුවක් වන රජිනිකාන්ත් රංගනයෙන් දායකවන, ඉදිරියේදී තිරගත වීමට නියමිත “Annaatha” චිත්‍රපටයේ ප්‍රවර්ධන ගීතය ශ්‍රී ලංකාවේ කලාකරුවන් පිරිසක් විසින් නිර්මාණය කර තිබෙනවා.

දිවාලි උත්සවයට සමගාමීව ‘Vararu Vararu Annaatha’ නම් මෙම චිත්‍රපටය නිකුත් කෙරෙන අතර දැනටමත් ශ්‍රී ලංකාවේ සහ විශේෂයෙන්ම ඉන්දියාවේ අවධානයට ලක්ව ඇත.

පොතුවිල් අස්මින්, කන්දප්පු ජෙයන්තන්, ක්‍රිෂාන් මහේසන්, සහ රෝජා සිවංකර් යන ශ්‍රී ලාංකික කලාකරුවන් මෙම ප්‍රවර්ධන ගීතය සඳහා දායක වී ඇත.

මෙම ගීතය ප්‍රකට දමිළ කවියෙකු සහ ගීත රචකයෙකු වන පොතුවිල් අස්මින් විසින් පද රචනය කර ඇති අතර සංගීත නිර්මාණය කන්දප්පු ජෙයන්තන් විසින් ද, ශ්‍රී ලාංකික දෙමළ රැප් ගායක ක්‍රිෂාන් මහේසන් සහ රෝජා සිවකුමාර් මෙම ගීතයට ගායනයෙන් දායක වී තිබෙනවා.

Siruthai Siva විසින් අධ්‍යක්ෂණය කරන ලද Sun Pictures විසින් නිෂ්පාදනය කරන ලද ‘Annaatha’ හි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ රජිනිකාන්ත් සමග නයනතාරා විසින්.

අලුත් USB Type C එකේ වාසි රැසක් මෙන්න…

USB, ඒ කියන්නෙ Universal Serial Bus. මෙය අපි එදිනෙදා පාවිච්චි කරන ගොඩක් උපකරණවල තියෙන පෝර්ට් එකක් වගේම අපි හැමදාම වගේ පාවිච්චියටත් ගන්න දෙයක්. ලැප්ටොප් එකක් කම්පියුටර් එකක් වගේ ගත්තොත් ඔයාට මෙන්න මේ විදිහෙ USB Port එකක් බලාගන්නක ලැබෙනවා. මේකට කියෙන්නේ USB Type A Port එකක් කියලා.

ඉතින් ඒ වගේම ඔයාගෙ ෆෝන් එක තියෙනවනේ. ඒක චාර්ජ් කරන්නත් ඔයා ගොඩක් වෙලාවට මේ USB වර්ගයේ පෝර්ට් එකක් පාවිච්චි කරනවා වෙන්න පුලුවන්. මොකද දැනට කාලෙක ඉඳල එන ගොඩක් ෆෝන්ස් මේ USB හරහා තමයි චාර්ජ් කරන්න පුලුවන් වෙන්නේ. මේ වගේ උපකරන චාර්ජ් කරන්න අපි Micro USB සහ USB Type C කියන Ports පාවිච්චි කරනවා.

ඉතින් දැන් එන අළුත් ස්මාර්ට් ෆෝන් හැම එකක්ම වගේ උඩ පෙන්නල තියෙන USB Type C කියන කනෙක්ටර් එක හරහා තමයි චාර්ජ් කරන්න පුලුවන් වෙන්නේ. ඒ වගේම දැන් එන සමහර ලැප්ටොප් පවා මේ කනෙක්ටර් එක හරහා චාර්ජ් කරන්න පුලුවන් වෙලා තියෙනවා. හැබැයි ඇපල් සමාගමනම් තාමත් එයාලගෙ අයිෆෝන් වලට අනිත් හැමෝම පාවිච්චි කරන USB Type C Port එක නැතුව එයාලගෙන ලයිට්නින් කියලා සදහන්වන පෝර්ට් එකක් තමයි පාවිච්චි කරන්නෙ.

ඉතින්, මේ USB Type C කියන එක විශේෂ වෙන්නෙ ඇයි ? ඒකට හේතු කිහිපයක් තියෙනවා. ඔයාගෙ ලැප්ටොප් එකයි, ෆෝන් එක සහ ඉයර් බඩ්ස් වගේ පාවිච්චි කරනවනම් ඒවටයි වෙන වෙනම චාජර් තියෙනකොට ඒක අවුල් ජාලයක්නෙ. අනික ඔයා නිතර ට්‍රැවල් කරන කෙනෙක්නම් මේවත් අරගෙන තැන් තැන්වල යන එකත් ගොඩක් කරදරකාරී දෙයක්. ඉතින් මම කලින් කීව වගේ ෆෝන් එක, ලැප්ටොප් එක වගේ ඔයාගෙ ඩිවයිස් හැම එකක්ම එකම විදිහෙ චාජර් එකකින් චාර්ජ් කරනකොට ඔයාට ගොඩක්ම ලේසි වෙනවා.

 

චාර්ජ් කරන එකට අමතරව මේ Type C Port එක හරහා අපිට ලැප් එකක් හෝ ෆෝන් එකක් අමතර මොනිටර් එකකට කනෙක්ට් කරන්න, Ethernet හරහා නෙට්වර්ක් එකකට කනෙක්ට් කරන්න වගේ පහසුකම් ලැබෙනවා. මේ වෙද්දි තියෙන ලේටස්ම Type C එක හරහා තත්පරයට ගිගා බිට් 40ක දත්ත හුවමාරු කරන්න පුලුවන්. ඒ කියන්නෙType C එක්ක ඔයාට ගිගාබයිට් 5 ක ෆයිල් එකක් තත්පරයක් වගේ කාලෙකින් හුවමාරු කරන්න පුලුවන් වෙනවා.

 

මේ වගේ හැකියාවන් ගොඩක් තිබුනට Type C පෝර්ට් එකේ එක දුර්වලකමක් තියෙනවා. ඒ තමයි විදුලිය සම්ප්‍රේශනය කරන හැකියාව. එහෙම වෙන්නෙ කොහොමද ? කලින් කීවනෙ මේකෙ ලැප්ටොප් පවා චාර්ජ් කරන්න පුලුවන් කියල ?. හරි, ලැප්ටොප් චාර්ජ් කරන්න Type C පෝර්ට් එකට පුලුවන් උනාට මේ පෝර්ට් එක හරහා චාර්ජ් කරන්න පුලුවන් වෙන්නෙ ගොඩක් අඩු බලයක් තියෙන ලැප්ටොප්. ඒ කියන්නෙ ඔයාට වෙනම GPU එකක් එහෙම තියෙන ගේමින් ලැප්ටොප් එකක් තියේනම් ඔයා අන්න ඒ වගේ ලැප්ටොප් චාර්ජ් කරන්න Type C එක පාවිච්චි කරන්න පුලුවන් වෙන්නෙ නෑ.

 

එහෙම වෙන්නෙ කලින් කීවා වගේ මේ දැනට භාවිතයෙ තියෙන Type C පෝර්ට් එක හරහා සම්ප්‍රේශනය කරන්න පුලුවන් උපරිම වොට් ගාන වොට් 100 ( 100W = 20V*5A ) නිසා. ඉතින් ගේමින් ලැප්ටොප් වගේ ඒවා පාවිච්චි කරද්දි වොට් 100 ත් 300 ත් අතර ගානක් පාවිච්චි කරන නිසා මේ වගේ ගේමින් ලැප්ටොප් Type C හරහා චාර්ජ් කරන්න බැරිවෙලා තියෙනවා.

 

දැන් ඔයා කල්පනා කරනව ඇති වොට් ගානයි ඈම්ප් ගානයි වැඩි කරොත් අපිට වැඩිපුර බලයක් මේක හරහා යවන්න පුලුවන්නෙ කියල. ඔයා හරි, ඒත් මේ නිසා “ආර්ක්” යනුවෙන් හඳුන්වන කුඩා විදුලි කෙටීම් ඇතිවෙනවා කේබල් එක සහ උපකරණයෙ පෝර්ට් එක අතර. අන්න ඒ නිසා අපි දැනට මේ Type C පෝර්ට් එක හරහා ගෙනියන බලය වොට් 100 කට සීමා කරල තියෙනවා.

 

ඒ වුනාට USB සම්බන්ධව සංවර්ධන කටයුතු සිදුකරන ආයතනයෙන් අපිට අළුත්ම ප්‍රවෘත්තියක් දීල තියෙනවා මේ දේ අවසන් කියලා. එයාල කියන විදිහට අපිට ඊළඟට දකින්න ලැබෙන Type C මීළග පරම්පරාවෙ පෝර්ට් එක වොට් 240 ක් දක්වා බලයක් සම්ප්‍රේශනය කරන්න පුලුවන් වෙනවා. මම කලින් කීව ආර්ක් ඇතිවෙන එක වලක්වන්න මේ පෝර්ට් සහ කේබල් විශේෂ අමුද්‍රව්‍ය වලින් තමයි නිෂ්පාදනය කරන්න කටයුතු යොදල තියෙන්නේ. ඉතින් මේ Port එක හරහා අපිට RTX 3060, 3070 වගේ තියෙන Gaming Laptop එකක් උනත් බලගන්වන්න හැකියාව තියෙනවා. ඉතින් ඔයා ගේමින් ලැප්ටොප් එකක් වගේ පාවිච්චි කරනවනම් අනාගතයෙදි ට්‍රැවල් කරද්දි, යුනිවසිටි එකට යද්දි චාජර් ගොඩක් එල්ලගෙන යන්න ඕනෙ වෙන එකක්නම් නෑ.

-ධනංජය පසන්-

ඔයා දකින හීන වලින් කියැවෙන රහස්…

අපි කවුරුත් හීන දකිනවා. ඒ හීන සමහරක් හැබෑ වෙනවා. ඒත් සමහර හීනනම් ,හීන විතරක්ම වෙනවා. අපි අවදියෙන් ඉද්දි දකින හීනයි නිදාගෙන ඉද්දි දකින හීනයි හරි වෙනස්. නිදාගෙන ඉද්දි දකින ගොඩක් හීන වලට සැඟවිච්ච හරි අපූරු අර්ථ තියෙනවා. හොඳ සිහින වගේම නරක සිහිනත් මේ අතර ගැබ් වෙනවා. එම නිසාම මේ කියන්නා වූ සිහින ගැන වැඩි අවධානයක් යොමු කළොත් හොඳයි. බොහෝ වේලාවට අපි දකින සිහින මඟින් පිළිබිඹු කරන්නේ චිත්තවේගයන්, හැඟීම් දැනීම් ,විශ්වාස හා සිතුවිලි ආදිය. මේ කියන්න යන්නේ බොහෝ දෙනා දකින පොදු හීනවල ගැබ් වෙච්ච සැඟවිච්ච අර්ථයන් ගැනයි.

 

 

පරීක්ෂණයකින් අසමත් වෙනවා දැකීම……

Portrait of a woman grabbing head at desk near the laptop Free Photo

පරීක්ෂණයක් කියූ විගසම අපේ හිතට ඇති වන්නේ බියක්. කොච්චර මහන්සි වෙලා සූදානම්වෙලා හිටියත් පරීක්ෂණයන්ට මට මේ දේ කරගන්න හැකිවේදෝ නොහැකි වේ දෝ කියලා අපේ හිතේ කොනක හරි බියක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි කොයි කවුරුත් පරීක්ෂණ වලින් අසමත් වෙලා තියෙනවා. හැබැයි සිහින ලෝකයේ දී ඒක ටිකක් වෙනස්. මේ සිහින ලෝකයේ දී යම් විභාගයකින් අසමත් වනවා දුටුවොත් ඔබට ඔබගේ ජීවිතයට හා ඔබ ගෙවන්නා වූ ජීවිකාවට වැඩි අවධානයක් යොමු කරන්නට සිදු වෙනවා. මේ සිහිනයේ සැබෑම අරුත වන්නේ ඔබට අවශ්‍ය තරමට ආත්ම ශක්තියක් නැති බවයි. ආත්ම ශක්තිය ජීවිතයේ කොතරම් අවැසිද කියා මම ඔබට අමුතුවෙන් කිවයුතු නැත. ඉතින් යම් යම් දේවල් ඔබ ජීවිතයේදී උත්සාහ කරද්දී එයට අවශ්‍ය විශ්වාසය සහ ආත්ම ශක්තිය නොමැතිකම නිසා හිතේ ඇති කලබලයට මෙවැනි හීන පෙනෙන්නට පුළුවන්.

 

 

ඔබ මෝටර් රථයක් පදවාගෙන යනවා දුටුවොත්…..

Handsome man driving in his car Free Photo

තමන්ගෙ කියලා වාහනයක් ගන්න සිහින දකින කොතරම් පිරිසක් ඇත්ද? තමන්ගෙම හිතමිතුරන් සමග වාහනය පදවාගෙන යන්න හීන දකින අය අද සමාජයේ බොහෝ දක්නට ලැබෙනවා. ඒකට කියන්නේ වාහන සිහිනය නැතහොත්” රථ ගාය” . ඉතින් මෙවැනි සිහිනයක් ඔබ දුටුවොත් එයින් පැවසෙන්නේ ඔබ ඉතාම ප්‍රීතියෙන් කාලය ගත කරනවා යන්නයි. නමුත් ඔබ ඉදිරියේ මෝටර් රථයක් තිබිලත් ඔබ එය නොපදිනවනම් එයින් කියැවෙන්නේ ඔබට කිසි සතුටක් නැති බවයි. ලැබී ඇති දෙයින් ඔබ සෑහීමකට පත් නොවන බවයි. තවද මොන ප්‍රශ්නය ජීවිතයට ආවත් ඔබ එයට මුහුණ දෙමින් ඉදිරියට යාමට කැමති අයෙක් බවයි.

 

 

ඔබ ලිංගික සබඳතාවක් පවත්වනවා දැකීම…….

Beautiful young happy couple relaxing in bed and smiling, embracing Free Photo

ඔබ ලිංගිකව එකතු වන විටදී සතුටින් හිදිනවා දුටුවොත් එයින් කියවෙන්නේ ඔබේ සහකරුවා හෝ සහකාරිය ගැන ඉතා පැහැදීමකින් සිටින බවයි. එකිනෙකාගේ රූපය පිළිබඳව සෑහීමකින් ඔබ සිටින බවයි. එහෙත් ඔබ එම අවස්ථාවේ කිසිදු හැගීමක්කින් තොරව සිටියේ නම් එයින් අදහස් වන්නේ ඔබ ඔබ පිළිබද අවතක්සේරුවකින් ඉන්නවා යන්නයි. ඔබගේ පෙනුම ,රූපය , අඟ පසඟ ගැන සතුටින් පසු නොවනවා යන්නයි.

 

 

ඔබ සිහිනයෙන් ඇද වැටෙනවා දැකීම……..

Woman gets leg injury while working out in park Free Photo

 

මෙය ඔබට දිස් වන විටදී යම් ගැස්සීමක්, බියක් මනසේ ඇති වන්නට පුළුවන්. බොහෝ වෙලාවට බොහෝ අයවලුන් ගැස්සී නින්දෙන් අවදිවෙන වෙලාවන් ඇත. එහෙත් මෙම සිහිනයෙහි තේරුම වන්නේ ඔබ අවිශ්වාසයෙන් සහ පසුතැවීමකින් කල්ගෙවනවා යන්නයි. මෙය දිස් වෙන්නට ප්‍රධානම හේතුව ඔබගේ සිතෙහි ඇති දැඩි අවිශ්වාස යයි. නමුත් ඔබ වැටෙන අවස්ථාවේ ප්‍රීතියෙන් සිටියා නම් එයින් කියැවෙන්නේ ජීවිතයේ ඔබට මුහුණ දෙන්නට වන සෑම ප්‍රශ්නයකටම හොඳාකාරවම මුහුණ දෙමින් ඉදිරියට යාමට කැමති බවයි.

 

 

පිරිසක් මැද ඔබ නිරුවත්ව සිටිනවා දැකීම………

High fashion look.glamour portrait of beautiful sexy young female woman with red lips on black background with hat Free Photo

මෙය නම් මදක් සිනහ නංවන සහ බියක් ඇති කරන සිහිනයක්. මෙයින් කියවෙන්නේ වෙනස්ම දෙයක්. එනම් ඔබ ඔබගේ පෞරුෂය සම්බන්ධව ප්‍රබල දුර්වලතාවයකින් සිටින බවයි. මෙවැනි හීන පෙනෙන්නේ බොහෝවිට සමාජය තුළ හැසිරෙන්නට කැමති නැති අයටයි. ඔවුන් මිනිසුන් සමග ගැටෙන්නට බියක් දක්වන නිසා ඔවුන්ගේ දුබලතා අනික් අය දැන ගනීවි කියලා ඔවුන් බියට පත්වෙනවා. එසේ වුවහොත් ඔවුන් සමාජයේ සිනහවකට සමච්චලයට පාත්‍ර වෙයි යන හැඟීම නිසා ඔවුන් නිතරම පසුවන්නේ බියකින්. මේ නිසයි ඔවුන්ට මේ ආකාරයේ සිහින දිස් වන්නේ.

 

 

යම් භයානක දෙයක් ඔබ ලුහුබඳිනවා දුටුවොත්…..

Frightening halloween realistic background Free Vector

යම් භයානක දෙයක් ඔබ ලුහුබඳිනවා දුටුවොත් එයින් අදහස් වන්නේ යම් පීඩාකාරී තත්ත්වයකට ඔබ මුහුණ දෙමින් සිටින බවයි. කිසියම් ප්‍රශ්නයකට මැදිව එයින් ගැලවීමට නොහැකිව ඔබ ප්‍රශ්නය අතර දෝලනය වෙමින් සිටින බවයි. ඔබ නිතරම ඔබේ ප්‍රශ්නය ගැන සිතමින් කාලය ගත කරන නිසා මෙවැනි භයානක සිහින පෙනෙන්නට පුළුවන්. ඔබටත් එම ගැටලුවෙන් ඉක්මනින්ම නිදහස් වීමට අවශ්‍ය බවද ඉන් කියැවෙයි.

 

 

වැසිකිලියක් සොයා ගැනීමට බැරිව ඔබ කලබලෙන් සිටිනවා දැකීම….

Embarrassed guy want to pee, waiting in line for toilet, standing against blue background. Free Photo

ඔබට වැසිකිළියට යාමට අවශ්‍ය වුවත් ඔබට වැසිකිලියක් සොයාගැනීමට නොහැකිව සිටිනවා ඔබ දුටුවොත් එයින් අදහස් වන්නේ ඔබ ඔබේ අවශ්‍යතාවයන් සහ අදහස් ප්‍රකාශ කර ගන්නට නොහැකිව පීඩාවට පත්ව සිටින බවයි. මෙවැනි පුද්ගලයන් තමන්ගේ වැඩ පසෙකලා අන් අයගේ වැඩ වලට අවධානය දෙයි . එම නිසා ඔවුන්ට තමන්ගේ කාර්යභාරයවත් හරියට ඉටු කරගන්න අවස්ථාවක් හෝ වෙලාවක් නැහැ. එමනිසා ඔවුන් සිටින්නේ සහ කල් ගෙවන්නේ දැඩි පීඩනයකින්. මේ වගේ අවස්ථාවල තමයි මෙවැනි සිහින ඔවුන්ට පෙනෙන්නට පටන් ගන්නේ.

 

 

සිහිනෙන් ඔබේ දත් වැටෙනවා දුටුවොත්.

Displeased beautiful african american woman keeps hand on cheeks, feels toothache, clenches teeth from pain, has dark healthy skin and crisp hair, dressed casually. negative facial expressions Free Photo

මේක නම් කොයි කවුරුත් දකින්න ප්‍රිය කරන සිහිනයක් නම් නොවෙයි. නමුත් මෙයින් ඔබේ චරිතය ගැන බොහෝ දේවල් කියැවෙයි. ඔබ ඔබගේ රූපය ගැන වැඩි අවධානයක් දෙන කෙනෙක්. මේ නිසා ඔබ ඔබට තිබෙන දෙයින් සතුටට පත්වන්නේ නැහැ. ලද දෙයින් ඔබ සතුටු වෙන්නෙත් නැහැ. මේ නිසා ඔබ කාන්සාමය තත්වයකින් ඔබ පසු වෙනවා. ඔබේ පෙනුම නිසා ඔබ සමාජයෙන් ප්‍රතික්ෂේප වේ යැයි සිතනවා. ඔබගේ ආදරණීයයන් ගෙන් ඔබ ප්‍රතික්ෂේප වේ යැයි සිතනවා. මේ නිසා ඔබ නිතරම පසුවන්නේ අන් අය ඔබගේ රූපය ගැන මොනවා කියාවිදැයි බියකින්. එම නිසා මේ ආකාරයේ සිහින ඔබට පෙනෙන්නට පුළුවන්.

– තොරතුරු අන්තර්ජාලය ඇසුරෙන්

– තෙපුලි මන්දාකිණී-