Blog Page 33

සමාජ මාධ්‍ය ඔබටත් හොරෙන්ම ඔබේ මානසික සෞඛ්‍යයට බලපෑම් ඇති කරනවාද ?

මොහොතක් සිතන්න.., පසුගිය සති දෙකක කාලය තුළ ඔබ කොපමණ වාර ගණනක් සමාජ මාධ්‍ය තුළ සැරිසැරුවාද?..අප සිටින්නේ covid-19 වෛරසය ව්‍යාප්ත වීම හා සම්ප්‍රේෂණය වළක්වා ගැනීමට ඇදිරි නීතීය පනවා ඇති අවධියකයි. අප සියලු දෙනාටම නිවෙස් තුළම රැඳී සිටිමට සිදුවී තිබෙනවා. මේ කාලය තුළ ඇතිවන පාළුව හා කාන්සිය මගහරවා ගැනීමටත් ජීවිතයට නව ප්‍රබෝධයක් සහ ආශ්වාදයක් ලබා ගැනීමටත් සමාජ මාධ්‍ය වැඩි වශයෙන් පරිහරණයට අපි හුරුවී සිටිනවා. විවිධ පුද්ගලයන්ගේ අදහස් , තොරතුරු පරිශීලනය කිරීමට හා තමන්ගේ අදහස් බෙදාගැනීමටද මෙමගින් අවස්ථාව උදාවෙනවා. මේ දිනවල පුද්ගලයන් විසින් තමන් නිවසේ සිට සිදුකළ දේවල් එනම්.. සාදනු ලැබු විවිධ රසකැවිලි වර්ග, ව්‍යායාම් ක්‍රම,යෝගා ක්‍රියාකාරකම් , කියවනු ලැබු පොත්පත්, ඔවුන් විසින් ලියනු ලැබු කවි හො අදහස් වැනි දෑ අන්අය අතරේ සමාජ මාධ්‍ය හරහා බෙදාගැනීමට නැඹුරු වී තිබෙනවා. මේ අතර තවත් පිරිසක් තමන් කරන දේ අත්හදා බලන ලෙස පවසමින් අන් අයව උනන්දු කරවනවා.

 

සමාජ මාධ්‍යයේ අදුරු පැතිකඩ

සමාජ මාධ්‍යයන් බැලූ බැල්මට යහපත් බව පෙනුනත් අප මතක තබා ගත යුතු කරුණක් වන්නේ, ඒ තුලින් අපේ සිතුවිලි වලට ඍණාත්මක බලපෑමක් එල්ල කිරීමට හැකියාවක් ඇති බව. සිතන්න!….කෙනෙකු ඔහුගේ හෝ ඇයගේ සමාජ මාධ්‍ය ගිණුම හරහා තමා කරනු ලබන ව්‍යායාම් ක්‍රියාකාරකම් පටිගත කිරීමක් ලෙස හෝ සජීවී ලෙස සමාජ මාධ්‍ය හරහා වරින් වර බේදාගන්නේ නම් එවැනි අවස්ථාවකදී ඔබට ඔබ පිළිබඳවම ප්‍රශ්නාර්ථයක් ඇති විය හැකී, එනම්” ඇයි මට මෙයා වගේම කරන්න බැරි? ” ….
මෙවැනි අවස්ථා මගින් පිළිබිඹු වන්නේ යම්කිසි කෙනෙක් සමාජ මාධ්‍ය හරහා කරනු ලබන දේවල් දැකීමෙන් එවා කිරීමට අභිප්‍රායක් ඇති වනවාසේම අප නොදැනුවත්වම අප පිළිබඳව අවතක්සේරුවක් ඇති කර ගැනීමට එයම හේතුවක් විය හැකි බවයි. තමන් ගැන නැවත නැවත මෙලෙස සිතීමට ඉඩ හැරිමෙන් මානසික ව්‍යාකූලතා වලට පත්වීමට පවා ඉඩ තිබෙනවා. මානසික ආතතිය ,විෂාදය වැනි මානසික ගැටළු ඇති පුද්ගලයින්ට එම බලපෑම වැඩියී.

 

මෙවැනි සිතුවිලි සමග පොරබදිමින් ඔබත් පීඩා විදිනවා නම්, මේ ගැන සිතන්න …..
පුද්ගලයින් සමාජ මාධ්‍ය හරහා බේදාගන්නේ, ඔවුන් තෘප්තිමත් වූ දේවල් සහ ඔවුන්ගේ හැකියාවන් . එය සෑම කෙනෙකුටම පොදු තත්ත්වයක් නොවේ. ඊට හේතුව,අපි එකිනෙකාට වෙනස් .අපි එකිනෙකාට විවිධ කුසලාතා පිහිටා තිබෙනවා .එක් පුද්ගලයෙක් එක් කාර්යකට දක්ෂ විය හැකි නුමුත් තව පුද්ගලයෙක් එම කර්යයට දක්ෂ නැතිවෙන්න පුළුවන්. නුමුත් ඔහු වෙනම කර්යයකට දක්ෂ විය හැකියි.

 

ඔබ ඔබෙන්ම අහන්න.”ඔබේ මිතුරන් සහ නැදෑයින් විසින් සිදු කරන්න අකැමැති දෙයක් සිදු කරන්න කියා ඔබ පවසාවිද? ” , අනිවාර්යයෙන්ම එහි පිළිතුර “නැත” යන්නයි.
අපි සමාජ මාධ්‍ය තුල දකින සෑම දෙයක්ම කරන්න උත්සාහ නොකළ යුතුයි .විශේෂයෙන්ම එය ඔබේ ක්‍රමයට ගැලපෙන්නේ නැති නම් එය නොකර සිටීම වඩා හොඳයි. කරන දේත් ඒ ආකාරයෙන්ම සිදු කරන්න ඔබට නොහැකි නම් කනස්සලු නොවී ඔබට පුලුවන් ලෙස එය සිදු කරන්න. එය එසේ කරත් සාර්ථක නොවුනේ නම් එය අමතක කරන්න .විරාමයක් ගන්න, සුව නින්දක් ලබා ගන්න, විවේකයක් ගන්න, සමාජ මාධ්‍යයන් තුල දකින පුද්ගලයින් සමග අපේ ජීවිත සංසන්දනය කිරීමට යැමෙන් අප අපවම අවතක්සේරු කර ගන්නවට වඩා තමන්ගේ ජීවිතයට ලැබී තිබෙන ආශිර්වාද මතක් කර ගන්න. ඔබ සතුටු වන දේවල්, ඔබට සම්පුර්ණයැයි හැගෙන දේවල් ,ඔබගේ ආත්ම විශ්වාසය වැඩි වන දේවල් පමණක් කරන්න නිතරම සිතට ගන්න.

ඔන්ලයින් පන්තියකට සහභාගී වීමේදී කළයුතු සහ නොකළයුතු දේ…

ඔයත් විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් හෝ එහෙමත් නැත්තම් ගෙදර ඉදන් online පාඨමාලාවක් හදාරන කෙනෙක් නම් මේ දවස් වල මුහුණ දෙන ලොකු ප්‍රශ්නයක් තමයි online පන්තියට සහභාගී වීම. විශේෂයෙන්ම උදේ 8 තියෙන පංතියට. කොහොම වුණත් කොරෝනා වෛරස් රෝගය නිසා අපේ ජීවිත රටාව දැනට වෙනස්වෙලා තියෙනවා. ඔයාගේ උපාධිය හෝ පාඨමාලාව වගේ අධ්‍යාපන කටයුතු හොඳින් වැඩිදියුණු කරගන්න මේ දවස් වල ඔයාට හම්බවෙලා තියෙන වෙලාව ගොඩක් පාවිච්චි කරොත් ඔයාට ලොකු වාසියක් ලබාගන්න පුළුවන්. අපි බලමු අද online පන්තියට සහභාගී වීමේදී ඔයා කළ යුතු සහ නොකළ යුතු දේවල් මොනවද කියලා.

 

 

ඔයාගේ පංතිය සදහා කලින්ම සුදානම් වෙන්න

 

මේක online පංතියක් නිසා , ඔයාට විනාඩි 15 ක් ප්‍රමාද වෙලා දේශනයට යන්න බැහැ වගේම පළවෙනි මිනිත්තු 15 දී කථිකාචාර්යවරයා කතා කරපු හැමදේම අපහු කියන්න කියලා ඔයාගේ යාලුවගෙන් අහන්නත් බැහැ. උදේම නැගිටින්න පුරුදු වෙන්න.ඔයාගේ විශ්වාසවන්තම alarm එක වෙන අම්මාට කියන්න ඔයාව උදේම ඇහැරවන්න කියලා. එතකොට ඔයා ඕනවට වැඩිය නිදාගන්නේ නැහැ. ඔයාගේ ලැප්ටොප් එක හෝ ipad එක හරි අවශ්‍ය වෙන හැමදේම කලින්ම charge කරලා තියන්න අමතක කරන්න එපා. අවම වශයෙන් මිනිත්තු 5 කට කලින් හරි system එකට පිවිසිලා දවසේ සාකච්ඡාව පටන්ගන්න සූදානම් වෙලා ඉන්න. දේශනයට පරක්කු වෙලා සම්බන්ධ වෙලා ඔයාගේ කථිකාචාර්යවරයාට සහ ඒ වෙලවේ කලින් ඉදන්ම පාඩම අහගෙන ඉන්න යාළුවන්ට බාධාවක් නොවෙන්න හැම තිස්සෙම උත්සහ කරන්න.

 

 

ඔයාගේ කථිකාචාර්යවරයාට සහාය වෙන්න

 

පංතියේ බොහෝ සිසුන් සිටින කොට බාහිර අවධානය අවම කර ගන්න ඔයාගේ මයික්‍රෝෆෝනය ක්‍රියා විරහිත කරන්න හෝ තාක්ෂණික දුෂ්කරතා අවම කරගන්න ඔයාගේ වීඩියෝව ක්‍රියා විරහිත කරන්න ඔයාගේ කථිකාචාර්යවරයා ඔයාට උපදෙස් දෙන්න පුළුවන්. ඒ වගේම වැඩිය තාක්ෂණික දැනුමක් නැති ඔයාගේ සමහර කථිකාචාර්යවරුන් ඔයාගේ පන්ති පවත්වන්න online ක්‍රමය භාවිතා කරන්න ගොඩක් වෙහෙස වෙනවා. ඉතින් ඒ වගේ වෙලාවට එයාලට උදවු කරන්න. ඔයාගේ මිස් හෝ සර් විසින් දෙන ලද උපදෙස් පිළිපදින්න, එයාලා එක්ක ඉවසිලිවන්තව කටයුතු කරන්න.මොකද එයාලා ඔයාගේ පාඨමාලාව සම්පුර්ණ කරන්න ගන්නේ ලොකු මහන්සියක්.

 

 

connections අවුල් වෙලාවට ඉවසිලිවන්ත වෙන්න

 

අපි ජීවත් වෙන්නේ ඩිජිටල් යුගයක වුණත්, බොහෝ තාක්ෂණික දියුණුවක් තිබුණත් තවමත් අපිට ප්‍රමාද වීම්, පද්ධති බිඳවැටීම් සහ බොහෝ විට ජාල සම්බන්ධතා ගැටළු අත්විඳින්න සිද්ද වෙනවා.හොඳ අන්තර්ජාල සම්බන්දතා නැති නිසා අපිව කළකිරීමකට පත් වෙන්න පුළුවන්. ඒ විශේෂයෙන්ම ලංකාවේ අන්තර්ජාල සේවා සපයන්නන් අසීමිතව data ලබානොදෙන නිසා. නමුත් හැම බාධාවක්ම අමතක කරලා පුළුවන් තරම් ඉවසිලිවන්ත වෙලා ඔයාගේ online class එකට ලොග් වෙන්න උත්සහ කරන්න.

 

 

ඔයාගේ පංතියට හොඳ පරිසරයක් තෝරා ගන්න

 

ඔයාගේ අවධානය හොඳින් පවත්වාගෙන යන්න පුළුවන් හොඳ පරිසරයක් අත්‍යවශ්‍යම දෙයක්. මේ සදහා ඔයාගේ ඇඳ තෝරාගන්න නම් එපා. මොකද එතකොට ඔයාගේ පංතිය අතරතුරෙත් ඔයාට වැඩි වෙලාවක් නිදිමතේ තමයි ඉන්න වෙන්නේ. ඒ වගේම ගෙදර තියෙන නිදහස්ම නිශ්ශබ්දම කාමරය මේ සදහා තෝරා ගන්න. එතකොට ඔයාගේ පංතියට බාධා වෙන ශබ්ද ඇසෙන එකක් නැහැ. ඒ වගේම ඔයාගේ අම්මට,තාත්තාට, විශේෂයෙන්ම නංගිට මල්ලිට කියලා තියන්න ඔයාගේ මේ කාලය අතරතුර ඔයා පංතිය සදහා සහභාගී වෙනවා කියලා. එතකොට ඔයාටවත්,ඔයාගේ පන්තියේ යාලුවොන්ටවත් ඔයාගේ ගුරුවරයටවත් පන්තිය අතරතුර කිසිම බාධාවක් වෙන එකක් නැහැ.

 

 

ඔයාගේ නියමිත කාර්යයන් සම්පූර්ණ කරන්න.

 

ඔයාට නිශ්චිත දිනයක් හා වේලාවක සම්පූර්ණ කරන්න සතිපතා කාර්යයන් හෝ පැවරුම් ලබාදීලා තියෙනවා නම් ඒවා සම්පුර්ණ කරලා කලින් ඉදිරිපත් කරන්න වග බලා ගන්න. ඔයාගේ වැඩ කටයුතු අවසන් කරන්න කලබල වෙන්න එපා වගේම අවසාන මොහොතේදී එය ඉදිරිපත් කරලා පස්සේ තාක්ෂණික ගැටළු වලට දොස් පවරන්නත් එපා. (අපි දන්නවා අපිට කොයිතරම් කපටි වෙන්න පුලුවන්ද කියලා!).

 

 

පංතිය තියෙන වෙලාව අතරතුර වෙනත් උපාංග අවමව භාවිතා කරන්න

 

ඔව් අපි දන්නවා ඔයාගේ යාලුවෝ සෙට් එක එකතු වෙලා tiktok videos හදනකොට එහෙමත් නැත්නම් නිරෝධායන memes හදනකොට ඔයාගේ phone එක පැත්තකින් තියලා පන්තියේ පාඩම අහගෙන ඉන්න එක කොයි තරම් නම් අමාරුද කියලා. හැබැයි මතක තියාගන්න magic එකක් වගේ එයාලා හදන videos,memes පැය දෙකෙන් තුනෙන් එකපාරටම අතුරුදහන් වෙන්නේ නැහැ කියලා. ඒ නිසා මේ පැය කිහිපයේදී ඔයාගේ අවධානය යොමු කරන්න උපරිම උත්සහ කරන්න. ඒ වගේම දිගු කාලීනව ඔයාට ගොඩක්ම ප්‍රයෝජනවත් වෙන්නේ මොකද්ද කියලා හිතලා බලන්න.

 

 

කතා කරන්න!

 

අවසාන වශයෙන් ඔයාගේ ප්‍රශ්න නිරාකරණය කරගන්න කතා කරන්න බය වෙන්න එපා. පංති කාලයේදී ඔයාගේ කථිකාචාර්යවරයා සමඟ පාඩම පිළිබඳ ඔයාගේ සැකයන්, ප්‍රශ්න කතාකරන්න. ඒ වගේම පංතිය පැවැත්වෙන අතරතුර ඔයාගේ කථිකාචාර්යවරයා සමඟ කටයුතු කරන්න උපරිම උත්සාහ කරන්න. එතකොට ඔයාගේ කථිකාචාර්යවරයාට දැනගන්න පුළුවන් ඔයා පාඩම ගැන අවධානෙන් ඉන්නේ කියලා.

නිවසේ සිටින ඔයාට ආතතිය, කාංසාව මග හැරගන්න කරන්න පුළුවන් ක්‍රියාකාරකම් 6 ක්..


COVID-19 වසංගතය නිසා දැන් සෑහෙන දවසක් අපි හැමෝම ගෙදරට වෙලා හිරවෙලා ඉන්නේ . අපි දන්නවා හැමෝටම එපා වෙලා කම්මැලි කමේ ඉන්නේ කියලා . කොච්චර අමාරු වුණත් මේ වාතාවරණය සමතයකට පත්වෙනකන් අපිට ඉවසීමෙන් ඉන්න සිද්දවෙනවා.

ඔයා ගෙදරට වෙලා ඉන්නකොට මොනවද කරන්නේ කියලා කල්පනා කරනවා ඇති. ගොඩක් දෙනෙක් ගෙදර ඉදන් රැකියා ස්ථානයේ වැඩ කරනවා ඇති. නැත්නම් තවම ඉගනගන්න අය ගෙදර ඉදන් online lecture sessions වලට සහභාගී වෙනවා ඇති. මේ මොනවා කළත් කම්මැලිකමයි ගෙදරටම වෙලා හිරවෙලා ඉන්න එකයි නිසා එපා වෙලා  ඉන්නේ කියාලා අපි දන්නවා. COVID-19 නිරෝධායනය අතරතුර නිවසේදී කළ හැකි විවේකී ක්‍රියාකාරකම් කිහිපයක් ඔන්න අද ගැස්ම ඔයාලා වෙනුවෙන්ම අරන් ආවා.

 

 

Color or doodle

සමමිතික මන්ඩලා රටාවක් හෝ වර්ණ ගැන්වීමේ පොතක් අරන් පාට කරන්න පුළුවන් . එහෙම නැත්තම් ඔයාටම මන්ඩලා අඳින්න පුරුදු වෙන්න පුළුවන් . සංකීර්ණ ජ්‍යාමිතික රටාවන් පාට කරන එක කාංසාව අඩු කිරීමට උපකාරී වෙනවා කියලා තමයි අධ්‍යන වලින් ඔප්පු වෙලා තියෙන්නේ . ඒක හරියට භාවනාවක් වගේලු .මේ දේට යොමු වුණොත් ඔයාට ඔයාගේ හිත සන්සුන් කරගන්න වගේම ඔයාට අලුතින් විනොදාංශයක් පටන් ගන්න හැකියාව තියෙනවා .

 

 

Go for a walk

ඇවිදින එක ඇත්තටම ශරීරයට හොඳ දෙයක් . මානසික වගේම සෞඛ්‍ය ප්‍රතිලාභ ගොඩක් ලැබෙනවා අපිට මේ අවිදීම මගින් .අධ්‍යයනවලින් හෙළි වෙලා තිබෙන්නේ වේගවත් ඇවිදීමකින් ඔබ වඩාත් නිර්මාණශීලී වෙනවා කියලා . නමුත් අපි මේ මුහුණ දීලා තිබෙන තත්ත්වයත් එක්ක අපිට අපේ ගෙදර වටපිටවේ තමයි ඇවිදින්න හැකියාව තිබෙන්නේ. 2016 දී කරන ලද අධ්‍යයනයකින් හෙළි වෙලා තිබෙන්නේ ඔබ ගෘහස්ථව ඇවිද ගියත් ඇවිදීම ඔබට සතුටක් ගෙන දෙන බවත් කම්මැලිකම සහ භීතිය අඩු කර ගත හැකි බවයි. ඉතින් කාමරයටම වෙලා ඉන්නේ නැතිව ගේ ඇතුලත වගේම ගෙවත්තෙ ඇවිදලා මනස නිදහස් කරගන් ඔයාට පුළුවන් .

 

 

Sleep

මායෝ සායනයට අනුව, ඔබට නින්ද අහිමි වූ විට ඔබේ ශරීරයට බෝවන රෝග සමඟ සටන් කිරීමට හැකියාව අවම වෙනවාලු . ඒ නිසා පැය හතේ සිට අට දක්වා නින්දක් ලබා ගැනීමට උත්සාහ කරන්න. නින්ද අහිමි වුවහොත් මිනිසුන්ට වෙනත් ආකාරයේ වෛරස් (ඉන්ෆ්ලුවෙන්සා සහ රයිනෝවෛරස් වැනි) ආසාදනය වීමේ අවදානම ඇතිවෙනවා කියලා අධ්‍යයනවලින් හෙළි වෙලා තිබෙනවා.

ඒ වගේම ඕනෑවට වඩා නිදාගැනීම මානසික අවපීඩනයේ රෝග ලක්‍ෂණයක් විය හැකි බව මතක තබා ගන්න.

 

 

Do yoga

යෝගා කිරීම ගැන සලකා බලන්න ඔයාට හැකියාව තිබෙනවා . එය ශාරීරික ක්‍රියාකාරකම් ලෙස පමණක් නොව, යෝගා මගින් ඔබේ මනෝභාවය, මානසික ආතතිය හා කාංසාව අඩු කර ඔබගේ ආත්ම අභිමානය ඉහළ නැංවිය හැකි බව අධ්‍යයනවලින් හෙළි වෙලා තිබෙනවා.

 

 

Chat with  friends and Family 

ඔබගේ මිතුරන් හා පවුලේ අය සමඟ කතා කරන්න. ඔයා නිවසින් පිට ඉන්නවනම් video call හරහා කතාබස් කරන්න. ඔයා සමාජමය වශයෙන් දුරස්ව සිටින නිසා ඔයාට ගෙදර අය එක්ක යාළුවෝ එක්ක කතා කරන්න බැරිකමක් නැහැනේ . මොකද තාක්ෂණය ගොඩක් දියුණුයි දැන්. ඒ නිසා ඒ අය සමග ගොඩක් වෙලාවට කතාබහ කරන්න . සමාජ සහයෝගය මඟින් ඔබට ආතතියට ඔරොත්තු දෙන්න හැකියාව ලැබෙනවා කියාලා පර්යේෂණයන් මගින් පෙන්වා දී ති‌බෙනවා.

 

 

Listen to (or play) music

සංගීතය කාංසාව සහ වේදනාව අඩු කරන අතරම මිනිසුන්ගේ මනෝභාවයන් ශක්තිමත් කරන බව අධ්‍යනයන්ගෙන් සොයාගන තිබෙනවා. සංගීතය කියන්නේ දිව්‍යමය භාෂාවක්. අපිට පුළුවන් ගෙදර ඉන්න මේ කාලයේ හොඳ සංගීතයකට ඇහුම්කන් දෙන්න. නැත්තම් ඔබ ගායනයට වාදනයට දක්ෂනම් ගායනා කරන්න. වාදනය කරන්න. විවිධ රටවල විවිධ සංස්කෘතිවලට අදාලා සංගීතයන්ට ඇහුම්කන් දෙන්න . ඒක ඔබට අලුත් අත්දැකීමක් වෙයි.

ඔයා ගෙදරට වෙලා ඉන්න මේ ටිකේ මේ ක්‍රියාකාරකම් වලාට යොමුවෙලා බලන්නකො. ඔයාට ලොකු මානසික, ශාරීරික සහනයක් දැනෙයි.

ගොවියාත් පාරිභෝගිකයාත් රකින ඩිජිටල් ගොවිපොල..

 

COVID-19 ලංකාව තුළ හිස එසවීමත් එක්කම ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් බොහෝ දෙනෙකුට ගැටළු ඇතිවුනා. තමන්ගේ ව්‍යාපාර ක්‍රමවත්ව පවත්වාගැනීමට නොහැකි වීමත්, නිෂ්පාදන නිසි පරිදි අළෙවි කිරීමට නොලැබීම නිසා ඇතිවුන ගැටළුත් ඇතුළුව බොහෝ අකරතැබ්බයන්වලට මුහුණදෙන්න ඔවුන්ට සිදුවුනා. මේ කතාවත් ඒ වගේ කෙනෙක් ගැන. නමුත් මේක ටිකක් වෙනස් කතාවක්. මේ කතාව සුනිල් ගැන. සුනිල් කියන්නේ දඹුල්ලෙන් කිලෝමීටර් 30ක් විතර උතුරු දෙසට යද්දී හමුවන තිබ්බටුවැව කියන ගමේ ජීවත් වුන වයස අවුරුදු 56ක ගොවි මහතෙක්. අක්කර 0.75ක් වුනු තමන්ගේ ඉඩමේ වගාකළ එළවළු සහ පලතුරු විකිණීමෙන් ලැබෙන ආදායමෙන් සුනිල් තමන්ගේ පවුලේ පස්දෙනෙක් පෝෂණය කළා. නමුත් පසුගිය සති කිහිපය තුළ කොරෝනා වෛරසය ලංකාවේ හිස එසවීමත් සමග සුනිල් වගේ ගොවි මහතුන්ට සහ සුළු පරිමාණ ව්‍යවසායකයින්ට අත්වුණ ඉරණම ගැන ඔහු හිටියේ දැඩි කණස්සල්ලකින්.

රජය රටපුරා ක්‍රියාත්මක වන ඇඳිරි නීතියක් ප්‍රකාශයට පත්කළා වගේම කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක වල මේ ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක කරන්නත් තීරණය කලේ ඒවා අධි අවදානම් කලාප ලෙස නම් කරමින්. සුනිල් වගේ සුළු පරිමාණ නිෂ්පාදකයින් මේ නිසා දැඩි අර්බුධයකට මුහුණපාන බව සුනිල්ට වැටහුනා. ඔවුන්ගේ නිෂ්පාදන වැඩි වශයෙන් මිළදී ගත්තේ මේ දිස්ත්‍රික්ක වලින් පැමිණි වෙළෙන්ඳන් බව ඔහු දැනගෙන හිටියා.

මේ විදිහේ ගැටළුවකට ඔවුන් මුහුණදෙන පළමු අවස්ථාව මෙය නොවෙයි. 2019 වසරේ ඇතිවුණු පාස්කුදින බෝම්බ ප්‍රහාරය හේතුවෙන් රටේ ඇතිවූ අර්බුධකාරී තත්වය වගේම ඊට පෙර රටේ උද්ගත වුනු දේශපාලනික අස්ථාවරවීම් වලදීත් මේ තත්වයටම මුහුණ පාන්නට ඔවුන්ට සිදුව තිබුනා. දඹුල්ල ඇතුළු දිවයිනේ පළාත් කිහිපයකම ඇඳිරි නීතිය ඉවත් කරන්න රජය තීරණය කිරීමත් එක්කම සුනිල් ඇතුළු ඒ ප්‍රදේශයේ ඉන්න නිෂ්පාදකයින්ට යම් සහනදායී සිතිවිල්ලක් ඇති වුනා. ඇඳිරි නීතිය ඉවත් කළ සැනින් කොළඹ සහ තදාසන්න නගර වැසියන් තමන්ට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය එක්රැස් කරගැනීම කරන බව ඔවුන් දැනගෙන හිටියා. ඒ නිසා ඔවුන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට තමන්ගේ නිෂ්පාදන අරගෙන ආවේ අලුත් බලාපොරොත්තුවක් සමගිනුයි. නමුත් දිවයිනේ අනිකුත් දිස්ත්‍රික්ක වලට ඉවත් කළ ඇඳිරි නීතිය කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක වලට දිගටම ක්‍රියාත්මක වුනා. ඒ නිසා ඒ නගර වලින් වෙළඳුන්ට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට යන්න හැකියාවක් තිබුනේ නැහැ. තමන්ගේ අස්වැන්න විකුණා ගැනීමට නොහැකි වුනු සුනිල් ඇතුළු නිෂ්පාදකයින්, බලාපොරොත්තු බිඳ වැටුණු සිතින් වගේම හිස්වූ පසුම්බියෙන් ආපසු ගෙදර ගියා. නැවත දවසක කොළඹ, ගම්පහ දිස්ත්‍රික්ක වලට ඇඳිරි නීතිය ඉවත් කළ පසු වෙළෙන්දන් දඹුල්ලට ගියත් එදින ඔවුන් එන බවක් සුනිල් සහ අනිකුත් නිෂ්පාදකයින් දැනගෙන හිටියේ නැහැ. ඒ ගැන නිසි සන්නිවේදනයක් සිදුවෙලා තිබුනෙත් නැහැ. එනිසාම කොළඹින් ගිය වෙළෙන්දන්ටත් කිසිවක් මිළදීගත නොහැකිව හිස් අතින් ආපසු එන්න සිදුවුනා.

මේ කතා දෙක අතර කිසියම් හිඩැසක් හඳුනාගත හැකියි. ගොවියන්ට තමන්ගේ ගැනුම්කරුවන් සමග නිසි සන්නිවේදනයක් කරගැනීමට මාර්ගයක් තිබුනේ නැහැ. මේ ගැටළුවට විසඳුමක් සොයාගන්නත් නිෂ්පාදකයාට හෝ ගැණුම්කරුවන්ට හැකියාවක් ලැබුනෙත් නැහැ. ගොවියන් අතරමැදි වෙළෙන්දන් වගේම පාරිභෝගිකයින් මගිනුත් යම් සූරාකෑමකට ලක්වෙන්නත් හේතුව මේ ක්‍රමවත් වැඩපිළිවෙලක් නොමැති වීම බව පැහැදිළියි.

විශේෂයෙන් සිංහල හින්දු අලුත් අවුරුද්ද සහ පොංගල් උත්සවය වැනි උත්සව වලදී ගොවීන් සහ ගොවිතැන උත්කර්ෂවත් අන්දමින් සැමරීම සිදුවනවා. නමුත්, මේ කලින් සඳහන් කළ නිෂ්පාදකයා සූරාකෑමේ ගැටලුව එලෙසින්ම පවතින්න හේතුව වන්නේ නිසි සන්නිවේදන ක්‍රමවේදයක් හෝ තොරතුරු ලබාගැනීමේ වැඩපිළිවෙලක් නොමැති වීම හේතුවෙන්.

දඹුල්ලේ ඇඳිරි නීතිය ඉවත් කළ දිනයේ ගොවීන් තමන්ගේ නිෂ්පාදන මෙට්‍රික් ටොන් 400ක් සමගින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එනවා. නමුත් ඔවුන් ආපසු නිවෙස් බලා යන්නේ විකුණාගත නොහැකිවුණු තමන්ගේ නිෂ්පාදන වගේම ඉතිරි වුනු කණස්සල්ල සහ කළකිරීමත් සමගින්. පසුදිනක ගැණුම්කරුවන් දඹුල්ලට පැමිණියත් එදින නිෂ්පාදන අළෙවි කිරීමට නිෂ්පාදකයන් නොපැමිණි නිසා ඔවුන්ට හිස් අතින් ආපසු පැමිණීමට සිදුවුනා වගේම ගොවීන්ට තමන්ගේ නිෂ්පාදන අපතේ හැරීමට සිදුවුනා. මේ ගැටලුවට මුලිකම හේතුව වුනේ දිවයින පුරා ඇඳිරි නීතිය කාණ්ඩ වශයෙන් පැනවීම පිලිබඳ නිසි තොරතුරු නොලැබීමත්, නිසි සම්බන්ධීකරණයක් නොමැති වීමත් බව පැහැදිළියි.

මේ සිදුවීම මේ වතාවේ පමණක් සිදුවූවක් නොවෙයි. වසර ගණනාවක් තිස්සේ මේ චක්‍රය සිදුවනවා. විශේෂයෙන්ම මේ නිසි සන්නිවේදනයක් නොමැති වීම නිසා ගොවීන් අසරණ වෙනවා වගේම අතරමැදි වෙළෙන්දන්ට ගොවින් වගේම පාරිභෝගිකයනුත් සූරාකෑමට පහසුවක් වනවා. අවසානයේ ගොවීන් සහ පාරිභෝකයින් කියන දෙකොටසටම යම් අසාධාරණයක් සිදුවන බවත් පෙනෙන්නට තිබෙන කාරණයක්. විශේෂයෙන්ම භාණ්ඩ මිළ තීරණය වන්නේ අතරමැදි වෙළෙන්දන්ට අවශ්‍ය පරිදි වීම බරපතල ගැටළුවක්. නමුත් සිදුවිය යුත්තේ ඉල්ලුම සහ සැපයුමට අනුව මිළ තීරණය වීමයි.

මේ ගැටළුවට විසඳුමක් ලෙස, ඒ කියන්නෙ අන්තර් සන්නිවේදන පහසුකම් සැපයීමක් ලෙස Govipola ඩිජිටල් අවකාශය හඳුන්වා දී තිබෙනවා. පසුගිය වසරේ හඳුන්වා දුන් මේ සංකල්පය වෙබ් අඩවියක් සහ App එකක් මගින් ක්‍රියාත්මක වනවා. ශ්‍රී ලංකාවේ පළමු ඩිජිටල් කෘෂිකාර්මික වෙළඳපොළ ලෙස Govipola හඳුන්වා දිය හැකියි. ගොවීන්ට සහ ගැණුම්කරුවන්ට වෙළඳපොළ තොරතුරු හුවමාරු කරගැනීමට, සන්නිවේදනය කරගැනීමට මෙන්ම විනිවිදභාවයකින් යුතුව ගණුදෙනු සිදුකිරීමටත් මේ ඩිජිටල් අවකාශය හරහා අවස්ථාව උදා කෙරෙනවා. අපි මුලින් සඳහන් කළ කතානායකයා සුනිල් වැනි නිෂ්පාදකයින්ට තමන්ගේ නිෂ්පාදන මොනවාද, සම්බන්ධ කරගත හැකි දුරකථන අංක ආදිය මොනවාද සහ අනිකුත් අදාළ තොරතුරු සියල්ලමත් මේ අවකාශයේ සඳහන් කිරීමෙන් ඔහු ගැණුම්කරුවන්ට සෘජුව සම්බන්ධ වනවා වගේම සුනිල් වැනි නිෂ්පාදකයින්ගේ තොරතුරු govipola වෙබ් අඩවියෙන් හෝ App එක මගින් පරික්ෂා කොට ඔවුන්ගේ ගොවිපොලෙන්ම අදාල නිෂ්පාදන මිළදී ගැනීමට ගැනුම්කරුවන්ටත් හැකියාව ලැබෙනවා.

Govipola ඩිජිටල් අවකාශය නිසා සුනිල්ට තවදුරටත් ඔහුගේ නිෂ්පාදන දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන යාමට හෝ ඒවා ගබඩා කිරීම, සුරක්ෂිතව ප්‍රවාහණය කිරීම, නිසි මිළක් වෙනුවෙන් ගැණුම්කරුවන් සමග මෙන්ම අනිකුත් නිෂ්පාදකයින් සමගත් තරගයක නියැලීම ආදී කිසිදු කරදරකාරී වෑයමකින් තොරව එක බොත්තමක් එබීමෙන් පමණක් තම නිෂ්පාදන ලංකාව පුරා සිටින ඒවා අත්‍යවශ්‍ය වන පාරිභෝගොකයින් වෙත යැවීමට අවස්ථාව සැලසෙනවා. Govipola ඩිජිටල් අවකාශය ගෙනෙන විසඳුම් වෙන කවරදාටත් වඩා වැදගත් වන්නේ මෙවැනි මොහොතකයි. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට නිෂ්පාදන රැගෙන එන ගොවීන් අසරණ වීමත්, නිෂ්පාදන අතිරික්තයක් ඇතිවීමත්, රටපුරා සිටින සුපිරි වෙළඳසැල් හරහා නිෂ්පාදන මිලදීගත් පාරිභෝගිකයින් නිෂ්පාදන නොමැති වීම හේතුවෙන් අසීරුතාවකට පත්වීමත් වැලැක්වීමට Govipola ට හැකියාව තිබෙනවා. සුනිල් වැනි සුළුපරිමාණ ගොවීන් මෙවන් අසීරු තත්වයන් හමුවේ අසරණ නොකිරීමටත්, පාරිභෝගිකයින්ට ගුණාත්මක නිෂ්පාදන සාධාරණ මිළකට ලබාදීමටත් ගොවිපොළ වැනි නිර්මාණාත්මක අවකාශයන් භාවිතා කළ යුතුමයි.

 

ඔබගේ ඵලදාවට හොඳම මිළ…
Download the Govipola App NOW

Google Play : bit.ly/Govipola
Apple Store : https://apple.co/2w4VN8p

Miss England කොරෝනා වසංගතය අතරතුර වෛද්‍යවරියක ලෙස නැවත සේවයට පැමිණෙයි..

2019 දී Miss England කිරුළ දිනාගත් Bhasha Mukherjee කොරෝනා වසංගතය මධ්‍යයේ වෛද්‍යවරියක ලෙස සිය වෘත්තියේ නැවත නියැලීමට එක්සත් රාජධානියට පැමිණ තිබෙනවා.

Bhasha Mukherjee 2019 දෙසැම්බරයේ පැවති ලෝක රූ රැජින තරඟයට සහභාගී වීමෙන් පසු ඇය වෛද්‍ය වෘත්තීයයෙන් විවේකයක් ලබා ගත්තා.

පුණ්‍යායතන කිහිපයක තානාපතිවරියක වීමට ආරාධනා ලැබුණු ඇය මේ වසරේ අගෝස්තු දක්වා සිය වෙදනලාව එල්ලාගන මානුෂීය කටයුතු කෙරෙහි අවධානය යොමු කිරීමට සැලසුම් කර තිබෙනවා.

“මට අප්‍රිකාවට, තුර්කියට, පසුව ඉන්දියාවට, පාකිස්තානයට සහ තවත් ආසියානු රටවල් කිහිපයකට විවිධ පුණ්‍ය කටයුතු සඳහා තානාපතිවරියක් ලෙස කටයුතු කිරීමට ආරාධනා ලැබුණා” යැයි ඇය මාධ්‍යට වෙත පවසා තිබෙනවා.

සංවර්ධන හා ප්‍රජා පුණ්‍යායතනයක් වන කොවෙන්ට්‍රි මර්සියා ලයන්ස් ක්ලබ් හී තානාපතිනිය වූ ඇය මාර්තු මස මුල සිට සති හතරක් ඉන්දියාවේ සිට ඇත. ලිපි ද්‍රව්‍ය පරිත්‍යාග කරමින් ඔවුන් පාසල්වලට ගිය අතර අනාතවූ  ගැහැණු ළමයින් සඳහා නිවසක් ගොඩනැගීමට ද මුදල් ද ලබා දී තිබෙනවා.

නමුත් එක්සත් රාජධානියේ covid – 19 වෛරස තත්ත්වය වඩාත් නරක අතට හැරෙද්දී, Mukherjeeට ඇය කලින් රැකියාවේ නිරත වුණු රෝහල වන නැගෙනහිර එංගලන්තයේ බොස්ටන්හි පිල්ග්‍රිම් රෝහලේ හිටපු සගයන්ගෙන් තත්වය කොතරම් දුෂ්කරද යන්න පණිවුඩ ලැබී තිබෙනවා.

ඉන්පසු ඇය රෝහලේ කළමණාකරන කණ්ඩායම අමතා ඇයට නැවත රැකියාවට යාමට අවශ්‍ය බව දැනුම් දී තිබෙනවා.

ඇය විසින් ” මේ වගේ අවස්ථාවක Miss England crown එක පැළදගන සිටින එක වැරදී
“මට නැවත නිවසට පැමිණීමට අවශ්‍ය විය. මට අවශ්‍ය වූයේ කෙලින්ම වැඩට යාමටය.”
“මුළු ලෝකයම සියළුම ප්‍රධාන සේවකයින් සමරන ආකාරය ඇදහිය නොහැකි තරම්ය. මට අවශ්‍ය වූයේ ඔවුන්ගෙන් එක් අයෙකු වීමටයි. මට උදව් කළ හැකි බව මම දැන සිටියෙමි,” යැයි මාධ්‍යට පවසා තිබෙනවා.

ඒ නිසා Mukherjee බදාදා කොල්කටාහි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය සමඟ වැඩ කිරීමෙන් පසු නැවත එක්සත් රාජධානියට පැමිණියේ ඉන්දියාවේ සිට ෆ්‍රෑන්ක්ෆර්ට් දක්වා ගුවන් යානයක් සොයා ගැනීමට සහ පසුව ලන්ඩනයට යාමටයි.

“මට Miss England වීමටත්, අවශ්‍ය අවස්ථාවලදී එංගලන්තයට උදව් කිරීමටත් මීට වඩා හොඳ කාලයක් නැත,” යැයි ඇය පවසා තිබෙනවා. Pilgrim රෝහලේ වෛද්‍යවරියක් ලෙස නැවත සේවයට පැමිණෙන තෙක් Mukherjee සතියක සිට සති 2ක් දක්වා ස්වයං හුදකලා වේ.

දරු ප්‍රසූතියට ළග මව්වරුන් සහ COVID 19

 

මගේ දරු ප්‍රසුතියට ලොකු කාලයක් වැය වෙයිද ?
රෝහලට මාව ඇතුලත් කරගන්න බැරි නම් මොකද කරන්නේ ?
දරු ප්‍රසූතියේ වේදනාව මට දරාගන්න බැරි තරම් අමාරු නම් මං මොකද්ද කරන්නේ ?
මට සහ මගේ දරුවට COVID 19 වැළදී ඇති බව දැනගත්තොත් මොකද වෙන්නේ ?

 

 

ගැබිණි මවක් විදිහට ඔයාටත් දරුවා ප්‍රසූත කරන දිනය ළඟ ළඟ එනවනම් මේ වගේ ගොඩක් ප්‍රශ්න ඔයාගෙත් හිතට වද දෙනවා ඇති.මේ වගේ ඇතිවෙන එක එක හැඟීම් නිසා ඔයාට ඇතිවෙන්නේ ඔයාගේ මනසට නුසුදුසු ආතතියක්. හැබැයි මව්වරුන් විදිහට ඔබට එහෙම ආතතියක් දැනෙන්නේ මේ පළවෙනි පාරට නොවෙන්න පුළුවන්. ඔයාගේ පළවෙනි ගැබ් ගැනීම පළවෙනි පාර පහසු වූණා නම්, ඔයාගේ දෙවෙනි ගැබ් ගැනීම අමාරු වෙයිද කියලා සමහරවිට ඔයා කනස්සල්ලකින් ඇත්තේ. ඒ වගේම ඔයාගේ පළවෙනි ගැබ් ගැනීම පළවෙනි පාර අමාරු වුණා නම් ඔයාගේ දෙවෙනි ගැබ් ගැනීමත් ඒ වගේම අමාරු වෙයිද කියලා පොඩි බියකින් ඉන්නවා වෙන්න පුළුවන්. ඔයා මීට කලින් කවදාවත්ම ඔය වගේ අත්දැකීමකට මුහුණ දීලා නැතිනම් මොනවයින් මොනවා වෙයිද කියලා තමයි දැන් හිත හිත ඇත්තේ.

 

 

මේ දවස්වල පැතිරී යන මේ COVID 19 රෝගයත් එක්කම අපි හැමෝටම හිතේ නිදහසේ ජීවිතය ගෙවන්න බැරිවෙලා තියෙනවා.අපේ සෞඛ්‍ය සේවා පද්ධතියම කාර්යබහුල වෙලා තියෙන මේ වගේ කාලයකදී රෝහලකට පවා ඔයාව රැකබලා ගන්න පුළුවන් වෙයිද කියලා විශ්වාසයක් නැතුව ඔයාටත් ආතතියක් ඇතිවෙලා ඇති. ඔයාලගේ ජීවිතයේ වඩාත් ලොකු අභියෝගයක් සඳහා ඔයාලා සූදානම් වෙද්දී, COVID-19 රෝගීන්ගෙන් පිරුණු රෝහල්වල ළදරුවන් ප්‍රසූත කරන්නේ කොහොමද, එයාලා ළඟ ඉන්නේ කවුද, ඔයාගේ දරුවා ප්‍රසුත කරන්න වෙන්නේ මොන රෝහලේද වගේ ගොඩක් ප්‍රශ්න වලට ඔයා මුහුණ දීල ඇති. ඇත්තෙන්ම ඔව්, මේ කාලය ඔක්කොම මවුවරුන්ට, විශේෂයෙන් අනාගතයේදී දරු ප්‍රසූතියට යන අයට අතිශයින්ම ආතති සහගත කාලයක් කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඔය ප්‍රශ්න ඔක්කොගෙන්ම නිදහස් වෙන්න පුළුවන් ක්‍රම සහ උපදෙස් කිහිපයක් මෙන්න.

 

 

ඔයාට කරන්න පුළුවන් දේ සහ පාලනය කරන්න බැරි දේ තේරුම් ගන්න අවශ්‍යයි.

දරු ප්‍රසුතිය වේදනාකාරී. Dr.Theonie කියලා තියෙන විදිහට එය ඇත්තටම වේදනාකාරී. නමුත් මේ සඳහා අපි නිවැරදි මානසිකත්වයක් ඇති කරගන්න ඕනේ. කියන තරම් ලේසි නොවුණත් අපි මේ සදහා හොඳ උත්සහයක් ඇති කරගන්න ඕනේ. ඔයාගේ ශාරීරික හා මානසික යහපැවැත්මට මේ කාලයෙදී ඔයාගේ සහකරු, මිතුරන්, පවුලේ අය සහ වෘත්තිකයින්ගේ සහාය ලබා ගන්න. සෑම විටම නිවැරදි තොරතුරු ලබාගන්න.

 

නොදැනුවත්කම ගොඩක් භයානකයි. වෛද්‍යවරයෙකු විසින් රචිත හෝ නිර්දේශ කරපු පිළිගත් වෙබ් අඩවි සහ පොත් බලලා ඔයාට නිවැරදි තොරතුරු ලබාගන්න පුළුවන්. ක්‍රියාවලිය තේරුම් ගෙන ඔයා ආරම්භ කරන්න යන දිගු ගමන ගැන වඩා හොඳ අදහසක් ලබා ගැනීමට හැමවිටම උත්සාහ කරන්න. ඔයාට හරි තොරතුරු වගේම ඒ පිළිබදව හොඳ අවබෝදයක් ලැබුණාම ඔයාගේ සෞඛ්‍යය වගේම දරුවාගේ සෞඛ්‍යය ගැනත් දැනුවත් නිවැරදි තීරණ ගන්න ඔයාට පුළුවන් වෙනවා. ඒ වගේම තමයි COVID-19 වැළදී තියෙන ගැබිණි මවුවරුන්ට ඒක ගර්භාෂයේ ඇති කලලරූපයට සම්ප්‍රේෂණය කරන්න පුළුවන් කියලා විද්‍යාඥයින් මේ වෙනවකන් හොයාගෙන නැහැ .ගැබ් ගැනීම සහ දරු ප්‍රසූතිය සාමාන්‍ය රෝග ලක්ෂණ උග්‍ර කරන බවකුත් මේ වෙනකන් පෙන්වලා නැහැ. ළදරුවා ඉපදුණු පසු, COVID-19 ඇති මව්වරුන් සඳහා තාවකාලික මව-ළදරුවාගෙන් වෙන් කරන අතර මව්කිරි දීමේ පූර්වාරක්ෂාවන් ගැනත් මග පෙන්වීමක් ලබාදීම සිදු කරනවා.

 

 

ONLINE මාතෘ උපදේශක පංති සහ ආධාරක කණ්ඩායම්

පසුගිය අවුරුදු කිහිපයේ ඉදන් , අළුත් අම්මලාට සහ තාත්තලාට එයාලාගේ හිතේ තිබුණ කරදරකාරී ප්‍රශ්න වලට උත්තර ලබා ගන්න පෙර මාතෘ උපදේශක පංති ජනප්‍රිය ක්‍රමයක් වෙලා තියෙනවා. ඔයාගේ හිතේ තියෙන අදහස්, ප්‍රශ්ණ, වදවීම් වගේ හැමදෙයකටම පිළිතුරු පිළිගත් දැනුමක් තියෙන උපදේශකවරුන් සහ වෘත්තිකයින් හරිම මිත්‍රශීලී විදිහට මේ පංති මඟින් සපයනවා. ඒ වගේම ගර්භණී කාලයේදී ඔයා සූදානම් වන්නේ කොහොමද කියල ඉගෙන ගන්නත් ඔයාට එයාලා කියලා දෙනවා. සමාජ දුරස්ථභාවය හා දැඩි සනීපාරක්ෂක ක්‍රියාමාර්ග දැන් ක්‍රියාත්මක වෙන නිසා රෝහල් වල පවා ඉතා පරිස්සමින් මේ කටයුතු සිදුකරන අතර ගර්භනී කාන්තාව සමඟ අනිත් මිනිසුන්ට පැමිණීමට ඉඩ ලබා දෙන්නෙත් නැහැ. ගර්භාෂය amniotic sac මගින් ආරක්ෂා වෙලා තියෙන නිසා මවකගෙන් කලලරූපයකට වෛරසයක් සම්ප්‍රේෂණය කිරීම අපහසු දෙයක්. අසනීපව සිටින මවකට පවා තමාගේ නූපන් දරුවාට රෝගය සම්ප්රෙෂණය සිදු කරන්න බැහැ. කොහොම වුණත් දරු ප්‍රසූතියෙන් පස්සේ සම්ප්රේෂණය වීමේ අවදානමක් තියෙන නිසා නිරන්තරයෙන් සෝදිසියෙන් සිටීම ඉතා වැදගත්.

 

 

උපතේ විකල්ප ක්‍රම නිර්ණය කරන්න

නවීන නවෝත්පාදනයන් හා තාක්‍ෂණය සමඟ, වේදනාව නැති කරගන්න ගොඩක් ක්‍රමවේද තියෙනවා. ඔයාට වේදනාව දරා ගැනීමට නොහැකිනම් ඔබව වේදනාවට පත් කරගැනීමෙන් ඔයාට වැළකි ඉන්න පුළුවන්. ඒ සදහා අනුගමනය කරන්න පුළුවන් විකල්ප ක්‍රම බොහොමයක් තියෙනවා. වේදනාව ගැන බයෙන් ඉන්නවනම්, ඔයාට සෑම විටම සිසේරියන් සැත්කමක් තෝරා ගන්න පුළුවන්. කැපුම් පාරකට ඔයත් බයෙන් ඉන්නවනම් මේ ක්‍රියාවලියේදී ඔයාට උදවුවට ගෑස් හෝ එපිඩියුරල් තියෙනවා. අධ්‍යන වලට අනුව නම් මේ විකල්ප උපත් ක්‍රම ගොඩක් ජනප්‍රියයි. ස්වයංසිද්ධ උපත් වලින් 40-50% පමණ ජල උපත් බවට දත්ත ලැබී තියෙනවා. ඒ වගේම සුවපහසු, හුරුපුරුදු පරිසරයක වෛද්‍යමය මැදිහත්වීමකින් තොරව දරු ප්‍රසූතියකට කැමති කාන්තාවන් අතර ගෘහ උපත් වඩාත් ජනප්‍රිය වෙමින් පවතිනවා. කොහොම වුණත් අපි කරන්න ඕනේ මේ ක්‍රම කිසිවක් තොර ගන්න තරම් ඔයා දුර්වලයි කියලා හිතන්නේ නැතුව මේ ක්‍රම ඔක්කොම අවලංගු කිරීම.

 

 

ඔයා ජීවිතයේ වඩාත්ම වේදනාකාරී දෙය ප්‍රසුතිය සහ ඔයාට ඒ අවස්තාවේ සිහි නැති බවත් ඇති වෙනවා. ඒක ඔයාගේ ශරීරය දන්නවා. ප්‍රසුතියේදී ඇතිවුණු වේදනාව ගැන හුගක් දෙනෙක්ට මතකයක් රැදෙන්නේ නැහැ. නමුත් එක ඔයාට ක්ෂණික සුවයක් ලබාදෙන්නෙත් නැහැ. කොහොම වුණත් අවසානයේදී ඔයාටත් ඔයාගේ දරුවාටත් හොඳම තීරණය ගන්න අමතක කරන්න එපා.

චීනයෙන් තවත් අලුත් මාරාන්තික වෛරසයක් සොයාගෙනද..?

පහුගිය දවස් වල සමාජ ජාලා මාධ්‍ය වල සංසරණය වුණු පුවතකින් කියවුනේ චීනයෙන් තවත් අලුත් මාරාන්තික වෛරසයක් හමුවී ඇති බව. චීනයේ යුනාන් ප්‍රදේශයේ බස් රථයක ගමන් ගනිමින් සිටි මගියකු හදිසියේ බස් රථය ඇතුලෙම මැරී වැටුණු බවත් පසුව සොයාගත් පරිදි කොරෝනා වෛරසයට වඩා මාරාන්තික වෙනත් අලුත් වෛරසයක් ඔහුගේ ශ්වසන පද්ධතිය විනාශකොට තිබූ බවත් මේ සමාජ මාධ්‍ය වල සංසරණය වුනු තොරතුරු වලින් කියවුනා. මේ කතාවේ ඇත්ත නැත්ත මොකක්ද කියන එක ගැන අපි විශේෂඥ වෘත්තියවේදීන් ඉදිරිපත් කර ඇති තොරතුරු විමසා බැලීමක් කළා.

 

දැනට සොයාගෙන තිබෙන විදිහට චීනයේ මේ කියන පුද්ගලයා මියයෑමට හේතුවුණු ආසාදිත වෛරසය වන්නේ හන්ටා වෛරසය (Hantavirus) බව පැවසෙනවා. Hantavirus කියන්නේ විශේෂිත එක වෛරසයක් නොවෙයි. ඒක වෛරස් කාණ්ඩයක්. මේ කාණ්ඩයටම භාවිතා කරන පොදු නම Hantavirus වනවා වගේම මේ වනවිට (According to 2018b virus taxonomy release by international committee on taxonomy of viruses – ICTV) මේ කාණ්ඩයට අයත් වෛරස විශේෂ 47ක් හඳුනාගෙන තිබෙනවා. (47 species in family hantaviridae). සමීක්ෂණ දත්ත වලට අනුව පැරණි ලෝකයේ හන්ටා වෛරස සහ නව ලෝකයේ හන්ටා වෛරස විදිහට කොටස් දෙකකට මෙය හඳුනාගෙන තිබෙනවා. යුරේශියානු කලාපය ඒ කියන්නේ යුරෝපය සහ ආසියාව ඇතුළත් කලාපය පැරණි ලෝකය විදිහටත් උතුරු සහ දකුණු ඇමරිකානු කලාපය නව ලෝකය ලෙසත් මේ වර්ගීකරණයේදී හඳුනා ගැනෙනවා.

 

පහුගිය සියවස සළකා බැලුවොත්, ප්‍රධාන වශයෙන් දැවැන්ත හන්ටා වෛරස වසංගත තත්ත්වයන් දෙකක් වාර්තා වනවා. එකක්, 1950 -1953 අතර කොරියානු යුධ සමයේදී හඳුනා ගැනුනා. මේ නිසා ඒ් ජාතීන්ගෙ 3000 පමණ බට පිරිසක් රෝගි තත්වයට පත්වෙලා තියෙනවා. මේක නම් කරලා තිබුනේ Korean hemorrhagic fever ලෙසයි. (කොරියානු රක්තපාත උණ) විද්‍යාත්මකව මේක හඳුන්වන්නේ hemorrhagic fever with renal syndrome (HFRS) ලෙසයි . හේතුව තමයි රක්තපාත තත්වයත් සමඟ වකුගඩුවල සංකූලතා ඇතිවෙන වීම.

 

දෙවැන්න වාර්තා වෙන්නේ 1993 දි ඇමරිකාවේ Four corners ප්‍රදේශයෙන්. මේක hantavirus pulmonary syndrome (HPS) කියල තමයි හැඳින්වුනේ. මේ වෛරස විශේෂයේ පහරදීම නිසා ශ්වසන පද්ධතියේ සංකූලතා හටගන්නවා. HFRS හේතුවෙන් 12% කුත්, HPS හේතුවෙන් 60% කුත් වුනු මරණ ප්‍රමාණයක් වාර්තා වුණා. හන්ටා වෛරස වල පොදු ලක්ෂණය තමයි මේවා මිනිසාට බෝවීම සිදුවන්නෙ සතුන් මගින් වීම. විශේෂයෙන්ම කෘන්තකයන්ගෙන් (Rodents). එනම් මීයන්ලේ සහ ලේනුන් අයත් කුලය. ආසාදිත කෘන්තකයකුගේ මළපහ මුත්‍රා හෝ මළපහ මිශ්‍රිත වායු අංශු/බිඳිති ආශ්වාස කිරීමෙන් හෝ ආසාදිත කෘන්තකයකුගේ ඛේටය මගින් වෛරසය මිනිසාට ආසාදනය වන බව හඳුනාගෙන තිබෙනවා. මිනිසා මේ වෛරසයේ අවසන් ධාරකයා වන නිසා මිනිසාගෙන් මිනිසාට වෛරසය සම්ප්‍රේෂණය නොවන බව පැවසෙනවා. ආජන්ටිනාවේ හා චිලී රටෙන් හමුවුණු මේ කාණ්ඩයට අයත් ඇන්ඩිස් (Andes) වෛරසය පමණයි මිනිසාගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වුණු බවට සාධක තිබෙන්නේ. මීට අමතරව වැලි මීයා (Mole), වවුලන් (Bats) යොදාගෙන කළ පර්යේෂණ වලදී ඒ සතුන් තුළිනුත් මේ වෛරසය හඳුනාගෙන තිබෙනවා. මෑතකදී සමහර මත්ස්‍ය විශේෂ තුළිනුත් වෛරසය සොයාගෙන ඇති නමුත් ඉන් මිනිසාට ආසාදනය විය හැකි බවට මෙතෙක් තහවුරු කරගන නැහැ.

 

ලංකාවේ හන්ටා වෛරසයේ තත්ත්වය..

 

1988 වසරේදී එවකට වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂකව සිටි මහාචාර්ය තිස්ස විතාරණයන් ලංකාවෙන් මේ වෛරසය ආසාදනය වූවන් සොයාගෙන තිබෙනවා. දිවයින පුරා රෝහල් වලින් ලැබුනු සාම්පල 248ක් පරික්ෂා කිරීමෙන් පසු එයින් සාම්පල 14ක හන්ටා වෛරසය ආසාදනය වී තිබූ බව සොයා ගැනුනා. ඉන්පසු මහාචාර්ය තිස්ස විතාරණයන් කොළඹ වරාය ආශ්‍රිතව මීයන් (Rattus norvegicus) යොදාගෙන මේ පිලිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකළා. මීයන් 96ක නියැදියක් පරීක්ෂාවෙන් පසු මීයන් 13 දෙනෙකු තුළ හන්ටා වෛරසය හඳුනා ගැනුනා. ප්‍රතිශතයක් ලෙස 14%ක් බව සඳහන් වනවා. කොළඹ වරාය ආශ්‍රිත මීයන් තුළින් හඳුනාගත් හන්ටා වෛරසය “Seoul virus” කාණ්ඩයට සමාන බව පැවසෙනවා.

 

2011 වසරේදී ආචාර්ය චන්දික ගමගේ ඇතුළු පිරිසක් විසින් එවකට පේරාදෙණිය රෝහලට ඇතුළු වුනු මී උණ යැයි සැක කෙරෙන රෝගීන් 105ක් පරීක්ෂාවන් සිදුකිරීමේදී එයින් 08 දෙනෙකු තුළ Hantavirus antibodies තිබුණු බව හඳුනාගෙන තිබෙනවා. ඉන් පසුව පේරාදෙණිය විශ්ව විද්‍යාලය මගින් ගිරාඳුරුකෝට්ටේ සහ මහනුවර ප්‍රදේශ ආශ්‍රිතව මේ පිලිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකළා. ඒ අනුව ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශයේ වකුගඩු රෝගීන් (Chronic kidney decease of unknown etiology) අතුරින් 50%ක් පමණ පුද්ගලයින් තුළ හන්ටාවෛරස ප්‍රතිදේහ තිබී සොයාගැනුනා. එසේම වකුගඩු රෝගීන් නොවන සාමාන්‍ය සෞඛ්‍යසම්පන්න පුද්ගල නියැදියෙන් 17%ක පමණ පිරිසකගේ සිරුරේ හන්ටාවෛරස ප්‍රතිදේහ හඳුනාගෙන තිබෙන බවත් තහවුරු වුණා. නුවර ප්‍රදේශයේ වකුගඩු රෝගීන් නියැදියෙන් 18% ක් සහ සෞඛ්‍යසම්පන්න සාමාන්‍ය පුද්ගල නියැදියෙන් 7%ක් පමණ හන්ටා වෛරස ප්‍රතිදේහ සහිතව හමුවූ බවත් සමීක්ෂණ දත්ත මගින් පැවසෙනවා. ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශයේ මීයන් ආශ්‍රිතව සිදුකළ පරීක්ෂණයක් මගින් මීයන් 116ක නියැදියකින් 20%ක් හන්ටා වෛරස ආසාදිත සතුන් බව සොයාගෙන තිබෙන අතරම ඔවුන් තුළින් හමුව ඇත්තේ තායිලන්තයෙන් සොයාගත් Thailand hantavirus නම් විශේෂයට සමානකම් සහිත වෛරසයක් බවත් පැවසෙනවා.

 

Haemorrhagic fever with renal syndrome (HFRS), නැතිනම් රක්තපාත උණ සහ වෘක්කිය සහ ලක්ෂණය ප්‍රධාන වශයෙන් ආසියානු සහ යුරෝපීය කලාපයේදී හඳුනා ගැනෙන තත්ත්වය වන අතරම, වාර්ෂිකව ලෝකය පුරා 60,000 – 100,000 අතර ප්‍රමාණයකට මේ HFRS ආසාදන තත්වය ඇතිවූ බවට තොරතුරු පවතිනවා. කෙසේ නමුත්, මේ හන්ටා වෛරසය හඳුනා නොගත් නව වෛරසයක් නොවන බව විශේෂඥන් අවධාරණය කර සිටිනවා. ඒ වගේම මේ වෛරසයක් හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ මෙතෙක් කිසිවකු අසාධ්‍ය තත්වයට පත්වී නැති බවත් ඔවුන් තහවුරු කර සිටිනවා.

 

 

References 

 

  • Vitarana T, Colombage G, Bandaranayake V, Lee HW (1988) Hantavirus disease in Sri Lanka [letter]. Lancet 2:1263

 

  • Gamage CD, Yasuda SP, Nishio S, Kularatne SA, Weerakoon K, Rajapakse J, Nwafor-Okoli C, Lee RB, Obayashi Y, Yoshimatsu K, Arikawa J, Tamashiro H. Serological evidence of Thailand virus-related hantavirus infection among suspected leptospirosis patients in Kandy, Sri Lanka. Jpn J Infect Dis. 2011;64(1):72-5. PubMed PMID: 21266762. 

 

  • Sarathkumara YD, Gamage CD, Lokupathirage S, Muthusinghe DS, Nanayakkara N, Gunarathne L, Shimizu K, Tsuda Y, Arikawa J, Yoshimatsu K.(2019), Exposure to Hantavirus is a Risk Factor Associated with Kidney Diseases in Sri Lanka: A Cross Sectional Study.,Viruses. 2019 Jul 31;11(8). pii: E700. doi: 10.3390/v11080700

 

  • Lokupathirage SMW, Muthusinghe DS, Shimizu K, Nishigami K, Noda K, Tsuda Y, Sarathkumara YD, Gunawardana S, Arikawa J, Gamage CD, Yoshimatsu K. (2019),Serological Evidence of Thailand Orthohantavirus or Antigenically Related Virus Infection Among Rodents in a Chronic Kidney Disease of Unknown Etiology Endemic Area, Girandurukotte, Sri Lanka.Vector Borne Zoonotic Dis. 2019 Jul 24. doi: 10.1089/vbz.2018.2429.

 

Covid -19 වෛරසය සම්බන්ධයෙන් හඳුනාගත් අලුත්ම රෝග ලක්ෂණය..

ලොව පුරා COVID -19 වෛරසය පැතිර යාමේ ප්‍රධානතම ක්‍රමවේදය ලෙස හඳුනාගන තියෙන්නේ මිනිසුන් බහුලව ගැවසෙන ස්ථාන හරහා විසබීජ පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයකුට සම්ප්‍රේෂණය වීම මගින් බව ඔබ දැනටමත් හොඳින්ම දන්න කාරණාවක්.

ඒ වගේම පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට මෙම වෛරසය බෝවෙන්නේ ප්‍රධාන වශයෙන් බිඳිති වශයෙන් ආසාදිතයගෙන් පිටවෙන සෙම, කෙල, කිවිසුම් යැවීමේදී පිටවන සොටු යන මාර්ග වලින් වන අතර කෙනෙකු කිවිසුම් යවන විට, කහින විට, මෙන්ම මෙම ශ්‍රාවයන් ස්පර්ශ කර වෙනත් ස්ථාන ඇල්ලීම වැනි ක්‍රියා මගින් මේ වෛරසය පුද්ගලයෙකුගෙන් තවකෙකුට පැතිරීමේ හැකියාව පවතිනවා.

 

මේ වෙනකොට රෝගය තමන්ට වැළඳී තිබෙනවාද යන්න දැනගන්න , ඇතිවන රෝග ලක්ෂණ පිළිබඳව මහජනතාව දැනවුත් වෙලා තිබෙනවා. ඔබට උණ, හිසරදය, ඇඟපතෙහි ඇතිවෙන කැක්කුම් ,උගුරේ අමාරුව , කැස්ස හා හුස්ම ගැනීමේ අපහසුතා තිබෙනවා නම් පරීක්ෂණ සඳහා යොමුවෙන්න කියලා බලධාරීන් මේ වෙනකොට මහජනතාව දැනුවත් කර තිබෙනවා.

 

මේ අතර ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයේ වෙස්ටන් මහ රෝහලේ ස්නායු රෝග ඒ්කකයේ අංශ ප්‍රධානියා ලෙසද සේවය කරන ශ්‍රී ලාංකික වෛද්‍ය මහාචාර්ය තිස්ස වි‌ජේරත්න මහතා පවසන්නේ Covid -19 මූලික රෝග ලක්ෂණ අතරට “ගඳ සුවඳ” නොදැනීම ද ඇතුලත් වන බවට මේ වන විට කර ඇති පරීක්ෂණ වලින් හඳුනාගන තිබෙන බවයි. රෝගය හටගන්න මූලික අවස්ථාවේදී  ගඳ සුවඳ දැනීමේ හැකියාව නැතිව යාම ඇතිවෙන බවත්, මෙම රෝග ලක්ෂණය 30% පිරිසකට පමණ තිබෙන බවට පරීක්ෂණ මගින් තහවුරු කරගන තිබෙන බවත් මෙමගින් රෝගය කල් තියා හඳුනාගැනීමට හැකියාව පවතින බවත් තවදුරටත් එතුමා විසින් පවසා තිබෙනවා. විශේෂයෙන්ම කැස්ස , මද වශයෙන් පවතින උණ ගතිය එහෙමත් නැත්තම් සාමාන්‍ය සෙම්ප්‍රතික්ෂාව වගේ රෝග තත්ත්වයක් එක්කම තදින් ගඳ සුවඳ නොදැනීමේ හැකියාව තිබෙනවා නම් කොරෝනා වෛරසය පිළිබඳව බරපතල ලෙස සැක කරන එක යහපත් බව එතුමා පවසනවා..

 

ඔබටත් මෙම රෝග ලක්ෂණ පවතිනවනම් ඉක්මනින් 1990 අමතා අදම පරීක්ෂා කරගන්න..

 

කොරෝනා වෛරසය නිසා හටගන්නා රෝගී තත්ත්වය වැඩිපුරම හානිදායක ලෙස බලපානු ලබන්නේ අපගේ වැඩිහිටි ජනතාවට. වයසින් අඩු පුද්ගලයින් සඳහා සංකූලතා ඇති වීමේ අවදානම අඩු වුවද, වයස ක්‍රමයෙන් වැඩිවත්ම සංකූලතා ඇතිවීමේ අවදානම සහ රෝගය මාරාන්තික වීමේ අවදානම ක්‍රමානුකූලව වැඩි වෙනවා.

 

මීට අමතරව හෘද රෝග වලින් පෙළෙන පුද්ගලයින්, දියවැඩියා රෝගයෙන් පෙළෙන පුද්ගලයින් සහ දීර්ඝකාලීන ස්වසන ආබාධ වලින් පෙළෙන පුද්ගලයින් සංකූලතාවලට ලක් වීමේ අවදානම සාපේක්ෂව වැඩි බවක් පෙන්නුම් කරනවා.

 

ඔබට දන්නා කියන සියලු වැඩිහිටි පුද්ගලයින්ට මිනිසුන් බහුලව ගැවසෙන ස්ථාන වලට යෑමෙන් සම්පූර්ණයෙන්ම වැලකී සිටින ලෙසට දැනුවත් කරන්න.

 

ඔබගෙන් රෝගය වැඩිහිටියන්ට බෝවීම වැලක්වීමට, ඔබත් නිරෝගීව සිටිය යුතුය. ඒ සඳහා හැකි සෑම අවස්ථාවකදීම ඔබත් මිනිසුන් බහුලව ගැවසෙන ස්ථානවලට යෑමෙන් වැළකී සිටින්න.

මේ අවස්තාවේ කරුණාකර නිවසේම රැඳිසිටින්න වගබලාගන්න.

නිවසට වෙලා ගතකරන කාලය ඵලදායීව ගතකරන්න ගෙවතු වගාවට යොමු වෙමු..

එළිමහනේ හෝ ගෘහස්ථව සිදු කළත් ගෙවතු වගාව කියන්නේ ඔයාගේ හිතට වගේම ශරීරයටත් ඉතාම හොඳ දෙයක්. හොඳට පිපුණු මල් සහ ලස්සන කොළ පාට පරිසරය ඔයාගේ කාංසාව සන්සුන් කරවන්න වගේම සොබාදහමත් එක්ක සැහැල්ලුවෙන් සම්බන්ධ වෙන්න ඔයාට ලොකු උදවුවක් වේවි. ඉතින් ගෙදරට වෙලා අමාරුවෙන් ගත කරන මේ දවස් වලට නම් මේක හොඳ විනෝදාංශයක් වෙයි. හැබැයි වඩාත්ම වැදගත් දේ තමයි ගෙවතු වගාව ඔයාට වගකීම සහ ඉවසීම උගන්වනවා. ගෙවතු වගාවට ඕන කරන මේ ඉඟි සහ උපක්‍රම ඔයාට ගොඩක් වැදගත් වෙයි.

 

 

  • මුලින් කුඩා සහ අඩු නඩත්තු පැළ තෝරා ගන්න

ප්‍රධානම දේ තමයි ඔයාගේ පැළය මැරෙන්න නොදී පරිස්සමින් නඩත්තු කරගන්න එක. පතොක්, කෝමාරිකා, සැන්සෙවීරියා (සර්ප ශාකය), ZZ පැළ , පීච් ලිලී සහ පොතෝස් (money plant) ගෙවතු වගාව පටන්ගන්න පැල කරන්න හොඳම ශාක කිහිපයක්.මොකද එයාලට පුළුවන් අඩු ජල තත්වයන් වලට වගේම අඩු ආලෝකයටත් හැඩගැහෙන්න.ඉතින් වැඩි අවධානයක් දෙන්න ඕනේ වෙන්නේ නැහැ වගේම ලේසියෙන් විනාශ වෙන්නෙත් නැහැ. ඒ වගේම නිවිති, තක්කාලි සහ මිරිස් වැනි එළවළු වර්ග වගේ කුස්සියට ඕනේ කරන දේවලුත් ලේසියෙන්ම වගා කරන්න ඔයාට පුළුවන්. කොහොම වුණත් ආරම්භයේදී පැළෑටි කිහිපයකින් විතරක් ආරම්භ කරන එක හොඳයි.මොකද එතකොට වතුර දාන්න කාලසටහන් සහ නඩත්තු කරන්න,සොයා බලන්න ඔයාට ගොඩක් මහන්සි වෙන්න ඕනේ නැහැ.

 

 

  • හැමදෙයක්ම රදා පවතින්නේ ආලෝකය මත

ගෙවතු වගාව සම්බන්ධයෙන් පරිසරය තමයි ප්‍රධානම දෙය. ඔයාගේ වත්තේ ඇවිදලා බලලා ආලෝකය සහ ආර්ද්‍රතාවය ගැන හොයලා බලන්න. හිරු එලිය කියන්නේ ඔයාගේ කුඩා පැළෑටි වලට ආහාර ලබාගන්න අත්‍යවශ්‍යම සාධකයක්. ඉතින් ඔයාටත් නිරෝගී, සුන්දර පැළෑටි ඕනේ නම් පැළෑටි වලට අවශ්‍ය තරම් හිරු එලියක් ලැබෙනවද කියලා හොයල බලන්න. ගෙවතු වගාවට ගන්න ශාක වක්‍ර හිරු එළියට වගේම සෙවනට වැඩි කැමැත්තක් දක්වනවා සහ පතොක්,එළවළු සහ මල් පිපෙන ශාක බැල්කනියේ හෝ වත්තේ හිරු එලිය වැටෙන තැනක තියන්න වඩාත් සුදුසුයි. ඉතින් ඔය දන්නවනම් ඔය පැලකරන්න කැමති ශාකය මොකද්ද කියලා ඒ පැළෑටියේ හිරු එළියේ අවශ්‍යතාවය ගැනත් ටිකක් හොයලා බලන්න.

 

 

  • නිවැරදි පෝච්චිය තෝරාගන්න

ගෙවතු වගාව ආරම්භ කරන්න ලේසිම ක්‍රමය ශාක තවානකින් පැලෑටි හෝ බීජ පැළ මිලදී ගන්න එක වෙන්න පුළුවන් හැබැයි ගෙදර අරන් ගියාට පස්සේ ඒවා මල් පොච්චියකට හරි සකස් කරගත්ත පොලවට හරි දාන්න වෙනවා. පලතුරු සහ එළවළු වල වියළි බීජත් ඔයාට ප්‍රරෝහණය කරන්න පුළුවන්. ඒකෙන් තිරසාර,මිල අඩු වගේම අදහගන්න බැරි තරම් තෘප්තියකුත් ඔයාට ලැබෙනවා. බීජ, තෙතමනය සහිත කපු හෝ රෙදි කැබැල්ලක් මත තබා ඒවා පැළ වන තුරු හිරු එළියෙන් ඈත් කරලා තියන්න. ඊටපස්සේ එක පැළයක් තරම් ලොකු වෙන්න ඒක භාජනයකට දාලා තියන්න. ඊට පස්සේ බීජ පැළ කරපු භාජනයට වඩා අඟල් 2-4 ක් ලොකු භාජනයකට පැලය දාන්න. එතකොට ඒ පැළයට මුල් අදින්න ඉඩ ලැබෙනවා. මූල කුණුවීම වැළැකවාගන්න සෑම විටම පතුලේ ජලය පිට කරන්න සිදුරු තියෙන භාජනයක් තෝරා ගන්න.

 

 

  • පස සකස් කරගැනීම

ගෙවතු වගාවට ඕනේ කරන පස විදිහට තවානකින් ලබාගත් හෝ කොහුබත් සහ කාබනික කොම්පෝස්ට් සමඟ මිශ්‍ර කළ ගෙවතු පසක් භාවිතා කරන්න පුළුවන්. සැරින් සැරේ පස ලිහිල් කරන්න වගේම වාතනය කරන්නත් මතක තියාගන්න.(මුල් වලට හානියක් නොවෙන විදිහට) .ඒවා කෙලින්ම බිම සිටුවීමට හිතනවා නම් පස බුරුල් කරලා කාබනික පොහොර දාලා පස සකස් කරගන්න.ඔයාම හදාගත්ත කොම්පෝස්ට් හෝ කොහුබත් ඒ සදහා පාවිච්චි කරන්න පුළුවන්.

 

 

  • අවශ්‍ය වෙලාවට පමණක් වතුර දමන්න

ඔයාගේ ඇඟිල්ලෙන් පොඩි පරීක්ෂණයක් කරලා බලන්න ඔයාට පුළුවන්. ඔයාගේ දබර ඇඟිල්ලේ පළවෙනි පුරුක වෙනකන් පසට ඔබලා බලන්න.පලවෙනි අඟලේ ඉදන් අගල් එකාහාමාරක් වෙනකන් පස වියළි නම් වතුර දමන්න. කොළ තෙත් වුණාම කොළ වලට දිලීර එන්න ඉඩ තියෙන නිසා හැමවිටම මුල් වලට වතුර දමන්න. කොළ වල අග දුබුරු පැහැයක් නම් ඒ පැළයට වතුර වැටිලා තියෙනවා මදි. දිනපතා වතුර දාන්නත් අමතක කරන්න එපා.

 

 

  • ඔයාගේ පැළය ගැන දැනගන්න

ඔයාගේ පැළයට ඇහුන්කන් දෙන්න. ඒවා හොඳට නිරීක්ෂණය කරන්න, ඔයාගේ පැළයත් එක්ක කථාකරන්න. පැළයේ එදිනෙදා ස්වභාවය වගේම ජලය,පොහොර, කාලසටහනත් සටහන් කරගන්න. එකෙන් පැළයේ අවශ්‍යතාවයන් අදුරගන්න වගේම පැළය සතුටින් තියන්නත් උදවුවක් වේවි. ඔයාගේ පැළෑටිය පරිස්සමෙන් වගේම ආදරෙන් රැකබලාගන්න. සතුටු,සෞඛ්‍ය සම්පන්න බැඳීමක වගේම පැළයට වැඩෙන්න කාලය වගේම ඉඩ ලබාදෙන්න.

ගෙදරදි ලේසියෙන්ම හදාගන්න පුළුවන් කෑම වර්ග කිහිපයක්..

අපි දන්නවා හැමෝටම ගෙදරට වෙලා ඉදලා ඇතිවෙලා ඉන්නේ කියලා. ඉතින් ඔන්න අද අපි අරන් ආවා ලේසියෙන්ම ගෙදරදි හදාගන්න පුළුවන් කෑම වර්ග කිහිපයක්. වෙනසකටත් එක්ක හදලම බලන්නකෝ ඔයාලා අනිවාර්යයෙන් කැමති වෙයි මේ කෑම වර්ග වලට.

 

 

1. Flatbread

අවශ්‍ය ද්‍රව්‍ය

යෝගට් 125g
බේකින් පව්ඩර් මේස හැඳි 1 1/2
පාන් පිටි කප් 1 1/2

පියවර

මේ සියල්ල එකට අනාගෙන පොඩි බෝලයක් හදල විනාඩි 10ක් පිරිසිදු තෙත රෙද්දකින් හෝ ලන්ච් ශීට් එකකින් වහල තියන්න. ඊට පස්සෙ කොටස් 4කට කඩලා රොටියක් විදියට තුනී කරගෙන රත්වෙච්ච තැටියක දාල පුළුස්ස ගන්න. ඕනම කරියක් එක්ක වගේම හදිසි බඩගින්නට බටර් ටිකක් ගාගෙන උනත් කන්න පුළුවන්.

 

 

2.Glazed Chicken

අවශ්‍ය ද්‍රව්‍ය

ඇපල් යුශ කප් 2
චිකන් කෑලි 4 ( කුකුලු මස් කකුල් වඩා හොඳයි )
ගම්මිරිස් සහ ලුණු

පියවර

භාජනයකට ඇපල් යුශ ටික දාගෙන එය රත් වෙන්න ලිපෙන් තියන්න. මස් වලට ලුණු ගම්මිරිස් අතගාගෙන ඒ ටික ඇපල් යුශ එකටම දමන්න. ඉතාම අඩු ගින්දරේ මස් ටික විනාඩි 15ක් පමණ තැම්බෙන්න හරින්න. විටින් විට හැඳි ගාමින් මස් කෑලි ටික පෙරලන්නත් අමතක කරන්න එපා.
ඇපල් යුශ ටික හිඳුනාට පස්සෙ ලිප නිවාගන්න.

 

 

3. Shortbread butter cookies


අවශ්‍ය ද්‍රව්‍ය

කුඩු කරගත් සීනි කප් 1\2
බටර් ග්‍රෑම් 225
පිටි කප් 2

පියවර

සෙල්සියස් 350ට උඳුන රත් වෙන්න තියන්න. ඒ අතරේ සීනි ටිකයි බටර් ටිකයි ක්‍රීම් එකක් වෙනකම් හොඳින් මිශ්‍ර කරගන්න. (බීටරයක් හෝ බ්ලෙන්ඩරයක් පාවිච්චි කරන්න පුළුවන්)
ඒකට පිටි ටික ටික කලවම් කරගෙන මෘදු පිටි බෝලයක් වෙනකම් හොඳින් අනාගන්න.
පිටි තවරගත්ත ලෑල්ලක් මත අඟල් 1\4ක ඝනකමට තුනී කරන් කැමති හැඩයකට කපාගන්න.
තැටියට තෙල් කඩදාසියක් දාගෙන ඒ උඩින් හදාගත්ත කුකීස් ටික තියන් විනාඩි 20ක් 25ක් බේක් කරගන්න. උඳුන් වල රස්නය වෙනස් වෙන්න පුළුවන් නිසා රන්වන් පාට වෙන කොටම මතක ඇතුව උඳුනෙන් ඉවත් කරන්න.

 

 

4. Japanese cotton cake


අවශ්‍ය ද්‍රව්‍ය

බිත්තර 6
කපාගත් සුදු චොකලට් කප් 1 1\2
ක්‍රීම් චීස් කප් 1 1\4 (හැපී කව් ක්‍රීම් චීස් ගන්න පුළුවන්)

පියවර

බිත්තර සුදු මද කහ මද වෙන් කරගන්න. උණු වතුර භාජනයක් මත තබා ගත්ත බෝල් එකකට චොක්ලට් ටික දාලා චොක්ලට් ටික දිය කරගන්න (Double boil) එයටම ක්‍රීම් චීස් ටික එක් කර හොඳින් මිශ්‍ර කරගන්න. නිවෙන්නට හැර බිත්තර කහ මද එක් කර නැවත මිශ්‍ර කරගන්න. බිත්තර සුදු මද ටික පෙන නැගී හිම මෙන් වනතුරු හොඳින් බීට් කරගන්න. චොකලට් මිශ්‍රණයට බිත්තර සුදු මද මිශ්‍රණය ටික ටික හෙමින් හැන්දකින් පෙරලමින් මිශ්‍ර කරගන්න.

හොඳින් බටර් ගා තෙල් කඩදාසි අතුරාගත් අඟල් 8ක විශ්කම්බය ඇති රවුම් තැටියකට මෙම මිශ්‍රණය දමාගන්න. වෙනත් තැටියකට උණුවතුර දමාගෙන එය මත කේක් තැටිය තබා සෙල්සියස් 180ට කලින් රත්කරගත් උඳුනක තබා විනාඩි 40ක් 45ක් බේක් කරගන්න. උඳුන නිවා දැමූ පසු තවත් විනාඩි 15ක් උදුනේම තියෙන්නට හැර එලියට අරගන්න.

 

 

5. Chocolate Ice Cream


අවශ්‍ය ද්‍රව්‍ය

මිල්ක්මේඩ් කප් 1
විපින් ක්‍රීම් කප් 2
චොකලට් සෝස් කප් 1\2

පියවර

මුලින්ම විපින් ක්‍රීම් ටික හොඳින් ඝන වන තුරු බීට් කරගන්න. ඒකට මිල්ක්මේඩ් සහ චොකලට් සෝස් ටික කලවම් කරගන්න. අවම වශයෙන් පැය 4ක් අධි ශීතකරණයේ තබා ගන්න.

හැමදාම වගේ උදේ ඔයා ඇහැරෙනකොට ඇතිවෙන ව්‍යාකූල තත්ත්වය මගහැරගන්නේ කොහොමද?

හැම කෙනෙක්ම බලාපොරොත්තු වෙන්නේ සාමකාමී උදෑසනක්. ඇත්තටම මේ ව්‍යාකූල තත්ත්වය ඇතිවෙන එක අපිටම නවත්තගන්න පුළුවන්. අපිට පුළුවන් හැම උදෑසනක්ම නැවුම් විදිහට පටන් ගන්න.

  • කලින් දවසේ රෑ අපිට පුළුවන් අනිත් දවසට අවශ්‍ය දේවල් ලැහැස්ති කරලා තියන්න. ඒ වගේම ඊළග දවසේ කරන්න තියන වැඩ plan කරන්න පුළුවන්. උදේට අපිට පිළිවෙලට වැඩ කරගන්න ඒ දෙයින් ලේසි වෙනවා. ඔයාගේ සැමියා රැකියාවක් කරන කෙනෙක් නම් දරැවන් පාසල් යනවනම් කලින් දවසේ රෑ ඇදුම් පැලදුම් සූදානම් කරලා තියන එක උදේට ලේසි. ඒ වගේම රැකියාවට යන්න කලින් කෑම හදන්න වෙනවා. එකට කලින් දවසේ අවශ්‍ය දේවල් සූදානම් කරලා තිබ්බනම් උදේට උයන්නත් පහසු වෙනවා.

 

 

  • රෑට නිදියන්න කලින් නිවස පිරිසිදු කරන්න. අපිරිසිදු කුස්සිය, හැඩිවුණු කාමර නිසා උදේම අපේ ඔලුව අවුල් වෙන්න පුළුවන්. ගෙදර පොඩි දරුවෝ ඉන්නවනම් එයාලා හැඩිකරන එක සාමාන්‍ය දෙයක්. දරුවන් හවුල් කරගන ඒ දේවල් අස් කරලා පිරිසිදු කරන්න අපිට පුළුවන්. උදේට අපිට ගොඩක් ලේසි වෙනවා මේ විදියට කලින් දවසේ හැමදේම පිරිසිදු කරලා තිබුණහම.

 

 

  • උදාහරණයක් වශයෙන් උදේ 5ට නැගිටිනවනම් alarm එක තියන්න විනාඩි 10වත් කලින්. එතකොට පුළුවන් නිදහසේ නැගිටින්න. පරක්කු වෙනවා කියාලා පීඩනයෙන් අවදිවෙලා කලබලයෙන් වැඩ කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ.

 

 

  • උදෑසන ආහාර වේල ඉතාම වැදගත්. නිදහසේ වාඩිවෙලා හොද පෝෂ්‍යදායි ආහාර වේලක් ගන්න වගබලා ගන්න. ඒ ආහාර වේල තමා දවස පටන්ගන්නකොට අපිව ප්‍රබෝධමත්ව ශක්තිමත්ව තියන්නේ.

ඔයාට තේරෙනවනම්, දැනෙනවනම් ඔයා ඉන්නේ ලොකු පීඩනයකින් කියලා ඔයා කැමති ඔයාව සන්සුන් කරන හොද සංගීතයකට සවන්දෙන්න. මනස නිදහස් කරගන නිරවුල් කරගන දවස පටන්ගන්න මේ දේ ඔයාට උපකාරී වේවි.

 

 

අපිට පුළුවන් අපි කැමති දෙයක් පුරුද්දක් වශයෙන් හැමදාම උදේට කරන්න. උදාහරණයක් වශයෙන් ව්‍යායාම කරන්න පුළුවන්. භාවනා කරන්න පුළුවන්. කැමති පොතක් කියවන්න පුළුවන්. නිදහසේ කෝපි කොප්පයක රසවිදින ගමන් පත්තරයක් කියවන්න පුළුවන්. මේ
වගේ අපි කැමති දෙයක් කරලා හිත සැහැල්ලු කරගන දවස පටන් ගන්න පුළුවන්.

 

මේ පුංචි උපක්‍රම වලින් පුළුවන් උදෑසන අපිට ඇතිවෙන්න පුළුවන් ව්‍යාකූල තත්වයන් මගහැරගෙන දවස උද්යෝගිමත්ව ආරම්භ කරන්න.

උසින් අඩු යුවතියන්ට ගැළපෙන විලාසිතා

ලංකාවේ කෙල්ලො එච්චර උස අය නෙවේනේ. වැඩිම වුණොත් අඩි 5යි අඟල් 3 හෝ 4 අය තමයි බහුලව ඉන්නේ. ඉදලා හිටලා උසින් වැඩි අයත් ඉන්නවා. කොහොම වුණත් අඟල් 5ට අඩු යුවතියන් ගැන තමයි අද අපි කතා කරන්නේ. මෙයාලා හඳුන්වන්නේ සාමාන්‍යයෙන් කොට කෙල්ලො කියලා. මේ නිසා ඒ අයට හැම විලාසිතාවක්ම ගැළපෙන්නේ නැහැ. ඒ නිසා ඇඳුමක් තෝරනකොට මිටි බව ඉස්මතු වෙන්නේ නැතිවෙන්න ඇඳුම් තෝරාගන්න උත්සහ කරන්න .ඉතින් මිට ඔයාට ගැළපෙන විලාසිතාවක් තෝරගන්නේ කොහොමද කියලා අද අපි බලමු .

 

 

V කර සහිත ඇඳුම්

 

රවුම් කරවල් තිබෙන ඇදුම් මගින් ඔයාව මිටි කරලා තමයි පෙනන්නේ. ඒ නිසා රවුම් කරවල් තිබෙන ඇඳුම් වෙනුවට V කර සහිත ඇඳුම් අඳින්න වගේම මිලදී ගන්න මතක තියාගන්න. V කර සහිත ඇඳුම් වලින් ඔයාව උස් කරලා තමයි පෙන්වන්නේ.

 

 

High waist style

ඉණ පපුවට පහළින්ම පෙනෙන විලාසිතා තෝරාගැනීම මගින් ඔයාගේ කකුල් දිග බව පෙන්නන් පුළුවන් . denim skirt වගේ මිලදී ගන්නකොට High wrist style එකෙන් ම මිලදී අරගන්න.

 

 

තනි වර්ණයේ ඇඳුම්

තනි වර්ණයෙන් යුතු ඇඳුම් ඇඳීම මගින් ඔයාගේ උස වැඩි කරලා පෙන්නන්න හැකියාව තිබෙනවා. සම්පූර්ණම තනි ඇඳුමම තනි වර්ණයෙන් අඳිනවානම් වඩාත් හොඳයි .

 

 

විශාල ප්‍රින්ට් සහිත ඇඳුම් එපා

විශාල මොස්තර තිබෙන ඇදුම් අඳීම මගින ඔයාත තවත් කුඩා කරලා තමයි පේන්නේ. ඒ නිසා ලොකු මල් , ලොකු ඉරි කොටු සහිත ඇඳුම් අඳින්න එපා. ඔයාව තවත් මිටිකරලා තමයි විශාල මොස්තර සහිත ඇඳුම් වලින් පෙනෙන්නේ.

 

 

කොණ්ඩය ඉහළට කර බඳින්න

මිටි අයට උස පෙනෙන්න ගැළපෙනම විලාසිතාව තමයි කොණ්ඩය ඉහළට කරලා බඳින එක. කොණ්ඩය බෙල්ල ගාවින් බඳින එක ගැළපෙන්නේ නැහැ. හැකි සෑම විටම හිසකෙසි ඉහළට කර බඳින විලාසිතාව උත්සහ කරන්න . එහෙම නැතින්ම කොණ්ඩය ලිහිලිව තබාගන්න.

 

 

සිරස් ඉරි සහිත ඇඳුම්

ඇඳුමක් තෝරාගන්නකොට තිරස් අතට ඉරි තිබෙන ඇඳුම් තෝරාගන්න එපා. මොකද එවැනි ඇඳුම් වලින් ඔයාව මිටි කරලා තමයි පේන්නේ. ඒ නිසා ඇඳුම් මිලදී ගන්නකොට සිරස් අතට ඉරි තිබෙන ඇඳුම්ම මිලදී ගන්න මතක තියාගන්න.

 

 

අඩි උස සපත්තු

ඔයා පාවහන් මිලදී ගන්නවනම් තරමක් හෝ හීල් එකක් තිබෙන පාවහන් මිලදී ගන්න . නැතිනම් විළුඹ තෙක් ආවරණය වුණු සපත්තුවක් පැලඳීම මගින් ඔයාගෙ කකුල් වල පෙනුම දිගුකර පෙන්වන්න හැකියාව තිබෙනවා.